දිවංගත මහාචාර්ය නලින් ද සිල්වා නිසැකව ම පසුගිය දශක දෙක තුළ ලංකාවේ සිංහල බෞද්ධ සමාජය කෙරේ වැඩිම බලපෑමක් කළ බුද්ධිමතා ලෙස සැලකීමට පුළුවන. මා පුද්ගලිකව ඔහුගේ බොහෝ අදහස්වල විශේෂයෙන් ම ඔහු විසින් ප්‍රවර්ධනය කරනු ලැබූ දේශපාලන අදහස් හී තියුණු විවේචකයෙක් මෙන්ම ප්‍රතිවාදියෙක් වීම පසෙක තිබිය දී පසුගිය දශක කීපය තුළ ලංකාවේ මහජන ජීවිතයට ඔහුගේ දායකත්වය බැරෑරුම් ලෙස සලකා බැලිය යුතු බව විශ්වාස කරයි.

ඔහු ගැන දන්නා අය හොඳින් දන්නා පරිදි, මහජන බුද්ධිමතෙක් ලෙස ඔහුගේ කාර්යභාරය යුග දෙකකට බෙදා වෙන්කර දැක්වීමට පුළුවන. ඒ යුග දෙක අතර බෙදුම් රේඛාව වන්නේ 1980 දශකයේ මුල් භාගයේ ඔහු එතෙක් අයත් වී සිටි මාක්ස්වාදී බුද්ධි සම්ප්‍රදායෙන් හා ඊට සමගාමීව වාමාංශික දේශපාලන ක්‍රියාකාරකම්වලින් ද ඉවත් වීමයි. ඔහුගේ බලපෑම් සහගත සම්ප්‍රදානය මූලික වශයෙන් අයත් වන්නේ මේ ඛණ්ඩනයෙන් පසු අවධියටයි. මේ අවධිය ලංකාවේ පසුගිය දශක හතරේ දේශපාලන ඉතිහාසය කෙරේ තීරණාත්මක ලෙස බලපෑ සංසිද්ධීන් දෙකක් සමග සම්බන්ධ වේ. එනම් වාමාංශික දේශපාලනයේ බිඳවැටීම හා දෙමළ ජාතිකවාදී ඉල්ලීම් පදනම් කරගෙන මතු වූ දේශපාලන අර්බුදය තීව්‍ර වීමයි. නලින් ද සිල්වාගේ පසුකාලීන බුද්ධිමය-දේශපාලන මැදිහත් වීම මේ සංසිද්ධීන් දෙක සමග ඉතා කිට්ටුවෙන් බැඳී පවතී.

ඔහු වඩාත් ප්‍රකට වන්නේ 1983න් පසු වකවානුවේ, වර්ධනය වන දෙමළ සටන්කාමී දේශපාලන ව්‍යාපෘතියට විරුද්ධව සිංහල සමාජයෙන් මතු වූ ප්‍රතිචාරයේ ප්‍රමුඛතම බුද්ධිමය ප්‍රකාශකයා ලෙසටයි. මේ සංසිද්ධිය ලංකාවේ නූතන සිංහල ජාතිකවාදයේ දෙවන අදියර ලෙස හැඳින්වීමට පුළුවන. පළමු අදියර වන්නේ 19 වන ශතවර්ෂයේ මැද දී ආරම්භ වී 1956 මහජන එක්සත් පෙරමුණේ නායකත්වයෙන් දේශපාලන පරිසමාප්තියට පත් වූ සිංහල-බෞද්ධ ජාතිකවාදී ව්‍යාපෘතියයි. මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය හා බිඳ වැටීම සමග මේ ව්‍යාපෘතිය බැරෑරුම් පසුබෑමකට ලක්විය. 1980 ගණන් වනවිට මේ සිංහල-බෞද්ධ ජාතිකවාදී ව්‍යාපෘතිය බෙහෙවින් දුර්වල වී තිබුණි. විශේෂයෙන් ම වර්ධනය වන දෙමළ ජාතිකවාදයේ දේශපාලන අභියෝගයට මුහුණ දීමට මේ සම්ප්‍රදායික සිංහල-බෞද්ධ ජාතිකවාදී ව්‍යාපෘතියට ශක්‍යතාවයක් තිබුණේ නැත. විශේෂයෙන් ම සිංහල-බෞද්ධ ජාතිකවාදය පොදුවේත්, එහි දෙමළ දේශපාලන ඉල්ලීම් සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රවේශය විශේෂයෙනුත් විවේචනයට භාජනය කළ බලසම්පන්න බුද්ධිමය කතිකාවක් ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද වර්ධනය වෙමින් පැවැතිණි. දීර්ඝ කතාවක් කෙටියෙන් කියන්නේ නම් නලින් ද සිල්වාගේ නව බුද්ධිමය-දේශපාලන කාර්යභාරය වූයේ සිංහල-බෞද්ධ ජාතිකවාදය සම්බන්ධව පැවැති මෙම ප්‍රතිකතිකාවට බලපෑම්සහගත ලෙස අභියෝග කළ හැකි ප්‍රතිකතිකාවක් නිර්මාණය කිරීමයි. නලින් ද සිල්වාගේ ම වචනවලින් කියනවා නම් දෙමළ බෙදුම්වාදය මතවාදී තලයේ පරාජය කිරීමයි.

ඔහු මේ කාර්යභාරය සාපේක්ෂ වශයෙන් සාර්ථක ලෙස ඉෂ්ට කළ බව කිව හැක. මා එය ‘සාපේක්ෂ සාර්ථකත්වයක්’ යැයි කියන්නේ ඒ සාර්ථකත්වය සිංහල-බෞද්ධ දේශපාලන පරිකල්පනයේ රාමුව තුළට පමණක් සීමා වූ සාර්ථකත්වයක් වීමයි. කෙසේ වෙතත් නලින් ද සිල්වා මේ ඓතිහාසික කාර්යභාරය ඉෂ්ට කරනු ලැබීම සඳහා කැඳවනු ලැබීම දෛවෝපගත සිදුවීමකි. මක් නිසා ද යත් අඩුම වශයෙන් 1982 පමණ වනවිටත් ඔහු දෙමළ ජාතිකවාදී දේශපාලන ඉල්ලීම්වල ක්ෂමා විරහිත ආරක්ෂකයෙක් ව සිටියේ ය. ඔහු සටන්කාමී දෙමළ ජාතිකවාදය මගින් ඉදිරිපත් කළ, උතුර හා නැඟෙනහිර පළාත් මුල්කරගෙන ඊළාම් නමින් රාජ්‍යයක් පිහිටුවීම පිළිබඳ ඉල්ලීම දෙමළ ජනයාගේ සුජාත දේශපාලන ඉල්ලීමක් බව පිළිගත් අතර, ඒ වෙනුවෙන් තියුණු ලෙස පෙනී සිටියේ ය. නමුත් ඔහු බුද්ධිමය වශයෙන්, සිංහල ජාතිකවාදී පරිකල්පනය තුළ සිටි බුද්ධිමය හා දේශපාලන බලවේග සමග කටයුතු කිරීම ආරම්භ වීම සමග දෙමළ ජාතිකවාදී ඉල්ලීම් කෙරේ තිබූ මේ පක්ෂපාතීත්වය ක්‍රමයෙන් අහෝසි වී 1980 දශකයේ අග වනවිට දෙමළ ජාතිකවාදයේ හා එහි දේශපාලන ඉල්ලීම් හී සුජාතභාවය පිළිගත් කතිකාවේ තියුණුම ප්‍රතිවාදියා හා විවේචකයා බවට පත් විය.

කෙසේ වෙතත් සිංහල-බෞද්ධ ජාතිකවාදය වෙත නලින් ද සිල්වාගේ ආරම්භක නැඹුරුව සලකුණු කෙරුණේ දෙමළ ජාතිකවාදී දේශපාලන ඉල්ලීම් සම්බන්ධව පැවැති විවේචනයක් හරහා නොවන බව කිව හැක. ඔහු මාක්ස්වාදයෙක් කැඩී වෙන් වී ජාතිකවාදය වෙත යොමු වූයේ, මාක්ස්වාදී සම්ප්‍රදාය විසින් අනුදත් විමුක්තිවාදී දේශපාලන මාවත සාක්ෂාත් කරගැනීම සඳහා, මාක්ස්වාදී සම්ප්‍රදාය මගින් යෝජිත ‘පන්තිය’ යන කාරකත්වය වෙනුවට‘ජාතිය’ යන කාරකත්වය වඩා උචිත වේය යන විශ්වාසය පදනම් කර ගෙනය. ඒ අනුව ඔහුට අවශ්‍ය වූයේ ජාතිය මත පදනම් වූ සමාජවාදී දේශපාලන පරිකල්පනයක් යෝජනා කිරීමයි. නමුත් දෙමළ සටන්කාමී ව්‍යාපාරයේ ශීඝ්‍ර වර්ධනය නිසා මේ ‘ජාතිකවාදී-සමාජවාදී’ ව්‍යාපෘතිය කෙරෙහි යොමු වීම පසෙක තබා දෙමළ ජාතිකවාදී අභියෝගයට මුහුණ දීමට ‘සිංහල-ජාතිය’ සූදානම් කිරීමේ අභියෝගයට ප්‍රමුඛත්වය දීමට ඔහුට සිදු විය.

කෙසේ වෙතත් මහාචාර්ය නලින් ද සිල්වා අතිශයින් බලපෑම් සහගත සිය ජීවන ගමන නිම කරන්නේ ඔහු නිරත වූ යතෝක්ත දේශපාලන ව්‍යාපෘතිය තියුණු අභියෝගයකට මුහුණ දී ඇති සංදර්භයක් තුළය. 2009 දී දෙමළ සන්නද්ධ සටන්කාමීත්වය මිලිටරිමය වශයෙන් පරාජයට පත් වූව ද එහි දේශපාලන ශක්තිය අහෝසි වී ඇති බවක් නොපෙනේ. එහෙත් ඊට ප්‍රතිවිරුද්ධ සිංහල-බෞද්ධ දේශපාලන ව්‍යාපෘතිය පසුගිය දශකය තුළ තියුණු අභ්‍යන්තර අර්බුදයකට මුහුණ දී බෙහෙවින් දුර්වල වී තිබේ. එසේම නලින් ද සිල්වා ගේ ආරම්භක පොරොන්දුවක් වූ ‘සමාජවාදී පරිවර්තනයක් සඳහා වූ ජාතිකවාදී විකල්පයක්’ පිළිබඳ අදහස සිංහල-බෞද්ධ දේශපාලන පරිකල්පනය විසින් මුළුමනින්ම පාහේ අමතක කර දමා ඇත. ඊට පරස්පර ලෙස නලින් ද සිල්වා විසින් නිර්මාණය කරනු ලැබූ කතිකාව එකීසමාජවාදී නැඹුරුවකට මුළුමනින්ම ප්‍රතිවිරුද්ධ ආර්ථික පරිකල්පනයක් උදෙසා මෙහෙයේ යොදාගැනීම දක්නට ලැබේ. එසේම 1980 දශකයේ හා 1990 දශකයේ දී අලුතෙන් බුද්ධිමය-දේශපාලන ක්‍රියාකාරකම් වෙත ආකර්ශනය වූ තරුණ පිරිස් කෙරේ නලින් ද සිල්වාගේ කතිකාවට පැවැති ආකර්ශනය දැන්වනවිට බෙහෙවින් දුර්වල වී ඇත. මෙහි දී 2022 වර්ෂයේ දී දියත් වූ විශාල තරුණ සහභාගීත්වයක් සහිත මහජන නැඟිටීමේ අතිශයින් රළු විවේචකයෙක් බවට නලින් ද සිල්වා පත් වූ බව මෙහි දී සටහන් කිරීම වැදගත් වේ.

කෙසේ වෙතත් නලින් ද සිල්වාගේ බුද්ධිමය හා දේශපාලන උරුමය යළි විමසා බැලීම අතිශයින් වැදගත්ය. විශේෂයෙන් ඔහුගේ නව දේශපාලන උපත සලකුණු කළ 1980 දශකයෙන් පටන්ගත් දේශපාලන පරිකල්පනයේ යුගය තීරණාත්මක අවසානයකට පත් වී ඇති සංදර්භයක් තුළ මේ යළි විමසා බැලීම අතිශයින් වැදගත් වේ. ඔහුගේ ව්‍යාපෘතියේ තියුණු විවේචකයෙක් වන මා වැන්නකුට පවා එය අතිශයින් වැදගත් වේ.

නිර්මාල් රංජිත් දේවසිරි

advertistmentadvertistment
advertistmentadvertistment