‘නයිට් ලයිෆ්’වලට හූ කියන රාත්‍රියට බය මිනිස්සු

595

නෙළුම් කුලුන ප්‍රදේශය ආශ්‍රිතව රාත්‍රී ජීවිත (Night Life) කලාපයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

ඇය මෙම ‘නයිට් ලයිෆ්’ සංකල්පය රටට පවසන විට ඇතැම් දේශපාලනඥයන් ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙය ගණිකා වෘත්තිය ප්‍රවර්ධනය කිරීමක් ලෙසය.

මෙවැනි ප්‍රකාශ තුළින් අප බොහෝදෙනා ලෝකය දැක ඇත්තේ කොතරම් කුඩාවට දැයි කියා සිතේ.

බටහිර රටවල් හඳට රොකට් යවන විට සහ හඳට මිනිසුන් යවන විට අප රටේ බොහෝ දෙනා සිටියේ හඳේ හාවා ගැන සාහිත්‍ය කථා පවසමිනි.

නමුත් 1969 වසරේ ජූලි 20 වැනිදා ඇමෙරිකාව නීල් ආම්ස්ට්‍රෝන්ලාව ඇපලෝ 11 යානයෙන් හඳට යවන විට මෙරට නිර්මාණශීලී කාටූන් ශිල්පියෙක්, හඳෙහි රුහුණේ මී කිරි විකුණන දකුණේ වෙළෙඳ සලක් පිහිටා ඇති බව සිතුවමට නැඟීය. ඉන් ඔහු ප්‍රකාශ කළේ අප රටේ දකුණු පළාතේ ජනතාවගේ ව්‍යාපාරික දක්‍ෂතාවයයි. මිනිසුන් සිටින්නේ කොහිද, දකුණේ ව්‍යාපාරිකයෝ ද එතැන තම ව්‍යාපාර අරඹන බව ඉන් අර්ථ ගැන්වීය. එනිසා නීල් ආම්ස්ට්‍රෝන්ලා හඳට යෑමට පෙර දකුණේ ව්‍යාපාරිකයෝ හඳට ගොස් ව්‍යාපාර අරඹන්නට තරම් දක්‍ෂයෝ වී සිටිති.

නමුත් එය කාටූනයක සිතුවමක් මිස සැබෑවක් නොවේ.

‘නයිට් ලයිෆ්’වලට හූ කියන රාත්‍රියට බය මිනිස්සු

අප වැඩි පිරිසක් පුරුදුව සිටින්නේ උදෑසන අවදිව රැකියාවට පිටත්ව ගොස් අඳුර වැටෙන්නට කලියෙන් නිවසට ඒමටය. රූ වෙන්න කලින් ගෙදර එන්න කියා වැඩිහිටියෝ දරුවන්ට පවසන්නේ එබැවිනි.

එනිසා කුඩා කල සිට අපි රාත්‍රියට බියක් දක්වන්නෙමු. රෑ බෝවීමට පෙර ගෙදර නාවොත් එය වරදක් ලෙස සිතති. මෙච්චර රෑ වෙනකම් මොනවද කළේ යැයි දරුවන් රෑ බෝවී ගෙදර එන විට දෙමාපිය වැඩිහිටියෝ විමසන්නේ එබැවිනි.

හොඳ දරුවන් යනු රෑ බෝවීමට පෙර ගෙදරට විත් ඉක්මනින් නින්දට යන්නට හුරු වූ අය ලෙස ඇතැම් වැඩිහිටියෝ සිතති. එහි වරදක් නැත. මන්දයත් එය ඔවුන් තම ජීවිතයේදී ලත් අත්දැකීම්ය.

දියුණු වෙමින් පැවැති රටක්ව සිට යළි දුප්පත් රටක් ලෙස පත්වූ අප තව තවත් අගාධයට දමන්නට හැකි හොඳම ක්‍රමය වන්නේ රාත්‍රියට බියවීමය.

වෛද්‍ය විද්‍යාත්මක මතයට අනුව දිනකට පැය 06 ක් පමණ නින්ද අවශ්‍ය වන්නේ වයස අවුරුදු 12 පමණ දක්වා වියේ පසුවන හැදෙන වැඩෙන දරුවන් සහ අසනීප තත්ත්වයක පසුවන රෝගී පුද්ගලයන්ටය.

එසේම නින්ද යනු රාත්‍රියට යෙදිය යුතු දෙයක් නොව ඕනෑම මොහොතක තමාට නින්ද අවශ්‍ය නම් එය ලබාගත හැකිය. නින්ද යනු සිරුරට විවේකක් ලබාගැනීමය. අප රාත්‍රියට නින්දට යෑමට හුරු වූයේ අතීතයේදී රාත්‍රී අඳුර දුරු කරන්නට හැකි විදුලි පහන් නොතිබීම, ප්‍රවාහන දුෂ්කරතා පැවැතීම සහ වෙනත් පහසුකම් නොතිබීම නිසාය.

එනිසා බොහෝවිට රාත්‍රියට පැවැත්වූයේ බලි තොවිල්, පිරිත් දේශනා ආදිය පමණි. නාට්‍යයක් කවි මඬුවක් පැවැත්වුවත් එය රාත්‍රී 10.00 පමණ වන විට අවසන් වේ. ගොම්මන් කළුවරට හොල්මන් එනවා යැයි සාහිත්‍යකරුවෝ පැවසූ නිසා ගොම්මනට කලින් ගෙට ගොඩවන්නට කාන්තාවෝ ද වැඩි උනන්දුවක් දැක්වූහ.

රාත්‍රියේ වීථි සරන්නේ නම් ඒ ගණිකාවෝය, නැතිනම් නොසන්ඩාලයෝය, බේබද්දෝය, අනාචාරයේ හැසිරෙන්නෝය යන සංකල්ප නිසා අපි ‘නයිට් ලයිෆ්’ වලට ප්‍රබන්ධ ගොතන්නෙමු.

ජීවිතයේ කිසිම දිනෙක රාත්‍රී සමාජ ශාලාවකට ගොඩනොවූවෝ සමාජ ශාලාවලට එරෙහිව නැගී සිටිති. එහි ඇත්තේ කම්සැප යැයි පවසති. කම්සැප යනු ලිංගික සංතර්පණයට නොවේ. කාමය යනු ආශාව ය. එයට සංගීතය ද නැටුම් ද අයත්ය.

ඉන්දියාව, ප්‍රංශය, චීනය, හොංකොං සහ ජපානය යන රටවල සංචාරය කරන්නට අවස්ථාව ලද මා, දැනට වසර විස්සක පමණ සිට ‘නයිට් ලයිෆ්’ ජීවිතය අත්විඳ සිටිමි.

එම ජීවිතය හරිම සුන්දරය. දවසේ රාජකාරි අවසන්කර නිවසට යන්නට පෙර තරුණ තරුණියෝ සුහද පිළිසඳරට එක්වන්නේ රාත්‍රී ආපන ශාලාවකට ගොස් කෝපි කෝප්පයක් හෝ බියර් වීදුරුවක රස බලමිනි. එනිසා ඔවුන් දවසේ රාජකාරි වේලාවේදී දුරකථනයෙන් පෞද්ගලික තොරතුරු කතාබහ කරන්නේ හෝ පෙම්වතුන් පෙම්වතියන් දුරකථන සල්ලාපයේ යෙදෙමින් ‘මල් කඩන්නේ’ නැත. එනිසා ඔවුනට අනවශ්‍ය ලෙස දුරකථනයේ ‘ඩේටා’ ඉවර වන්නේ ද නැත. රාජකාරි කටයුතු අතපසු වන්නේ ද නැත.

ඇතැම් පවුල්හි සාමාජිකයෝ සියලුදෙනා හමුවන්නේ මෙම ‘නයිට් ලයිෆ්’ කාලයේදීය. රාත්‍රී ආහාර අනුභවය, සාප්පු යෑම, නිවසට අවශ්‍ය ආහාර පාන මිලදී ගැනීමට ද මෙහි කඩ සාප්පු විවෘතව ඇත.

අප රටේ කොළඹ නගරයේ පවා තවම බෙහෝ කඩ සාප්පු රාත්‍රී 7.00 පමණ වනවිට වසා දමන්නට හුරුව ඇත. ඊට හේතු වී ඇත්තේ අප තවම සිටින්නේ අඳුරට බියෙනි. රාත්‍රී 8.00 වනවිට කොළඹ අවට ප්‍රදේශයේ පොදු ගමනාගමන පහසුකම් ද නතරවේ. ඉන්පසු යෑමට සිදුවන්නේ කුලී රථයකිනි.

යකඩ බඩු, ගොඩනැඟිලි උපකරණ අලෙවි කරන ‘හාඩ්වෙයාර්’ සල් සවස 5.00 වන විට වසා දමන්නට තරම් එම ව්‍යාපාරිකයෝ හුරුව සිටිති. ඒ ගැන මා එවැනි අලෙවිසලක් හිමි ව්‍යාපාරික මහතකුගෙන් විමසූ විට පැවසුවේ රෑට කවුද යකඩ බඩු මිලදී ගන්නේ. බිස්නස් නැහැ කියාය. සීමිත පැය කිහිපයක් ව්‍යාපාර කටයුතු කරන ඔහු ආර්ථික ප්‍රශ්න ගැන පවසමින් දැඩි විවේචන කරයි.

අප රටේ රාත්‍රියට හදිසියකදී රථ වාහනයක් සඳහා ඉන්ධන ටිකක් ලබාගැනීමට හැකි ඉන්ධන පිරවුම්හලක් සොයාගැනීමට අපහසුය. කොළඹ නගරයේ ද පැය 24 පුරා විවෘත ඉන්ධන පිරවුම්හල් ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි. රටක් දියුණු කරන්න රටේ ජනතාවගෙන් බහුතරයක් දවසේ වැඩි කාලයක් නින්දට හුරු කිරීමෙන් කළ නොහැකිය. කළ හැක්කේ වැඩි කාලයක් අවදිව සිටීමෙනි.

වර්තමානයේ අප බොහෝදෙනා සිටින්නේ දැඩි කාර්යබහුලත්වයකිනි. ඊට හේතු වී ඇත්තේ අප අපගේ වැඩකටයුතු සැලසුම් කර ගන්නේ පෙරවරු 8.00 ත් පස්වරු 5.00 ත් අතර පැය 09 ක් වැනි සීමිත කාලයක් සඳහා බැවිනි. රාත්‍රියට හමුවෙමුදැයි පැවසුවහොත් එය වරදක් ලෙස සිතති. විශේෂයෙන්ම කාන්තාවකට අපි රාත්‍රියට හමුවී කෝපි කෝප්පයක් බොන ගමන් කතා කරමු දැයි පැවසුවහොත් එය නොසන්ඩාලකමක් යැයි සිතති.

ජපානයේදී මට එක් මහාචාර්යවරයෙක් හමුවීමට අවස්ථාව හිමිවිය. ඔහුට වයස අවුරුදු 78 කි. මට ඔහු හමුවීමට හැකිවූයේ ටෝකියෝ නුවර කුඩා ආපනශාලාවකදීය. ඒ රාත්‍රී 10.00 ට ය. ඔහු මට පැවසුවේ ඔබ කාර්යබහුල වන්නේ දවසේ පැය 24 කළමනාකරණය කර ගැනීමට නොදන්නා නිසා බවය.

එනිසා අප සංචාරකයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද ‘නයිට් ලයිෆ්’ දිවිය හුරුකළ යුතුය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයිය යුතුය. එය බියර්, මත්පැන්, ගණිකාවන්ගෙන් නොව කඩ සාප්පු විවෘත කර, බැංකු විවෘත කර, පොදු ප්‍රවාහන සේවාවල් ද සමගිනි. එවිට අඳුරට බිය නොවී අඳුර නසන්නට හැකිවනු ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment