නරේන් කොදෙව් රටේ ඇරයුම ප්‍රතික්ෂේප කරයි

2341

එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී යළි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග සම්බන්ධ වන ලෙස හිටපු කොදෙව් තුන්ඉරියව් ක්‍රීඩක සුනිල් නරේන්ට කළ ඇරයුම ඔහු ප්‍රතික්ෂේප කර ඇත.

තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත. “මේ දවස්වල මගේ දස්කම් නිසා, මගේ සමුගැනීමේ තීරණය වෙනස් කරලා එළඹෙන විස්සයි 20 ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න එන්න කියලා බොහෝ දෙනා ප්‍රසිද්ධියේම මට ආරාධනා කරනවා. ඒ ගැන ඇත්තටම මට සතුටුයි. නමුත් මම දැන් ජාත්‍යන්තර පිටියෙන් සමුගෙන නිදහසේ සිටිනවා. මට කිසි කෙනෙකුගේ බලාපොරොත්තු බිඳ දැමීමට කැමැත්තක් නැති වුණත්, නැවත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරන්න අදහසක් නැහැ. ලෝක කුසලානයේදී කොදෙව්වන් වෙනුවෙන් මම උපරිම සහාය දෙනවා” යනුවෙන් ඔහු එහි සඳහන් කර ඇත.

අයි.පී.එල්. තරගාවලියේ කොල්කටා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන නරේන්, තරග 07කදී ශතකයක් හා අර්ධ ශතකයක් සමගින් ලකුණු 286ක් රැස්කරගන මේ දක්වා තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර 07වැනි ස්ථානට පත් වී සිටී. පන්දු යැවීමෙන් ඔහු කඩුලු 09ක්ද බිඳහෙළා ඇත.

පසුගිය වසරේ නොවැම්බර් මස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් නරේන් ඒ වන විට කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 6 කට, එක්දින තරඟ 65කට සහ පන්දු වාර 20-20 තරග 51 කට ක්‍රීඩා කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment