නත්තලේ සැබෑ සැමරුම

51

ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ සුවිශේෂී ජීවිත සිදුවීම් අරබයා මිනිස් ඉතිහාසය විවිධ තැන්වල විවිධාකාරයෙන් වෙනස් වූ බව බයිබලීය විමර්ශනයනුත් ඓතිහාසික ලෝක පැවැත්මත් මනාව ගෙන හැර දක්වයි. බෙත්ලෙහෙමේ කුඩා කඳු බෑවුම් කුහරයක් තුළ ලත් උපත ලෝක ඉතිහාසය දෙකඩ කළා පමණක් නොව නව ලෝක ආරම්භයක් ඇති කරමින් මිනිස් සංහතිය තුළට දේවත්වයේ මාංශගත වීම සලකුණු කළ නිසාම නැවතත් පෙර ඉතිහාසයට නොව දෙවියන් වහන්සේ අප සමඟයි යන සුවිශේෂී පදනම ජීවත් කරවන නව ලෝක රටාවක් ස්ථාපිත වූ වගම අපට සිහිපත් කරවයි. මිනිසත් බව තුළ මාංශගත වෙමින් සියලූ දුබලකම් පලඳාගෙන මෙලොවට බට දෙවීත්වයෙන් ආශ්චර්ය සරළ බවම උපන් තැනට මොනවට හුවා දක්වමින් සාමයේ පණිවුඩයක් දසත විහිදුවන්නට උපතක් ලබා දුන්නත් එහි යට විහිද යන රාජාති රාජ දේව රාජ්‍යයේ සංකල්පය මහ නරපතීන් පවා වෙව්ළුවා හරින්නට සමත් වී ඇත.

දුගී බව දෝතින් දරාගෙන අල්පේච්ඡ දිවි පෙවෙත් උරුම කොට ගත් එඬේරුන් පිරිවරා ඔවුන් පසස ගීයෙන් මිහිමඬල සාමයේ සුර ගීයෙන් සරසාලූ ඒ දෙව් උපත සමරන නත්තල සැබැවින්ම කුඩා කතා පුවතක් වූවා පමණක් නොව අල්ප ජන කොට්ඨාසයක් අතර පමණක් විහිද ගිය පුවතක් විය. සුවිශේෂක ජුවාම් තුමන් පවසන පරිදි උන්වහන්සේ සිය දේශයට වැඩම කළ සේක. එහෙත් ස්වකීය ජනතාව උන්වහන්සේ නොපිළිගත්හ. (ජුවාම් 1:11) එසේ වූවද උන්වහන්සේගේ නාමය අදහාගත් අයට දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උපත ලැබීමේ වරම උන්වහන්සේ දෙවා වදාළ සේක. (ජුවාම් 1:12) එදිනෙදා ජීවිතයේ මොහොතේ අත්දැකීම් ලබන ජනතාවකට වඩා ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ උපත අපට මහත් ආනුභාවයක් ලබා දෙන ජීවන තත්වයක් හරහා ජීවත් වන්නට ඉමහත් පිටුබලයක් උත්පාදකොට ඇත. මෙකී උත්තරීතර අත්දැකීම් නිසාම දෙවිඳුන්ගේ දරුවන් සේ අප හැම කෙනෙක්ම එකී වෙනස තුළ ඉමහත් ප‍්‍රීතියක් ජීවිතයේ අත්විඳින නිසා නත්තල ප‍්‍රීතියේ සන්තෝෂයේ ලකුණක් බවට දැන් පත් වී හමාරය.

නත්තලේ සැබෑ සැමරුම ඉහත දැකීමත් සමඟ දහම තුළ ජීවත් වන්නාට නත්තල ජීවිතය සනහාලන කඩඉම් සංධිස්ථානයකි. දහම තුළ ජීවත් නොවන්නාට පවා එය භෞතික වශයෙන් ජීවිතයේ සතුට, සැනසීම ගෙන දෙන මංකඩක් බවට පත් වී ඇති සෙයකි. එම නිසා නත්තලේ හැඩතල වෙනස් කරමින් කෙතරම් භෞතික ප‍්‍රස්තුත ඔස්සේ නිර්වචන ගෙන හැර පෑවට සන්තෝෂයේ සැබෑ සේයාවක් මේ වදන හරහාම ගෙනවිත් ඇත. අසල්වැසියා සොයා යන ගවේෂණයක් මෙන්ම ඔහුගේ, ඇයගේ අවශ්‍යතා මත පරඋපකාරය සමඟ ජීවිතයේ සැනහීමක් සොයා යන ක‍්‍රිස්තු භක්තිකයා අධ්‍යාත්මික ක‍්‍රියාවලිය ජීවිත බාහිර ක‍්‍රියාකාරිත්වයක් කරා ගෙන යන්නේ එවන් පිරිපුන් අත්දැකීම් තුළිනි. මෙය පැහැදිලිව දැක ගත හැක්කේ ක‍්‍රිස්තියානි යුරෝපය හෝ ඇමෙරිකාව තුළිනි. එහි ජන ජීවිතය හා පොදු සාමුහිකතා පැවැත්ම නිරීක්‍ෂණය කිරීමෙනි. තමන් වෙතට රාමුගත වන ජීවිතයක් නොව තමන් තුළින් අන් අයට විහිදෙන සහෝදරත්වයේ ජීවිතයක් කිතුනුවා අත්විඳින නිසා අන් ලබ්ධිකයිනට වඩා කිතුනුවා සැනහීම හා සන්තෝෂය තම ශාස්තෘවන්තයාගේ ජීවිතයේ විවිධ අවස්ථා ආවර්ජනය කොට ජීවිතයෙන්ම අත්විඳියි.

සමහර විට කිතුනුවාගේ මෙම ජීවිත පැවැත්ම අන් ලබ්ධිකයන් හට උභතෝකෝටිකයක් බවට පත් වී තිබෙන්නේත් මේ නිසාම විය හැකියි. උපත කවදත් විපතක් බවට හරවා ගත යුතු නැත. බෙත්ලෙහෙම් නිමිත්ත සතුට උත්පාද කළා සේම කල්වාරියේ නිමිත්ත ධ්‍යානගත නිසොල්මනේ මෙනෙහි කිරීමකට නිතුනුවාව කැඳවා ඇත. නත්තල ඒ අරුතින් බෙත්ලෙහෙම නිරූපිත කරන විට පාස්කුව දෙවන අරුතින් කල්වාරිය මැනවින් නිරූපිත කර ඇත.

අපේ කාලයේ නත්තල ශ‍්‍රී ලාංකේය කතෝලිකයා දැන් වසර 3කට ආසන්න කාලයක සිට වින්දිතයෙක් ලෙස පාස්කුව හා නත්තල එකට ගෙන අත්විඳින තත්ත්වයකට පත්ව ඇත්තේ නුහුලන අපරාධයක් පාස්කුව මුල් කොට ගෙන අප ජනතාවකට ගෙන ඒම නිසාමයි. 2019 වසරේ සිට පාස්කුව හා නත්තල යන වදන් දැන් මෙරට සමස්ත ජනතාවගේ හදවත් තුළට කාවද්දා හමාරයි. පාස්කු දවසේ ම්ලේච්ඡ ප‍්‍රහාරය දැන් පාස්කු ප‍්‍රහාරය වශයෙන් ගෙන උදේ හවා මතුරන මන්ත‍්‍රයක් ගාණට ජනමාධ්‍ය හුවා දක්වන අතර සැබෑ එතෙර වීමකට කතෝලිකයා දැන් මෙම පාස්කු දවසේ ප‍්‍රහාරය තුළින් පන්නරයක් පබා ඇති බව පැහැදිලිය. එම නිසාම ශ‍්‍රීලාංකේය කතෝලික බැතිමතාට හා පොදුවේ කිතුනුවාට නත්තල නැතිනම් උපතේ මංගල්‍යයත් එතෙර වීමක් හා සමාන කොට අත්විඳින්නට එකී නිහීන ප‍්‍රහාරය යම් පිටිවහලක් වී ඇති බව පැහැදිලිය. එසේ නම් 2021 වසරේ නත්තලත් කිතුනුවාට එක්තරා අන්දමකින් ‘එතෙර වීමකි.’ සැබැවින්ම වහල් භාවයකින් බැඳී සිට ඉන් මිදී එතෙර වීමක් කරා යෑමක් සිහිපත් කළ යුතුමය. එසේ එතෙර වීමක් තුළින් නව පැවැත්මේ ක්ෂේම භූමියක් කරා පැමිණීම නව උපතක් බවට කිතුනුවා පත් කර ගත යුතුමයි.

ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා
පමුණුගම

නත්තලේ සැබෑ සැමරුම
advertistmentadvertistment
advertistmentadvertistment