ධාරානිපාත වැස්සෙන් යාපනයේ පවුල් 645ක් අවතැන්
ගස් කඩාවැටීම් හා අධික සුළඟෙන් නිවාස 4ක් කුඩුපට්ටම් වෙලා
වහා සහන සලස්වන්න – ආණ්ඩුකාරවරයාගෙන් නිලධාරීන්ට උපදෙස්
කාලගුණය දිගටම අයහපත්: උතුරේ ධීවරයන්ටත් මුහුදු යෑම තහනම්
අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වී ඇති අතර මේ වනවිට පවුල් 643 කට අයත් පුද්ගලයන් 2456 ක් විපතට පත්ව තිබේ.
දින කීපයක් තිස්සේ පැවති දැඩි වර්ෂාව හේතුවෙන් යාපනයේ ඓතිහාසික නල්ලූර් කෝවිලද ජලයෙන් යට වී ඇති අතර පෙරේදා (21 දා) සවස පූජාව පවත්වා ඇත්තේද ඉතා චාම් ලෙස දැඩි අසීරුවෙනි.
වර්ෂා ජලය ගලා ඒම නිසා නිවෙස්වල ජීවත් වීමට නොහැකි ජනතාව වෙනත් ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඇති අතර ගස් කඩාවැටීම් හා අධික සුළඟ නිසාද යාපනයේ නිවාස 4කට පූර්ණ හානි සිදුව ඇත.
අර්ධ වශයෙන් නිවාස හතකට හානි සිදුව තිබේ. යාපනයේ ප්‍රාදේශීය ලේකම්වරු හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් විපතට පත් ජනතාවට සහන සැලසීම පිණිස ඉදිරිපත් වී ඇතත් යාපනයේ බොහෝ ප්‍රදේශවලට එම නිලධාරීන්ට යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත්තේ අධික වර්ෂාව හේතුවෙන් මාර්ග ගණනාවක්ම ජලයෙන් යටවීම නිසාය. වර්ෂාව නිසා විපතට පත් සියලු දෙනාට වහාම කඩිනමින් ආධාර උපකාර සපයාදෙන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා විශේෂ සාකච්ඡාවක් කැඳවා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. යාපනයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව මේ වනතුරුත් පහව ගොස් නොමැති අතර අයහපත් කාලගුණික තත්ත්වයක් හදිසියේම වර්ධනය වී ඇති නිසා උතුරේ ධීවරයන්ට මුහුදු යෑමද තහනම් කොට ඇත.
දිනසේන රතුගමගේ