නවකවදය හිංසාවක්…

459

වසර දෙකහමාරකට පසු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමෙන් පසු සුපුරුදු පරිදි නවකවදය ගැටලුව ඉස්මතු වෙමින් තිබෙන අතර නැවත විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑමේ අර්බුදයක් නිර්මාණය වෙමින් තිබේ. මේ නිසාම ඇතැම් පිරිසක් විශ්වවිද්‍යාලය හැරයෑම සිදුවන අතර තවත් පිරිසක් නවකවදය හේතුවෙන් මානසික පීඩනයකට පත්වෙමින් සිටින බව ද වාර්තා වීම කනගාටුදායක තත්ත්වයකි. කෙනකුට හිංසා කිරීමේ මානසික තත්ත්වය කෙබඳුද, හිංසනයට ලක්වන අයගේ මානසික තත්ත්වය කෙබඳුද සහ නවකවදය සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියෙන්ම නතර කර ගැනීමේ අවශ්‍යතාව ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධව කැලණිය විශ්වවිද්‍යලයීය වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය අරුනි හපන්ගම මහත්මිය සමග කළ සාකච්ඡාවකි.

නවකවදය හිංසාවක්...

නවකවදය කියන්නේ ඇත්තටම හිංසාවක් නේ ද?
 

 වචනයෙන්ම අදහස පැහැදිලි වෙනවානේ මේ කරන්නේ හිංසාවක් කියලා. මේ නවකවදය එක එක පැතිවලින් සිදු වෙනවා. හැම එකකින්ම වෙන්නේ මොනවා හරි හිංසාවක්. හිංසාවක් වුණාම එය විඳින කෙනාට මේක මානසිකව බලපාන්න පුළුවන්. ඒ අයට විශාදය (depression) වගේ රෝග හැදෙන්න පුළුවන්. ඊටත් වඩා දරුණු තත්ත්වයට ගිහිල්ලා භින්නෝන්මාදය (schizophrenia) වගේ රෝග හැදෙන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දුන්නාට පස්සේ ඒ ගැන නිතර නිතර මතක් වෙන එක, නිතර නිතර ඒ සිදුවීම සම්බන්ධයෙන් භයානක හීන පෙනීම, එම සිදුවීමට සමාන සිදුවීම් හෝ තත්ත්වයන්ට මුහුණදීමේදී දැඩි ආතතියක් දැනීම, ඒ හා සමාන සිදුවීම් මගහැරීම් සිදුවීම් වැනි රෝග ලක්‍ෂණ සහිතව පශ්චාත් කම්පන ආතති ආබාධය (Post Traumatic Stress Disorder(PTSD) වැනි තත්ත්වයක් ඇතිවෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඉස්සර ඒ රෝග තිබ්බ අයට රෝග මතුවෙන්නත් පුළුවන්. ඊට අමතරව ඒ අයට විශ්වවිද්‍යාලයට එන එක එපා වෙනවා. මෙහෙම දේවල් වෙනවා කියලා දැන ගත්තාම ඒ අයට මේවගේ තැන්වලට එන්න හිතෙන්නේ නෑ. විශ්වවිද්‍යාලයකට එන්නේ අධ්‍යාපන කටයුතු කරගෙන උපාධියක් ලබා ගන්න. නමුත් බය නිසා එතනට එන්නේ නෑ. එන අයට මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණොත් විශාදය වගේ රෝග ඇති වෙන්න ඉඩ තියෙනවා නැත්නම් උපාධිය පැත්තක දාලා ගෙදර යන්න පුළුවන්. අවුරුදු 20-25 කියන්නේ සමාජයට අත්‍යවශ්‍යම වයස් කාණ්ඩයේ අය. ඒ අයගේ සම්පූර්ණ ජීවිතයම කඩාකප්පල් වෙනවා මේ නවකවදය නිසා.

මේ වයස් කාණ්ඩයේ අයගේ දරා ගැනීමේ ශක්තිය කෙබඳුද?
 

 මේ වයසෙ දි එක එක්කෙනාගේ යම්යම් දේවල් දරා ගැනීමේ ශක්තිය වෙනස්. දරා ගැනීමේ ශක්තියට අපේ ජාන බලපානවා. කුඩා කල අපි හැදුණු පරිසරය බලපානවා. අපි දැකලා තියෙන දේවල් බලපානවා. අපේ මවුපියෝ හරි අපි ආදරය කරන අය හරි අපව පුරුදු කරලා තියෙන්නේ ආදරය කරලා ප්‍රශ්නයකට මුහුණදෙන ආකාරය කියා දීලා නම් තරුණවියට එළඹෙද්දීත් ඒ පුරුදු තියෙනවා. නමුත් පොඩිකාලේ ඉඳලා ඕනෑවට වඩා ආරක්ෂා කරලා හරි වැඩියෙන් හොයලා බලන්නේ නැති ළමයාට ප්‍රශ්නවලට මුහුණ දීමේ හැකියාව අඩුයි. ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය අනුවත්, ප්‍රශ්නය මතත් දරාගැනීමේ හැකියාව වෙනස් වෙනවා. නවකවදය කරන අයත් මානසික ප්‍රශ්නවලින් පෙළෙන අය වෙන්න පුළුවන්.

නවකවදය දෙන අයගේ මානසික තත්ත්වයේ විශේෂත්වයක් තියෙනවා ද?
 

 නවකවදය දෙන හැම කෙනාටම යම්කිසි විදියක මානසික ප්‍රශ්නයක් තියනවා කියලා මම හිතනවා. එක අතකින් ඒ අයගේ පෞරුෂත්වයේ, ආත්ම අභිමානයේ ප්‍රශ්න තියනවා කියන්න පුළුවන්. අපව පොඩිකාලේ ඉඳන් පුරුදු කරලා තියෙන්නේ හරි පුරුදු. අනික් අයට හිරිහැර නොකර අපිට ඕන දේ ලබා ගන්න. නමුත් මේ අය අනෙක් අයට හානි කරලා වින්දනයක් හෝ සතුටක් ලබනවා. අලුත් අයව පිළිගන්නනම් ඒකට සදාචාරාත්මක යහපත් ක්‍රම තියෙනවා. කෙනකුට රිදවලා ඒක කරන්න ඕන නැහැනේ. ඒක විඳින කෙනාට ශාරීරිකව හරි මානසිකව හරි හානියක් වෙනවා නම් කරන කෙනාටත් ප්‍රශ්නයක් තියෙන්න ඕන කියලා මම හිතනවා.

නවකවදයට යොමුවෙන අය හිතන්නේ පළමු වසරේ දී අපි විඳපු දෙය අනික් අයටත් විඳින්න දෙන්න ඕන කියලා. මේ මොන වගේ මානසික තත්ත්වයක් ද?
 

 සමහර අය හිතනවා අපි කරදර වුණානම් අනිත් අයත් ඒ කරදර විඳලා අත්දැකීමක් ලබා ගන්න ඕන කියලා. ඒකෙන් වැරදි ආදර්ශයක් තමයි අපෙන් පස්සේ එන ළමයින්ට දෙන්නේ. විශ්වවිද්‍යාලය හොඳ තැනක් අපේ අධ්‍යාපන කටයුතු කරගන්න පුළුවන් තැනක් කියලා ළමයි එන්නේ සතුටු සිතින්. ඒත් ළමයි ඇතුළට එන්නේම බයෙන් මොනවා කරයි ද කියලා හිතමින්. අපට වෙච්ච දේ අපි අනෙක් අයට ලබා දෙන්න ඕන නැහැ ඒක හිංසනයක් නම්. නමුත් අපට ලැබිච්ච හොඳ අත්දැකීම් අපි නවකයන්ට දෙන්න ඕන.

මේ නවකවදයට යොමුවෙලා ඉන්නේ නිවසේ දි හෝ බාහිර සමාජයේදී යම් කිසි ප්‍රශ්නයකට මුහුණ දීපු අය ද?
 

 කුඩාකල සිටම ඒ අයගේ හැසිරීම් රටා දිහා බැලුවොත් ඒගොල්ලන්ගේ කුමන හෝ දුර්වලකමක් තියෙන බව පේනවා. සත්තුන්ට හානි කරනවා, බොරු කියනවා. අනෙක් අයට හානි කරනවා. එහෙමත් නැත්නම් පෞරුෂත්වයේ සුළු ප්‍රශ්න තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආත්ම අභිමානයේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. මම කැපී පේනවා මදි මොනවා හරි මම කරන්න ඕන කියලා හිතනවා. එහෙම නැත්නම් දැඩි මානසික රෝග තියෙනවා වෙන්න පුළුවන්. ලොකු වුණාම සමාජයේ තියෙන නීතිවලට විරුද්ධව යන්නේ මේ වගේ අය. නවකවදය කියන්නේ අපේ රටේ සහ වෙනත් රටවල නීතියට විරුද්ධ දෙයක්. මේවා කරන අය පිළිබඳ සොයා බැලීමේදී ඔවුන් මේවගේ ප්‍රශ්න තියෙන අය බව පේනවා.

 මේ අයට නිවැරදි අවබෝධයක් දියහැකි මාර්ගය මොන වගේ ද? මේක දඬුවමින් පමණක් හදන්න පුළුවන් දෙයකුත් නෙවෙයිනේ.

 ඒ අය දැනගන්න ඕන නවකවදය කියන්නේ අපේ රටේ ව්‍යවස්ථාව අනුව දඬුවම් ලැබිය යුතු වරදක් කියලා. 1998 අංක 20 දරන පාර්ලිමේන්තු පනතින් මේ සම්බන්ධව පැහැදිලි කරලා තියෙනවා. මම වෙන කෙනකුට හානියක් කරනවා නම් මගේ ප්‍රශ්නයක් නිසා කියන එක නවකවදය කරන කෙනත් එක්ක සාකච්ඡා කරන්න ඕන. මොනවාද ඔවුන්ගේ තියෙන අඩුපාඩු කියලා ඔවුන්ට අතීතයේ මොනවා හරි වෙලා තියෙනවාද කියලා සොයා බලන්න ඕන. සමහරු ඒ පිළිබඳව සාකච්ඡා කරන්න කැමතියි. ඒත් සමහරු හිතනවා මට ප්‍රශ්නයක් නෑ මම හරි කියලා. ඒ අය තමයි වෙනස් කරන්න අමාරු. සමහර අය හිතනවා මට ප්‍රශ්නයක් තියෙනවා මම ප්‍රතිකාර ගන්න කැමතියි කියලා හිතන අය. ඒ අය වෙනස් කරන්න ලේසියි.

මේ ප්‍රශ්නය කාලයක් අවුරුදු ගණනාවක් තිස්සේ තියෙන දෙයක් නමුත් තවමත් මේකට හරි විසඳුමක් ලැබිලා නෑ නේ ද?.

 ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි ඒ කරන පිරිස අපට හඳුනා ගන්න අමාරුයි කවුද කියලා. හඳුනා ගත්තත් උසාවියෙන් යොමු කළත් ප්‍රතිකාරවලට එන්නේ නෑ. ප්‍රතිකාර දුන්නත් ඒ ප්‍රතිකාරය ලබා ගන්නේ නෑ. සමහර අය විශ්වවිද්‍යාලය හැර ගිහින්. නමුත් බාහිර සම්බන්ධතා මත ළමයින්ට හිරිහැර කරනවා. ප්‍රතිකාර කළ සුළු පිරිසක් හරි ප්‍රතිකාරවලින් හොඳවෙලත් තියෙනවා. අපිට කියන්න බෑ හැමෝම හරි මාර්ගයට ඇවිල්ලා නෑ කියලා.

මේ පීඩාව දරා ගන්න බැරිව ජීවිතය පවා නැති කර ගන්නා කොටසක් ඉන්නවා?
 

 මේ වගේ අත්දැකීම්වලට මුහුණ දීලා නැති අය, මේවාට බය හිතන අය, ශාරීරිකව හා මානසිකව බිඳ වැටෙනවා. අලුත්ම දෙය නම් සමාජ මාධ්‍ය හරහා වැරදි දේවල් ප්‍රචාරය කරලා එක එක්කෙනාගේ හිත් රිදවනවා. ඒකත් මානසිකව බලපානවා. මනස හැම දේකටම වැදගත් නිසා දරා ගැනීමේ ශක්තිය අනුව එක එක්කෙනාගේ මානසික ප්‍රශ්න වෙනස් වෙනවා. කලින් පැහැදිලි කළ ආකාරයට කෙනකුට කුඩා කල අත්විඳින්න ලැබුණු අත්දැකීම් ජෛව විද්‍යාත්මක සාධක අනෙක් අයගෙන් තියෙන උදව් අපේ මානසිකත්වයට බලපානවා. මානසික රෝගයක් වැළඳෙන්න මොනවා හරි ලක්ෂණ තිබුණු කෙනෙක් නම්, ජානමය වශයෙන් මවුපියන්ට මානසික රෝගයක් තියෙනවානම්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවානම්, පිටස්තර කිසි කෙනෙක්ගෙන් මට උදව්වක් නෑ කියලා හිතනවානම් එහෙම කෙනකුට විශාදය වගේ රෝග හැදෙන්න තියෙන හැකියාව වැඩියි. නවකවදයටත් මුහුණ දුන්නාම ඔවුන් හිතනවා මට කාගේවත් උදව් නෑ මට හිරිහැරමයි වෙන්නේ මම අසරණයි මට ඉදිරියක් පේන්නේ නැහැ කියලා. ඒක විශාදය වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් වෙනත් රෝගයක් වෙන්න පුළුවන්. ඒ තත්ත්වයට ආවාම තමන්ගේ ජීවිතය හානි කරගන්නවා ඇරෙන්න පිළිතුරක් පේන්නේ නෑ. ඒක අවාසනාවන්ත තත්ත්වයක් එච්චර දුර යන්නේ නැතිව අපට මුල ඉඳන් ඒ අයට උදව් කරන්න පුළුවන්. විශ්වවිද්‍යාලයේ අනෙක් අයයි උගන්වන පිරිසයි මේ පිළිබඳ අවධානයෙන් හිටියාම ඔවුන්ට දුර දිග යෑමට පෙර ප්‍රතිකාර කරන්න පුළුවන්.

නමුත් ඔවුන්ටත් යම්කිසි දරා ගැනීමේ ශක්තියක් තිබිය යුතුයි නේ ද?
 

 දරාගැනීමේ හැකියාව පොඩිකාලයේ ඉඳන්ම ළමයින්ට පුරුදු කරන්න ඕන දෙයක්. ස්ථිරසාරභාවය  (assertiveness)  ඒ කියන්නෙ මම කොහොම ද මට ඕන දේ අනෙක් අයට රිදවන්නේ නැතිව ලබා ගන්නේ, මම කොහොම ද ටීම් ඒකක වැඩ කරන්නේ, මම වෙලාවට වැඩ කරන්නේ කොහොම ද, ඒවා පොඩි කාලයේ ඉඳන්ම අපට ගෙදරින් එන්න ඕන, පාසලේදී උගන්වන්න ඕන දේවල්. ප්‍රශ්නයකට මම කොහොම ද මුහුණ දෙන්නේ කියලා, කවුරුහරි මාව රිද්දුවොත් මාත් එක්ක තරහා වුණොත් මම කොහොමද ඒක දරා ගන්නේ, වගේ දෙවල් කුඩා කාලයේ සිටම අපේ ළමයින්ට කියා දෙන්න ඕන. කෙනෙක් මට ගැහුවාම එයාට ගහන එක නෙවෙයි පිළිතුර. එයා මට ගැහුවේ ඇයි සහ මම කොහොමද මාව ආරක්ෂා කර ගන්නේ කියලා දැන ගන්න ඕන. පිට රටවල පළවෙනි අවුරුදු දෙකේම ඒ අයට උගන්වන්නේ අනෙක් ළමයින්ගෙන් වෙන හානි කොහොමද වළක්වා ගන්නේ කියලා. තමන්ව ආරක්ෂා කර ගන්නේ කොහොම ද කියලා. ප්‍රශ්නවලට මුහුණ දෙන යහපත් ආකාර ඒ කියන්නේ තරහා පාලනය කරගන්නේ කොහොම ද මත්පැන් වගේ දේවල් පාවිච්චි නොකර කොහොම ද ප්‍රශ්න විසඳා ගන්නේ කියලා පොඩි කාලයේ ඉඳලාම දැනගෙන ඉන්න ඕන. අවුරුදු 18 වුණාට පස්සේ එක පාරටම මේවා හදන්න බෑ. පොඩි කාලයේ ඉඳලාම ප්‍රශ්නයට මුහුණ දෙන ආකාරය හඳුනා ගන්න, සමාජයට ගැළපෙන විදිහට ඉන්න ඕන කොහොම ද කියලා ඉගෙන ගන්න අවශ්‍යයි.

විශ්වවිද්‍යාලය ආරම්භ කළේ අවුරුදු කිහිපයකට පස්සේ. නමුත් මේ නවකවදය නිසා විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගෙන යෑමේ ලොකු ගැටලුවක් මතු වෙමින් තිබෙනවා ?

 පසුගිය කාලයේ විශ්වවිද්‍යාලවල මාර්ගගතව වැඩ කළ නිසා නවක ළමයි ජ්‍යෙෂ්ඨයන්ට හම්බ වෙලා නෑ. මේ නිසා යම් යම් ගැටලු වැඩියි. නවක ළමයින්ට විශ්වවිද්‍යාලවලට එන්න තියෙන බය නිසා අධ්‍යාපන කටයුතු අඩාල වෙන්න පුළුවන්. ඇවිල්ලා අපි අඳින පළඳින ආකාරයට සපත්තු දාන ආකාරයට මොනවා හරි කියයි කියලා බය තියෙනවා. මේ නිසා නවකවදය කිසිම විදිහට අනුමත කරන්න බෑ. නවකයන්ට අවශ්‍ය දැනුවත් කිරීම් තියෙනවා. නමුත් ඒවා කියන විදිහක් තියෙනවා. හොඳ භාෂාවකින් කතා කරලා කියන්න පුළුවන්. ඔවුන්ට අවශ්‍ය උදව් ලබා දෙන්න පුළුවන් එහෙම වුණාම හොඳ පිළිගැනීමක් තියෙනවා ආයෙත් එන්න ආසා හිතෙනවා. එහෙම නැතුව හිංසනයයෙන් පැහැදිලි කිරීම් කරන්න ගියොත් ඔවුන්ට එතනට එන්න හිතෙන්නේ නෑ. අවුරුදු ගාණක් තිස්සේ මේක කියනවා. හැම අවුරුද්දේම කියනවා ළමයින්ගේ අධ්‍යාපනයට මේක බලපාන්න පුළුවන් කියලා. විශ්වවිද්‍යාලයේ සම්පූර්ණ වැඩපිළිවෙළට මේක බලපාන්න පුළුවන්. මේක සම්පූර්ණයෙන්ම නතර කරන තත්ත්වයකට පත්විය යුතුමයි.

නවකයන් හඳුනාගැනීම සඳහා හිංසාවෙන් තොර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකියි නේ ද?
 

 කාටවත් හානි කරන්නේ නැති උප සංස්කෘතියක් තියා ගන්න පුළුවන්. නවකයන් එනකොට හඳුන්වලා දෙන්න සුහද හමුවක් තියන්න පුළුවන්. විවිධ ප්‍රසංග තියන්න පුළුවන්. තරග තියන්න පුළුවන් පිටරටවල ඒ වගේ ඒවා කෙරෙනවා. අපේ පීඨවලත් ඒවගේ දේවල් කරනවා. එතකොට හරි සුහදයි. ළමයිට බයක් නෑ ඒවගේ දෙවල් කරන්න. ඔවුන් දන්නවා හානියක් සිද්ධ වෙන්නේ නෑ කියලා. ඊළඟ කණ්ඩායමට එහෙම වෙන්න තියෙන හැකියාව අඩුයි. මොක ද ඔවුන් පිළිගත්තේ හොඳින් නිසා. වෙන කෙනකුට හානියක් කරන්න හිතෙන්නේ නෑ. නවකවදයක් අවශ්‍ය වෙන්නේ නෑ අලුත් ළමයින්ව අඳුරා ගන්න.

වෛද්‍ය පීඨවල මේ තත්ත්වයේ අඩුයි කියන මතයක් තියෙනවා. ඒක ඇත්ත ද?
 

 මේ හැම පීඨයකම නවකයන් පිළිගැනීමේ එක එක විදි තියෙනවා. තවත් පැත්තකින් අපි ඉන්නේ අනෙක් පීඨවලින් වෙනම. එතනින් අපට ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේම අපේ අධ්‍යයන පාඨමාලා අසීරුයි. අවුරුදු පහෙන් ඉවර කරන්න ඕන. ළමයි ඉන්නේ සුළු පිරිසක් නිසා ඒ අය ගැන අවධානය යොමු කරන්න තියෙන හැකියාව වැඩියි. ප්‍රශ්නයක් වුණත් දැනගන්න පුළුවන් හැකියාවත් වැඩියි. අවුරුදු ගාණක් එක එක කැම්පේන් කළා. නවකවදයට දෙන දඬුවම මේකයි ඉන් එහාට ප්‍රශ්නයක් තියනවානම් ඇවිල්ලා අපිව හම්බ වෙන්න කියලා. නවකවදය දෙන කෙනාටත් අපි කියනවා මෙහෙම දේවල් කරන්නේ මානසික ප්‍රශ්න තියන අය එහෙම නම් අපිව ඇවිල්ලා හම්බ වෙන්න කියලා.

 ඕනම ප්‍රශ්නයක් ඇවිල්ලා කියන්න කියලා. සමහරු ඇවිල්ලා කියනවා ඊමේල් කරනවා. සමහරු මොනවත් කියන්නේ නෑ ප්‍රශ්නයක් වෙයි කියලා. ඒ වගේම පෞද්ගලිකව ඒ ළමයි හම්බ වෙනවා එයාලගේ තොරතුරු දැන ගන්නවා. ඕන වෙලාවක අපිව හම්බවෙලා ඕනම ප්‍රශ්නයක් කියන්න පුළුවන් කියලා එයාලව දැනුවත් කරනවා.

රසිකා එස්. රණවීර
 සන්නිවේදන හා මාධ්‍ය ඒකකය,
 කැලණිය විශ්වවිද්‍යාලය.


advertistmentadvertistment