නවකවධයට විසඳුම කොතලාවල පනත නෙවෙයි… විහිළු කතා එපා

517

2021 අගෝස්තු මස 08 වැනි ඉරිදා දිවයින පුවත්පත ‘කොතලාවල පනත ගැන හිතළු කතා එපා – ඇත්තම කතාව දැනගන්න’ යන සිරසින් නන්දජීව සූරියබණ්ඩාර මහත්මා විසින් ලියා පළ කරන ලද ලිපියට ප‍්‍රතිචාර දැක්වීමට මෙම ලිපිය ලියැවෙයි. සූරියබණ්ඩාර මහතාණන් සමග මේ සංවාදය අඛණ්ඩව ගෙනයෑම නිශ්ඵල බැවින් ඉදිරි සතියක ඒ මහතා කුමක් ලියූවද ඒවාට පිළිතුරු බැඳීමට මම අපේක්ෂා නොකරමි. ඊට හේතුව එතුමා ලියාඇති ලිපිය අඟවන අනන්‍යතාව, කරුණුවල සාවද්‍යතාව හා ප‍්‍රස්තුත තර්කණයෙන් පිට පැවතීම ආදී කරුණුය. පිළිතුරු ලිවීමේ ඒ මහතාගේ රුචිය හා හිමිකමට කිසිදු අභියෝගයක් නොකරමි.

නන්දජීව සූරියබණ්ඩාර මහතා සිය අනන්‍යතාව වෘත්තීය හා ආයතනික වශයෙන් අනාවරණය කළා නම් සදාචාර සම්පන්නය. පාඨක විශ්වසනීයත්වය ජනිතවීමට ඉවහල් වේ. තමා ලියන ලිපියේ කරුණුවල, දෘෂ්ටියේ හා අවශ්‍යතාවේ ස්වභාවය සෑහෙන දුරට එම අනන්‍යතා සත්‍ය මත තීරණය වන බැවිනි. කෙසේ වුව ද සූරියබණ්ඩාර නමැත්තෙකුට මෙසේ පිළිතුරු ලියමි.

  • නවක වධය සහ විනය

එතුමාගේ ලිපියේ විශාල අවකාශයක් වෙන්කර ඇත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල කි‍්‍රයාත්මක නවක වදය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමටය. එසේම එබඳු කරුණු, මා ලියූ ලිපියෙන් උවමනාවෙන්ම මඟහැර ගොස් ඇති බව පෙන්වා දීමටය. රාජ්‍ය සරසවි, සන්නද්ධ හමුදා, පාසල්, සේවා ස්ථාන ආදී විවිධ ව්‍යුහයන් තුළ නවක වධය විවිධ ප‍්‍රවේශවලින් කි‍්‍රයාත්මක වෙයි. නවක වධය තිරශ්චීන කි‍්‍රයාවකි. අවාසනාවකට රාජ්‍ය සරසවිවල කි‍්‍රයාත්මක නවක වධය පිළිබඳව සූරියබණ්ඩාර මහතා දන්නේ පුවත්පත්වල පළ වූ තොරතුරු මගිනි. ඒ ඇතැම් කරුණු සාවද්‍යය. එහෙත් වැදගත් වන්නේ එය සත්‍ය ලෙසම රාජ්‍ය සරසවි මත ඇති කරන බලපෑමේ සත්‍යයයි.

මා එම තර්කය මතු නොකළේ එය මා ලියූ ලිපියේ කේන්ද්‍රීය තර්කයට, එනම් කොතලාවල පනතෙහි අනර්ථකාරී සහ මිලිටරිමය ස්වරූපයට අදාළ නැති බැවිනි. සූරියබණ්ඩාර මහතා මතුකර ඇති නිසා දැන් එය අදාළ කර ගැනුමට සිදු වේ.

රාජ්‍ය සරසවිවල කි‍්‍රයාත්මක දුෂ්ට සහ ව්‍යසනකාරී නවක වධයට විරුද්ධ වීමට, අවම කිරීමට හා පූර්ණ ලෙස නතර කිරීමට මෙන්ම වෙනත් නිර්මාණශීලී ප‍්‍රවේශයකින් එම අවකාශය පිරවීමට දශක දෙකක් පුරා අනවරත ලෙස කටයුතු කරමින් සිටිමි. ඒ සඳහා වැයකර ඇති කාලය මැනිය නොහැකි තරම්ය. සබරගමු සරසවියේ මගේ පීඨ මණ්ඩලය ඇතුළු ව්‍යුහයන් රැසක් තුළ මේ සම්බන්ධව මා කළ මැදිහත්වීමේ ප‍්‍රමාණය සූරියබණ්ඩාර මහතාට සිතා ගැනීමට හෝ නොහැකිය. මේ කුරිරු නවකවධය නිසා රාජ්‍ය සරසවිවලට ඇති වී තිබෙන දුර්විපාක විශාලය. ශිෂ්‍ය උපදේශකයකු ලෙස හා ආචාර්යවරයෙකු ලෙස මේ තේමාව සමග ඉමහත් ගැටුම්, විවාද හා කි‍්‍රයාමාර්ග රැසක මම නිරත වීමි. නවකවධය තිරශ්චීනය. දුෂ්ට ය. මානව විරෝධී ය. එය බොහෝ විට ශිෂ්‍ය සංගම්වල සහාය ඇතිව කි‍්‍රයාත්මක වෙයි. දුර්වල උප කුලපතිවරුන් හා පීඨාධිපතිවරුන් මේ අර්බුදය උග‍්‍රවීමට හේතු වෙයි. දුර්වල පාලකයන් සිසුන් සමග කරන දේශපාලන ගනුදෙනු මගින් මේ ප‍්‍රශ්නය වියවුලක්ව ඇත. මගේ සරසවි පීඨය වරක් මේ පිළිබඳ ශිෂ්‍යයන්ට බලපාන පරිදි දැඩි තීරණයක් ගත්තාය. නවකවධය නිශ්චිත ලෙස ඉවත් කරන තුරු උපාධි ප‍්‍රදානෝත්සවය, සමූහ ඡායාරූප, සාදවලින් වැලකීම, චරිත සහතික නිකුත්නොකිරීම ආදී දැඩි තීරණ ගතිමු. මගේ කාර්යාලයීය කාමරයේ මේ නිර්දේශ තවමත් අලවා ඇත. මුහුණුපොත මගින් ද ලිඛිතව ද පොදු ජනයාට ද හෙළිකර ඇත. මේ පිළිබඳ විමර්ශන කටයුතු කර අපමණ දඬුවම් දී ඇත.

සූරියබණ්ඩාර මහතා මතුකළ නිසා මේ කරුණු ලියුවෙමි. මේ අතිශය ටිකකි. නවකවධයට හේතු ඇත. එය සංකීර්ණ සමාජ දේශපාලන හේතු රැසක සංකලනයකි. දරිද්‍රතාව, කුල පීඩනය යටත්කර ගැනුමට ඇති ආශය ශිෂ්‍ය සංගම්වල සාවද්‍ය අර්ථකකථන හා විශ්වාස නිසා ඔවුන් ගන්නා ආඥාන තීරණ, බලය පිළිබඳ අදහස, ලිංගිකත්ව හේතු ආදී සියල්ල සංකීර්ණ ලෙස මිශ‍්‍ර වී ඇත.

රාජ්‍ය සරසවිවල නවකවධය පිළිබඳ නිදසුන් සූරියබණ්ඩාර මහතා දිගු ලෙස විස්තර කර ඇත. ඉන් අඟවන්නේ කොතලාවල සරසවිය තුළ එබඳු නවකවධයක් නැති නිසා එම පනත සුජාත ලෙසින් පිළිගැනුම මේ නවකවධ ගැටලූව විසඳීමට ඇති පිළියම බවයි. මෙය සාවද්‍ය අවබෝධයකි. නැවත ද කියමි. කොතලාවල පනතින් මිලිටරි සමාජයේ විනය, දැනුම හා අරමුණ ඉටුවෙයි. එම ප‍්‍රවේශය සිවිල් සිසුනට මොනම න්‍යායකින්වත් සංකල්පයකින්වත් ගැලපෙන්නේ නැත. එම ප‍්‍රවේශයම වැරදිය. වැරදි යෙදවුමකි. මිලිටරිය තුළ නීති රීති රැකෙන්නේ තනිකරම දඬුවම නිසාය. එම දඬුවම් ක‍්‍රමය පිළිගෙන එතැනට යන සාමාජිකයා එය කඩ කිරීමට සිතන්නේ නැත. සාමාන්‍ය සරසවිවල පුළුල් අරමුණු, නිදහස් ජීවන විලාස, ශාස්තී‍්‍රය බව, මානව සබඳතාවල විලාස ආදී කරුණු රැසක් නිසා දඬුවම මගින් පමණක් හික්මවීම, පාලනය කිරීම කළ නොහැකිය. මානව අයිතීන් හා නිදහස පිළිබඳව ප‍්‍රවේශ සරසවිවලට ලැබී ඇත්තේ ලෝක මට්ටමේ ඉතිහාසයක් ගමනක්, සංවාදයක් අනුවය. එහෙත් ඔවුන්ට ද නීති රීති, ව්‍යවස්ථා රැසක් ඇත. දුර්වල පරිපාලනය සහ ශිෂ්‍ය දේශපාලන ප‍්‍රවේශ විසින් මේ විශිෂ්ට සරසවි අර්ථකථන පළුදු කර ඇත. එහෙත් ඊට විසඳුම කොතලාවල පනත නොවේ. මිලිටරි විනය නොවේ. රාජ්‍ය සරසවි තමන්ට පිරිමසින ප‍්‍රවේශයකින් එය පාලනය කළ මනාය. එය නොකරන පරිපාලන ශිෂ්‍ය අඩවි රාජ්‍ය ව්‍යවස්ථා මගින් පාලනය කරගත යුතුය. දැනටමත් මේ පිළිබඳව ඕනෑවටත් වඩා නීති සම්පාදනය වී ඇත.

  • පෞද්ගලික සරසවි සහ අධ්‍යාපන වෙළෙඳකරණය
නවකවධයට විසඳුම කොතලාවල පනත නෙවෙයි… විහිළු කතා එපා

අධ්‍යාපනය නම් අවකාශය දෙස අප බැලිය යුතු ප‍්‍රවේශ මම දීර්ඝව ලියා ඇත්තෙමි. ආසන්න ඉන්දියාවේ තාගෝර් ප‍්‍රමුඛ ශාන්ති නිකේතන ප‍්‍රවේශය මෙන්ම ෆින්ලන්ත ප‍්‍රවේශය ද සාකච්ඡා කළ හැකිය. එතැන වෙළෙඳකරණය හා මිලිටරි ප‍්‍රවේශය යන දෙකම නැත. අප බිහිකරගත යුත්තේ විශ්වීය පුරවැසියෙකි. අද ලෝකය පත්ව ඇති සමාජ – දේශපාලන හා ආර්ථික අගාධය අභිමුව තෘෂ්ණාව, බල ලෝභය හා අසීමිත සුඛ විහරණය වැනි තේමා මගින් තව තවත් ව්‍යසනය උදා කරයි. සරසවි වැනි ප‍්‍රබල ආයතන මේ ශිෂ්ටාචාරමය වගකීම සහිතව මානව අර්බුදවලට විසඳුම් සෙවිය යුතුය. කොතලාවල පනත ගැන මට ඇත්තේ මේ ප‍්‍රබල කොන්ත‍්‍රාත්තුව බිඳ වැටීම ගැන සංකල්පීය තලයේ ගැටලූ රැසකි. එකම නිල ඇඳුම ඇඳ, පිරිසිදු පන්ති කාමරවල, ‘ලස්සන’ සරසවියක ඉගෙනීම නරක ද වැනි සරල මතික – අදේශ පාලනික සැක සංකා නොවේ.

සූරියබණ්ඩාර මහතා ලියා ඇති බොහෝ දේ මැසිවිලිය. ඒවාට පිළිතුරු අවශ්‍ය නැත. සමහර කරුණු වැරදිය. නිදසුන් 1994 – 1998 කාලයේ මහාචාර්ය සුනිල් ආරියරත්න සම්බන්ධ සිදුවීම. මේවාට නැවත කරුණු කීම කාලය ද පුවත්පත් අවකාශය ද නසා දැමීමකි.

‘‘කොතලාවල සරසවියේ මුදල් අයකිරීමේ කතාව සත්‍යයක් විය හැකිය’’ යනුවෙන් එතුමා ඉතා ප‍්‍රවේශමට කියයි. මේවා ද රැගෙන තර්ක කිරීම කැළම නිශ්ඵල කි‍්‍රයාවකි. ඔහු සත්‍ය දන්නා බැවිනි. සත්‍ය දනිතත් අවශ්‍යතාව, අනන්‍යතාව හා කොන්ත‍්‍රාත්තුව අනෙකක් වන බැවිනි.

දැනට තිබෙන යූ. ජී. සීය යටතේ ඇති පෞද්ගලික විශ්වවිද්‍යාල හා මුදල් අයකිරීම් ගැන එතුමා කියා ඇත. දැනට ලංකාවේ ඇත්තේ රාජ්‍ය සරසවිවලට අමතරව ‘උපාධි පිරිනැමීමේ අවකාශය’ (Degree Awarding Status) සහිත ආයතන සහ විදෙස් සරසවිවලට අනුබද්ධ (Afliated) ආයතනය. පූර්ණ අර්ථයෙන් පෞද්ගලික සරසවි ලංකාවේ නැත. එය අධ්‍යාපන ආයතන ගැන ගැඹුරු අවබෝධය ඇති අය දනිනත් සාමාන්‍ය ජනතාව නොදනිති. දැනට තිබෙන පෞද්ගලික ප‍්‍රවේශය ද අපේ වරදක් නොවේ. මෙපමණ කලක් රාජ්‍ය කළ අදූරදර්ශී පාලකයන්ගේ අක‍්‍රමිකතාය. අධ්‍යාපනය පිළිබඳ රාජ්‍යයේ අදහස කෙලෙස විය යුතු ද යන්න අතහැර එම වටිනාකම් දේශපාලනීකරණය කළ ‘බාල’ ස්වරූපය නිසා මේ වියවුල් සියල්ල ඇති වී ඇත.

දැනට තිබෙන රාජ්‍ය සරසවිවල ද පාඨමාලා මගින් මුදල් ඉපයීම් කරයි. එය මා කැමති හෝ අනුමත කරන ක‍්‍රමය නොවේ. නිදහස් අධ්‍යාපන ප‍්‍රවේශයේ වගකීම ඉටුකර අතිරික්තය මේ ඉපයීම්වලට යොදාගන්නා බව රජය කියයි. අතිරික්ත වටිනාකම තනිකරම ලාභය සේ පිළිගෙන එම ලාභය අනවරතව වර්ධනයට සියලූ බලය යෙදීම පෞද්ගලික සරසවි ක‍්‍රමයයි. මෙය තවම පරිපූර්ණ අරුතින් කි‍්‍රයාත්මක නොවීම ජාතික අධ්‍යාපනයේ වාසනාවකි. රාජ්‍ය සරසවි රාජ්‍ය අර්ථයෙන් පුළුල් කර මේ ප‍්‍රශ්නය විසඳීම කිසිදු ආණ්ඩුවක් නොකළාය. ඒ වෙනුවට මේ ව්‍යුහය දින දින අවුල් කර ඇත. මුග්ධ අමාත්‍යවරුන්ගේ කෙළිබිමක් බවට අධ්‍යාපනය පත්වීම ගැන සූරියබණ්ඩාර මහතා ප‍්‍රශ්න ඇසිය යුත්තේ මගෙන් නොවේ. දැනට තිබෙන අපේ රාජ්‍ය සරසවි දියුණු කර ලෝක මට්ටම සමග ගැලපීමට කිසිදු රජයකට බාධා නැත. මේ එකකටවත් විසඳුම කොතලාවල පනත නොවේ. අවංක ලෙස මේ අවුල දෙස බැලීමෙන් පමණක් සත්‍යය මතු කරගත හැකිය.

පනත සහ ශිෂ්‍ය අත්පොත දැන් සාමාන්‍ය සමාජයට අධ්‍යයනය කළ හැකිය. ජනතාව එය කළ යුතුය. පුවත්පත් ලිපි මගින් කරන පක්ෂපාති තර්ක මත මේ බලගතු ප‍්‍රශ්නය අතහැර නොදමන්න. දැනට මතු වී ඇති මහජන විරෝධය රජය පිළිගත යුතුය. මිලිටරිකරණය හා රාජ්‍ය උසස් අධ්‍යාපනය සියුම් ලෙස හා කූට ලෙස සම්බන්ධ කිරීම මැසිවිලිවලින් විසඳිය නොහැක. තිස් අවුරුදු යුද්ධය නිමාකිරීමට සන්නද්ධ අංශ කළ කැපවීම සමග මුග්ධ ලෙස පටලවා අවුල් කළ යුතු නැත. ඒ සන්නද්ධ අංශවල සාමාජික දරු දැරියන්ට ද පිවිසීමට ලොව ප‍්‍රබල රාජ්‍ය සරසවි පද්ධතියක් ලංකාවේ ඉතිරි කර ගැනුමට සන්නද්ධ අංශම දායක විය යුතුය. මිලිටරි රැකියාව කළ ද ඔවුන්ට ද සාමාන්‍ය සිවිල් ජීවිතයක් ඇත. ලොව ප‍්‍රබලම ප‍්‍රඥා මග ද පුළුල් නිදහස් දිවිය ද සාකල්‍ය අරුතින් අමිල දිවියක් වන සිවිල් සරසවි අත්දැකීම ඒ දරුවන්ට ද හිමි විය යුතුය. අප ඉල්ලන්නේ මේ අන්‍යොන්‍ය ගෞරවනීය ව්‍යුහ දෙක ඒ අයගේ ඓතිහාසික උරුමයට ද අනුව වෙන්ව තබන ලෙසය. පුබුද්ධත්වය පිළිබඳ මේ ආයතන දෙක දරන ස්ථාවරවල ගෞරවය සුරකින ලෙසය. දේශපාලන ගොදුරක් නොවන ලෙසය. ලොව ඇති පිළිගත් නිර්ණායක ගරු කරන ලෙසය. ඖෂධය, රෝගයට වඩා භයානක නොකරන ලෙසය.

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය

advertistmentadvertistment
advertistmentadvertistment