නවක වධයට එරෙහිවීම: – ජ’පුර සිසුවාගේ මරණයට  වරද පිළිගත් සිසුන් 7කට  සිරදඬුවම් සහ දඩ

1372

මියගිය සමන්ත සිසුවා

නවක සිසු සිසුවියන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක වධය දීමේ සම්ප්‍රදායට එරෙහිව කටයුතු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිiාලයේ ඕවිටිගල විතානගේ සමන්ත සිසුවාට පහරදී මරණයට පත් කිරීම ඇතුළු චෝදනා යටතේ නඩු පවරා තිබියදී වරද පිළිගත් විත්තිකරුවන් 7 දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා බරපතළ සිර දඬුවම් හා දඩ නියම කළේය.

උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිiාලවලට ඇතුල්වන නවක සිසු සිසුවියන්ට නවක වධය ලබාදීමේ අනිසි සම්ප්‍රදාය එවන් අවාසනාවන්ත මරණයකට හේතුපාදක වී ඇති බව පෙන්වා දෙමින් විනිසුරුවරයා එම දඬුවම් නියම කළේය. 2002 නොවැම්බර් 7 වැනිදා නීති විරෝධී ජනරාශියක නිරතවීම ඇතුළු අධිචෝදනා 11 කට වරද පිළිගත් 17 වන විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර 8 යි මාස 11 ක සිරදඬුවම් ද අධිචෝදනා 10 කට වරදකරු කරනු ලැබූ 6 වන විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර 3 යි මාස 02 ක සිරදඬුවම් ද ලබාදීමට විනිසුරුවරයා නියෝග කළේය.

එයට අමතරව අධිචෝදනා 10 කට වරදකරුවන් කළ එම නඩුවේ පළමු, දෙවැනි, දාසයවැනි සහ විසිදෙවැනි යන විත්තිකරුවන් හතරදෙනාට වසර 05 කට අත්හිටුවූ මාස 06 බැගින්වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 38,000 බැගින් වූ දඩ ගෙවීමටත්, අධි චෝදනා දෙකකට වරදකරු කරනු ලැබූ 11 වන චූදිතට වසර 05 කට අත්හිටුවූ වසරක සිරදඬුවම් හා රුපියල් 6000 ක දඩයක් ගෙවීමටත් විනිසුරුවරයා නියෝග කළේය.

අගතියට පත් පාර්ශ්වයට රුපියල් ලක්‍ෂ 05 බැගින් වූ වන්දි ගෙවීමටත් එම විත්තිකරුවන් 04 දෙනාට නියම කළ විනිසුරුවරයා සියලු විත්තිකරුවන්ට තම අධිකරණය විසින් එක් එක් චෝදනාවලට වෙන් වෙන්ව නියම කරනු ලැබූ සිරදඩුවම් එකවර ගෙවී යන ලෙසට ලබාදීමට ද නියම කළේය.

එම නඩුවේ සෙසු විත්තිකරුවන් හතර දෙනා සියලු අධිචෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

විත්තිකරුවන් විසිදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබූ නමුත් ඉන් 11 දෙනකු මුල් අවස්ථාවේදීම නිදහස් කිරීමට පූර්වගාමී මහාධිකරණ විනිසුරු කුමුදුණී වික්‍රමසිංහ මහත්මිය විසින් 2013 දෙසැම්බර් 02 දා නියෝග කර තිබිණි.

2002 වසරේ නොවැම්බර් 07 දා ඕවිටිගල විතානගේ සමන්ත සිසුවා ජීවිතක්‍ෂයට පත්වීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment