නවකතාකරුවා ශිල්පීය උපක‍්‍රම භාවිතා කළ යුතුයි – මලික් තුසිත ගුණරත්න

71

මලික් තුසිත ගුණරත්න විසින් රචිත හයවන නවකතාව ‘ශාක්‍යාදේවි’ මේ වන විට පාඨකයන් අතට පත්ව අවසන් ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස සාහිත්‍ය ලැදි මෙරට පාඨක සමාජය තුළ මේ වන විට ඒ පිළිබඳව කතාබහක් ආරම්භ වී ඇත. වෙනස්ම ආකෘතිමය හැඩයක් සහිත ‘ශාක්‍යාදේවි’ ග‍්‍රන්ථයක් ලෙස පාඨකයන් අතට පත්කිරීම සම්බන්ධව එහි නිර්මාණාත්මක හිමිකරු එමෙන්ම කෙටිකතාකරුවකු, කවියකු වන මලික් තුසිත ගුණරත්න සමඟ සිදුකළ කතාබහක් පහත පළවේ.

 ඔබ විසින් පාඨකයන් අතට පත් කරන හයවෙනි නවකතාව ‘ශක්‍යා දේවී’ ආකෘතිමය හරඹ සහිත නවකතාවක්. ඔබ ඒ මතය සමග එකඟද?

 මම හැමදාම කියන විදිහට ආකෘතිය සැකැසෙන්නේ කතාව අනුව. ආකෘතිය ඉල්ලන්නෙ කතාවෙ වස්තු බීජය. නිමිත්ත. යම් ප‍්‍රස්තූතයක් හිතට ආවම ඒක පාඨකයාට ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක ඕනෑම නිර්මාණකරුවෙක්ට තියෙන අභියෝගයක්. එය නැවුම් සහ අපූර්ව අයුරින් ඉදිරිපත් කිරීම තමයි මා ඇතුළු අප සැමගේම වෑයම විය යුත්තේ. එතනදි පරිකල්පන ශක්තියට සෑහෙන වැඩ කොටසක් තියෙනව. කතාව ඉල්ලන ආකෘතියට සළුපිළි අන්දන්නෙ, බෝඩර් අඳින්නෙ, රේන්ද අල්ලන්නෙ ඒ ශක්තිය. නිමිත්ත, ආකර්ෂණීය සහ ආස්වාදනීය ලෙසින් පාඨකයන් අතට පත් කිරීම නිර්මාණකරුගේ වගකීමක්.

නවකතාකරුවා ශිල්පීය උපක‍්‍රම භාවිතා කළ යුතුයි - මලික් තුසිත ගුණරත්න

ශිල්පීය උපක‍්‍රම භාවිතා කිරීම තුළ නවකතාවක පැවැතිය යුතු රුව ගුණ ආදියට හානි සිදුවිය නොහැකිද? ඔබගේ මේ කෘතිය අන්තර්ජාලය හා සම්බන්ධ වෙන අලූත් අත්දැකීමක් සහිත කෘතියක්!

 නවකතාකරුවා සුදුසු පරිදි ශිල්පීය උපක‍්‍රම භාවිතා කළ යුතුයි. එයින් පාඨක රසවින්දනයට හානියක් නොවිය යුතුයි. මගේ මේ නිර්මාණය තුළ ගීත දොළහක් ඇතුළත් වෙලා තියෙනවා. ඒ කතාවේ තේමාව විසින් ඉල්ලූ ගීත. නිර්මාණයේ ප‍්‍රධාන භූමිකාවක සිතැඟි වඩා අවධාරණය කරනු පිණිස මේ ගීත දොළොස මා යොදාගෙන තියෙනවා. එයින් පාඨකයා තුළ භාවාත්මක කම්පනයක් ඇති කිරීම තමයි මගේ අපේක්ෂාව වුණේ. එය සාර්ථක වූ බව බොහෝ පාඨකයෝ මේ වන විට මට පවසල තියෙනවා. ඒක මට විශාල සතුටක්. කතාව කියවාගෙන යන අතරතුරේදි දීල තියෙන කිව්. ආර් කේත ස්කෑන් කිරීමෙන් ඔබට මේ ගීත ස්මාට් දුරකතනයක් ඔස්සේ ශ‍්‍රවණය කළ හැකියි. මෙය සිංහල නවකතා ඉතිහාසය තුළ කළ පළවෙනි අත්හදා බැලීම විය හැකියි.

 ශාක්‍යාදේවී නවකතාව බිහිවීම පිණිස බලපාන ලද පසුබිම එහෙම නැත්නම් වස්තු බීජය ඔබ තුළ රෝපණය වන්නේ යම් පුද්ගලික අත්දැකීමක් පසුබිම් කරගනිමින්ද?

 ශාක්‍යා දේවී මගේ පරිකල්පනයෙන් බිහි වූ නිර්මාණයක්. එය මගේ අත්දැකීමක් නෙවෙයි. මෙවැනි අත්දැකීම් ඇති අය මේ සමාජයේ විශාල වශයෙන් ඉන්නා බව මම හොඳින් දන්නවා. නිර්මාණය රස විඳල ඒ අය මට කතා කරනවා. ඒ අයගේ මිහිරි හෝ අමිහිරි නොස්ටැලිජියානු මතක ඇවිස්සීමට ශාක්‍යා දේවීට හැකිවීම සම්බන්ධයෙන් මම අතිශය මිහිරට පත් වෙලා ඉන්නෙ. තමුන් ගොඩ නැගූ නිර්මාණයකින් පාඨක සිත් එසේ කොනිත්තන්න හැකි වෙනවා කියන්නේ නිර්මාණකරුවෙක් ලබන ජයග‍්‍රහණයක් කියල මට හිතෙන්නේ.

 බොහෝ දෙනෙකුගේ හැඳින්වීම බවට පත් වී තිබෙන්නේ ඔබ කෙටි කතාව තුළ සමත්කම් දක්වන්නෙක් ලෙසයි. එහෙම හඳුනාගැනීමක් තුළ දිගටම නවකතාව තුළ ස්ථානගත වීමට ඔබ විසින් ගත් තීරණය නිවැරදිද?

 මම දැනට කෙටිකතා පොත් හතක් ලියල තියෙනවා. නුදුරු අනාගතයේදීම අටවැන්නත් මගේ පාඨකයන්ට කියවන්නට හැකි වේවි. මේ හය වෙනි නවකතාව. නවකතාවත් කෙටිකතාවත් කියන්නේ එකිනෙකට වෙනස් ශානරයන් දෙකක්. ඉතා අවම වචන ප‍්‍රමාණයක් ඇසුරු කරගෙන පාඨකයන් ත‍්‍රස්ත කර ඊට පසුව නිවී සනහාලන නිර්මාණයක් කිරීම ඉතාමත් දුෂ්කර දෙයක්. එහි ඇති අසීරුතාවය තමයි ඒ අවම පිටු ගණන තුළ විශ්වාසය බිඳ නොගැනීම. කෙටිකතාව පරිශීලනය කරන්නාගේ හදවතේ ස්ඵන්දන වේගය ක‍්‍රමයෙන් වේගවත් කර කූටප‍්‍රාප්තියේදී ස්ඵන්දනය නතර කරන්නට හැකි නම් එය සාර්ථක නිර්මාණයක්. නමුත් නවකතාවේදී කොටු කර ගත් රාමුවක් නොමැති නිසා අපිට සිද්ධියක් හොඳින්, අත දිග හැර විස්තර කිරීමේ හැකියාවක් ලැබෙනවා. ශිල්පීය ක‍්‍රම අපිට නිදහසේ පාවිච්චි කරන්නට ඉඩ කඩ වැඩියි. ඔය කුමන ශානරයේ වුණත් නිර්මාණකරුවකුගේ පැවැත්ම තියෙන්නේ අදාළ පරිකල්පනයට පාඨකයාගේ රසඥතාවයේ සීමා මායිම් ඇතුළෙ නවාතැනක් ගොඩනගා ගන්න පුළුවන් වුණොත් විතරයි.

 මාව කෙටිකතාකරුවෙක් ලෙසින් හඳුන්වනවාට පුද්ගලිකව මම කැමැතියි. හැබැයි කෙටිකතාව වටා රොක් වී සිටින්නේ එක්තරා සුවිශේෂී රසිකයන් පිරිසක්. ඔවුන් ප‍්‍රමාණාත්මකව ගත්තොත් කුඩායි. නවකතාවට අරිට වඩා රසිකයන් පිරිසක් සිටිනවා. මෙතෙක් මගේ ගමන් මග පිළිබඳව කිසිවෙක් දොස් කියා නෑ. කියා ඇත්තේ කෙටිකතාව අමතක කරන්න එපා කියල විතරයි. අනික් කාරණය මගේ නිර්මාණාත්මක භාවයන් පිපිරී යන්නේ කොතනින්ද කියල කියන්න මට නිශ්චිත අදහසක් නෑ. ඒක කෙටිකතාව වෙන්නත් පුළුවන්. නවකතාව වෙන්නත් පුළුවන්.

 අද්‍යතන නවකතාකරුවන් බොහෝ දෙනෙක් යථාර්ථවාදී රීතිය ගුරු කොට ගනිමින් සිය නිර්මාණ පාඨකයන් අතට පත් කරන්න උත්සාහ ගන්නා ආකාරයක් දකින්නට ලැබෙනවා. ඔබේ විශ්වාසය අනුව රස වින්දන මාධ්‍යයක් ලෙස නවකතාවට එය කොතෙක් දුරට වලංගු වේද?

 තමුන්ගේ නිර්මාණය මොන රීතිය ඔස්සේ විකාශය කරනවද කියන එක නෙවෙයි ප‍්‍රශ්නෙ. එයින් පාඨකයා වින්දනයක් ලබනවද නැත්නම් විඩාවට පත් වෙනවද කියන එක තමයි සැලකිය යුත්තෙ. එයින් මානසික සුවයක් ලැබෙනවද නැත්නම් ප‍්‍රහේලිකාවක් නිර්මාණය වෙනවද කියන එකයි වැදගත්. පාඨකයෙක් පොතක් අතට ගන්නේ ලේඛකයා කෙරෙහි අප‍්‍රමාණ විශ්වාසයක් ගොඩ නගාගෙන. ඉතින් අපිට ඒ විශ්වාසය බිඳින්න බෑ. ඒක ඔය හැම රීතියකටම අදාළයි.

 නවකතාව සහ කෙටිකතාව යන ශානරයන් දෙක අතරින් මෙරට සාහිත්‍ය සමාජය වඩාත් සංවේදී වන්නේ නවකතාවටද නැත්නම් කෙටිකතාව සමගද?

 මම මුලින් කිව්ව වගේ කෙටිකතාවට රොද බැඳ ගෙන ඉන්නෙ ප‍්‍රමාණයෙන් අඩු පාඨක පිරිසක්. නවකතාව එහෙම නෙවෙයි. ඒ පාඨක පිරිස පුළුල්. ඔය ප‍්‍රශ්නෙට මගේ නිර්මාණ ඇසුරෙන් උත්තරයක් දුන්නොත් මගේ නවකතාවලට පාඨක පිරිස වැඩියි. මම එහෙම කියන්නේ ලැබන ප‍්‍රතිචාර අනුව. කෙටිකතාවේ වර්ධනයට එහි පාඨක ප‍්‍රජාව තව තව පුළුල් විය යුතුයි කියන තැන මම ඉන්නවා.

 ශාක්‍යා දේවී නිර්මාණය පිළිබඳව ඔබට ලැබෙන ප‍්‍රතිචාර ගැන ඔබ තෘප්තිමත්ද?

 සත්තකින්. මට ලැබෙන දුරකතන ඇමතුම්, ඊ මේල් පණිවිඩ, ෆේස්බුක් සටහන්වලින් මම තෘප්තිමත්. පසුගිය රට වහපු වසංගත කාලෙ පොත ගැන විමසල මට ආපු දුරකතන ඇමතුම් ගණන විශාලයි. එය මාර්ගගත ක‍්‍රමයට ලබාගෙන දැක්වූ ප‍්‍රතිචාරද අති විශාලයි. මට ශාක්‍යා දේවී තුළින් එකක් පැහැදිලි වුණා. ඒ අපි ගැඹුරක්, බරක් තියෙන නිමිත්තක් සරලව, හෘද සංවේදී ලෙස බෙදා හදා ගත යුතුයි යන්න. පාඨකයන්ගේ අතීත කාමය අවදි කරලා ඔවුන්ව නිවා සනසවන්න හැකි විය යුතුයි. පාඨකයාගේ වින්දනීය වපසරිය එහෙම නැත්නම් ඒ කලාප තුළ අපි බලහත්කාරකමෙන් සාහිත්‍ය සිර ගෙවල් නොතැනිය යුතුයි.

 ඔබේ නිර්මාණ විධිමත් විචාරයකට ලක් නොවුණු බවට යමෙකු යෝජනා කළොත් ඔබ ඒ මතය සමග එකඟද?

 මුලින්ම විධිමත් විචාර කියල සංකල්පයක් තියෙනවද කියන ප‍්‍රශ්නෙ මට තියෙනවා. අනික විචාර කියන්නෙ ඒ ඒ අයගෙ පුද්ගලික මිනුම් මත කරනා ඇගයීම්. ඒවා සාපේක්ෂයි. මට ඔය කිසිවක් අදාළ නෑ. මම මගේ භාවයන් පුපුරවාගන්නේ පාඨක වින්දනයට හානි නොවන්න. ඊළඟ සරලම උත්තරේ මගේ හොඳම විචාරකයා පාඨකයා. එක පාඨක අදහසක් කියන්නෙ මට නම් සම්මාන රැුසක්.

 *  සංවාදය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment