නව අධිආරක්‍ෂිත කලාප ගැසට්ටුව බල රහිත කරන්න සොයා බලන්න – ජනපතිගෙන් උපදෙස්

53

කොළඹ නගරයේ විශේෂ මර්මස්ථාන කිහිපයක් අධිආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් තමා නිකුත් කළ ගැසට් පත්‍රය බල රහිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයාබලන ලෙස නීතිපතිවරයා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් විසින් ඉදිරිපත් කළ කරුණු හා නිර්දේශ මත ජනාධිපතිවරයා පසුගිය 23 වැනිදා මෙම ගැසට් පත්‍රය නිකුත් කළේය. නමුත් මෙම ගැසට් පත්‍රය හේතුවෙන් කොළඹ නගරයේ කේන්ද්‍රීය ආර්ථික කලාපය තුළ ව්‍යාපාර සඳහා දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවට ආර්ථික විශේෂඥයින් කණ්ඩායමක් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දීර්ඝ ලෙස කරුණු දක්වා ඇත.

කොළඹ නගරය තුළ වරින් වර ඇතිවන උද්ඝෝෂණ නිසා ආර්ථිකමය වශයෙන් සිදුවන හානිය ඉතා ඉහළ වුවත් මෙම අධිආරක්ෂිත කලාප නම් කිරීම හරහා වෙනත් ගැටලු ඇති විය හැකි බවත් එම විශේෂඥ කණ්ඩායම පෙන්වා දී තිබේ. ඒ අනුව මෙම අධිආරක්ෂිත කලාප ඉවත් කොට ඒ වෙනුවට බුද්ධි අංශ සම්බන්ධිකරණය කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ අදාළ අංශ වෙත උපදෙස් දී ඇත.

කෙසේ වෙතත් මෙම ගැසට් නිවේදනය අවලංගු කිරීමට නම් ජනාධිපතිවරයාගේ අත්සනම යෙදිය යුතු බැවින් ජපාන සංචාරය අවසන් වී ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් අනතුරුව මෙය සිදුකිරීමට නියමිත බව විශ්වසනීය ආරංචි මාර්ග තහවුරු කරයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment