නත්තල් දවසෙත් නත්තල් නැති මිනිස්සු

140

ප‍්‍රසිද්ධ ස්ථාන, තාප්ප, සාප්පු සංකීර්ණ නත්තල් සැරසිලිවලින් පිරෙව්වට, මේ සැරේ නත්තල ජයට සැමරුවා කියල කිව්වට ඇත්තටම මේ රටේ බහුතරයක් මිනිස්සු එදා වේල පිරිමහ ගන්නත් සෑහෙන දුකක් විඳිනවා. නත්තල සමරන්න තියා වේල් තුන පිරිමහගෙන කාලා ඇඳලා දරු පවුල නඩත්තු කරගෙන ඉන්නේ කොහොමද කියන එක ගැනත් දුප්පත් මිනිස්සුන්ට විසි තිස් පාරකට වඩා කල්පනා කරන්න සිද්ධවෙලා. දේවස්ථානවල ආගමික වතාවත් ටික කළාට මිනිස්සු බහුතරයකට නත්තල කියන දවස තවත් එක් දවසක් විතරයි. ටීවීවල නත්තලට සාද තියනවා කියලා පෙන්වද්දී අපේ දරුවෝ අහනවා ඒ වගේ නත්තල් අපිට නැත්තේ ඇයි කියලා ඒවට දෙන්න උත්තර අපි ළඟ නෑ.”

ගෙවීගිය නත්තල පිළිබඳව මිනිසුන් බොහෝ දෙනෙකු අපත් සමඟ අදහස් හුවමාරු කරගත්තේ එතරම් උද්යෝගයකින් නොවේ. නත්තල උදා වූ විට මුළු රටම උත්සවශ‍්‍රීයෙන් ඇළලී යයි. වෙනදාට කිතුණු බැතිමතුන් පමණක් නොව බෞද්ධ, හින්දු, ඉස්ලාම් බැතිමතුන්ද ජාති ආගම් භේදයකින් තොරව නත්තල සහ අනෙකුත් සංස්කෘතික උත්සවයන් සමරති.

නමුත් කොවිඞ් වසංගතයේ අවදානම තවමත් පහව ගොස් නොමැති නිසා මෙවර නත්තල මෙන්ම අනෙකුත් උත්සව අවස්ථාවන් සියල්ල සැමරීමට සිදුවූයේ යම් සීමාවන්ට යටත් වෙමිනි. පාස්කු ප‍්‍රහාරය නිසා පසුගිය වසරේ ද නත්තල උත්සවශ‍්‍රීයෙන් සැමරීමට ජනතාවට නොහැකි විය.

ඊයේ දිනය පුරා (25දා) දිවයිනේ සියලූම දේවස්ථානවල නත්තල් සඳහා වන පූජාව සිදුකෙරුණි. බොහෝ දේවස්ථානවල නත්තලට පෙර සිටම දුප්පත් අහිංසක ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ, ආහාර හා එළවළු, පලතුරු බෙදාදීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කර තිබුණි.

”අපේ පල්ලියේ හැම අවුරුද්දකම දුප්පත් අසරණ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කරනවා. මේ සැරෙත් අපි ඒ වැඩසටහන ක‍්‍රියාත්මක කළා. බඩු මිල වැඩි වීමත් එක්ක නත්තල සමරන්නවත් ගෙදරට අවශ්‍ය බඩු ටික ගන්න ක‍්‍රමයක් නැති මිනිස්සු අපි අතර ඉන්නවා. අපි ඔවුන් වෙනුවෙන් තමයි මේ වගේ වැඩසටහන් ක‍්‍රියාත්මක කළේ. ඒ හැර මොනදේ තිබුණත් නත්තල වෙනුවෙන් තියෙන පූජාව අපි අනිවාර්යයෙන් තියනවා.”

මගේ නත්තල දුගියා බත් කන දාය
මගේ නත්තල වැරහැලි නැති වන දාය

ලෙස ගරු මර්සලින් ජයකොඩි පියතුමා එක් අවස්ථාවක පවසා තිබේ. මේ රටේ ජනතාවට කුසගින්නෙන්, රෝ බියෙන් විපත් නොවී සතුටින් සැනසීමෙන් සිටීමට අවස්ථාව උදා වේ නම් ඔවුන්ට හැමදාම අවුරුදු ය. හැමදාම නත්තල් ය.

නමුත් දැන් මිනිසුන් කියන්නේ හැමදාම තියා නත්තල් දවසටවත් ඔවුන්ට සතුටින් සැනසීමෙන් සිටින්නට තරම් වාතාවරණයත් ලංකාවේ නැති බවයි.

  • එදා වේල පිරිමහගන්න විදිහක් නැති අපිට නත්තල කියන්නෙත් තවත් දවසක් විතරයි.

මෙදා නත්තල සරුදැයි අපි බොහෝ දෙනෙකුගෙන් විමසා සිටියෙමු. නත්තල කියා විශේෂයක් නොතිබූ බවට බහුතරයක් පිළිතුරු ලබා දුන්හ. කොවිඞ් වසංගතය නිසා මෙන්ම පවතින ආර්ථික ගැටලූ නිසා නත්තල සුවිශේෂී දිනයක් ලෙස සැමරීමට නොහැකි වූ බවට ජනතාව පවසයි.

කොවිඞ් වසංගතය ආරම්භයත් සමඟම බොහෝ දෙනෙකුට තම ආදායම් මාර්ග ඇහිරී ගියේය. රාජ්‍ය හා පුද්ගලික අංශවල
රැකියා කරන පිරිසට ද නිසි ලෙසින් වැටුප් ලැබුණේ නැත. ආදායමට වඩා වියදම වැඩි වීමත් සමඟ සියලූ දෙනාම ගතකරන්නේ දුෂ්කර ජීවිතයකි.

මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාගේ සිට පදික වේදිකාවේ කඩල කරත්තයක් තබාගෙන, කෑම මුලක් විකුණා ගනිමින් ජීවත් වූ අහිංසක වෙළෙඳුන් දක්වා සියල්ලන්ගේම ආර්ථිකය කොවිඞ් වසංගතයේ ආරම්භයත් සමඟ ටිකෙන් ටික කඩා වැටුණි.

”ලොකු ලොකු කඩවල් ටික ඇරලා තියෙනවා. ඒවගේ නම් හුස්ම ගන්න ඉඩ නැති තරමට සෙනඟ පිරිලා. තේ කඩයක් දාගෙන රසකැවිලි ටිකක් විකුණාගෙන ජීවත් වුණු අපිට යන එනමං නැති වෙලා. හාල්, පිටි, සීනි හැමදේම ගිනි ගණන්. එහෙන් ගෑස් පුපුරනවා. ගෑස් හිඟ නිසා මිනිස්සු භූමිතෙල් ලිප් ගත්තා. භූමිතෙල් මිලත් ඉහළ ගිහින්. වෙනදාට නම් උත්සව කාලෙට රසකැවිලි ටිකක් වැඩිපුර හදලා විකුණ ගත්තා. දැන් අවුරුද්දක් දෙකක් තිස්සේ ඒකත් නෑ. සල්ලි දීලා කෑම ගන්නත් මිනිසුන්ට දැන් සල්ලි නෑ. මේ කුඩා පරිමාණයේ රසකැවිලි නිෂ්පාදිකාවක් කියූ කතාවයි.

”ජයටම නත්තල් තිබුණා කීවට පාන් කෑල්ලක්වත් කන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. අඩුම තරමේ පොඩි උන්ගෙ හිත සතුටු වෙන්න කේක් එකක් අරන් යන්නවත් විදිහක් තිබුණෙ නෑ. බේකරි නිෂ්පාදන දැන් විකුණන්නේ හිතූ ගණන්වලට. තව ටික දවසකින් පාන් තියා හුළං විස්කෝතුවක්වත් කන්න විදියක් නැති වෙනවා” ලෙසින් කල්‍යාණි කියා සිටියාය.

  • ආදායම සිංගල් වෙද්දි වියදම ඩබල් වෙලා
නත්තල් දවසෙත් නත්තල් නැති මිනිස්සු

සාමාන්‍යයෙන් අපේ‍්‍රල් මාසයට දෙසැම්බර් මාසයට සේවකයන් සඳහා රැකියා ස්ථානවලින් පාරිතෝෂිත ලබා දුන්න ද මේ වන විට බොහෝ ආයතනවල සේවකයින්ට මූලික වැටුප ලැබෙන්නේ ද කොටස් වශයෙනි. එසේත් නොමැති නම් හරි අඩකි. එවන් පසුබිමක උත්සව සමය සඳහා විශේෂ දීමනා ලැබෙන්නේ සීමිත පිරිසකට පමණි. ලැබෙන වැටුපෙන් එදිනෙදා වියදම් පිරිමසා ගත නොහැකි තත්ත්වයක නත්තල වෙනුවෙන් මුදලක් වෙන් කිරීමට බොහෝ දෙනකුට හැකියාවක් නැත.

”වෙනදට අවුරුද්දට දෙසැම්බර් වලට බෝනස් ලැබුණාම කොච්චර දේවල් කරන්න අපි ප්ලෑන් කරනවද? දරුවන් එක්ක කොහේ හරි ඇවිදින්න යන්න, අලූත් ඇඳුමක් ගන්න මේ හැමදේටම ඉස්සර මුදලක් වෙන් කළා. ඒ වුණාට දැන් අතට හම්බෙන මුදල ජීවත් වෙන්නත් මදි. එක් කොටසක් විතරක් පිටරට නත්තල් සවාරි පවා යනවා. අහිංසක මිනිස්සු කන්න බොන්න ටිකවත් නැතුව දුක් විඳිනවා” ලෙස පුද්ගලික අංශයේ රැකියාවක නියුතු මල්කාන්ති මහත්මිය පැවැසුවාය.

රජයේ සේවකයන්ට කියා මේ තත්ත්වයේ වෙනසක් නැත.

”මාසෙට පඩියක් ලැබුණට ඒ සල්ලි ටික බැංකු පොතට වැටෙද්දිම ණය වාරික කපාගන්නවා. අනිත් එක දැන් බඩු මිල එකට එකක් වැඩි වෙලා .ඒ වගේ තත්ත්වයක් ගොඩ කාලා ඇඳලා ඉන්නවාට වඩා දෙයක් කරන්න කීයක්වත් ඉතුරු වෙන්නේ නෑ. මෙහෙම ගියොත් ලංකාවෙ මිනිස්සුන්ට හිඟා කන්න තමයි සිද්ධවෙන්නේ. හැබැයි හිඟා කන්න ගියත් දැන් හිඟන්නෙක්ට දෙන්න වත් මිනිස්සු අතේ සල්ලිත් නෑ” ලෙස ගුරුවරියක ලෙස සේවය කරන ශාන්ති මහත්මිය පැවසුවාය.

  • එළවළු පලතුරු විතරක් නෙමෙයි හැමදේම ගිනි ගණන්

එළවළු පලතුරු මිල මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩවල පවා මිල ගණන් ඉහළ ගොස් තිබේ. එළවළු පලතුරු මිල ඉහළ යන විට විකල්පයක් ලෙස මස් මාළු බිත්තර වැනි දෑ පරිභෝජනය කළ හැකි වුවද මේ වන විට ඒවායේ මිල ගණන් ද ඉහළ දමා ඇත. මේ නිසා මෙවර නත්තලට වෙනදා මෙන් ආහාරපාන සකස් කිරීමට නොහැකි වූ බව බොහෝ දෙනා අපත් සමඟ පැවසූහ.

”වෙනදට නත්තල දවසට නෑදෑයෝ එකතුවෙලා වෙලා කෑම බීම හදලා, ඒවා හුවමාරු කරගෙන සතුටින් දවස ගත කරනවා. අද වෙනකොට නම් විශේෂ කෑමක් හදනවා තියා සම්බෝලයි, බතුයි, පරිප්පුයිවත් කන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. මස් මාළු කිරි බිත්තර එළවළු පලතුරු හැමදේම ගණන්. පාන්වලත් පාලන මිල අයින් කළා. ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලත් වැඩි කරලා. නෑදෑයෝ එකතු කරගෙන තියා පවුලෙ දෙතුන් දෙනාටවත් කන්න බොන්න නැති වෙන දවස වැඩි ඈතක නෙමෙයි.”

  • විකුණගන්න බැරිවුණු නත්තල් සැරසිලි කඩවල්වල ගොඩගැහිලා

පිටකොටුවේ මෙන්ම බොහෝ නගරවල පදික වේදිකාවලත් වෙළෙඳසල්වලත් දෙසැම්බර් මාසය ආරම්භයේ සිටම නත්තල් සඳහා වන විශේෂ සැරසිලි අලෙවි කිරීමට තබා තිබුණි. නත්තල ගෙවී ගිය ද තවමත් ඇතැම් කඩවල්වල වෛවර්ණ විදුලි බුබුළු සහ නත්තල් සැරසිලි විකිණීමට තබා තිබේ. බැලූ බැල්මට වෛවර්ණ නත්තල් සැරසිලි පුරවා තිබුණත් වෙළෙන්දන් පැවසුවේ මෙවැනි කතාවකි.

”මම මොහොමඞ් සරුෆාන්. මම මුස්ලිම් වුණාට අවුරුදු ගාණක් තිස්සේ පිටකොටුවේ තියාගෙන උත්සව සඳහා වන සැරසිලි අලෙවි කරලා තමයි ජීවත් වෙන්නේ. මේ සැරේ අනික් හැමදේම වගේම නත්තල් සැරසිලිත් ගණන් ගිහින්, දැනට අවුරුදු දෙක තුනකට කලින් නත්තල, අවුරුද්ද කිට්ටුවෙද්දී හොඳට බිස්නස් තිබුණා. පාස්කු ප‍්‍රහාරය වගේම කොරෝනා නිසා පහුගිය අවුරුද්දෙත් අපි පාඩු ලැබුවා. මිනිස්සු සැරසිලිවල මිල ගණන් අහලා ආපහු හැරිලා ගියා.”

වත්තල ප‍්‍රදේශයේ පදිංචි මයිකල්ද ඔහුගේ වෙළෙඳසල ඉදිරිපිට නත්තල් සැරසිලි, පිදුරු ගවලෙන් ආදිය විකිණීමට තබා තිබුණි.

”වෙනදට හැම ගෙදරකම ගවලෙන් හදනවා. ඒකට අනිවාර්යෙන්ම පිදුරු, කොහු ලණු වගේ දේවල් අරගෙන යනවා. මෙදා සැරේ නත්තලට සැරසිලි විකුණුනේ ඉතාමත් අඩුවෙන්. මේ ගවලෙන් මමම නිර්මාණය කරපුවා. ඒවට ගියපු වියදමවත් හොයාගන්න බැරි වුණා. තව දවසකින් දෙකකින් මේ සැරසිලි අයින් කරලා දානවා.”

වෙනදාට නත්තල් සැරසිලි අලෙවි කර ලබන ආදායමෙන් අඩක් වත් මෙවර ලබා ගත නොහැකි වූ බව මයිකල් පවසයි.

කිතුණුවන් මෙන්ම බෞද්ධයන් පවා නිවසේ නත්තල් ගසක් සැරසීම සාමාන්‍යයෙන් සිදු කරනු ලබයි. කුඩා දරුවන්ගේ පෙරැත්ත නිසා මීට වසර දෙකකට පෙර මිලට ගත් නත්තල් ගස මෙවර ද සැරසීමට තීරණය කළ බවත් සැරසිලිවල මිල ගණන් ඉහළ නිසා කුඩා සැරසිලි පැකැට්ටුවක් පමණක් මිලට ගත් බවත් කාන්ති මහත්මිය පැවසුවාය.

වෙනදාට නත්තල උදා වීමටත් පෙර දසතින් ඇසෙන රතිඤ්ඤා හඬ, අහස් කූරු හඬ මෙවර ඇසුණේ කලාතුරකිනි. නත්තලට පෙර සිට අහස්කූරු, රතිඤ්ඤා ආදිය පාර දෙපස තබාගෙන විකුණන පිරිස නත්තල් දිනයේ දී ද ඒවා අලෙවි කිරීමට පාරට පැමිණ තිබූ අයුරු අපට දැකගන්නට හැකි විය.

”මේ සැරේ නත්තලට රට වහන්නෙ නැති නිසා බිස්නස් සරු වෙයි කියලා හිතුවාට මිනිස්සුන්ට රතිඤ්ඤා ගන්න සල්ලි නෑ .මිනිස්සු අත්‍යවශ්‍යම දේකට ඇරෙන්න දැන් රුපියල් සියයක් වත් වියදම් කරන්නෙ නෑ. අනික රුපියල් සීයකින් දැන් කරන්න දේකුත් නෑ. වෙනදට අවුරුද්දට නත්තලට සතුට සමරන්න දාපු රතිඤ්ඤා දැන් දුක හිතෙන වෙලාවට දාන්න තමයි වෙන්නේ.”

  • ඉන්ධන මිල වැඩි කළේ නත්තලට තෑග්ගක් විදියටද?
නත්තල් දවසෙත් නත්තල් නැති මිනිස්සු

පසුගිය සතියේ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බොහෝ දෙනකුට තවත් අලූතෙන් ගැටලූවක් නිර්මාණය වූවා මිස තිබෙන ගැටලූවලට විසඳුම් නොලැබුණු බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඉන්ධන මිල වැඩි වීමත් සමඟ බොහෝ දෙනකු කියා සිටියේ දැන් මේ රටෙන් පිටව යෑමට මාර්ගයක් සොයනවා මිස මේ රටේ ජීවත් වීමට සුදුසු වාතාවරණයක් නැති බවයි.

”ත‍්‍රීවීලර් එකට පින්සිද්ධ වෙන්න තමයි කීයක් හරි හොයාගන්නේ. වෙනදට නත්තලට පූජාවට කොහේ හරි යන්න වුණාම මිනිස්සු හයර් එකට යනවා. මේ සැරේ නම් මිනිස්සු එහෙම විශේෂ ගමනක්වත් ගියේ කලාතුරකින්. වෙනදා යන ගාණටම දැන් අපිට හයර් දුවන්න බෑ. දන්න මිනිස්සුන්ට වැඩිපුර ගණන් කියන්නත් බෑ. හැම මිනිහෙක්ම අසරණ වෙලා ඉන්නේ.” මේ ත‍්‍රීරෝද රථ රියදුරෙකු වූ ප‍්‍රියන්ත පැවසූ කතාවයි.

එලෙසම ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ නැවතත් ආහාර සැකසීමේ අර්බුදයක් නිර්මාණය වී ඇති බවට ගෘහණියෝ පවසති. පසුගිය දිනවල සිදු වූ ගෑස් ආශ‍්‍රිත අනතුරු නිසා බොහෝ දෙනකු භූමිතෙල් ලිප් මිලදී ගත්ත ද ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ ඉන්ධන පිරවුම්හල් අසල පෙට්ට‍්‍රල්, ඞීසල් මෙන්ම භූමිතෙල් පෝලිම් ද නිර්මාණය වී ඇත.

මේ අතර ඉන්ධන මිල, එළවළු පලතුරු මිල, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පමණක් නොව සිමෙන්ති පීවීසී බට සහ ගෘහ නිර්මාණ ශිල්පය සඳහා අවශ්‍ය කරන දේවලද මිල ගණන් එකට එකක් වැඩි කර ඇති බවත් ඒ නිසා මේ වන විට ගෘහ නිර්මාණ ශිල්පය ආශ‍්‍රය කර ගනිමින් රැකියාව සිදුකළ බොහෝ දෙනෙකුගේ ආදායම් මාර්ග අහිමිව ගොස් ඇති බවත් අපට දැනගන්නට ලැබුණි.

නත්තල සැමරීම සඳහා බොහෝ පිරිසක් විනෝද චාරිකා පැමිණි නමුත් ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සපයා දීමට නොහැකි තරමටම එළවළු පලතුරු හිඟයක් තිබූ බවත්, එලෙස එළවළු හිඟ වීම නිසා තිබෙන එළවළුවල මිල ගණන් ඉහළ ගොස් ඇති බවටත් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල හෝටල්වල ප‍්‍රධාන සූපවේදීහූ අපත් සමඟ කියා සිටියහ.

  • පාස්කු ප‍්‍රහාරයේ වරදකරුවන් තවමත් නිදැල්ලේ

නත්තල සමරන්න කොහෙද හිතේ සතුටක් අහිංසක මිනිසුන් ම්ලේච්ඡු ලෙස සමූලඝාතනය කළ පාස්කු ප‍්‍රහාරයේ මිනීමරුවන්ට දඬුවම් පැමිණවීමටවත් අසමත් පාලකයින් සිටින රටක නත්තල උත්සවශ‍්‍රීයෙන් සමරන්නේ කෙසේදැයි කතෝලික බැතිමතුන් ප‍්‍රශ්න කරයි. පාස්කු ප‍්‍රහාරයේ අඳුරු මතක සමඟ තවමත් බොහෝ කිතුනු බැතිමතුන් ඔවුන්ට සාධාරණය ඉල්ලයි.

මෙලෙසින් දිගහැරෙන්නේ සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ගේ අඳෝනාවයි. ජාති, ආගම් භේදයකින් තොරව මේ වන විට බොහෝ දෙනෙක් එදා වේල පිරිමසා ගැනීමේ අරගලයක නිරත වී සිටියි. බඩුමිල, දුප්පත්කම, කොවිඞ් වසංගතය ආදී සියල්ලෙන්ම බැට කන අහිංසක මිනිස්සුන්ට දැන් නත්තලත්, අවුරුද්දත්, තෛපොංගල් දිනයත්, රාමසාන් කියාත් වෙනසක් නැත. අද වන විට ගමනාගමනය, සෞඛ්‍යය, අධ්‍යාපනය, සංචාරක කර්මාන්තය, හෝටල් කර්මාන්තය ආදී සඳහන් කළ නොකළ සියලූ අංශ දරුණු ලෙස කඩා වැටී අවසන්ය.

”නත්තලට කලින් ඉඳලම නුවරඑළියේ හොටෙල් ටික බුක් කරලලූ. මේව වෙන් කරන්නේ දුප්පත් අසරණ මිනිස්සු නෙමෙයිනෙ. මේ වෙද්දි මේ රටේ වගකිවයුතු බලධාරීන් නිලධාරීන් බොහෝ පිරිසක් දරු පවුල් එක්ක නත්තල සමරන්න පිටරට ගිහිල්ලා. මේ රටේ අවුරුද්ද, නත්තල ජය එක කොටසකට විතරයි. අරයා මෙයා නත්තල සමරපු හැටි කියලා සමාජ මාධ්‍යවල ඕන තරම් පෝස්ට් තියනවා. හැබැයි දුප්පත් මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද කියන එක ගැන කවුරුත් කතා කරන්නේ නෑ. අපිට නත්තල අවුරුද්ද සමරන්න ඕන නෑ. දෙයියනේ කියලා කාලා දාලා ළමයින්ට උගන්නගෙන ඉන්න පුළුවන් පරිසරයක්වත් නිර්මාණය වෙනවා නම් ඒක තමයි අපේ නත්තල.”

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment