නම කීවත් කන්න හිතෙන කැවුම් රැසකි දිව පිනවන

755

කැවුම් ගැන අතීත කතාවක්…

අවුරුද්දටත් කලින් එල්ලන “කෝඳුරු කැවුම”

රොබට් නොක්ස් වර්ණනා කළ කැවුම

කැවුම් වූ කලී අවුරුදු කෑම මේසයට නැතිවම බැරි කෑම විශේෂයකි. කැවුම් පිසීම ගජරාමෙට කෙරෙන්නේද සිංහල අවුරුදු කාලයටය. මේ කාලයේ දි කෝදුරුවෝද රෑං පිටින් නිවෙස්වලට ඇදී එති. කෝඳුරුවන් කැවුම්වලට ඇදී එම වැළැක්වීම සඳහා සිංහල ගැමි ලියන් කෝඳුරුවන් සඳහා වෙනම කෝඳුරු කැවුමක් නිවසේ එල්ලා තබයි. කැවුම් ඉවීම සඳහා තෙල් වළං ලිපේ තියා මුලින්ම සාදනු ලබන කැවුම කෝඳුරු කැවුම ලෙස නම් පටබැඳ තිබේ. අන්තිමට සාදනු ලබන කැවුම හැඳින්වෙන්නේ දිය කැවුම යනුවෙනි. සැබවින්ම සිංහල කැවිලි වර්ගවලට ඇත්තේද ඉතා දිගු ඉතිහාසයකි. කැවිලි වර්ග වැඩිවශයෙන්ම දක්නට ලැබී ඇත්තේ නුවර යුගයේදීය. ද්‍රවිඩ ආශ්‍රය මෙන්ම පෘතුගීසි, ලන්දේසි සම්බන්ධතා මෙයට හේතුවන්නට ඇත. මුල් යුගයේදී ඉන්දියාවෙන් මෙරටට පුරුදු වූ කැවිලි වර්ග පොලොන්නරු යුගයේද තිබෙන්නට ඇති බවට විශ්වාස කෙරේ.

නුවර යුගයේ කැවිලි වර්ග අන් සෑම වකවානුවකටත් වඩා වැඩි වුවද ඒවා එකවර රට පුරා පැතිර ගියේ නැත. ඉංග්‍රීසීන්ගේ පැමිණීමත් සමග අලුත් ආහාර වර්ග සිංහලයන් අතර ප්‍රචලිත වීම මෙයට හේතුවන්නට ඇත. කෙසේ වුවද සිංහලයන්ගේ කැවිලිවලින් ඉතාම මිහිරි ආහාරය කැවුම් යැයි රොබට් නොක්ස් සඳහන් කරයි. සිංහලයන්ගේ රස කැවිලි පිළිබඳ රොබට් නොක්ස් විසින් තම ලංකාගමනය පිළිබඳ එදා හෙළදිව ග්‍රන්ථයේ මෙසේ සඳහන් කොට ඇත්තේය.

නම කීවත් කන්න හිතෙන කැවුම් රැසකි දිව පිනවන

ඔවුන්ගේ රස කැවිලි විවිධය. ඒ රස කැවිලි අතර ප්‍රධානත්වයක් ගන්නා කැවුම් සහල් පිටියෙන් හා පැණියෙන් සාදා ගනු ලැබේ. සහල්පිටි අනා ගුලි ගසා කොළපතක තබා ඇඟිල්ලෙන් පැතලිකොට පැහෙන තෙල් ඇතිලියේ බහා පදමට කරවූ පසු තෙලෙන් එළියට ගනිති. ඕලන්දකාරයන් ලංකාවට පළමුකොට පැමිණි අවධියේ ඔවුන්ට රාජකීය සංග්‍රහයක් කරනු කැමති වූ කන්දේ රජු ඔවුන්ට කැවුම් පිස යවන ලෙස රාජ පුරුෂයන් හට නියම කළේය. එම කැවුම් කා පුදුමයට පත්වූ ලන්දේසීහු එපමණ ප්‍රණීත ආහාරයක් මිනිස් අතකින් නම් සෑදිය නොහැකි යැයි සිතා මේවා ගස්වලින් කඩාගන්නා දෙයක්ද? යි ඇසුවේලු.

නම කීවත් කන්න හිතෙන කැවුම් රැසකි දිව පිනවන

අපේ සිංහල කැවිලි අතර තිබූ අග්ගලා ගැනද රොබට් නොක්ස් සඳහන් කරයි. අග්ගලා නමින් තවත් අලූමුසුවක් වෙයි. බැදි හාල්පිටි, පැණියෙන් අනා ගම්මිරිස්, කරදමුංගු හා කුරුඳු පොතු මඳ වශයෙන් මුසුකොට මෙම ගුලි සාදා ගනු ලැබේ. මේ ගුලි ගුලි කිරීමෙන් පසු තද වෙති. අග්ගලා දීර්ඝ කාලයක් තිස්සේ වෙනස් නොවී ප්‍රයෝජනයට ගත හැකි ආහාරයකි.

නම කීවත් කන්න හිතෙන කැවුම් රැසකි දිව පිනවන

මෙම කැවිලි වර්ගය දඹදිව බෙහෙවින් පැතිරී තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. එදා ජනී ජනයා ගමන් බිමන් ගියේ පා ගමනිනි. දින ගණනාවක් පා ගමනින් යා යුතු නිසා අතරමගදී ආහාර සොයා ගැනීම ද අපහසුය. මේ නිසා අග්ගලා සාදාගෙන යෑමේ පුරුද්දක් ඇතිවිය. අග්ගලා දුප්පත් පොහොසත් කොයි කවුරුත් ආහාරයට ගත් කැවිලි වර්ගයකි. අග්ගලාව සිංහල ගැමියාට බෙහෙවින් පිහිට වන්නේ වන්දනා ආදි ගමන් බිමන් යෑමේ දීය.

ගනේ ගිල්ල අලියට පිලිමේ අග්ගලාවක්ලු යනුවෙන් කියමනක්ද ජනවහරේ අසන්නට ලැබේ. ඉන් කියවෙන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙකු ගිලපු අලියෙකුට පිළිමයක් ගිලිම එතරම් අපහසු කටයුත්තක් නොවන බවය.

එදා තිබූ කැවිලි වර්ග අතුරින් රොබට් නොක්ස්ගේ සිත්ගත් තවත් කැවිලි වර්ගයකි. යක්පැට්ය. අද නම් මේ කෑම වර්ගය ඉතා දුර්ලභය. මෙය නුවර යුගයේ ඉතා ජනප්‍රියව පැවතියේය.

යක්පැට් නම් තවත් අහරක් වෙයි. හාල්පිටි පොල් හා හකුරුවලින් සාදනු ලබන මෙය රස අහරකි. හාල්පිටි පැණි මුසුකොට අනා ගුලිකොට කොළයක ලා වණ්ඩුවේ තම්බා ගනියි. ඉතා මොළොක් වූ මෙය බුදිනවිට හකුරු සමග සුදු පාන් කන බවක් හැඟෙන්නේය. “යක්පැට් ගැන රොබට් නොක්ස් එසේ සඳහන් කොට තිබිණි. ගණ දෙවියන්ගෙන් නුවණ ඉල්ලා යදින කුඩා දරුවා පවා දෙවියන්ගේ සිත් ගන්නට සැරසෙන්නේ අතිරස අග්ගලා යක්පැට් පුදමී යනුවෙන් සඳහන් කිරීමෙනි. ගණදෙවි හෑල්ලේද යක්පැටි ගැන සඳහන් වේ. ගණ දෙවියන්ට පිදූ කැවිලි හා පලතුරු වට්ටෝරු කවියෙන් මෙසේ දක්වා ඇත.

අග්ගලා කොමලී නා
තල කැරලි විළ ඳී නා
මල් කැවුම් රොටි යෙ නා
වෙල්ල වැසිමුත් ත නා
පුලුබී බෝජන තනා
ලාලු යක් පැට් යෙනා
කිරි උණ්ඩ පු තනා
අක්සුණු ද ඉසි මිනා

එදා දෙවියන්ට පිදූ කැවිලිවර්ග සියල්ලම මෙහි දක්නට ඇත. අග්ගල තල කැරලි, විළඳ මල්කැවුම්, රොටි, වෙල්ල වැහුම්, පුලුබි, බෝජන ලාලු යක්පැට් කිරි උණ්ඩ ඒ කැවිලි වර්ගයන්ය. කැවිලිවර්ග අතුරින් අතිරසද ඉතා මිහිරි කෑමක් බව සිංහලයන් අතර ඉතා ප්‍රසිද්ධය. අතිරස තිත්ත රසයි පැමිණි දුක් පැණි රසයි යනුවෙන් කියා ඇත්තේද ඒ නිසාය. අලුත් අවුරුද්ද ලැබීමට පෙර සෑම ගෘහණියක්ම වාගේ කැවුම් අතිරස, ආදී කැවිලිවර්ග කලින්ම සකස් කොට තබති.

නා නා මාදිලියේ කැවිලිවර්ග අපේ ගැමි කාන්තාවන් විසින් සාදයි. කැවුම් සෑදීමට යොදාගන්නා ද්‍රව්‍ය අනුව කැවුම්වලට විවිධ වූ නම් ලැබී තිබේ. නාරං කැවුම්, සීනි කැවුම්, පැණි කැවුම්, මුං කැවුම් ආදී කැවුම් වර්ග රාශියකි. වලස්මුල්ල ප්‍රදේශයටම ආවේණික කැවුම් වර්ගයක්ද ඇත්තේය. ඒවා හඳුන්වන්නේ මුකුදු යනුවෙනි. නාරං ගෙඩියක් තරමට ගුලියක් තනා ඒ තුළට පැණි පොල් කැවීමෙන් සාදන නිසා නාරං කැවුම් ලෙස නම්පටබැඳ ඇත්තේය. එමෙන්ම අතේ නොවඩා හැන්දෙන්ම තෙලට දමා සාදාගනු ලබන කැවුම් හඳුන්වන්නේ හැඳි කැවුම් කියාය. උඩරට පළාතේ අච්චු කැවුම් නමින් කැවිලි වර්ගයක් හැඳින්වෙන අතර ඒවා මුරුක්කු යනුවෙන්ද හැඳින්වේ. කොණ්ඩයක් මෙන් උඩට නෙරාගිය කොටසින් යුතු කැවුම කොණ්ඩ කැවුම්ය. කොණ්ඩයක් නැති කැවුම් අතිරස කැවුම් ලෙස නම් පටබැඳ ඇත්තේය. මුංපිටි යොදා සාදනු ලබන කැවුම් මුංකැවුම්ය. මුං අතිරහ, මුං අළුවා, මුංගුලි, මුංකැරලි, ආදි නම්වලින් ද මෙම කැවිලි වර්ග හැඳින්වේ. මාතර පළාතේ සව්බොරවා නමින් හැඳින්වෙන කැවිලි වර්ගයක් ඇති අතර එම කැවිලි වර්ගය රත්නපුර පළාතේ හඳුන්වනු ලබන්නේ සව්බොර නමිනි.

නම කීවත් කන්න හිතෙන කැවුම් රැසකි දිව පිනවන

අවුරුද්දට ඉතා දුප්පත් ගෙදරක වුවද කැවුම් කිරිබත් පිළියෙල කරන අතර අලුත් ඇඳුම් පැළඳුම් ගෙන ඒමට අමතක නොකරති. එමෙන්ම ගෙවල්වලට කැවිලි පෙවිලි ගෙන යෑම ද සිරිතකි. මේ නිසා එකිනෙකා අතර හොඳ හිත සමගිය ද ඇතිවේ. නොහොඳ නෝක්කාඩු දිගින් දිගටම ඇති වන්නේ ද නැත.

සැබවින්ම රස කැවිලිවලට හොඳ ඉල්ලුමක් ඇතිවන්නේද සිංහල අවුරුදු කාලයට ය. ගම්බද කෙතරම් අගහිඟකම් ඇති ගැමි නිවසක වුවද ගැමිලිය කැවුම් ඉවීමට අමතක නොකරති.

නාගරික ප්‍රදේශවල නම් කැවුම් ගෙඩිය පවා කඩයෙන් ගෙන ඒමට අපේ ඇත්තෝ පුරුදුව සිටිති. අපේ ගැමි ලඳුන් විසින් සාදන කැවිලි පෙවිලි ඉතා රසවත්ය. එදා රොබට් නොක්ස් පවා අපේ රටේ ලඳුන් විසින් සාදනු ලැබූ රස කැවිලි අනුභව කොට රස කැවිලිවලට වශී වී තිබේ. කැවුම් නිසා අපේ සිංහල බස් වහරද පෝෂණය වී තිබේ. සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා මේ එවැනි ජනවහරකි. සිංහලයා කොයිදේට අදක්ෂ වුවත් කැවුම් කෑමට ශූරයකු බව මේ ජනවහරින් පැහැදිලි වන්නේය. එකල ගම්වල කොල්ලො කුරුට්ටෝ පවා අප්පුඩි ගසමින් අප්පුඩි පුඩි පුවත්තා කැවුම් දෙකක් දියත්තා යනුවෙන් කැවුම් ඉල්ලූහ. ආස්මි හා කොකිස් අවුරුදු කෑම මේසයට නැතිවම බැරි කැවිලි වර්ගයකි. එකල ගම්බද කොල්ලෝ කුරුට්ටන් ගමේ සිටි ඇලිස් අක්කාට ඇලිස් බැලිස් පරණ කොකිස් යනුවෙන් කෑගසනු ලැබුවේ විහිළු කරමිනි.

අලුත් අවුරුදු කාලයට පමණක් නොව සිංහලයන්ගේ සෑම උත්සවයකදීම පවා කැවිලි පෙවිලිවලට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. කෙසේ වුවද අලුත් අවුරුදු කාලයට සිංහලයාට නැතුවම බැරි කැවුම් ගෙඩිය අද වෙළෙඳ භාණ්ඩයක් බවට පත්ව ඇත්තේය. ඒ විතරක් නොව සීනි, පොල්තෙල් ආදි අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම නිසා මෙවර සිංහල අලුත් අවුරුද්දට කැවුම් ඉවීම ද බරපතළ ගැටලුවක් වි ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment