නයි නැටෙව්වාට, සාස්තර කිව්වාට අපිත් සංස්කෘතියක් තියෙන මිනිස්සු

1135

නයි නටවන එක, රිලවු නටවන එක, සාත්තර කියන එක අපිට පරම්පරාවෙන් උරුම වෙච්ච දේවල්. ලොකු නෝනලා මහත්තුරු අපේ රැහේ මිනිස්සු දැක්කාම පිළිකුල් කරනවා. මේ වගේ රැුකියා කරන එක අපිට කවදාවත් ලජ්ජාවක් වුණේ නෑ. ඒත් දැන් අපේ දරුවෝ කැමැත්තක් නෑ අපි මේ වගේ රැුකියා කරනවට. සමාජයෙන් අපිට පිළිකුල් කරනකොට අපේ දරුවන්ට ලජ්ජයි. ඒ හින්දා අපිට දැන් නයි නටවන්න රිලව් නටවන්න දරුවෝ ඉඩ දෙන්නේ නැහැ. සමහර වෙලාවට අපේ පරම්පරාවෙන් එන රැුකියා කරන්න වෙලා තියෙන්නෙ දරුවන්ටත් හොරෙන්. ආදිවාසී ජනතාවට මේ රටේ ලොකු ගෞරවයක් තියෙනවා. අපිත් ආදිවාසීන්ට ගෞරව කරනවා. ඒත් තෙලිඟු ජනතාවට මේ රටේ මිනිස්සු තවමත්  පිළිගැනීමක් දීලා නෑ. අනෙක් ජාතීන්ට සමාන වටිනාකමක් පිළිගැනීමක් අපි ඉල්ලන්නේ නෑ. ඒ වුණත් මේ රටේම ජීවත් වෙන මිනිස්සු කොටසක් විදිහට ඇයි සමහර මිනිස්සුන්ට අපිව පිළිගන්න බැරි. මෙහෙම  ගියොත් පරම්පරාවෙන් පරම්පරාවට අරන් ආව අපේ සංස්කෘතිය නැතිවෙලා විනාශ වෙලාම යයි. ඒ දේවල් අපි කාටද කියන්නේ? මේවට අපිට පිහිට වෙන්නේ කවුද?

නයි නැටෙව්වාට, සාස්තර කිව්වාට අපිත් සංස්කෘතියක් තියෙන මිනිස්සු
රැහේ ආරච්චිල(පොඩි මහත්තයා)

මේ තඹුත්තේගම කුඩාගම තෙලිඟු ගම්මානයේ මිනිසුන්ගේ සිත් තුළ කැකෑරෙන වේදනාවේ විලාපයයි. කොරෝනා නිසා අන්ත අසරණ වී සිටිද්දීම තම අනන්‍යතාවයන් හා සංස්කෘතිකාංග එකින් එක දිනෙන් දින විනාශ වීම ඉවසා දරාගත නොහැකි බව කුඩාගම තෙලිඟු වැසියෝ කියති.

 අපිට කාගේ පිහිටක්දැයි හඬගා අසද්දී මම ද නිරුත්තර වීමි. නමුත් ලංකාව තුළ ජීවත් වන ජන කොට්ඨාසයක් ලෙස තෙළිඟු ජනතාවට ද ඔවුන්ට අනන්‍ය රැකියාවල නියැලෙමින් ඔවුන්ගේ චාරිත‍්‍ර වාරිත‍්‍ර අනුව කටයුතු කරමින් දිවි ගෙවීමට අයිතියක් ඇති බව පිළිගත යුතු කාරණාවකි. මේ රටේ සංස්කෘතික අමාත්‍යාංශ සහ අනෙකුත් බලධාරීන් ගේ උදව් උපකාර තමන්ට අත්‍යවශ්‍ය බව තෙලිඟු ජනතාව පවසයි.

 තෙලිඟු ජනතාව ඉන්දියාවේ විවිධ ප‍්‍රදේශවල සිට මෙරටට සංක‍්‍රමණය වූ ජන කොට්ඨාසයක් බවට කියැවෙයි. ඇතැමුන් පවසන්නේ ඔවුන් කේරල ප‍්‍රාන්තයෙන් ආ බවය. තවත් පිරිසක් ආන්ද්‍රා ප‍්‍රදේශයේ සිට පැමිණි බව කියයි. කෙසේ වෙතත් වසර ගණනාවක් තිස්සේ ඔවුන් ලංකාව වාසභූමිය කර ගනිමින් ජීවත් වෙයි. කුඹුක්වැව ප‍්‍රදේශයේ මුල්ම තෙලිඟු ජනාවාස පිහිටුවා ඇති අතර පසු කලෙක දිවයිනේ විවිධ ප‍්‍රදේශවලට මෙම ජනතාව සංක‍්‍රමණය වෙමින් ජනාවාස පිහිටුවාගෙන ඇත.

 මේ වන විට තෙලිඟු පවුල් 400 කට ආසන්න ප‍්‍රමාණයක් තඹුත්තේගම කුඩාගම ගම්මානයේ පදිංචිව සිටින බව එම ජනතාවගේ නායකයා ලෙස සැලකෙන ආරච්චිල හෙවත් පොඩිමහත්තයා පවසයි.

 ”ලංකාවේ තෙලිඟු ජනතාව ජීවත්වන ගම්මාන හතක් විතර තමයි තියෙන්නේ. සමහර පැතිවල පවුල් දෙක තුන ජීවත් වෙන අවස්ථාත් තියෙනවා. තඹුත්තේගම කුඩාගම ගම්මානය තමයි විශාලම තෙලිඟු ගම්මානය හැටියට දැනට සලකන්නේ. පවුල් 400ක් ගමේ ජීවත් වෙනවා.”

 කුඩාගමට අමතරව පාඩිපංචියාව, වව්නියාව ඉරට්ටුකලම්, අක්කරෙයිපත්තුව අලිගම්පෙ, මිහින්තලේ, ගල්ගමුව අන්දරබැද්ද වැනි ප‍්‍රදේශවල ද තෙලිඟු ජනාවාස කිහිපයක් පිහිටා ඇත.

 කොවිඞ් වසංගත ආරම්භයත් සමඟම ගමින් ගමට ගෙයින් ගෙට ගොස් හුරුපුරුදු රැුකියාවල නිරත වීමේ අවස්ථාව මෙම ජනතාවට අහිමි විය. රජය විසින් වරින් වර ලබා දුන් ආධාර ද ඇතැම් ප‍්‍රදේශවල ජනතාවට නොලැබුණු බව පොඩිමහත්තයා පවසයි.

 ”රජයෙන් දුන්න රුපියල් 5000 එක පාරක් කුඩාගම ජනතාවට හම්බවුණා. ඊට අමතරව මේ ගමේ සමෘද්ධිය තියෙන්නේ පනස් දෙනෙක්ට විතරයි. ඒ හැර බඩු මල්ලක් වත් කිසිම දෙයක් වත් රජයෙන් අපට ලැබුණේ නැහැ. සමහර වෙලාවට එක එක මහත්තුරු නෝනලා ඇවිත් අපිට උදව් කරලා යනවා. කුඩාගම වගේම අනෙක් තෙලිඟු ගම්මානවල ජනතාව ගෙවන්නේ දුෂ්කර ජීවිතයක්.”

නයි නැටෙව්වාට, සාස්තර කිව්වාට අපිත් සංස්කෘතියක් තියෙන මිනිස්සු
සුන්දරවතී

නයි නටවලා, පිඹුරන් පෙන්නලා, රිලවෙක් නටවලා මුදල් හොයා ගත්තට සතුන් සමඟ ගෙවන ජීවිතය දකින තරම් සුන්දර එකක් නොවන බව මයිකල් මහතා පවසයි. ඔහු වසර ගණනාවක් තිස්සේ රැුකියාව ලෙස කර ඇත්තේ නයි හා රිලවුන් නැටවීම ය. කැලේ ඇවිද නාගයකු හෝ පිඹුරෙකු අල්ලා ගැනීමත් එම සතුන්ගේ විස දල ඉවත් කර හීලෑ කිරීමත් අසීරු කටයුත්තක් බව මයිකල් අත්දැකීමෙන් දනී.

 ”සමහර වෙලාවට නයින් පොලොංගු දෂ්ට කරලා අපේ රැුහේ මිනිස්සු මැරිලාත් තියෙනවා. මේ නයි නටවන එක ලස්සනයි කියලා පෙනුනට විසකුරු සර්පයෙක් හීලෑ කරන එක එතරම් පහසු දෙයක් නෙමෙයි. රිලවෙක් වුණත් හීලෑ කරන්න අමාරුයි. සත්තුන්ට කේන්ති ගියාම අපිව හපලා සූරලා දාන අවස්ථාත් තියෙනවා.”

 කොරෝනා වසංගතය ආරම්භ වීමත් සමඟ බොහෝ සතුන් කැලෑවට මුදාහැරීමට සිදු වූ බව පොඩිමහත්තයා පවසයි. නයින්, පිඹුරන් වැනි සතුන්ට බිත්තර, මස්, මාළු වැනි දේ ආහාර සඳහා ලබාදිය යුතු බවත්, කොරෝනා වසංගතය හමුවේ එලෙස සතුන් නඩත්තු කිරීමට අපහසු වීම නිසා සතුන් මුදා හැරීමට කටයුතු කර ඇත.

 * නයි නටවනවාට පොලිසියත් විරුද්ධයි

 අපි පරිසරයත් එක්ක, සත්තු එක්ක ජීවිතය ගත කරන මිනිස්සු. පරම්පරා ගාණක ඉඳල ම නයි නටවලා තියෙනවා. රිලව් නටවලා තියෙනවා. ඒත් සමහර වෙලාවට නයි, පිඹුරන් අරගෙන යද්දී පොලිසියේ මහත්තුරු අපිව අල්ලලා කුඩුවට දානවා. වනජීවී එකෙන් අපිට පිඹුරන් තියාගන්න එක තහනම් කළා. සමහර දවස්වල දඩ ගහලා තියෙනවා. නයෙක් පිඹුරෙක් අරන් ගිහින් මිනිස්සුන්ට පෙන්නලා කීයක් හරි හොයා ගත්තට අපි සතුන්ට කරදර කරන්නෙ නෑ. අපිට කීයක් හරි හොයල දෙන සත්තුන්ට අපි හොඳට කන්න දෙනවා. සලකනවා. සමහරු කියනවා සත්තු මේ වගේ හිරකරගෙන ඉන්න එක පාපයක් කියලා. මේවා අපිට පරම්පරාවෙන් ලැබුණු රැුකියා නිසා අපි ඒවා කරලා තමයි කීයක් හරි හොයාගන්නේ.

නයි නැටෙව්වාට, සාස්තර කිව්වාට අපිත් සංස්කෘතියක් තියෙන මිනිස්සු
මයිකල්

* අත බලලා සාස්තර කියපු

 අපිට අත දෙන්න කවුරුත් නෑ අත බලා සාස්තර කීම තෙලිඟු කාන්තාවන්ගේ  රැකියාවයි. විචිත‍්‍රවත් ලෙස හැඳ පැළඳ ගනිමින් මොණර පිහාටු මිටියක් අතින් ගෙන උරෙහි රෙදි මල්ලක් එල්ලා ගත් කාන්තාවන් කොතෙකුත් දැක ඇතුවාට සැකයක් නැත. පිරිමි පුද්ගලයින් සතුන් නටවා මුදල් උපයද්දී කාන්තාවන් ද ගීත ගයමින්, සාස්තර කියමින් මුදල් ඉපයීම සිදු කරයි. අනුරාධපුර, කැලණිය වැනි පූජා භූමි තුළත් සෙනඟ ගැවසෙන ස්ථානවලත් මෙවැනි කාන්තාවන් සුලබව දැකිය හැකිය.

 ”වෙසක්, පොසොන් කාලෙට තමයි අපිට සාත්තර කියලා කීයක් හරි වැඩිපුර හොයාගන්න පුළුවන් වෙන්නේ. කොරෝනා හින්දා මේ අවුරුදු දෙකේම අපිට ඒ අවස්ථාව නැති වෙලා ගියා. ඒ වගේම තමයි වන්දනාවේ එන නෝනලා මහත්තුරු අපි දැක්කම අහක බලාගන්නවා. අපි ළඟට ගියොත් එළවලා දානවා. පොලිසියේ මහත්තුරුත් අපිට පූජා භූමිවලට යන්න දෙන්නෙ නෑ. අපිව එලවනවා. අපි කීයක් හරි හොයාගන්න තමයි මේ විදිහට දුක් විඳින්නේ. අපේ දරුවෝ කාලා ඇඳලා ඉන්නේ මේ රැුකියාවලට පිං සිද්ධ වෙන්න.”

 පරම්පරාවෙන් තමාට උරුම වූ  රැකියාවෙන් බොහෝ දෙනෙකුගේ දරු පවුල් නඩත්තු කරන බව නොරහසකි. පොතපතින් පමණක් නොව වැඩිහිටියන්ගෙන් ලද දැනුමෙන් සාස්තර කීමට ඉගෙන ගත් බව සුන්දරවතී පැවසුවාය. ඇතැම් මිනිසුන් සාස්තර අසා ඒවා බොරු යැයි පවසමින් මුදල් ද නොදී මඟ හැර ගිය අවස්ථා ද ඇති බව ඇය සිහිපත් කළාය.

 x මංගරඅම්මා දේවතාවට වගේම අපි බුදුන්ටත්, දෙවියන්ටත් ගරු කරනවා

 තෙලිඟු ජනතාව පුරාතනයේ පටන් ගහ කොළ, ජලය දේවත්වයෙන් ලා සලකා තිබේ. ඔවුන්ගේ රැුහේ දේවතාවා මංගරඅම්මා දේවතාවා යි. නමුත් අද වන විට සාම්ප‍්‍රදායික දේව ඇදහිලිවලින් මිදී පන්සල් සහ කතෝලික පල්ලිවල ආගමික කටයුතු සඳහා ද තෙලිඟු ජනතාව සහභාගි වන බව ආරච්චිල ලෙස හඳුන්වන පොඩිමහත්තයා පැවසීය.

 ”තෙලිඟු කියන්නෙ අපි කතා කරන භාෂාව. හැබැයි අපිට සිංහලත් පුළුවන්. සමහර වෙලාවට දෙමළ පුළුවන්. අපි පන්සලූත් යනවා. පල්ලියටත් යනවා. බුදුන්, දෙවියන් කියලා අපිට වෙනසක් නෑ. ගමේ පන්සලේ හාමුදුරුවෝ වගේම පල්ලියේ පියතුමාත් අපිට උදව් කරනවා.”

 * අපි විතරක් වෙනස් වෙන්නෙ කොහොමද?

 ”අපිට හැඳුනුම්පත් තියනවා. ඒ වගේම ඡුන්ද බලය තියෙනවා. සමෘද්ධිය කොටසකට හරි තියෙනවා. අනිත් මිනිස්සුන්ගෙන් අපි වෙනස් වෙන්නෙ කොහොමද කියලා අපි දන්නේ නෑ. අපිට අනන්‍ය භාෂාවක් තියෙනවා. ඒ වගේම අපේ රැුකියාවලින් සිරිත් විරිත්වලින් අපි අනිත් මිනිස්සුන්ට වඩා වෙනස් වුණත් මේ රටේ ඒ වගේ වෙනස් සංස්කෘති තියෙන වෙනස් භාෂාවන් කතා කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා. අනික ඉස්සර වගේ අපි දැන් කූඩාරම්වල ජීවත් වෙන්නේ නෑ. ටිකෙන් ටික දියුණු වෙද්දි අපි ගෙවල් දොරවල් හදාගෙන අපේ දරුවන්ට හොඳට

 උගන්වන්න ජීවත් වෙන්න උත්සාහ කරනවා. මේ වෙද්දි අපේ දරුවොත් අපේ මේ සාම්ප‍්‍රදායික රැුකියා හින්දා ලැජ්ජාවට පත්වෙනවා කියලා ඒ රැුකියා අපිට කරන්න එපා කියලා කියනවා. දරුවො එහෙම කියන්නෙ සමාජයට බය නිසා. අපි හැමෝම මනුස්සයෝ නේද? ඇයි අපි විතරක් තවමත් සමාජයෙන් පිළිකුල් කරන්නේ?”

 ලංකාව තුළ විවිධ භාෂා කතා කරන විවිධ විවිධ ආගම් අදහන විවිධ සංස්කෘතියට උරුමකම් කියන ජාතීන් ජීවත්වන බව රහසක් නොවේ. එවන් රටක තෙලිඟු ජනතාවට තවමත් අඩු සැලකිලි ලැබෙන්නේ ඇයිදැයි ඔවුන් වගකිව යුත්තන්ගෙන් ප‍්‍රශ්න කරයි.

