නවවැනි ජනාධිපතිවරණය 40ක් ඇප බඳිති

139

සුදුස්සන් කවුද? අවසන් තීරණය අද මැකො අතේ
උදේ 9.00 සිට 11.30 දක්වා විරෝධතා දැක්වීමට අවස්ථාව
පක්ෂවලින් 23ක් ස්වාධීනව 17ක්
රාජගිරිය මැතිවරණ කොමිසම අවට ප්‍රදේශය
අද විශේෂ ආරක්ෂිත කලාපයක්

නවවැනි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා පත්‍ර භාරගැනීම අද (15දා) පෙරවරු 9.00 සිට 11.00 දක්වා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ.

තරග කිරීමට අපේක්ෂා කරන අපේක්ෂකයන් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමේ කාලසීමාව ඊයේ (14දා) මධ්‍යහ්න 12.00ට අවසන් වූ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඊයේ දිනයේදී පමණක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙක් ඇප මුදල් තැන්පත් කරනු ලැබූහ.

මේ අනුව දේශපාලන පක්ෂ 23කින් හා ස්වාධිනව අපේක්ෂකයන් 17 දෙනකු ඇප මුදල් තැන්පත් කර ඇත.

රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ.එස්.පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී.ඩබ්ලිව්. එස්.කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්ත ද සොයිසා, ආනන්ද කුලරත්න, සරත් මනමේන්ද්‍ර, බත්තරමුල්ලේ සීලරතන හිමි, අක්මීමන දයාරතන හිමි, සිරිපාල අමරසිංහ, කේ.ආර්. ක්‍රිෂාන්, සරත් ෆොන්සේකා, අනුර කුමාර දිසානායක, පානි විජේසිරිවර්ධන, ඇන්ටනී වික්ටර් පෙරේරා, මුහම්මද් ඉල්යාස්, එම්.එම්. පේමසිරි, සිඩ්නි ජයරත්න, ටී.එම්. බණ්ඩාරනායක, ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ, එම්. තිලකරාජා, ජේ.ඩී.කේ. වික්‍රමරත්න, රොෂාන් රණසිංහ, මහින්ද දේවගේ, අනෝජ් ද සිල්වා, පී. ආරියනේත්තිරන්, මොහොමඩ් ඉන්ෆාස්, දිලිත් ජයවීර, නුවන් බෝපගේ, නාමල් රාජපක්ෂ, අනුරුද්ධ පොල්ගම්පොල, ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ, ජනක රත්නායක, ලලිත් ද සිල්වා හා සරත් කුමාර ගුණරත්න යන අය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත.

ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ මෙවර වීම විශේෂත්වයකි. පසුගිය ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 36 දෙනකු ඇප මුදල් තැන්පත් කර තිබුණි.

ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් 40 දෙනාටම නාමයෝජනා පත්‍ර භාරදීම සඳහා මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පිවිසීමට අවස්ථාව ඇති අතර, ඔවුන් සමග නාමයෝජනා පත්‍රයට අත්සන් කළ පුද්ගලයාටත් තවත් එක් අයකුටත් ඇතුළුවීමට අවසර හිමිවෙයි.

මැතිවරණ කොමිෂන් සභාව පිහිටි රාජගිරිය සරණ මාවත අවට ප්‍රදේශය විශේෂ ආරක්ෂිත කලාපයක් බවට පත්කර ඇති අතර, අවසරලත් වාහන හා පුද්ගලයන් හැර වෙනත් කිසිවකුට ඇතුළුවීම තහනම් කර ඇත. එමෙන්ම පොලිසිය විසින් අවට මාර්ග උපයෝගි කරගෙන විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව ද මැතිවරණ කොමිසම සඳහන් කරයි.

නාමයෝජනා පත්‍ර භාරගන්නා පෙරවරු 9.00 සිට 11.30 දක්වා විරෝධතා කාලසීමාවක් නම්කර ඇති අතර, එම කාලය අවසන් වීමෙන් පසුව පිළිගත් නාමයෝජනා පත්‍ර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ඇත.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment