නර්තන රැජිණියට ගීයෙන් උපහාර

422

චන්දන හේරත් යනු රැජිණි සෙල්වනායගම් නර්තන පාසලේ ජ්‍යෙෂ්ඨතම සිසුවෙකු වන අතර නර්තන ශිල්පියෙකු ලෙස වසර 25 කටත් වැඩි කාලයක් රැජිණි සෙල්වනායගම් සමගින් දෙස් විදෙස් නර්තන ප්‍රසංග වලට සහභාගි වූ දක්ෂ නර්තන ශිල්පියෙකු වේ. ඔහු වෘත්තියෙන් වරලත් ගණකාධිකාරිවරයෙකු වන අතර රැජිණියගේ නර්තන පාසලේ ශිෂ්‍යයෙකු, ශිල්පියෙකු හා ගුරුවරයෙකු ලෙස ගත කළ කාලය පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා ජාතික රූපවාහිනියේ ඉරිදා ‘ආයුබෝවන්’ වැඩසටහන තුළින් අප දුටුවෙමු. අද අප ඔහු හා දොඩමළු වන්නට සිතුවේ එබැවිනි.

අප දුටුවා ඔබ ගුරු දිනය අබිමුව ඔබේ ගුරුතුමිය වෙනුවෙන් ඔබේම ගීයක් ගයා එතුමියව උපහාරයට ලක්කළා.

ඔව්…රැජිණි සෙල්වනායගම් කියන ඒ අසහාය කලාකාරිණිය, නර්තන ශිල්පිණිය, ගුරුවරිය ලාංකික නර්තන කෙතේ නොමැකෙන සලකුණක් තැබූ අපූර්ව අයෙක්. එතුමිය අපේ මව්බිමේ දහසකුත් දුවා දරුවනට නර්තන විෂය හරහා අපේ කම, අපේ සංස්කෘතිය, ආරක්ෂා කරගනිමින් යහපත් ආකල්ප සමාජ සාරධර්ම වඩා වර්ධනය කරවන වඩාත් සංවේදී දරු පිරිසක් සමාජයට දායාද කරන්නට ඇප කැපවුණු ගෞරවණීය ගුරු මාතාවක්. එතුමියගෙන් බිහි වුණ ගෝලයන් ගණන ගිණිය නොහැකි තරම්. ඔවුන් විවිධ කේෂ්ත්‍රවල දේශීයව වාගේම විදේශීයවත් විසිරිලා සාර්ථකව කටයුතු කරනවා. බොහෝ පිරිසක් අතිදක්ෂ නර්තන ආචාර්යවරු ආචාර්යවරියන් ලෙස කටයුතු කරනවා. තවත් සැලකිය යුතු පිරිසක් වෛද්‍යවරු, ඉංජිනේරුවන්, නීතිඥවරු, විධායක නිලධාරීන්, ප්‍රසිද්ධ කලාකරුවන් ලෙස නර්තනයෙන් ලද ශික්ෂණය හරහා සංවේදී පිරිසක් ලෙස කටයුතු කරනවා. ඇයට ගරු කිරීමක් ලෙසට මම මෙයට වසර කිහිපයකට පෙරාතුව ඇයගේ ජීවිතය විස්තර කෙරෙන චරිතාපදාන ග්‍රන්ථයක් ලීවා ‘නර්තනයේ රැජිණි’ නමින්.

ඉතින් ඔබ ඉන් නොනැවතී එතුමිය වෙනුවෙන් උපහාර ගීතයක් නිර්මාණය කරමින් එය පුද දෙන්න හිතුවා. මේ ගීතය නිර්මාණය වුණේ එයට පාදක වුණේ කුමක්ද?

මම කවියට ගීතයට ලැදි අයෙක්. දැනට වසර දෙකකට පෙර වාගේ දවසක මට කාව්‍ය සංග්‍රහයක් ලැබුණා ‘නොමියෙන සෙනෙහස’ නමින්. එය ලියා තිබුණේ ප්‍රවීණ ගත්කතුවරයෙකු, සාහිත්‍යධරයෙකු වන ජාතික රූපවාහිනියේ වත්මන් අධ්‍යක්ෂක ජනරාල්තුමා වන අජන්ත සෙනෙවිරත්න මහතා. මෙහි පිටකවරයේ කොනක තිබුණා නර්තන ශිල්පිණියකගේ කුඩා සිතුවමක් සමග ‘රඟදෙන මියුලැස’ නමින් පැදි පෙළක කොටසකුත්. පොත මුල සිට කියවනවා වෙනුවට මම අර කිව් පැදි පෙළ හඹාගෙන ගියා. පොතේ අගට වෙන්න තිබූ ඒ පැදි පෙළේ අදහස අපූරුවට රැජිණි මිස්ගේ මා දුටු නර්තන සොබාවට ගැලපෙනවා යැයි මට හිතුනා.

නර්තන රැජිණියට ගීයෙන් උපහාර

ඔබ එතුමියගේ නර්තනයන් සමඟ කාලයක් සිටි අයෙක්. එදා ඔබ දුටු ඇගේ නර්තන සොබාව පිළිබඳ ඔබේ අදහස ?

මම කුඩා දරුවෙකු විදිහට ඇගෙන් ඉගෙනුම ලැබූ ඒ අවධියේ ඇය මනා රූ සපුවකින් හෙබි තරුණ නර්තන ශිල්පිණියක් ලෙස රාජ්‍ය නැටුම් කණ්ඩායමේ කටයුතු කළ සාමාජිකාවක්. ඒ කාලයේ ජෝන් ද සිල්වා සමරු රඟහල ගොඩනගමින් පැවති යුගය. රඟහලට පෙර එහි වේදිකාව නිමවා තිබුණා. ඒ වේදිකාවේ තමයි රාජ්‍ය නැටුම් කණ්ඩායම පණීභාරත ඇදුරුතුමන්ගේ නායකත්වයෙන් පුහුණු වුණේ. රැජිණි මිස්ගේ නර්තනයන් එහිදී හැමදාමත් කැපී පෙනුනා. ඇය සතු ලාස්‍ය නර්තනයත් භාවමය ලක්ෂණත් උඩරට නැටුම් සම්ප්‍රදායට අලුතින් එකතු වුණා කීවොත් වඩාත් නිවැරදියි. වරක් කුළු නැටුමක යෙදෙද්දී කුල්ලෙන් පොලන චලනයන්හිදී ඇගේ නෙත් දෙකින් වී ඇට උඩ පහත වැටෙනවා අප දුටුවා. මොනර රංගනය කරද්දී ඒ නෙත් දෙකින් මතුවුණ භාවමය ලක්ෂණ එදා යුගයේ හිටි හැම අයෙකුගේම කතා බහට ලක් වුණා. පුවත් පත් මහගෙදර ලේක් හවුස් හී මාධ්‍යවේදීන් පවා ඇය හැඳින්වූයේත් මොනරිය නමින්. ඉතින් මේ ගීතය එතුමිය සතුවූ අපූර්වතම ශිල්පීය දක්ෂතාවය ගැන හඬ නගා ගැයෙන ගීයක් බවට පෙරලන්නයි මට උවමනා වුණේ.

ඉතින් ඔබ ඔබේ ගීතය යථාර්ථයක් බවට පෙරළා ගත්තේ කොහොමද?

මම බොහොම අසීරුවෙන් අජන්ත සෙනෙවිරත්න මහතාව හමුවුණා. ඉල්ලා සිටියා මේ පැදි පෙළ ගීතයකට පෙරළා දෙන ලෙසට. ඔහු එයට නර්තන රැජිණිය නමින් වචනයක්ද එකතු කරමින් ගීයකට සුදුසු වන අයුරින් එය වෙනස් කර දුන්නා. ඔය අතර තුර කාලයේ මම විශාරද එඩ්වඩ් ජයකොඩි ගුරු පියාණන් යටතේ විවිධ වෘත්තීකයන් උදෙසා පැවැත්වෙන සංගීත පංතියකට සහභාගී වුණා. ඉන් ලැබුණු කටහඬ පුහුණුව නිසාම මේ ගීතය මා විසින්ම ගයනවා කියලා දැඩි ආත්මවිශ්වාසයක් මා තුළ ගොඩනැගුනා. ගීතයේ සංගීතය තනුව යෙදුවේ විශාරද නිහාල් ගම්හේවා. ඔහු ඉතාමත් සැලකිල්ලෙන් සංගීතය මනරම් ලෙසට නිර්මාණය කළා. මනිපූරි, කථකලි නර්තන පද වගේම දේශීය නර්තන සම්ප්‍රදායේ එන අඩව්වක කොටසකුත් ඇතුළත් කරමින් ගීය නිර්මාණය වුණේ රැජිණි නර්තන ශිල්පිණියගේ සලකුණක් එහි තබමින්මයි. ගීයේ සංගීත පරිගණක සංයෝජනය සිදු වුණේ ප්‍රවීණ ගායක ජයසිරි අමරසේකරයන් අතින්.

අප දුටුවා මේ ගීතයට බොහොම සිත් ඇද ගන්නා සුළු වීඩියෝවක් නැත්නම් දෘශ්‍ය පටයක් නිර්මාණය වෙලා පුංචි තිරයෙන් මුල් වරට විකාශය වුණා. එය වුණේ කොහොමද?

මෑතකදී අපේ පණීභාරත ඇදුරුතුමන්ගේ ජන්ම දිනය සිහිපත් කෙරෙන උත්සවයකට මම සහභාගී වුණා. එහිදී මා සමග කුඩා කාලයේදී එකට නර්තනය හදාල උපුලී/ජයවන්තී පණීභාරත, නේමාලී බුදවත්ත, සුනේත්‍රා අද්දරආරච්චි, නිශා ලියනගේ, චම්පා ඇඹුල්දෙනිය කියන අද ප්‍රවීණ නර්තන ආචාරිණියන් එකට එකතු වී ‘නාරි ලතා’ නැටුම නටනවා මම බලා සිටියා. එය නටද්දී උපුලී පණීභාරත සොයුරියගේ නැටුම් විලාශය තුළින් මම රැජිණි මිස්ව දුටුවා. උපුලීත් කුඩා කාලයේ රැජිණි මිස්ගෙන් නැටුම් ඉගෙන ගත් නිසා ඒ හැඩතල අරුමයක් නොවෙයි කියල මට හිතුනා. එවෙලේ මා හිතුවා මේ ගීතයට රැජිණි මිස්ගෙ නර්තන සොභාව පෙන්වන්න සුදුසුම කෙනා උපුලී කියල. ඉතින් ප්‍රවීණ නර්තනාචාර්ය චන්න විජේවර්ධනයන් හා සමඟ කතා බහ කරලා එතුමන්ගේ උදව් ඇතිව මේ නිර්මාණය සාර්ථක කරගන්න මට හැකියාව ලැබුණා.

චන්න විජේවර්ධනයන් සතු සුවිශේෂී හැකියාව ගැනත් සිහි කළ යුතුමයි. ගීතයට නර්තන නිර්මාණය කිරීම පමණක් නොවෙයි පසුතල නිර්මාණයන් පවා සිදුවුණේ ඔහු අතින්. ඒ මොහොතේ ඔහු තුළ පහල වන නිර්මාණී අදහස් හැඟීම් බර චලන බවට පත්වුණා. උපුලීගෙන් ස්වභාවිකව මතුවන රංගන රසය සම්මිශ්‍රණය කරමින් හරිම ආකර්ෂණීයව ගීයට රූපමය වීඩියෝව ඔහුගේ අතින් අධ්‍යක්ෂණය වුණා. එය සකස් වුණේ ගීතය තුළින් කතන්දරයක් කියා පාන විදිහට. චන්නගේ අදහස වුණේ රැජිණි සෙල්වනායගම් කියන්නේ ඉන්දියානු නර්තනය වාගේම දේශීය නර්තනයත් එකවාගේම ප්‍රගුණ කළ නමුත් අවසානයේ දේශීය නර්තන සම්ප්‍රදායේ උන්නතිය වෙනුවෙන් ඇප කැප වූ කලාකාරිණියක් නිසා එයත් මේ ගීය තුළින් විද්‍යමාන විය යුතු වන බවයි. ගීතයේ රූගත කිරීම් සියල්ල සිදු වුණේ නව පරපුරේ නෙළුක දීමන්ත සොයුරාගේ රූපමය අධ්‍යක්ෂණයෙන්. ඒ විදිහටයි මේ දෘශ්‍ය පටය එළි දැක්වුණේ.

ආයුබෝවන් වැඩ සටහන අතරතුර ඔබ සැම දෙනාවම පුදුමයට පත් කරමින් ඉතාලියෙන් මල් කලඹවල් එක්ක සුභ පැතුම් ලැබුණා නේද?

ඔව්…ආයුබෝවන් වැඩසටහන නිෂ්පාදනය කළේ කමල් කාරියවසම් සහ මයුරී වානගුරු දෙදෙනා. වැඩසටහනට කලින් දිනයේ ඉතාලියේ රෝම නගරයේ ශ්ව රංගායතනයේ අධිපති (ඔහුත් රැජිණි මිස්ගේ මුල් පෙළ ගෝලයෙක්) විජය නන්දසිරි මහතාගේ බාල සොහොයුරු සුජිත් ඉලුප්පිටිය ඉතා කෙටි දැනුම් දීමකින් නිෂ්පාදකවරුන් හා සම්බන්ධ වෙමින් අප සැවොම පුදුමයට පත් කළා. නව පරපුරේ දක්ෂ නර්තන යුවළක් වන සංචන – ශෂී දෙපළ අත හෘදයාංගම සුභ පැතුම් පණිවිඩ සමග ඉතාමත් ලස්සන මල් කලඹ රැජිණි මිස් ඇතුළු හැම දෙනෙකුටම ඔහුගේ ආදරය සමඟින් එවා තිබුණා.

advertistmentadvertistment
advertistmentadvertistment