 * තෙළිඟු දරුවන්ටත් විශ්වවිද්‍යාලය විවෘතයි

 මේ වන විට කුඩාගම ගම්මානයේ තෙලිඟු දරුවන් හය දෙනෙකුම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටියි. ඔවුන් සමග බොහෝ තොරතුරු කතා කළමුත් ඒ කිසිම තොරතුරක් සහ ඔවුන්ගේ අනන්‍යතාව හෙළි නොකරන ලෙසට වරින් වර අපෙන් ඉල්ලා සිටියේ තවමත් මහා සමාජය කෙරෙහි ඇති බිය ඔවුන්ගේ සිත් තුළින් ඉවත් වී නොමැති නිසාය.

 ”අපේ තාත්තලා අම්මලා නයි නටවලා සාත්තර කියලා තමයි අපට ඉගැන්නුවේ. කුඩාගම ඉස්කෝලෙන් 11 වසර දක්වා ඉගෙනගෙන පස්සේ තඹුත්තේගම මහා විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරුවා. අපි සිංහල භාෂාවෙන් තමයි ඉගෙන ගත්තේ. නීත්‍යානුකූල ලියකියවිලිවල පවා සිංහල කියලා සටහන් කරලා තියෙනවා. අපි තෙලිඟු කියලා කිව්වහම අනෙක් ළමයි අපිට හිනා වුණ අවස්ථා ඕන තරම් තියෙනවා. හැබැයි හැමෝම එකවගේ නෑ. සමාජයේ එක කොටසක් විතරයි අපිව ප‍්‍රතික්ෂේප කරන්නේ. ඒ වුණත් අපි තවමත් බයයි ප‍්‍රසිද්ධියේ අපි තෙලිඟු කියලා කියන්න. එහෙම වුණොත් අපිට අපේ ඉගෙන ගන්න වැඩ වගේම අනිත් දේවල් නිදහසේ කරගන්න බැරිවෙයි කියල බයක් තියෙනවා.” කුඩාගමෙන් කොළඹට පැමිණ සරසවි අධ්‍යාපනය ලබන තරුණියක එලෙස පවසයි.

 * අපිට අහිකුණ්ඨිකයන් කියන්න එපා

 ඇතැම් පිරිස් මොවුන් අහිකුණ්ඨිකයන් ලෙස හැඳින්වුව ද එම භාවිතය වැරදි බවත් තමන් තෙලිඟු ජාතිකයන් බවත් කුඩාගම වැසියෝ යළි යළිත් සිහිපත් කරති. කූඩාරම් තනමින් තැන තැනට සංක‍්‍රමණය වීම නිසා මිනිසුන් විවිධ නම් පට බැන්දත් නයි පනික්කියා, කූතාඩි වැනි වචන යොදා ගත්තත් ඒවා කිසිදු හේතුවක් නිසා යොදා ගන්නා නම් නොවන බව ඔවුන් පවසයි.

 මේ වන විට කුඩාගම ගම්මානයේ ජනතාව සාමාන්‍ය ජනතාව මෙන් නිවාස ඉදිකරමින් යාන වාහන මිලදී ගනිමින් ක‍්‍රම ක‍්‍රමයෙන් දියුණු වෙමින් සිටිති. විදුලිය සහ ජලය ලබා දීම නිසා මෙම ගම්මාන ඉදිරියේදී තව තවත් සංවර්ධනය වනු ඇත. නාඉල්ලේ හෙවත් කූඩාරම් පැල්පත් කුඩාගම ගම්මානයේ දැකිය නොහැකි තරම් ය. නමුත් තවමත් ඇතැම් තෙලිඟු ගම්මානවල සාම්ප‍්‍රදායික ලෙසම ජීවත් වන පවුල් ද සිටින බව ආරච්චිල පවසයි.

 ”අපි වෙනස් පැතිවලට ගිහින් තමයි කූඩාරම්  ගහන්නේ ඒ වුණත් දැන් ගොඩක් වෙලාවට පිට පළාත්වල රස්සාවලට ගිහිල්ලා කූඩාරම් ගහන්නෙ නෑ. ඒ දවස් කිහිපය බෝඩිමක් අරන් ගත කරනවා. කොරෝනා හින්දා කොහොමත් පිට පළාත්වල කූඩාරම් ගහන්න අපට අවසර දෙන්නේ නෑ. සාම්ප‍්‍රදායික රැුකියා අපෙන් ඈත් වෙලා.”

 කොරෝනා වසංගතයට පෙර සිටම සාම්ප‍්‍රදායික තෙලිඟු රැුකියා බොහෝමයක් ක‍්‍රම ක‍්‍රමයෙන් නතර වී ඇති අතර මේ වන විට ඒවා යථා තත්ත්වයට පත්කර ගත නොහැකි තරමටම අභියෝගවලට පත්වී ඇතැයි කුඩාගම වැසියෝ පවසති. ගොවිතැන් කිරීම, බස්වලට දුම්රියවලට නැග පොත් පත් විකිණීම, මාළු වෙළෙඳාම මෙන්ම අත් උදව් දීම, ඇඟලූම් කර්මාන්ත තුළ සේවයට යාම, යුද හමුදා පොලිස් සේවයට බැඳීම අද වන විට තෙලිඟු වැසියන් රැුකියා ලෙස තෝරාගෙන තිබේ.

 * මාළු වෙළෙඳාමටත් කැපිලි කෙටිලි

 සංචරණ සීමා ලිහිල් වීමත් සමඟ තඹුත්තේගම කලාඔය මාර්ගය දෙපස ලූල් මාළු තබාගෙන වෙළෙඳාම් කටයුතුවල නිරත වන්නන්ගෙන් බොහෝ දෙනකු මේ තෙලිඟු ජනතාවයි. කෝටු කිහිපයක් එකතු කර සකස් කර ගන්නා බිලී පිත්තක ආධාරයෙන් ලූල් මාළු අල්ලා ප්ලාස්ටික් කලයකට දාගෙනවිත් පාර දෙපස තබා විකිණීම මොවුන්ගේ සාමාන්‍ය සිරිතයි.

 ”අපි අල්ලන්නේ ලූල් මාළු විතරයි. ඒ වගේම දැල් දාලා මුළු වැවේ ම මාළු අල්ලලා නාස්ති කරන්නේ නෑ. මාළු ගන්න මිනිස්සු අපිට හිනා වෙනවා. අපි නයි නටවන කාලෙත් ඒ මිනිස්සු අපිට හිනා වුණා. දැන් වෙන  රැකියාවක් කෙරුවත් අපිට හිනා වෙනවා. මාළු අල්ලන්න ගියාම සමහර ගම්වාසීන් අපිට බනිනවා. මොනා හරි රැකියාවක් කරන්නේ නැතුව අපි කොහොමද ජීවත් වෙන්නේ. අඩුම තරමේ ගහකොළ සතා සිවුපාවාගෙන් වත් ජීවිතය ගැටගහගන්න අපිට අයිතියක් නැද්ද.” ලෙස ආර්. පියරත්න මහතා ප‍්‍රශ්න කරයි. කුඩාගම ගම්මානයේ හාරසියයකට ආසන්න ප‍්‍රමාණයක් ජීවත් වුවද කුඹුරු හිමි වී ඇත්තේ 28 දෙනකුට පමණි. කුඹුරු වගා කිරීමට ජලය ලබා ගැනීමේදී ද බොහෝ ගැටලූවලට මුහුණ පාන බව එම ජනතාව පවසයි.

 * දැන් අපේ රැුහෙන් පිටත් විවාහ සිද්ධ වෙනවා

 සාමාන්‍යයෙන් තෙලිඟු ජනතාව විවාහ සිදු කරන්නේ ඔවුන්ගේ ම ජන කොට්ඨාස අතරය. බොහෝවිට නෑනා හා මස්සිනා අතර විවාහ සිදු කර දීම සාමාන්‍ය සිරිතයි. නමුත් වර්තමානය වන විට ඔවුන්ගේ රැුහෙන් පිට සිංහල දෙමළ පුද්ගලයින් සමඟ ද විවාහ සිදුවේ. තමාගේ රැහෙන් පිට විවාහයක් සිදුවුවහොත් එම පුද්ගලයා හෝ කාන්තාවන් රැහෙන් නෙරපා දැමීම තෙලිඟු ජනතාවගේ පැරණි චාරිත‍්‍රයක් වුවද වර්තමානයේ එම චාරිත‍්‍ර වලංගු නොවේ.

 මෙම ජනතාවට විවාහ, අවමංගල හා කොටහළු මංගල සඳහා වෙනම චාරිත‍්‍ර වාරිත‍්‍ර රැසක් තිබූ බව වැඩිහිටියන් කිහිප දෙනෙකුම පවසයි.

 සාමාන්‍ය ජනතාව මල් මාල දමා පිළිගැනීම සිදු කරන ආකාරයෙන්ම තෙලිඟු ජනතාව නයෙක් හෝ පිඹුරෙකු අමුත්තාගේ කරට දමා පිළිගැනීම සිදුකරනු ලබයි. ඔවුන් එය සලකන්නේ යම් පුද්ගලයකුට ලබාදිය හැකි උපරිම ගෞරවය ලෙසයි.

 දිගින් දිගටම මොවුන් කියා සිටින්නේ ඔවුන්ට ආවේණික සිරිත් විරිත්වල වටිනාකමයි. තමන්ගේ රැකියාවන් සමාජයේ පහත් රැකියා ලෙස සැලකීම නිසා මේ වන විට බොහෝ පිරිසක් විදේශ රැුකියාවලට හා වෙනත් රැුකියාවලට ගොස් තිබේ. එම නිසා පරම්පරාවෙන් ලැබුණු රැුකියාවන් දුරස් වී ඇත. දැනට පවතින තෙලිඟු ගම්මානවල පුද්ගලයින් 25,000කට වැඩි ප‍්‍රමාණයක් ජීවත් වන බවත් ඔවුන්ගෙන් සාම්ප‍්‍රදායික රැුකියාවල නිරත වන්නේ 500 කටත් අඩු ප‍්‍රමාණයක් බවත් පොඩිමහත්තයා පැවැසුවේ වේදනාවෙනි.

 * වරිග සභාවත් හාන්සියි

 වරිග සභාව යනු තෙලිඟු ජනතාව සම්බන්ධයෙන් තීරණ ගන්නා සභාවයි. වරිග සභාවෙන් ගන්නා තීන්දු තීරණවලට රැුහේ සියලූ දෙනා ගරු කරති. එය අවසාන තීරණය ලෙස ඔවුහු බාර ගනිති. දඬුවම් දෙන්නේද ආරච්චිලාගෙන් සමන්විත කමිටුවක් මගිනි. අතීතයේ ශාරීරික දඬුවම් නියම කළ ද වර්තමානයේ එවැනි ශාරීරික දඬුවම් ලබා නොදී දඩගැසීම, අවවාද කිරීම සිදුකරන බව ආරච්චිල පවසයි. මේ වනවිට කුඩාගම යම් ගැටලූවක් ඇති වුවහොත් ග‍්‍රාම නිලධාරීවරයා මැදිහත්ව එම ගැටලූ විසඳා දෙයි. මරණාධාර සමිතිය මෙන්ම ගම්වාසීන් විසින් සාදාගත් සමිති සමාගම් කිහිපයක්ම තිබුණත් වරිග සභාව පැවැත්වීමට නොහැකිවීම මහත් අඩුපාඩුවක් බව ද ආරච්චිල සිහිපත් කරයි.

 ”අපි ගාව අපිටම ආවේණික වෙදහෙදකම් තියෙනවා. සර්පයෙක් දෂ්ට කළත් ගොඩක් අය විස ගලක් හොයාගෙන එන්නේ අපි ළඟට. අපේ ගෙවල්වලින් වතුර උගුරක්වත් බොන්න එපා කියලා මිනිස්සු කියනවා අපිට ඇහිලා තියෙනවා. අපිත් පිරිසිදුව ජීවත් වෙනවා .ඒ වගේම අපේ සංස්කෘතියට අනුව ස්තුටින් සරලව ජීවත් වුණා. අපේ ගමේ ආබාධිත පිරිසක් ඉන්නවා. සජිත් මහත්තයා ගෙවල් අනූවක් හදන්න අත්තිවාරම් දැම්මා. ඒවගෙ වැඩ නතර වෙලා. මේ ප‍්‍රශ්න ගැන වැඩිහිටියෝ විදියට අපිට තියෙන්නේ ලොකු දුකක්.” තෙලිඟු ජනතාවගේ ගැටලූ පිළිබඳව අප්පු මහතා එසේ අදහස් දැක්වීය.

 * ආරච්චිලකම දැන් පරම්පරාව භාර ගනීද කියන එකත් ප‍්‍රශ්නයක්

 ”මේ රටේ අනෙකුත් ජන කොටස් වගේ අපිත් පරම්පරාවෙන් පරම්පරාවට සිරිත් විරිත් වගේම මේ ආරච්චිලකමත් අරගෙන යනවා. ඒ අනුව මගෙන් පස්සේ මගේ පුතෙකුට තමයි මේ ආරච්චිලකම අයිති වෙන්නේ. මේ තනතුර මට දුන්නේ මගේ අයියා. පුළුවන් විදිහට හැමදේම ආරක්ෂා කරගෙන අද වෙනකන් රැහේ අය වෙනුවෙන් වැඩ කළා. දැන් මගේ ලොකුම බලාපොරොත්තුව මගේ අයියාගේ දරුවාට මගෙන් පස්සේ මේ ආරච්චිකම දෙන්න. ඒත් සමාජය දිගින් දිගටම අපි ප‍්‍රතික්ෂේප කළොත් අපට පිළිගැනීමක් නැතුව  ගියොත් අපේ දරුවන් කැමති වෙන එකක් නෑ චාරිත‍්‍ර වාරිත‍්‍ර ආරක්ෂා කරගෙන ඉස්සරහට මේව ගෙනියන්න.”

 තෙලිඟු ජනතාවට ආවේණික සංස්කෘතිකාංග එළිදක්වන්නට සංස්කෘතික මධ්‍යස්ථානයක් ගම තුළ ඉදිකර තිබුණද එය මේ වන විට ගරා වැටෙමින් තිබේ. එමෙන්ම සංස්කෘතික මධ්‍යස්ථානයේ තිබූ බොහෝ උපකරණ සොරසතුරන් විසින් රැුගෙන ගොස් ඇති බවද පොඩිමහත්තයා පවසයි.

 ”සමහර කාලවලට විශ්වවිද්‍යාලවලට වගේම විවිධ උත්සවවලට අපිව එක්කරගෙන යන්න කොළඹින් නෝනලා මහත්තයලා එනවා. අපිට වෙනම ප‍්‍රදර්ශන කුටි හදලා දීලා අපේ සත්තුන්ගේ නැටුම් ලොකු නෝනලා මහත්තයලට පෙන්නනවා.

 එහෙම පෙන්නන්නේ අපිට වටිනාකමක් තියෙන හින්දා තමයි. ඒත් ඇයි ඒ වටිනාකමත් එක්ක අපිට ජීවත් වෙන්න ඉඩක් නැත්තේ. සමහර වෙලාවට ටෙලිනාට්‍යවලට පවා අපේ සත්තු අරගෙන යනවා. දැන් අපි ගැන ටෙලි නාට්‍යවලත් කතා යනවා. හැබැයි ඒ හැමදේටම වඩා අපේ ජීවිත කතාව වෙනස්. අපි කවදාවත් මොන දේ නැති උනත් හොරකම් කරන්නේ නෑ. ඒ ගැනත් අනිවාර්යෙන්ම මතක් කරන්නම ඕනේ. ලොකු නෝනලා මහත්තයලා හිතනවා අපි හොරකම් කරනවා බොරු කියනවා කියලා. අපි සල්ලි හොයන්න පහත් වැඩ කරන මිනිස්සු නෙමෙයි. අපි රජයෙන් වගේම නෝනලා මහත්වරුන්ගෙන් ඉල්ලන්නේ අපට ආවේණික රැුකියා ටික කරගෙන ජීවත් වෙන්න උදව් කරන්න කියලා. අපේ දරුවෝ දැන් කාලෙට හැඩ

 ගැහුණට අපිට අපේ සාම්ප‍්‍රදායික දේවල් අමතක කරන්න බෑ.”

– නිරෝෂා වාසල
  ඡායාරූප – විරංග මධුසංඛ ආර්. පියරත්න



 

 

advertistmentadvertistment
advertistmentadvertistment