නවකතාව කියාපෑමක් නොව මවාපෑමක්: ප‍්‍රවීණ ලේඛක පරාක‍්‍රම කොඩිතුවක්කු

106

නවකතාව යනු කියාපෑමක්ද? එසේත් නැත්නම් මවාපෑමක්ද? මේ පිළිබඳ සම්මානනීය කවියකු කෙටිකතාකරුවකු මෙන්ම නවකතාකරුවකු වන පරාක‍්‍රම කොඩිතුවක්කු මහතාගෙන් විමසීමේදී ඔහු විසින් සඳහන් කර සිටියේ නවකතාව යනු මවාපෑමක් බවය. එපමණක් නොව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ අනාගතයේදී කලාංගයන් හඳුන්වන ලේබල් නිර්වචන අතුරුදන් වන බව පෙනී යන බවත්ය.

මෙවර අකුර දිගේ සාහිත්‍ය සංවාදය වෙන් කරනු ලබන්නේ ප‍්‍රවීණ ලේඛක පරාක‍්‍රම කොඩිතුවක්කු මහතා සමඟ එම විවාද සම්පන්න මත පිළිබඳ වැඩිදුරටත් කතාබහ කිරීම පිණිසය.

ප‍්‍රශ්නය – ඔබ නවකතාව කෙටිකතාව නිර්වචනය කරන්නේ කොහොමද?

පිළිතුර – නව ලෝකයේ සෑම විෂය ප‍්‍රදේශයක් ගැනම නිර්වචනයන් විනිශ්චයන් දිය වෙමින් යනවා. නවකතාව කෙටිකතාව කවිය චිත‍්‍රය නාටකය සිනමාව ගැන සියලූ

කලාංගයන්වල අනන්‍ය ලක්ෂණ හා සීමාවන් මැකී යමින් නිර්මාණ කලාව මහා මානව කථනයක් ප‍්‍රකාශනයක් බවට පත්වෙමින් තිබෙනවා. අනාගතයේදී කලාංගයන් හඳුන්වන ලේබල් නිර්වචන අතුරුදන් වන බව පෙනී යනවා. සියලූ කලාවන් සිතීමේ කලාවක් වෙනවා. Art of thoughts ඒ නිසා නිර්මාණකරුවා සමාජය උදෙසා සිතන නියමුවෙක් Thought Leader ලෙස ඇතැම් නුතන විචාරකයින් හඳුන්වනවා. සෑම කලාවක්ම දල්වන්නේ සංකල්පනීය ගින්නක්. නවකතාව මහා ධාරානිපාතයක් නම් කෙටිකතාව සුළෙඟ් එන පොද වැස්සක්. කවිය එතැනින් පායන දේදුන්නක්. නාටකය මේඝ ගර්ජනාව. තරු එළි සංගීතයයි. චිත‍්‍රපටය එහි දර්ශන තලය වගේ. මෙහෙම බලපුවාම පෙනී යන්නේ කුමක්ද? නිමැවුම්කාරයා විද්‍යාව හා දේශපාලකයාවත් පූජකයා හා පඬිවරයාවත් ඉක්මවන්නෙක් බවයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව බටහිර සමාජයේ සාහිත්‍ය භූමියෙන් ඉහළට නැගුණ ගිරිහිස වුණේ නවකතාවයි. ඊට හේතුව උඩුයටිකුරු වූ ඒ සමාජයේ මහාවියවුල කියා පෑමට නවකතාව යොමුවීම නිසයි. එවැවින් නවකතාව පීඩනයේ භීතිකාවේ ප‍්‍රකාශනය Literture of Exhaustion – Literature of Troma යනුවෙන් හැඳින්වුණා. මේ උසස් නවකතාව පාඨකයා ලබා දෙන්නේ ජීවිතය සමාජය ගැන කම්පිත ඥානයක්. PROPACY එය නව ඥාන විශේෂයක්. ඒ නිසා නවකතාකාරයා මානුෂික තත්ත්වයන්ගෙන් ස්වභාවය කියාපාන්නෙක් නොවෙයි. මානුෂික තත්ත්වය ගොඩනඟන්නෙක් not human nature hut human situation ඒ නිසා නිර්මාණකරු නිදහස් පුද්ගලයකු නිදහස් මිනිසා අමතන. addressing free man ඒ නිසා නවකතාව මිනිස් සම්බන්ධතා ප‍්‍රධාන කොට ගත් මානුෂික අගයන් පිළිබඳ සත්කාරමය කලාවක්. human values ඒ නිසාම නවකතාව හැමවිටම අර්බුදකාරී එකක්. එය අලූත් ආගමක් විදිහට පෙනෙන්නේ. එය නිර්මාණ සතුට Creative joy සත්චිත්තානන්දය SATCH CHITCH ANANDA ලබා දෙන නිසා.

ප‍්‍රශ්නය – ඔබ ප‍්‍රබන්ධනය ආධ්‍යාත්මය හා එක් කරනවා. ඒත් ආධ්‍යාත්මය හා ප‍්‍රබන්ධය යනු දෙකක්?

පිළිතුර – ආධ්‍යාත්මයෙන් තොර ප‍්‍රබන්ධයක් ඇත්තේ කොහිද? ප‍්‍රබන්ධය ආත්මීය සමාජයීය ලිවීමක්. සිතීමක්. ආධ්‍යාත්මය කියන්නේ මිනිසුන්ගේ ගැඹුරු ජීවිතයයි. හොඳම නවකතා තියෙන්නේ ගැඹුරු වතුරේ Deep Water කැළඹුණු වතුරේ Disturl Waters කියන්නේ ඒ නිසයි. ආධ්‍යාත්මය කියන්නේ ප්‍රොයිඞ් කියන යටි සිත උඩු සිත පහන් සිත ID – EGO – SUPER EGO විතරක් නොවෙයි. එය විශ්වීය අතීන්ද්‍රීය ඥාන උල්පතක්. ප‍්‍රබන්ධය හා ආධ්‍යාත්මය දෙවිදිහක් නොවෙයි. ප‍්‍රබන්ධය හදවතින් හදවත සෙවීමක්. එය එකම කි‍්‍රයාන්විතයක්. භෞතික පදාර්ථවලත් විඥාන පදාර්ථයක් තිබෙන බව අද කොන්ටම් භෞතික විද්‍යාව දකිනවා. එකක් නොව දෙකක් යැයි කිසිම විෂය ප‍්‍රපංචයක් ගැන තර්ක කළ නොහැකියි. සියල්ල එකක් තුළයි. එක සියල්ලක් තුළයි All in one – one in all එසැම දෙකක් නොව අද්වෛතයක් ADVAITHA ලෙස හින්දු දර්ශනයේ දැක්වෙනවා. ඒ නිසා මගේ ප‍්‍රබන්ධය, සාහිත්‍ය, සංගීතය, නාටකය, සිනමාව, ධර්මය, විද්‍යාව, සිතුවම යන සියල්ල සමග රේඛාගත වෙනවා.

ඔබ එක්වරම සමාජ විඥානීයයි. ආත්ම විඥානීයයි. දෙකම එක්තැන තිබෙනවා. වෙළඳපොළෙත් මහා බ‍්‍රහ්මන් සිටිනවාය කියා Brahman in the marcet place කියන්නේ මේ සත්භාවයි. උසස් සාහිත්‍යයෙන් එබඳු විශ්වීය අත්දැකීමක් ලැබීමෙන් ජීවිතය ප‍්‍රභාමණ්ඩලක් බවට පත්වෙනවාය කියා , “Life is a luminous helo” වර්ජිනියා කියනවා.

