නන්දන වීරසිංහ සමාජ කවියෙන් ඔබ්බට

227

(ජුලි 13 වැනිදාට යෙදුන රාජ්‍ය සම්මාන ලාභි කිවිවර නන්දන වීරසිංහයන්ගේ 68 වැනි උපන් දිනය වෙනුවෙනි)

“ලෝකය චක්‍රයක් නම් කවිය එහි නාභියේ සිට කරන විමසුමක්” යැයි ප්‍රඥාගෝචර වන නන්දන වීරසිංහයෝ දියුණු කාව්‍යෝපක්‍රම භාවිතයෙන් ස්වතන්ත්‍රතාවක්

ගොඩනඟා ගත් විශිෂ්ටතම කවියෙක් වූහ. වර්ෂ 1984 දී

“ගිං ගඟේ විලාපය” නම් කුළුඳුල් කාව්‍ය සංග්‍රහය එළිදක්වමින් එකල සමාජ, ආර්ථික, දේශපාලනය ගැන ඔවුහු අන්තර් දෘෂ්ටිමත් කාව්‍ය රචනා කිහිපයක්ම ඉදිරිපත් කළහ.

මෙම කාව්‍ය සංග්‍රහයේ සිරස්තලය සඳහා යොදා ඇති ‘’ගිං ගඟේ විලාපය” නම් පැදි පෙළ කාව්‍ය ආකෘතිය අතින් ද අනුභූති ප්‍රතිනිර්මාණයෙන් ද භාෂාවෙන් ද තරමක් විශිෂ්ට වූවකි. ගිං ගඟ යෝජනා ක්‍රමයෙන් හෙම්බත් වූ ගැමි ජනතාවගේ අසරණකම, දුප්පත්කම, නුගත්කම, විරැකියාව, අයුක්තිය, අසාධාරණය කවියාගේ නිරීක්ෂණයට හසු වෙයි.

නන්දන වීරසිංහ සමාජ කවියෙන් ඔබ්බට

තෙලිකඩ වෙල් යාය මැද මහ වේල්ලේ
බුල්ඩෝසර ටිපර ඩ්‍රම්පර ඉගිල්ලේ
දෙගංබඩ පනින ගිංගඟ බැඳිල්ලේ
කෝලාහලය ගැන කවුරුත් දෙඩිල්ලේ

ගිංගඟ යෝජනා ක්‍රමය රාජ්‍ය අනුග්‍රහයෙන්ම බහුජාතික සමාගම් දෑතට ගොදුරු වූ පසුව ග්‍රාමීය ජනතාවට රැකියා අහිමි විය. දුප්පත්කම, අසරණකම, කුසගින්න ජනතාව පෙළෙන්නට වීම විෂයයෙහි කම්පා වන කවියාගේ ධනේශ්වර ප්‍රතිවිරෝධතාව හා නිර්ධන පාංතික හෘද සාක්ෂිය මේ කවි මගින් අපට පෙනෙයි. සමාජය හා සමාජ මිනිසාගේ විවිධ ප්‍රශ්න සියුම් නිරීක්ෂණ ශක්තියෙන් පරිකල්පනය කරන නන්දනගේ ‘ගිං ගඟේ විලාපය’ කවි සංග්‍රහයෙහි එන ජනප්‍රියම කවිය ‘දුම්මල ගලට ගිය අම්මා’ යැයි විචාරකයෝ කියති. එහෙත් “දුම්මල ගල නමින් හැඳින්වෙන ගල් තලය ගැන දකුණේ තෙත් කලාපික වැසි වනයට ඇතුළුව යකහළු ගසින් දුම්මල ඉටි ගලවන අම්මාවරුන් අද දක්නට නැත. එහෙත් දරුවන්ගේ ඉගෙනුමෙහි මහරුක දැක, ඒ වෙනුවෙන් දහදිය පෙළන මවුවරු” තවමත් සිටිති. එවන් මවකගේ කැපවීම, අකල් මරණය, ඒ මරණයේ සදාතනික කම්පනය නන්දනගේ මේ පදවැල්වල අන්තර්ගතය.

“වැහි වැහලා ගල ආදා බඩේ උණා
අම්මා එදත් ඒ ගල මුදුනටම උණා
රූටා ගිහිං පාවුළ ගලටත් රිදුණා
අම්මා කිව් විලාපය තවමත් ඇසෙනා

71 හා 89 භීෂණය විසින් අපට අහිමි කළ තරුණ පරම්පරාව කෙතරම්ද? ඔවුන් ජීවිත පූජා කළේ පොදු අරමුණක් වෙනුවෙනි.

අවියෙන් වනසන්ට බෑ උතුම් අරමුණු
හඬගා කියන නුඹෙ හඬ අහසේ හැපෙනු
ඇසුනා ඒ හf`ඩ් නෑ මියගිය ලකුණු
මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු

එදත් නන්දන ජන පීඩක ආණ්ඩුවට එරෙහිව නිර්ධන පන්තියේ පීඩිතයන්ට ආදරය කළ මහා පොළොවේ ජීවත් වූ සොඳුරු කවියෙකි. අදත් ඔහු රට විකුණන, රට ණය උගුලක හිරකර ඇති මේ ජන පීඩක ආණ්ඩුවට එරෙහි සටනේ ඉදිරියෙන්ම සිටියි. පොදු ජනතාවගේ මිනිසෙකු වූ නන්දන පොදු ජනතාවගේ අපේක්ෂා සහගත දේශපාලනයට තවමත් උරදී සිටියි. රතුම රතු මල් පිපෙන සමාජවාදී රටක ගොඩනැංවීමට ඔහුගේ ද අපේක්ෂාව වන නමුදු දේශපාලන ප්‍රචාර සඳහා නොගැඹුරු බොළඳ කවි ලියන්නට ඔහු ආපසු හැරෙන්නේ නැත. සමාජ කවියෙන් ඔබ්බට දාර්ශනිකත්වය වෙත ඇඳෙන සේයා සත්‍යකාම පළවීමෙන් පසු දැකගත හැකිය.

මහගම සේකර ප්‍රබුද්ධ කාව්‍යය මගින් ගවේෂණය කළ සමාජය නන්දන ‘සත්‍යකාම’ මගින් විනිවිඳින්නට උත්සාහ ගෙන ඇත. ප්‍රබුද්ධ සේම සත්‍යකාම ද පරමාදර්ශි පුරුෂයෙකි. ඔවුන් දෙදෙනාම වඩා යහපත් ලෝකයක් ගොඩනැංවීම සඳහා පරමාර්ථ ගවේෂණයෙහි යෙදෙති.

“සත්‍යකාමය අසනුව
සමාජය නම් මැරයා
සමඟ නො ගැටි ඉඳුරා
මාරයා ගේ බැමිවල

නො බැඳී සිත හික්මවන
අරිමග බැස යනු මිස
තණ්හා සැඩ දියට පැන
ගිලී සිරවී නොමියෙමි
නිදි මතෙහි නො ගැලී
වෙසෙමි දැල්වූ සිහියෙන්”

“වීරසිංහගේ සත්‍යකාම නම් වෙමී සේකරගේ ප්‍රබුද්ධ ඉක්මවන කාව්‍යානුභූතියක් නොවීය යන්න එවක මතු වූ අදහසකි. එහෙත් ඒ ආඛ්‍යාන කාව්‍යය අපේ නූතන කාව්‍ය ඉතිහාසයේ ලියැවුණු අවධානයට ලක්විය යුතු කෘතියක් බව කිව යුතුය. එය බොහෝ අංග අතින් ප්‍රබුද්ධ කාව්‍යයට වඩා සංකීර්ණ කාව්‍යමයත්වයක් ඇත්තකියි කෙනෙකු සිතන්නට ද පුළුවන. එසේම බාහිර ලෝකය පිළිබඳ අනුගාමික සත්‍යය පමණක් සත්‍යය යැයි භාර නොගෙන පූර්ණ වූද සාකල්‍යවාදී වූද සත්‍යයක් සොයන සත්‍යකාම නම් තරුණ ගවේෂකයා යනු එකල නැවත වරක් සංවිධානය වෙමින් සිටි දකුණේ තරුණ දේශපාලන ක්‍රියාධරයා හමුවේ තබන ලද අභියෝගයකි. එය කළ යුතුව පැවති අභියෝගයක් ද විය. ඒ දේශපාලන ධාරාව ‘සත්‍යකාම නම් වෙමි’ කෘතිය පළවීමෙන් පසු ගත වූ දශක දෙකෙහි නිර්මාණය කළේ මනුෂ්‍යත්වය සහ ලෝකය පිළිබඳ ඉතා ආංශික සත්‍යයන් මුඛරිකමින් කියන ඒකමානීය ජාතිකවාදීන් පිරිසක් අද අපි දනිමු. යට කී සත්‍යය සොයා යන ගමනේදී සත්‍යකාමට මුණ ගැසෙන ඇතැම් ප්‍රවීණයන් සහ වැඩිහිටියන් දෙබඩි සහ ව්‍යාජ ජීවිත ගත කරන්නන් බව හෙළි කිරීම ද ඒ කාව්‍යයෙන් සිදු වී” යැයි මහාචාර්ය අමරකීර්ති පවසයි.

1994 වර්ෂයේ පළ වූ “සත්‍යකාම නම් වෙමි” කාව්‍ය සංග්‍රහයෙන් පසුව නන්දනගේ කවිය බරපතළ රූපාන්තරණයකට ලක් වෙයි. ඒ වෙනස්වීමට බලපෑ හේතු කාරණා තුනක් රත්න ශ්‍රී විජේසිංහ ‘ක්ෂණ නියාම’ කාව්‍ය සංග්‍රහය එළිදැක්වීමේ දේශනයේදී පැවසුවේය.

“විභවි ආයතනය දියත් කළ ‘විචාර විමර්ශන’ වැඩසටහන් ඉන් පළමුවැන්නය. එය නන්දනගේ කවියට ඉතාමත් සමීපව බලපාන්නට ඇතැයි සිතමි. ‘විභවි’ ආයතනයේ වැඩ කටයුතුවල යම් යම් සීමාවන් තිබුණ ද, එයින් සිදු වූ සාධනීය බලපෑම ඉතා විශාලය. නන්දන ස්වයං අධ්‍යයනයකින් මෙන් ලබාගත් සම්පත් දෙවැන්නය. විශේෂයෙන්ම ආසියානු කවියේ එන වකා, ටංකා, හයිකු වැනි කාව්‍ය සම්ප්‍රදායන් පිළිබඳව ඔහු විසින් කරන ලද හැදෑරීම්ය. තුන්වැන්න ලෙස මා දකින්නේ ආරියවංශ රණවීර කවියාගේ කාව්‍ය සම්ප්‍රදානය මගින් ඔහු ලබාගත් සම්පත්ය. නන්දන කෙසේවත් ආරියවංශ රණවීර කවියාගේ අනුකාරකයෙක් වී යයි මම එයින් අදහස් නොකරමි.”

‘සත්‍යකාම නම් වෙමි’ කාව්‍ය සංග්‍රහයට එල්ල වූ දැඩි විවේචනවලින් මුවහත් වූ කවියා මහ පොළොවේ භෞතිකය සමඟ අරගල කළ පොදු මිනිසාගේ සමාජ ප්‍රශ්න රාමුගත කරනු වෙනුවට සමාජ කවියෙන් ඔබ්බට ගිරග නඟින්නට වූයේ 1997 දීය. ඒ සඳහා ග්‍රාමක බලය සැප වූයේ ‘විභවි’ ආයතනයයි. ‘සත්‍යකාම’ දැඩි විවේචනයට ලක් කළ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

ගිරගෙහි එන ‘මැයි දෙවැනිදා’ කවිය අර්ථවත් දේශපාලන සංවාදයකැයි අගය කළේය.

පෙර දා දිවා කල සිට
නුවර අහසෙහි බැබලුණු
ඒ හැම කොඩිවැල් කැඩී
උදෑසන කුණු ගොඩට එක්විණි

ගොදුරු ලොබයෙන් උදැහැන
කපුටන් නඟන කලකලය මැද
විසුළ කුණු කසළ මල
නො හැර අතු ගා දමා


ශුද්ධ කළ නුවර රජ මාවතක
පහන් කණුවක පැටලුණු
සිඟිති රතු රෙදි ඉරක්
හමන සුළඟින් එසවෙයි
 

රටේ දේශපාලනය පිළිබඳ  ඉගැඹුරු අන්තර්දෘෂ්ටි සපයන නන්දනගේ මේ පැදිය ඔහුගේ සමාජ දැක්ම හා දේශපාලන දෘෂ්ටිය ඉඟි කරන්නකි. ධනේශ්වර දේශපාලනය ‘කුණු කසළ මලකට’ රූපක කරන ඔහු “සිඟිති රතු රෙදි ඉරක්” සුළඟින් එසවෙන බව පවසයි. රතු වර්ණකය සංකේත කරන්නේ ධනේශ්වර දේශපාලනයට ප්‍රතිපක්ෂ සමාජවාදී රාජ්‍යයක නව උදාවකි. කවියා ගිරග නඟින්නෙ ඒ රාජ්‍යය පිළිබඳ සුබ නිමිති බලමිනි.

සුරත් කුසුම් හිස ගවසා
ළපලු පත් පැළඳ පේවී
සුවඳ නල බිබී වනපෙත
විහඟ පිය රුවින් නැළැවෙයි
මිහිරි පල පතා හිඳිමින

ගිරග කාව්‍ය සංග්‍රහය නන්දනගේ “කවි මගේ වෙනස්වීම නිවේදනය කළේය. එහිදී ඔහු දේශපාලනය පිළිබඳ අතිසරල කවිය වෙතිනුත් එවකට ජනප්‍රිය වී තිබූ ‘ගීතවත් කවිය’ වෙතිනුන් ඈත් වූයේය. මේ ඈත්වීම කළ යුතු දෙයක්” යැයි මහාචාර්ය අමරකීර්ති පවසයි.

ආරියවංශ රණවීර නම් ගමන් සගයාගේ ඇසුරට වැටීමෙන් පසු ඔහුගේ කවියේ දාර්ශනිකත්වය අත්පත් කරගත් නන්දන හයිකු තාක්ෂණයට නැඹුරු වීමක් ලෙස ‘මහත් සඳ පිනි බිඳෙක කාව්‍ය සංග්‍රහය 2001 දී පළ කළේය. මාතෘකා රහිත කවි හැටකින් පොහොසත් මේ කෘතියේ එන කිසිම කවියක් රණවීරගේ අනුකරණ කවි නොවේ. නන්දන මෙහිලා රණවීරයන්ගේ දාර්ශනික ආස්ථානය අත්පත් කරගනු ලැබුව ද රණවීරගේ කටුවට අසින ලද මස නැති බස හා ඔහුගේ විෂයය ප්‍රදේශ නන්දන අත්කරගෙන නැත. එහිදී නන්දන ස්වතන්ත්‍රතාවක් ප්‍රකට කළ විශිෂ්ට ගණයේ කවියෙක් බව මේ නිමයුම්වලින් පෙනේ.

“සුදු ඇඳුමෙන්ම
ගොදුරු ගිල දමන
මේ කොක් රෑන
කොතරම් හැඩද?”

ඒකමානී වූ සරලත්වයේ සමාජ කවියෙන් ඔබ්බට බහුවිධ දාර්ශනිකත්වයක් සහිත කවි ගොඩනැංවීමට නන්දන උත්සුක වූ හැටි මින් පෙනෙයි. හොඳ කවිය හරවන, හරවන පැත්තට ආලෝකය දෙන අෂ්ටවංක මාණික්‍යයක් මෙන් බහුවිධ අර්ථ නැංවිය යුතුය. ඒ ගුණය නන්දනගේ මහත් සඳ පිනි බිඳෙක කවි සංග්‍රහය පුරාම අපි දුටුවෙමු.

● දර්ශනපති මහේෂ් ක්‍රිශාන්ත
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment