නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලින් රටට ආදරය කරන දේශපේ‍්‍රමියෙක්

573
නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලින් රටට ආදරය කරන දේශපේ‍්‍රමියෙක්

ජාතික අධ්‍යාපන ආයතනයේ
අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න

2017 වර්ෂයේදී ලොව හොඳම අධ්‍යාපනය හිමි රට ලෙස ෆින්ලන්තය සම්මානයට පාත‍්‍ර විය. ශී‍්‍ර ලංකාව විසින් කි‍්‍රයාවට නැංවීමට නියමිත නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් මෙරට අධ්‍යාපනඥයන්ගේ තාක්‍ෂණික සහාය සඳහා ෆින්ලන්ත අධ්‍යාපනඥයන්ගේ සහය ලබාගනු ඇත. ඒ සඳහා නායකත්වය දෙන කණ්ඩායමේ නායකයා වන්නේ ෆින්ලන්තයේ හෙල්සින්කි විශ්වවිදලයේ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ මහාචාර්ය ලීනා ක්‍රොක්ෆර්ස් (Prof. Leena krokfors) මහත්මියයි.
එම මහත්මිය ඇතුළු පිරිසක් පසුගියදා දිවයිනට පැමිණි අතර අනතුරුව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් වැඩමුළු කීපයක් ද පවත්වන ලදී. මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් පසුගියදා කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී පැවැත්විණි. එහිදී ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැවැත්වූ දේශනයේ සටහන් මතු දැක්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව ‘තිරසාර සංවර්ධනය හා තිරසාර සාමය උදෙසා අධ්‍යාපනය’ වශයෙන් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය වශයෙන් අපි එකතු වෙලා තේමාවක් සකසා තිබේ. එහි පෙරපාසල් අධ්‍යාපනය, අධ්‍යාපන පරිපාලනය, විෂයමාලා ප‍්‍රතිසංස්කරණ ආදී වශයෙන් තේමා නවයක් පවතින අතර ඉන් තුන්වැන්න වන විෂයමාලා ප‍්‍රතිසංස්කරණය සම්බන්ධ ව ජාතික අධ්‍යාපන ආයතනය වශයෙන් අප ලබාදෙන දායකත්වය පිළිබඳ මෙහි දී සලකා බැලිය යුතුයි. පළමුවරට සාමාන්‍ය අධ්‍යාපනය අරමුණු හයක් ඔස්සේ සංවර්ධනය කිරීම අපේ අපේක්ෂාවයි. ජාතික සංවර්ධනයට ක‍්‍රියාශීලීව දායක විය හැකි දරුවන් බිහි කිරීම, කාර්යක්ෂම හා සඵලදායී සේවකයෙක් හෝ සුහුරු ස්වයං රැකියා ලාභියෙක් බිහි කිරීම, හොඳ ව්‍යවසායකයෙක් හෝ ව්‍යවසායකත්ව මනසක් සහිත පුද්ගලයෙක් බිහි කිරීම, දේශපේ‍්‍රමී පුරවැසියෙක් බිහි කිරීම, හොඳ මනුෂ්‍යයෙක් බිහි කිරීම, සතුටුදායක පවුලක සාමාජිකයෙක් බිහි කිරීම ආදී වශයෙන් එම අරමුණු ඉදිරිපත් කිරීමට පුළුවන.

රටේ සංවර්ධනය උදෙසා දායකත්වය සැපයිය හැකි ක‍්‍රියාශීලී පුද්ගලයෙක් බිහි කිරීමේ දී ඒ ඒ දරුවා දක්වන දක්ෂතාව සහ හැකියාවන්, කුසලතාවයන් අනුව ජාතික ආර්ථිකයට දායකත්වය ලබා දෙන්නට හැකි වන පරිදි අධ්‍යාපනය සකස් කරන්නට අපි කටයුතු කරමින් සිටිනවා. ඒවගේ ම අපි දන්නවා අද රටේ මේසන්වරයෙක්, වඩු කාර්මිකයෙක් තමන්ගේ සේවය නිසි පරිදි ලබා දීමට අපොහොසත් වන අවස්ථා පිළිබඳව. ගෙදරක වැඩකට එහෙම කෙනෙකුට කතා කළා ම දවසක් වැඩ කරලා ඉතුරු දවසකට දෙකකට මුදලූත් අරගෙන ගිහින් ආපහු එන්නෙ හුඟක් කාලෙකින්. එතැනදි සේවාලාභියා අපහසුතාවයට පත්වෙනවා. සේවා ලාභියාට අවැසි පරිදි සේවය ලබාදීමට හැකි වඩාත් කාර්යක්ෂ ම හා සඵලදායී පුද්ගලයෙක් බිහි කරන්නට අධ්‍යාපනයෙන් දායකත්වය සැපයිය යුත්තේ එනිසයි. පාසල් අධ්‍යාපනය තුළ දී ම දරුවන්ට ව්‍යවසායකත්ව මනසක් සකසා දෙන්නට මෙම නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ යටතේ අපට හැකි වෙතැයි විශ්වාස කරනවා. ඒ අනුව හොඳ ව්‍යවසායකයෙක් බිහි කරන්නට නම් අධ්‍යාපනය තුළින් එම නැඹුරුව ලබා දී තිබිය යුතු වෙනවා. එකී මානසිකත්වය දරුවන් තුළ රෝපණය කළ යුතු වෙනවා. එසේ ම අධ්‍යාපනය තුළින් හැදෙන දරුවා රටට ආදරය කරන දේශපේ‍්‍රමියෙකු විය යුතු යි. වර්තමානයේ තරුණ තරුණියන් රට හැරයන ආකාරය ඔබට අපට ඇස් පනාපිට පෙනෙන්නට තිබෙනවා. එය නවතා ගන්නට නම් අධ්‍යාපනය තුළින් රටට ආදරය කරන්නට දරුවාට කියා දිය යුතු වෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව ආගම් භේදයකින් තොරව රට පිළිබඳ දේශපේ‍්‍රමී හැඟීමෙන් කටයුතු කරන පුරවැසියන් බිහි කරන්නට අප කටයුතු කළ යුතු වන්නේත් අධ්‍යාපනය තුළින් ම යි. සෑම ශ‍්‍රී ලාංකිකයෙක් ම තමන්ගේ මවු රටට ආදරය කරන කෙනෙක් කරන්නට අධ්‍යාපනයේ දායකත්වය නව ප‍්‍රතිසංස්කරණ තුළින් ලබා දීමට අපි අපේක්ෂා කරනවා. එමෙන් ම හොඳ මිනිසෙක් බිහි කරන්නට හැකි අධ්‍යාපනයක් අපි නව ප‍්‍රතිසංස්කරණ තුළින් ලබා දීමට අපේක්ෂා කරනවා. ඔහු දොස්තරවරයෙක්, ඉංජිනේරුවෙක් වුණත් හොඳ මනුෂ්‍යයෙක් නොවේ නම් එවැනි අධ්‍යාපන ක‍්‍රමයකින් රටට යහපතක් සිදුවන්නේ නැහැ. ඊළඟ කරුණ තමයි සතුටු පවුලක සාමාජිකයෙක් අධ්‍යාපනය තුළින් බිහි කිරීමට කටයුතු කිරීම. වර්තමානයේ බොහෝ දරුවන්ට දරාගැනීමේ හැකියාව තරමක් අඩුයි. ඉවසීම අඩුවෙන තරමට පවුල් සංස්ථාව තුළ සතුටින් ජීවත් වීමට අපහසු වෙනවා. ඒ නිසා ම ඇතැම් තරුණ තරුණියන් තමන්ගේ විවාහයේ ඡායාරූප ශිල්පියා මංගල ඡායාරූප ඇල්බමය ගෙනැත් දෙන්න යන විටත් දික්කසාද වෙලා. එවැනි තත්ත්වයකින් අපේ දරුවන් මුදා ගන්නට නම් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ තුළින් එය ද ආමන්ත‍්‍රණය කළ යුතු යි.

අපට එහෙම වෙනසක් අවශ්‍ය වන්නේ ඇයි? අපිට අවශ්‍යයි මේ අධ්‍යාපනය නැවත අර්ථ නිරූපණය කර ගන්නට. විසි එක්වන සියවසේ ජීවත්වන අප දැන් මේ සිටින්නේ සිවුවැනි කාර්මික විප්ලවයේ. මේ යුගයට අවශ්‍ය අධ්‍යාපනයක් අපි ලබාදිය යුතු යි. නමුත් අපි තවමත් සිටින්නේ තුන්වැනි කාර්මික විප්ලවය සමයේ. අපේ අධ්‍යාපනය තුළ තවමත් තිබෙන්නේ කියැවීම, ලිවීම සහ

ගණිතමය හැකියාව කියන කොටස් පමණයි. නමුත් විසිඑක්වන සියවසේ අධ්‍යාපනයට අවශ්‍ය වෙනවා ඉගෙනුම් කුසලතා, සාක්ෂරතා කුසලතා සහ ජීවන කුසලතා වශයෙන් කුසලතාවන්. ඒවගේ ම නිර්මාණශීලිත්වය, විචක්ෂණශීලීත්වය, අනෙකා සමඟ එකට වැඩ කිරීමේ හැකියාව, සන්නිවේදන හැකියාව, නම්‍යශීලීභාවය නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ තුළින් දරුවාට ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා. අද පවතින අධ්‍යාපන ක‍්‍රමයට අනුව සිද්ධ වෙන්නේ ගුරුවරයා දේශනය කළ පසු ඒවා ලියා ගන්නා දරුවන් විභාගෙට පෙනී සිටිනවා. දැනුම, මතකය මනිනවා. නිර්මාණශීලිත්වය, විචක්ෂණශීලිත්වය, සන්නිවේදන කුසලතා දැනට පවතින අධ්‍යාපන ක‍්‍රමය තුළින් දරුවන්ට ලැබෙන්නේ නැහැ. නමුත් දරුවාට දේශන පවත්වනවාට වඩා දරුවන් අධීක්ෂණය කරමින්, දරුවාට මඟ පෙන්වමින් කටයුතු කරන ගුරුවරයෙක් අපි බිහිකර ගත යුතු යි.

සාක්ෂරතාව යටතේ තොරතුරු තාක්ෂණය, මාධ්‍ය සාක්ෂරතාව, සංඛ්‍යාලේඛන සාක්ෂරතාව අලූත් ප‍්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දීමට අවශ්‍ය යි. තොරතුරු තාක්ෂණය අද ලෝකය ඉදිරියට ගෙනයනවා. තාක්ෂණය පිළිබඳ සාක්ෂරතාවය දරුවාට අද අත්‍යවශ්‍ය වෙනවා. තමන්ගේ නිවසේ විදුලි බල්බයක් පිළිස්සුණු පසු එය මාරු කර ගැනීමට නොහැකි සහ නොදන්නා ‘ඒ’ තුන ම ලබාගත් සිසුන් කොපමණ සිටිනවා ද? දරුවන්ට නව තාක්ෂණික දැනුම ලබාදීමට කටයුතු කළ යුතු යි. ඒවගේ ම නම්‍යශීලීත්වය, නායකත්වය, ආරම්භකතාවය, ඵලදායීතාවය සහ සාමාජීය හැකියා සංවර්ධනය හඳුන්වා දීමට අපි කටයුතු කරනවා. එමෙන් ම පුද්ගල චරිත සහ පුරවැසි අධ්‍යාපනය සංවර්ධනය අධ්‍යාපනය තුළින් සංවර්ධනය කළ යුතු යි. බෞද්ධ චින්තනය සහ අනෙකුත් ආගමික වටිනාකම් නිසා පුද්ගල චරිත සංවර්ධනයක් එක්තරා අන්දමකට සිදුවෙලා තිබෙනවා. නමුත් එය අදට ගැලපෙන ලෙස සංවර්ධනය වෙලා නැහැ. චරිත සංවර්ධනයට දරුවන්ට වැඩිපුර ම බලපාන්නේ දෙමාපියන්. පාසලෙනුත් ඒ සඳහා වගකිවයුතු කොටසක් ඉටු විය යුතු යි. දරුවන් ධනාත්මක ව හිතන්නට යොමු කරන්නට, යැපුම් මානසිකත්වයෙන් තොරව සිතන්නට දරුවන් යොමු කළ යුතු යි. ආණ්ඩුවේ රැකියා සඳහා දේශපාලනඥයන් පසුපස යන මානසිකත්වය දරුවන්ගෙන් තුරන් කළ යුතු යි. ඒ විතරකුත් නොවෙයි ආකල්ප සහ වටිනාකම්, හොඳ හැසිරීම, පුරවැසි වගකීම්, සාමාජීය හා මානුෂීය අධ්‍යාපනය, තමා හඳුනා ගැනීම, අනෙකා හඳුනා ගැනීම, අනෙකා සමඟ සබඳතා පැවැත්වීම, පුවරසි වගකීම් සහ යුතුකම්, සංස්කෘතියට ගරු කිරීම, විවිධත්වය ගරු කිරීම වැනි දේ සහිත දරුවෙක් බිහි කරගත යුතු යි. දරුවාට පන්ති කාමරයෙන් පමණක් නොව පාසලෙන්, නිවසින් සහ සමාජයෙන් අධ්‍යාපනය ලබාදිය යුතු වෙනවා. කැඩෙට් වගේ දේවල්, බාලදක්ෂ වගේ දේවල් විෂය මාලාව තුළට දැමිය යුතු වෙනවා. මේ නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ තුළ මේ සඳහා ඇගයීම් ලබාදෙන්නට කටයුතු කරනවා.

ඒවගේ ම අලූත් ඇගයීම් ක‍්‍රම අපි අලූතින් හඳුන්වා දෙන්නට කටයුතු කරනවා. අපේ විෂය මාලා, ඉගෙනුම්,

ඉගැන්වීම් ක‍්‍රම වෙනස් කරන්නට සිදු වෙනවා. වර්තමාන අධ්‍යාපන ක‍්‍රමය තුළ නැත්නම් මේ පරණ අධ්‍යාපන ක‍්‍රමය තුළ 21 වන සියවසට අවශ්‍ය අධ්‍යාපනයක් දරුවාට ලැබෙන්නේ නැහැ. ඉගැනුම්-ඉගැන්වීම් ක‍්‍රමය වෙනස් විය යුතු යි. දැනුම, කුසලතා, ආකල්ප සහ චින්තනය යනුවෙන් කොටස් හතරකින් යුත් දරුවෙක් 21 වන සියවසේ දී බිහි කළ යුතු යි. තථ්‍ය පාදක ඉගෙනුම, සිද්ධි පාදක ඉගෙනුම, කණ්ඩායම් පාදක අධ්‍යාපනය, ඇගයීම් පාදක අධ්‍යාපනය වශයෙන් ඉගෙනුම්-ඉගැන්වීම් ක‍්‍රියාවලිය සැකසිය යුතු වෙනවා. දැන් තියෙන්නේ අවුරුදු දෙකක් උගන්නලා පැය තුනකින් මතකය මැන බලන ක‍්‍රමවේදයක්. සාමාන්‍ය පෙළ වගේ ම උසස් පෙළ විභාගවලින් සිදුවන්නේ එයයි. නමුත් අලූත් ප‍්‍රතිසංස්කරණවලට අනුව දරුවා දිනපතා ඉගෙන

ගන්නා ගමන් ඇගයීම් කරනවා. ළමයා වෙලාවට පාසලට එනවා ද? ඔහුගේ ඉදිරිපත් කිරීමේ හැකියාවන් කෙලෙස ද? ආදී වශයෙන් බලනවා. නායකත්ව හැකියාව කොහොම ද? සන්නිවේදන හැකියාව කොහොම ද කියලා බලනවා. නිර්මාණශීලිීභාවය පදනම් කරගත් ඇගයීම් 21 වන සියවසට අවශ්‍ය යි. ඉහළ මට්ටමේ තීරණ ගැනීම, ගැඹුරු ඉගෙනුම වැනි දේ සංවර්ධනය කළ යුතු වෙනවා. ඇතැම් දරුවන්ට සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගවල දී ’ඒ’ සාමාර්ථ 09 හෝ ‘ඒ’ සාමාර්ථ තුන ලබා ගත්තත් ප‍්‍රායෝගික දැනුම නැහැ. ඒ පැරණි ක‍්‍රමයෙන් හැදෙන්නේ අංශක 90 දරුවෙක්. නමුත් අංශක 360 දරුවෙක් අපි හදන්න ඕනේ.

1960 දී ලංකාවේ දළ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් 89 ක් වුණු අතර අද එය 4000 හිරවෙලා. නමුත් ජපානය 90 සිට 48 000 දක්වා දියුණු කරගෙන. සිංගප්පූරුව 30 සිට 64 දක්වා වැඩි කරගෙන. මැලේසියාව 12000 දක්වා වර්ධනය කරගෙන. ඒ රටවල්වලට පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි. අපේ දළ දේශීය ආදායමට වඩා වැඩි ආදායමක් ලබන ලෝකයේ ලොකුම ව්‍යාපාර පවා තිබෙනවා.

අපේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ළමයින් 100,000ක් හැලෙනවා. උසස් පෙළින් ළමයි 100,000ක් හැලෙනවා. අපි මෙච්චරකල් කළේ දරුවන් කොහොම හරි විශ්වවිද්‍යාලයට යවන්න උත්සාහ කළ එකයි. ගෙදර ඉඳල සල්ලි හොයන්නෙ කොහොම ද කියලා අපි උගන්වන්නේ නැහැ. උපාධියක් අරගෙනත් රැකියාවක් නැත්නම් මොනව ද කරන්න පුළුවන් කියලත් අපි අවධානයට ගන්නවා. අපේ අධ්‍යාපනයෙන් හැදෙන්නේ ව්‍යවසායකයින් 2.6ක ප‍්‍රමාණයක්. එය ද ව්‍යවසායකයින් නිර්මාණය කිරීමක් නොවෙයි. ඒ අය විසින් උත්සාහයෙන් නිර්මාණය කර ගැනීමක්. සේවා සැපයීම අතින් ඉහළ තැනක් තියෙන අපේ රටේ ගනුදෙනුකරුවාට කතා කරන්නේ කෙසේ දැ යි කියා පාසලේ දී සිට අප උගන්වන්නේ නැහැ. අපේ දරුවන් ලෝකයට ගෙන යා යුතු යි. 2025 දී ඇමෙරිකානු ඩොලර් 12000 සීමාවට යන්නට අපි කටයුතු කළ යුතු යි. ඒ සඳහා මේ නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ගැලපීමට අපි කටයුුතු කරනවා.

සටහන – ගයාන් පීරිස්
සහකාර කථිකාචාර්ය (මාධ්‍ය සම්බන්ධීකාරක)
ජාතික අධ්‍යාපන ආයතනය

advertistmentadvertistment
advertistmentadvertistment