එමෙන්ම ලේඛකයා ලිවීමේදී තම පුද්ගල ආත්මයට ආවේශ වීම නොව පොදු හරධර්ම හා බැඳීම විශිෂ්ට දෙයක් බව නවීන විචාරකයින්ගේ අදහසයි. මම අතීතයෙන් සියල්ල ගන්නවා. අනාගතයෙන් එන දේ සොයනවා. බාහිර ලොව ගැන ගැඹුරු අවලෝකනයක් කළ හැක්කේ තුන්වැනි ඇසකින්. මුල සිටම මිනිසා ආධ්‍යාත්මය හඳුනා ගත්තේ ආගමික සත්තාවන් විදිහටයි. එම නිසා උසස් නිමැවුම්කරුවාට ආගම් විරෝධයකට Anti Semitism යා නොහැකියි. පේ‍්‍රමය කල්පනාකාරීත්වයේ ඉහළම සජීවී හැඟුමයි. පේ‍්‍රමයේ අවශ්‍යතාව අනෙකකු තුළ පේ‍්‍රමය ඉපැද්දීමයි. ලිංගික කසළ නොවෙයි. ආධ්‍යාත්මික ලිවීමකින් මා උත්සාහ කරන්නේ සිත සිතුවම් කිරීමටයි. Picturing Consiousnes නවකතාවක ආධ්‍යාත්මය කියන්නේ ඒ අන්තරාවලෝකනයටයි. Introspection නවකතාකාරයා ඒ සීනුව නාද කළ යුතුයි.

ප‍්‍රශ්නය – ඔබ නවකතාවකට අවතීර්ණ වන්නේ කොහොමද? දුෂ්කරම දේ කුමක්ද?

පිළිතුර – මට නම් නවකතාවකට යෑම මාස් ග‍්‍රහයා වෙත යෑම වගේ අද්භූත චාරිකාවක්. නවකතාවක් ලිවීම එහෙම්පිටින්ම අස්වාභාවික කි‍්‍රයාවක්. Unnatural act එය ශාස්තී‍්‍රය නොවන Non Classic Style එකක්. දුෂ්කරම දේ එයයි. ඒ ලිවීම පැරණි වියරණ පාසලේ ලිවීමට, හෙළ බසින් ලිවීමට හාත්පසින් වෙනස් දෙයක්. ඒ වගේම කවර හෝ ආකෘති වාදයකට ඉඩක් නැහැ. Structuralism නවකතාව නව වන්නේ පළමු අකුර ලිවීමේදීම මහා අභියෝගයක් භාර ගන්නවා. ඒ භාෂාව හා කරන සටනයි. කවියා භාෂාවෙන් පිටතට ගමන් කරද්දී නවකතාකරුවා භාෂාවේ අභ්‍යන්තරයට ගමන් ගන්නවා. සම්මත භාෂා ප‍්‍රයෝග, භාෂා උගුල්, භාෂා විලාසිතා, අතැර දමා ඔහු හද මනැසේ ඇතුළාන්ත භාෂාවක් නිපදවා ගත යුතු වෙනවා. බස නියම නිර්මාණ බලය Emotions as real creative power කර ගත යුතු වෙනවා. ඇත්තෙන්ම හැඟීම් තමයි නවකතාවේ මහා ශක්තිය වන්නේ Emotions Which were the Oura මම ගෙදර යමි වැනි හැඟීම් නැති බසකින් වැඩක් නැහැ. කුරුල්ලෝ සුළෙඟ් පීනති. මාළුවෝ ජල පහරේ පියාඹති වැනි වෙනස් භාෂාවක් ඕනෑ කරනවා.

ප‍්‍රශ්නය – එතකොට නවකතාවක සැලැස්ම ආකෘතිය?

පිළිතුර – නවකතාවක ගෘහ නිර්මාණය සැලසුම් කිරීම තමයි අනෙක් රහස. මම සැලැස්ම ගැන මුලින්ම කල්පනා කරනවා. නවකතාවට ඇතුළු වීමට ලොකු දොරක් – පොඩි දොරක් තබනවාද? එය පෞරාණික පෙනුමකින් ද – නවීන හැඩයකින්ද? දිගු දෙබස් සංවාදවලට නවකතා ගෘහයේ ලොකු ආලින්දයක් තියෙනවාද? චරිතයක් නිහඬව හිඳ සිටින පොඩි පුටුවක්? වඩාත් රැස් දිදුලන විශාල ජනේල්? අඩ අඳුරු මීදුම ඇති පිටු? ලස්සන පඩි පෙළක් වගේ අවිනිශ්චිත අවස්ථා වර්ණනා …… ආදී වශයෙන් මම ‘කියාපාන දේ’ නොව ‘මවාපාන දේ’ ගැන සිතියම ඇඳ ගන්නවා. නවකතාව කීමේදී මම බලන්නේ නළුවෙකු වගේ. ඒ ඒ අවස්ථාවල හැඟීම් ඉරියව් කැමරා කෝණය රිද්මය සංස්කරණය ආදියෙන් තමයි කතාවේ පැහැය හැඩය සංගීතය මැවෙන්නේ. මායාමය – සංගීතමය Musical Sense – Sense of Dream නවකතාවක මානසිකයයි. ප‍්‍රබල නවකතාව පතුරම් පිරිච්ච පිස්තෝලයක් වගේ. ඉන් අධික වේගයක් සංකල්පීය පිපුරුමක් සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම උසස් නවකතාව නිශ්ශබ්දයි. ඒක මැරිච්ච සීතලක් නොවෙයි. ඇත්තේ කෑගසන නිහඬකමක්. Silence Screms මගේ ඔබ සමග, ක්ලැරා, වෙස්ගත් කතාවක් නවකතාවල ඇත්තේ එයයි. එය RIMBAUD ගේ ආත්මීය නිශ්ශබ්දතාව වගේම MALAME ගේ බුද්ධිමය නිශ්ශබ්දතාවයි.

ප‍්‍රශ්නය – ඔබ මෙරට පිළිගන්නා ඔබ අනුගමනය කරන කතාකරුවන් කවුරුන්ද? පියදාස සිරිසේන ඩබ්ලිව්. ඒ සිල්වා කතාකරුවන් පිළිගන්නවාද?

පිළිතුර – මම කිසිවකු අනුගමනය කරන්නේ නෑ. මමම යි පුද්ගලයාත් මමම යි සමාජයත්. මා කරන්නේ මගේ සිතෙහි ලොව මවා පෑමයි. පිටු 200 ක පොතක් මං පාඨකයාට දෙනවා. ඔහු එයින් අවුරුදු 2000 ක ලොවක් ප‍්‍රතිනිර්මාණය කර ගන්නවා ඇති. ලේඛකයාගේ නිර්මාණ ලොවේ ඔහුගේම අත්සන ඔහුගේම පියවර ලකුණු තිබෙන්න ඕනෑ. නවකතාව පුද්ගලාත්මයේත් සමාජත්මයේත් කැඩපතක්. දේශපාලන කතා බොහොමයක් අසාර්ථක වන්නේ ඒවාට පුද්ගලාත්මය පතිත නොවීම නිසයි. වික‍්‍රමසිංහගේ ගම්පෙරළිය, යුගාන්තය, කලියුගය, ලොවට දිය හැකි බලගතු නවකතා ති‍්‍රත්වයක්. විරාගය, චරිත තුනක්, හෙවනැල්ල, ගන්ධබ්බ අපදාන, මළගිය ඇත්තෝ දෙවැනි අවධියක මහා නිර්මාණ. ඒවා සමග අපට බොහො කල් ජීවත් වෙන්න පුළුවන්. නුතනයට එන විට සඳුන් ගිර ගිනි ගනී, වප්ම`ගුල, අස්වැන්න, කන්දක් ගිනි ඇවිලෙන්නේ, දඟර තරප්පුව, විශාල පරිකල්පනයක් ඇති ප‍්‍රබන්ධනයන්. ඒවා පශ්චාත් නුතනවාදයේ නොව යථාර්ථවාදයේ ජයග‍්‍රහණයන්.

පියදාස සිරිසේන, සයිමන්ද සිල්වා රචනා කළ තෙරේසා. මහාවියවුල, අපේ ආගම, ජයතිස්ස රොසලින් ආදී මුල් සිංහල නවකතා සුළු ප‍්‍රබන්ධ නොවේ. මහා ලිවීම්. ඒවා ආසියා ආපි‍්‍රකානු යටත් විජිත විරෝධී සාහිත්‍ය උරුමයටයි අයිති වන්නේ. ඒවා චින්තනයෙන් ද අභිමතාර්ථවලින් ද ඉතා විමුක්තිකාමී බලගතු දේශීය ප‍්‍රබන්ධ කලාවක්. ඒ ප‍්‍රබන්ධකරුවන් ඉතා විවෘතව කියා සිටියේ තමා ලියන්නේ බටහිර නවකතාවේ එළිය ලබමින් එහෙත් ජාතිය ගලවා ගැනීමේ පරම අරමුණින්ය කියාය. බටහිර පාලන සමයේදී එම සංස්කෘතික – දේශපාලන ආක‍්‍රමණයට එරෙහිව පිටුවෙන් පිටුව බටහිර ම්ලේච්ඡවාදය හඬගා පෙන්නා සිටීම ඔවුන්ගේ සමාජ වගකීම හා වීරත්වයයි. එදා ඒ නව කතාවකට ‘මහා වියවුල’ කියා නම තැබීමට යටත් විජිතයක බිඳවැටීම සංකේතවත් කරන මහා සංඥාවක් නොවේද? ඒවා පාඨක සමාජයේ ඇස් අරවන සිත පුබුදන සංවාදයක් වුණා. සුද්දන්ගේ හා කළු සුද්දන්ගේ චරිත විවරණය කරන සංවාදයන්ගෙන් එම ඉතිහාසේ සජීවීව හෙළිදරව් කර තිබෙනවා. කළු සුද්දන්ගේ විපරීත භාවය පෙන්නුම් කිරීමට ඔවුන්ගේ මංගල උත්සවයකට ඇණවුම් කර ඇති මත්පැන් ලැයිස්තුවක් ද පළ කර තිබෙනවා. කවි සංවාද ලියුම් දින සටහන් යොදා ගෙන ඇත්තේ ‘කතා ගතිය’ STORYNESS මතුවන විදිහටයි. ඔවුන් කළේ ධර්මපාලයන්ගේ සමාජ අරගලය සාහිත්‍යයට පරිවර්තන කිරීමයි. මේවා නවකතා නොව පටු ප‍්‍රචාරණයන් ලෙස සරච්චන්ද්‍රලා දුටුවේ ඔවුන්ට ජාතීය විඥානයක් නොතිබුණු නිසයි.

මේ නවකතා පිටපත් 25000 ක් මුද්‍රණය වුණේ ජනතාව ඒවා තමා ගැන කියන සැබෑ සාහිත්‍යයක් ලෙස භාරගත් නිසයි. ඩබ්ලිව්. ඒ. සිල්වාගේ අද්භූත රීතියෙන් ලියැවුණු නවකතා මල්වෙඩිල්ලක් වගේ පොදු ජනයාගේ සාහිත්‍ය ජීවිතය ආලෝකමත් කළා. එදා නාඩගම්කරුවා ද විරිදුකරුවා ද කවි කොළකරුවා ද ගමන් ගත්තේ ඒ මහා සමාජ සේතුවක් දිගේ.

ප‍්‍රශ්නය – ඔබ කලාව කලාව සඳහා යන මතය ප‍්‍රතික්ෂේප කරනවා. ඔබට අනුව සමාජය ගොඩනැඟීම පිළිබඳ කාර්යභාරයක් නිර්මාණකරුවාට පැවරී තිබෙනවාද?

පිළිතුර – කලාව කලාව යන මතය ප‍්‍රතික්ෂේප කළේ ඉතිහාසයයි. එහෙත් ඒ මතය බිහිවුණේ යහපත් අරමුණකින්. ලෝක යුද්ධවලින් පසු බටහිර කලාවත් වාණිජයත්වයට හසුවන විට කලාව ඉන් රැක ගැනීම උදෙසායි කලාව කලාව පිණිසයි යන ශුද්ධ මතයක් ගොඩනැඟුණෙ. එහෙත් ධනේශ්වරයේ නැඟීමත් සමග කලාව ජනතාවගෙන් වෙන් කිරීමට ඒ මතය ප‍්‍රචාරය වුණා. කලාව සමාජයේ ප‍්‍රගතිය උදෙසා විය යුතුය යනු ඓතිහාසික මතවාදයයි. Plato මෙසේ කියා සිටියා. ‘‘හොඳ සාහිත්‍යය සමාජය ගොඩනඟන එකක් විය යුතුයි. සැබෑ ලොව හඳුනාගන්නට මිනිසුන්ට උදව් කරන්නක් විය යුතුයි. සියල්ල අවුල් කරන්නක් නොවිය යුතුයි.’’

මනුෂ්‍ය අවශ්‍යතාවයි සාහිත්‍යයේ අවශ්‍යතාව බවට පත්වන්නේ. මේ නිසා නවකතාකරුවකු හෙළි කරන එදිනෙදා ජීවිතය දාර්ශනික වලාකුළුවලින් වැසී යන්න බැහැ. ලිංගික කසළවලට යට වෙන්න බැහැ. කලාවේ ඇත්තේ සමාජ තලයක ජීවත් වන මිනිසාගේ මහා ආධ්‍යාත්මයයි.

දේශපාලනය සාහිත්‍යයට සම්බන්ධ කිරීමය කියා ප‍්‍රශ්නයක් නැහැ. සම්බන්ධය ඒ දෙක තුළමයි ඇත්තේ. නිර්මාණකරුවාට සමාජය ගැන නොසිතා ලියන්න බැහැ. The writer can never be a neutral cold
observer එහෙම ලිව්වොත් චරිතවල හුස්ම නැතිවන බව නව විචාරකයින් පවසනවා. They lose their air සාහිත්‍යය රෝගී වෙනවා. ආගමික සාරධර්ම ප‍්‍රතික්ෂේප කරමින් මාක්ස්වාදී උපකරණ භාවිත කරමින් ලියූ ජීන් පෝල් සාත‍්‍ර කියා සිටියා තම ලිවීමේ ගාමක බලවේගය ජීවිතය වෙනස් කිරීමය කියලා. ජෝර්ජ් ඕවල් ප‍්‍රකාශ කළෙත් අවුරුදු 10 ක්ම මං කළේ දේශපාලන ලිවීමක් සාහිත්‍යයට දැමීමය කියලයි. ‘‘….. මගේ කෘතියට වෙනත් අරමුණක් නැහැ. අරමුණ කෘතියමයි. ගුවන් යානයක් පදවන්නෙකු වගෙයෙි. අන් අරමුණක් නෑ’’ කියා වරක් අශෝක හඳගම කියා සිටියා. එය අභූත ප‍්‍රකාශයක්. ගුවන් නැවියාගේ උත්තම අරමුණ තම මගියා ගමනාන්තයට ආරක්ෂාකාරීව ගෙන යෑමයි. ලේඛකයාගේ මරණය ගැන කතා කළේ සාරධර්මවලින් නිදහස් වීමට තැත් දැරූ බටහිර පශ්චාත්නුතනවාදීන්. හැම ආකාරයකම මතවාද භයානකයි. මත්ද්‍රව්‍ය වගේ. දුරදක්න අණුදක්නවලින් 3D ලෙන්ස්වලින් මිනිසුන් දෙස බැලීම යථාර්ථ කලාව නොවෙයි. මෙම වීරයාව මරණයට පත් කරන්නේ නැහැ.

මෙතැනදී කිවයුතු දෙයක් තිබෙනවා. දේශපාලනයට සාහිත්‍ය පරිවර්තනය කිරීමේදී මූලික අර්බුදයක් තිබෙනවා. බොහොමයක් දේශපාලන තේමාගත නිර්මාණ අසාර්ථ වන්නේ මේ නිසා. සාහිත්‍යයත් – දේශපාලනයත් වෙනස්ම රසායන දෙකක්. ඒ දෙක සංයෝග කිරීමට මහා නිර්මාණ මනසක් අවශ්‍යයි. ලේඛකයාගේ සතුරා ප‍්‍රචාරණයයි කියා පැරේන් විග‍්‍රහ කළේ මේ සංයෝගයේදී සිදුවන වැරදීම ගැනයි. දේශපාලනය ගැන සමාජය ගැන ලිවීමේදී බොහෝ විට නුතන සාහිත්‍ය කෘති සාහිත මාර්ගයෙන් පිටතට ඇදවැටෙන බව මාග‍්‍රට් චැටර්ජී, වාසුදේවන් නායර් වැනි ඉන්දීය විචාරකයින්ගේ ද අදහසයි. නිර්මාණය සමාජ මඩෙහි එරී යෑම නොවෙයි සිදුවිය යුත්තේ. එය සමාජ පසෙහි තරව ඉදිකරලීමයි. මගේ ප‍්‍රයත්නය එයයි.

සාකච්ඡා කළේ
රුවන් ජයවර්ධන

advertistmentadvertistment