නව පාප් වහන්සේට අපේ ගෞරවය

258

ග්‍රීක භාෂාවෙන් පියා යන නාම පදයට පර්යාය වන ග්‍රීක නාම පදය වන්නේ PAPA යන්නය. මේ වචනයෙන් හදාගත් POPE යන නාම පදය පාප් වහන්සේ හැඳින්වීමට යොදනු ලැබේ. පාප් තනතුර යනු ලෝකයේ ඇති බලගතුම තනතුරකි. රෝමානු කතෝලික දහමේ ජීවමාන ආධ්‍යාත්මික නායකයා වන්නේ පාප්තුමා ය. උන්වහන්සේ බාහිර ස්වරූපයෙන් නායකයකු ලෙස සැලකුණ ද ආධ්‍යාත්මයෙන් සම්පූර්ණ වශයෙන්ම මහජන සේවකයෙක් වේ. කතෝලික ලෝකයට නව පාප් වහන්සේ කෙනකු ලැබී ඇති බව මීට තෙදිනකට පෙර ලෝකවාසීන්ට දැනගන්නට ලැබිණ. අද අපේ මේ සටහන ඒ පාප් වහන්සේ වෙනුවෙනි.

ලෝකයේ පළමු වන පාප් වහන්සේ හඳුන්වනු ලබන්නේ ශාන්ත පීතරතුමා ය. උන්වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අපෝස්තලුවරයෙකි. ශාන්ත පීතරතුමා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග ඉතා ළඟ ඇසුරක් පැවැත්වූ උන්වහන්සේගේ විශ්වාසවන්තම බැතිමතෙක් විය. එකල තිබූ රෝම රාජ්‍යය ගස් ගල් ඇදහූ අතර හොර පූජකයන් සමග එකතු වී කතෝලිකයන් දඩයම් කිරීමෙහි යෙදුනේය. මේ අනුව ලෝකයේ පළමු වන පාප්තුමා වූ ශාන්ත පීතරතුමා අත්අඩංගුවට ගෙන උන්වහන්සේ කුරුසියෙහි ඇණ ගසා මරණ ලදී. ඒ ඇණ ගැසීම සිදු කරන්නේ ශාන්ත පීතරතුමාගේ හිස පහළට සිටින පරිදිය. එකල රෝම අධිරාජ්‍යවරු මෙවැනි වධ බන්ධන ප්‍රසිද්ධියේ පමුණුවමින් කිතුණුවන් බියපත් කළහ. එඩිතර කිතුණුවෝ ආණ්ඩුවේ ත්‍රස්තවාදය ගණන් නොගෙන දිගටම කතෝලික දහම ඇදහූ අතර බියට පත් කිතුණුවෝ කතෝලික දහම අතහැර ගස්, ගල් ඇදහීමට පටන් ගත්හ. ඒ අතර තවත් සමහර රෝමන්වරු කිතු දහමෙන් ඉවත් වූ බව පෙන්වමින් රහසේ එම සමය ඇදහූහ. මේ නිසා මෙයට අවුරුදු 1800 කට පමණ පෙර කතෝලික ආගම ඇදහීම ජීවිතයත් මරණයත් අතර සටනක් විය. බොහෝ ආගම්වලට භාරකාරයෙක් සිටී. එම ආගම්වල අයිතිවාසිකම් බලා කියා ගන්නේ එම භාරකරුවන් විසිනි. උදාහරණයක් වශයෙන් මහායාන, තන්ත්‍රයාන සහ වජ්‍රයාන යන බෞද්ධ කොටස්වල භාරකාරයා ලෙස ශුද්ධෝත්තම දලෙයි ලාමාතුමා සලකනු ලැබේ. එහෙත් ථෙරවාදය අදහන රටවල් සිය ආධ්‍යාත්මික භාරකාරයා ලෙස හඳුනාගෙන ඇත්තේ බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ම පමණි. ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්‍ෂා කරනු ලබන බවට බුදු වදනක් තිබේ.

මෙවර පාප් වහන්සේ තේරීමේ නිලවරණයට ලංකාවේ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණෝ ද සහභාගි වූහ. උන්වහන්සේ එම නිලවරණයේ ඡන්ද දායකයකු පමණක් නොව කීර්තිමත් සහ ගෞරවනීය අපේක්‍ෂකයන් දෙතුන් දෙනාගෙන් ද කෙනෙක් වූහ. අලුත් පාප්තුමා සිය ධුරයට පත්වන්නේ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ද ගෞරවනීය ඡන්දයෙන් යැයි අපි විශ්වාස කරමු. ලෝක සාමය ඉතා තදින් කෙලෙසී ඇති මෙවැනි සමයක ආධ්‍යාත්මික බලවේගයක් වූ ආගම යන සාධකයට විශාල වගකීමක් තිබේ. මනුෂ්‍ය ශිෂ්ටාචාරය ආලෝකවත් කරන ලද්දේත් මනුෂ්‍ය ශිෂ්ටාචාරය ක්‍රියාකාරී කරන ලද්දේත් රෝමය විසිනි. එසේම මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ කොළ අතු ඉවත් කර එම ශිෂ්ටාචාරය ඔපමට්ටම් කරන ලද්දේ ආගම නමැති සාධකය විසිනි. ආගම යනු ආධ්‍යාත්මික වස්තුවකි. ඒ අර්ථයෙන් ගත් කල පාප් වහන්සේ යනු ආධ්‍යාත්මික නායකයෙකි. අපි නව පාප් වහන්සේට සුබ පතමු. උන්වහන්සේගේ පත්වීම ලෝක සාමයට ආලෝකයක්ම වේවා.


advertistmentadvertistment