නව පුරාවිද්‍යාවේ ගමන්මග

1713

පුරාවිද්‍යා විෂය ක්ශේත‍්‍රය අද දක්වා ඉදිරියට පැමිණීමේදී විවිධ අවදීන් පසු කරමින් පැමිණ ඇත. පෞරාණික භාණ්ඩ රැස් කිරීම සහ තමාට අභිමානයක් එක් කර ගැනීමට තම මුතුන් මිත්තන්ගේ අතීතය සෙවීමේද, ලෝක යුද්ධ සමයේදී හමු වූ ස්මාරක ආදිය පිළිබද පරීක්ෂා කිරීම ආදී විවිධ යුගයන්ගේ විවිධ අරමුණු සහිතව සංවර්ධනය වූ විවිධ අවශ්‍යතා පූර්ණය කිරීමක් වශයෙන් නැඟී සිටි පුරාවිද්‍යාව, 1960 ට පෙර වූ එම පුරාවිද්‍යාව සාම්ප‍්‍රදායික පුරාවිද්‍යාව ලෙසත්, 1960 න් පසු අද දක්වා පැමිණෙන පුරාවිද්‍යාව නව පුරාවිද්‍යාව වශයෙන්ද හඳුන්වයි.

1960 දශකය පුරාවිද්‍යාවේ වර්ධනය පිළිබඳ තීරණාත්මක අවස්ථාව සලකුණු කරයි. දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමග සිතිවිලි නව රැල්ලකට ගමන් කිරීමක් වශයෙන් නව තාක්ෂණික සංවර්ධනයන් ඇති විය. විද්‍යාත්මක ක‍්‍රියාකාරකම්, නව ක‍්‍රමවේද ඔස්සේ පුරාවිද්‍යාවටද නව අරමුණක් ඇති විය. Interpretation හෙවත් අර්ථනිරූපණය සහ reconstruction හෙවත් අතීතය නැවත ගොඩනැංවීම නව පුරාවිද්‍යාවේ අරමුණු විය. මේ අර්ථකතනය කිරීමේ සහ නැවත ගොඩනැංවීමේ අරමුණ, විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ගණිත විද්‍යාව, ජීව විද්‍යාව, සත්ත්ව, ශාක විද්‍යාව, තාරකා විද්‍යාව ආදී විද්‍යාත්මක අංශයන්ද සම්බන්ධ කර ගනිමින් සිදු කිරීම ආරම්භ විය. Explanation හෙවත් අවසාන විග‍්‍රහය අර්ථකතනය මූලික වේ. එහිදී අස්ථි, භෂ්මාවශේෂ, පස් නියැඳි අධ්‍යනය ආදී වශයෙන් කැණීමකදී වුවද විද්‍යාත්මක අංශයන්ගේ එකතුවක් සමග සිදු කිරීම ඇරඹීය. මෙසේ ඇරබි මෙම නව පුරාවිද්‍යාව වඩාත් විද්‍යාත්මක බවින් යුක්ත වූවකි. සාම්ප‍්‍රදායිකත්වයෙන් මිදුනකි. ඒ අනුව නව පුරාවිද්‍යාව තනි සංකල්පයක් නොව අදහස් ගණනාවක ඒකාබද්ධ වීමකි. විප්ලවයන් සමග යුද සමයන් පසු කර විද්‍යාත්මක ප‍්‍රබෝධයෙන් නැඟී සිටි නව පුරාවිද්‍යාව යුගයේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි නිර්මාණය විය. සංස්කෘතික පුරාවිද්‍යාවෙන් මිදී විද්‍යාත්මක පුරාවිද්‍යාව වෙත පියනැඟීම වශයෙන්ද නව පුරාවිද්‍යාව හඳුන්වා දිය හැකිය. නව පුරාවිද්‍යාවේදී පුරාවස්තුවල භාවිතය, කැණීම් ක‍්‍රමවේද, ඡායාරූපකරණය, වාර්තාකරණය, විස්තරකථනය වශයෙන් අංශ රැසක් කෙරේ අවධානය යොමු කරමින් කටයුතු සිදු කෙරේ. එහි ප‍්‍රතිඵල වශයෙන් පරිමාණයන්ට සිතියම් සැකසීම metric maps භාවිතය වැනි ශිල්ප ක‍්‍රම පුරාවිද්‍යාව සඳහා යොදා ගැණින.

නව පුරාවිද්‍යාත්මක සංකල්පය ඉදිරියට ගෙන ඒම උදෙසා පුරෝගාමී වූයේ එක්සත් ජනපදයේ ලුවිස් බින්ෆෝඞ් සහ බි‍්‍රතාන්‍යයේ ඬේවිඞ් එල්. ක්ලාක් යන දෙදෙනාය. ඔවුන් දෙදෙනා නව පුරාවිද්‍යාවේ පුරෝගාමීන් වශයෙන් හඳුන්වා දෙනු ලබයි. ලුවිස් බින්ෆෝඞ්ගේ නායකත්වයෙන් යුත් ඇමෙරිකානු පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් පුරාවිද්‍යාත්මක අර්ථ නිරූපණය පිළිබඳ ගැටලුව උදෙසා නව ප‍්‍රවේෂශයක් ඉදිරිපත් කළ ඔවුන්ගේ මෙම සංවාදය හඳුන්වන ලද්දේ The new archaeology යනුවෙනි. ඇමෙරිකාවේ සිදු වූ අන්දමට සමාන අන්දමින් වර්ධනයක් ඒ වන විට බි‍්‍රතාන්‍යයේද සිදු වෙමින් තිබිණි. ඒ ඬේවිඞ් ක්ලාක්ගේ පුරොගාමීත්වයෙනි. ඬේවිඞ් එල්. ක්ලාක්ට අනුව සාම්ප‍්‍රදායික පුරාවිද්‍යාව යනු ප‍්‍රශ්න ගණනාවකි. ඊට පිළිතුරු දෙන්නේ නව පුරාවිද්‍යාවයි.

සාම්ප‍්‍රදායික පුරාවිද්‍යාව තුළ ගවේෂණය සහ කැණීම් වැනි අංශ කෙරේ වැඩි අවධානයක් යොමු කරමින් පුරාවස්තු එක්රැස් කිරීම ප‍්‍රධාන කොටගෙන රැස් කර ගත් පුරාවස්තූන් පිළිබඳ වාර්තා කිරීමත් ඒවා පිළිබඳ සියලු තොරතුරු සොයා බලා සටහන් කිරීමත් ද්‍රව්‍යාත්මක වශයෙන් ලැදි පුරාවිද්‍යාවක් වුවත් නව පුරාවිද්‍යාව යනු Explanation හෙවත් අවසාන විග‍්‍රහයට මූලිකත්වය දෙන්නකි. එනම් යම් ද්‍රව්‍යයක් හමු වුවහොත් ද්‍රව්‍ය ගැන වාර්තා කරනු වෙනුවට ඉන් අර්ථකතනය කළ හැකි සංසිද්ධියට මුල් තැන දීමයි. නව පුරාවිද්‍යාවේදී මනෝමයෙන් ආදේශනයන් සිදු කරයි. එනම් හමු වූ පුරාවස්තුවක් පැහැදිලි කිරීමේදී ඒ හා බැඳි සන්ධර්භය ද පැහැදිලි කරයි. යම් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ද්‍රව්‍යකට අර්ථවිග‍්‍රහ සැපයීමේදී එය තැම්පත් වී තිබුණු පරිසරයේ පස් ස්ථරයේ වටා ඇති සෙසු ද්‍රව්‍ය, පස් ස්ථරයේ ස්වරූපය ආදිය සැලකිල්ලට ගෙන ඒ වටා ඇති පරිසරය ද උපයෝගී කොටගෙන අර්ථ විග‍්‍රහයන් සිදු කළ යුතුය. එහෙයින් නව පුරාවිද්‍යාව අර්ථකථනාත්මක පුරාවිද්‍යාවකි. 1960 දී සිදු වූ මෙම වර්ධනය පුරාවිද්‍යාවේ නව අවස්ථා සලකුණු කරයි. මේ අතුරින් වඩා වැදගත් වන්නේ පුරාවිද්‍යාව තුළ කාල නීර්ණ ක‍්‍රමයන්ගේ නව සොයා ගැනීම්ය. විකිරණශීලී කාබන් දින නීර්ණ ක‍්‍රමය හඳුන්වා දීමත් සමගම එකෙක් පැවති අන්දමට මහත් කාලයක් හා ශ‍්‍රමයක් වැය කරමින් කාල නීර්ණයට වෙහෙස නොවී සාර්ථක වූ ද නිවැරදි වූද කාලය හඳුනාගැනීමට හැකියාව ලැබිණි.

නව පුරාවිද්‍යාව තුළ දකිනට තිබූ සියල්ල ප‍්‍රශ්න කිරීමේ ස්වභාවයත් නිරවුල් බව හා ප‍්‍රමාණාත්මක ක‍්‍රමවේදයන් ක්ෂේත‍්‍ර පර්යේෂණවල නව වර්ධනයක් ජනිත කළේය. සිතා හෝ නොසිතාම සමගාමී පසු යුගයේ පුරාවිද්‍යාඥයන් තම ක්ෂේත‍්‍ර වැඩසටහන්වලට උක්ත නව පුරාවිද්‍යාවේ අදහස් යොදාගන්නා බව පැහැදිලිව දක්නට ඇත. එහෙයින් ක‍්‍රමයෙන් නව පුරාවිද්‍යාව ජගත් පුරාවිද්‍යාව වසා පැතිරිනි. නව පුරාවිද්‍යාව සමගම, මද වශයෙන් අධ්‍යනයන් සිදුකර තිබූ ඔස්ටේ‍්‍රලියානු මහද්වීපයේ ද පර්යේෂණ කටයුතු ඇරඹිණි. දකුණු ක්වීන්ස්ලන්තයේ කෙනිෆ් නම් වූ ගුහාවේ 1960 දී කැණීම් කළ ජෝන් මල්වෙනි විසින් අවසාන හිම යුගයේදී ඔස්ටේ‍්‍රලියානු මහද්වීපයේ මිනිසුන්ගේ පැවැත්ම පිළිබඳව විකිරණශීලී කාබන් දින නීර්ණය ස්ථාපිත කළේය. ඉන් පසු ඔස්ටේ‍්‍රලියානු මහද්වීපය පුරාවිද්‍යා පරයේෂණ සඳහා ලෝකයේ තවත් වැදගත් ප‍්‍රදේශයක් බව පෙන්වා දීය. ර්‍ණඔස්ටේ‍්‍රලියානු මහද්වීපය තුළ සිදු කෙරුනු පර්යේෂණ කටයුතු තව දුරටත් නව පුරාවිද්‍යාව තුළ ප‍්‍රවණතා දෙකක් ජනිත කළේය. ඉන් පළමුවැන්න නම් මානවවංශ පුරාවිද්‍යාව (Ethnoarchaeology) හෙවත් ජීවමාන පුරාවිද්‍යාවේ නැඟීමයි. දෙවැන්න නම් අතීතයට අයත් ස්මාරක හා අදහස් පාලනය කළ යුත්තේ කවුරුන් විසින්ද යන්න පිළිබඳව ඇති න්‍යායාත්මක සාකච්ඡාවන් ය.” (කොලින් රෙන්ෆෲ සහ පෝල් බාන් 2000: 43) මේ අනුව නව පුරාවිද්‍යාවට අනුව නව විද්‍යාත්මක ක‍්‍රම මගින් වඩා නම්‍යශීලී ප‍්‍රාග්ඓතිහාසික යුග පිළිබඳව දින නීර්ණයන් ලබා දුන්නේය. 1960-70 දශකවලදී වර්ධනය වූ නව පුරාවිද්‍යාව අතීතය පිළිබඳව කුමක් කවදා සිදුවුනි ද යන්න පමණක් දැන ගැනීමට අවශ්‍ය පසුබිම සැලසීය. එමගින් අතීතය තුළ වෙනස්වීම් සිදුවු ආකාරය පැහැදිලි කිරීමට උත්සාහ කළහ. ඒ අනුව නව පුරාවිද්‍යාව සාම්ප‍්‍රදායික පුරාවිද්‍යාවෙන් වෙනස් වූ විදාත්මක ලක්ෂණ රැසකින් සන්නද්ධ විය.

නව පුරාවිද්‍යාවේ ගමන්මග

නව පුරාවිද්‍යාවේ පුරෝගාමීන්

නව පුරාවිද්‍යාවේ විශය ක්ෂේත‍්‍රය පිළිබඳ ලියූවන් අතර බින්ෆෝඞ් සුවිශේෂී වේ. 1931 දී උපන් බින්ෆෝඞ් ඇමෙරිකානු ජාතිකයෙකි මොහු පුරාවිද්‍යාව හා මානව විද්‍යා විෂයන් ප‍්‍රගුණ කළ අයෙකි. පෙරදී පැවති පුරාවිද්‍යා වාදයන් පිළිබඳව මොහු නොසතුටු විය. එය මුද්දර එක්රැස් කිරීමක් සේ දුටු ඔහු සංස්කෘතික මානව විද්‍යාව නව මගකට යොමු කරවීය. මොහු විසින් තම නව අදහස් සම්මන්ත‍්‍රණ දේශන ආදියෙන් සමාජගත කරමින් විශාල මෙහෙයක් ඉටු කළහ. මේ පිළිබඳව සංගෘහිත ලිපි ආවලියකින් සමන්විත සංස්කරනය කරන ලද පුරාවිද්‍යාත්මක නව පර්යාවලෝකය New perspectives in Archaeology නමින් ග‍්‍රන්ථයක් රචනා කළහ. ඔහුගේ ඉගැන්වීම් Binford school යනුවෙන් හඳුන්වයි. “Binford thus became an avant-garde(spokesman or leader) for this group of Americans. Hence it is called the Binford School and the subject ‘New’or ‘Scientific’Archaeology.” ^ H.D.sankalia 1997( 18) මෙසේ ඇමෙරිකානු පුරාවිද්‍යාව නැඟීසිටියහ.

ඇමෙරිකාවේ සිදු වූ අයුරින් වරධනයක් බි‍්‍රතාන්‍යයේද සිදු වෙමින් පැවතිනි. ඒ සඳහා මූලික වූයේ ඬේවිඞ් එල්. ක්ලාක් ය. ඔහු විසින් නව පුරාවිද්‍යාඥයන් විසින් භාවිත කරන පරිගණක යොදාගැනීම් ද, භූගෝල විද්‍යාව වැනි වෙනත් විෂයන් තුළ ඇති අදහස් පුරාවිද්‍යාවට යොදා ගැනීමට ඇති හැකියාව වැනි දෑ කෙරේ අවධානය යොමු කරමින් 1968 දී ර්‍ණවිශ්ලේෂණාත්මක පුරාවිද්‍යාව” Analytical Archeology කෘතියක් රචනා කර ඇත. එසේම නව පුරාවිද්‍යානු අදහස් පැරණි කැණීම් සඳහා වුවද යොදාගත හැකි අන්ධම පැහැදිලි කරමින් ඔහු විසින් ර්‍ණපුරාවිද්‍යාවේ ආකෘති” Models in Archaeology නමින් සිය මූලික අධ්‍යනයන් ද ඇතුළත් කරමින් ග‍්‍රන්ථයක් රචනා කර ඇත. නියමානුකූල පුරාවිද්‍යාවක යෙදීමට නම් ඊට අදාළ උපකල්පන ඇහැදිලි ලෙස සකස් කිරීමත් අනතුරුව ඒවා පරීක්ෂා කිරීමත් කළ යුතු බවට එකඟතාවයනට පැමිණ ඇති ආදී කරුණු සහිතව මොහු විසින් 1973 දී ර්‍ණපුරාවිද්‍යාව තුළ සරලත්වය ගිලිහී යෑම” The loss of innocence නමින් ලිපියක්ද දක්වා ඇත.

ඒ අනුව බි‍්‍රතාන්‍ය සහ ඇමෙරිකාව වශයෙන් ප‍්‍රබලව නැඟී ආ නව පුරාවිද්‍යාවේ ප‍්‍රබල මෙහෙයක් සිදු කළ පුරෝගාමීන් වශයෙන් ලුවිස් බින්ෆෝඞ් සහ ඬේවිඞ් ක්ලාක් හඳුන්වා දිය හැකිය.

නව පුරාවිද්‍යාවේ ලක්ෂණ

නව පුරාවිද්‍යාවේ සාම්ප‍්‍රදායික පුරාවිද්‍යාවට පරස්පර විරෝධී ලක්ෂණ අන්තර්ගත වේ. ඒවා පහත ආකාරයෙන් ගොනු කර දැක්විය හැක. නව පුරාවිද්‍යාවේ ලක්ෂණ අතරින් ප‍්‍රධානම ලක්ෂණය වන්නේ Explanation හෙවත් විස්තර කථනය, පහදා දීම ය. පෙර පැවති සාම්ප‍්‍රදායික පුරාවිද්‍යාවේදී සිදු කරනු ලැබූයේ යමක් හමු වූ විට එහි පැහැය සංයුතිය දිග, පළල, හැඩය ආදිය පිළිබඳ වාර්තා කිරීම වුවද නව පුරාවිද්‍යාවේදී සිදු කරනුයේ හමු වූ දෙය තුළින් අපට එළබිය හැකි අවසාන විග‍්‍රහය පැහැදිලි කිරීමයි. අදාළ පුරාවස්තුව තුළින් ගොඩනැඟිය හැකි ඉතිහාසය, එය භාවිත කරන්නට ඇත්තේ කුමක් සඳහා ද, කිනම් යුගයන් මෙයින් නිර්මාණය කළ හැකිද යන්න සොයා බලයි. විද්‍යාත්මක දැනුම උපයෝගී කොට ගෙන අදාළ පුරාවස්තුව නිර්මිත ද්‍රව්‍ය අනුව යුගය පහදා දීමටත් හමු වූ වටපිටාව පරිසරය වශයෙන් එම ස්ථරය තුළින් විශාල විස්තරයක් පුරාවිද්‍යාවට එක් කිරීම

මෙමගින් සිදු කරයි. හමු වූ ද්‍රව්‍ය පිළිබඳව කැණීම් වාර්තාවක් සැකසීම වෙනුවට හමු වන ද්‍රව්‍ය මගින් ඉතිහාස විස්තරයන්, කතාන්තරයන් නිර්මාණය කිරීමට මෙමගින් උත්සාහ ගනී. උදාහරණයක් වශයෙන් මැටි භාජනයක් හමු වූ පසුව එහි දිග පළල, උස මහත, වර්ණය විස්තර සටහනක් නොකර එම මැටි භාජනය කුමට යොදා ගත්තාද යන්න සහ එම මැටි භාජන යුගය පිළිබඳ නව පුරාවිද්‍යාව මගින් පැහැදිලි කරයි. මීට හොඳම උදාහරණයක් නම් ඉන්දියාවේ ගංගා නිම්නය ආශ‍්‍රිනව කැණීම, මැටි බඳුන් හමු වූ අවස්ථාවේදී එම මැටි බඳුන් එකින් එක විස්තර කරමින් එහි රූපසටහන් අඳිමින් දිග පළල මනිනවා වෙනුවට නව පුරාවිද්‍යාවේ යොදාගැනීම් හේතුවෙන් වර්තමානයේ සිදුකර ඇත්තේ ඒ හමු වූ මැටි බඳුන් මගින් යුගයන් විස්තර කිරීමයි. එනම් මැටි බඳුන් තුළින් පශ්චාත් කැලියෝලිතික යුගය විස්තර කිරීම ආදී වශයෙන් හමු වූ මැටි බඳුනක් තුළින් පුරාවිද්‍යා යුගයන් පිළිබඳව හා භාවිතය පිළිබඳව විස්තරකථනයන් සිදු කළ හැකිය.

උක්ත නව පුරාවිද්‍යා ලක්ෂණය ලංකාව තුළ භාවිතය සලකා බැලු කළ පැහැදිලි වනුයේ ශිරාන් දැරණියගල මහතා අනුරාධපුර ඇතුළු නුවර කැණීමෙන් හමු වූ අශ්ව අවශේෂය හේතු කොටගෙන ඔහු විස්තරකථනය සිදු කළේ එසේ නම් අශ්වයන් සිටින්නේ උතුරු ඉන්දියාවේ බැවින් සමකාලීන බුදුන් වහන්සේගේ යුගයට පැරණි ඉතිහාසයක් දරණ මේ අශ්ව අවශේෂ කොටස් මගින් එසමයේ උතුරු ඉන්දියාව සමග සබඳතා පවත්වා ඇත. එසේ නම් උතුරු ඉන්දියාව සමග බුදුන් වහන්සේගේ වැඩමවීම හා සමකාලීන උතුරු ඉන්දීය සබඳතා මින් හෙළි වන බව, ආදී වශයෙන් විශාල ඉතිහාස කතාවකට එමගින් මුල පිරුනේ හමු වූ දෙය නව පුරාවිද්‍යානුකූලව විස්තර කිරීම හේතුවෙනි. ඒ අනුව නව පුරාවිද්‍යාවේ වර්ධනයත් සමග මතු වූ සාර්ථක ලක්ෂණයක් වශයෙන් විස්තර කථනය පෙන්වා දිය හැකි වේ.

නව පුරාවිද්‍යානු ලක්ෂණ අතර උපකල්පිත පරීක්ෂා කිරීම හෙවත් Testing of hypothesis ද විශේෂ ලක්ෂණයකි. යම් පුරාවස්තුවක් හෝ ස්මාරකයක් කැණීම් තුළින් හෝ ගවේෂණය තුළින් සොයාගත් විට ඒ සම්බන්ධව නිගමනයක් ලබා දීම සාම්ප‍්‍රදායික පුරාවිද්‍යාවේදී සිදු කර ඇත. එහිදී ලබා දී ඇත්තේ නිගමනයන් ය. උපකල්පනයක් නොව නිගමනයක් තුළ තනි පාර්ශ්වයක් බොහෝ විට ප‍්‍රමුඛ වේ. එහෙත් උපකල්පනයක් තුළ සමූහ අදහස් ප‍්‍රමාණයක විචලනයන් දක්නට ඇත. යමක් අධ්‍යයනය කර තම අභිමතයට හා තමා අවබෝධ කරගත් ප‍්‍රමාණය අනුව අතීත පුරාවිද්‍යාඥයන් තම පරීක්ෂණ වටා අදාළ විවිධ නිගමනයන් ඉදිරිපත් කර ඇත. උදාහරණයක් වශයෙන් Jemes Ussher (1581-1656) විසින් බයිබලය ආශ‍්‍රය කරගෙන කි‍්‍ර.පූ. 4004 ඔක්තෝබර් 23 ලෝකය දෙවියන් වහන්සේ මවන ලද්දක් බවට නිගමනයක් ඉදිරිපත් කර ඇත. ඔහු ක‍්‍රිස්තියානි දේවගැතිවරයෙකි. සිය ආගමික ග‍්‍රන්ථය වන බයිබලය මගින ඔහු විසින් එම අදහස සමාජගත කොට තිබිණි. එහිදී අන් අයගේ අදහස් නොවිමසන්නට ඇත. තම අධිකාරීත්වය යටතේ තම මතය ඔහු නිගමනය කර ඇත. එහෙත් නව පුරාවිද්‍යාව තුළ නිගමනය වෙනුවට උපකල්පනය පරීක්ෂා කිරීම මීට හාත්පසින්ම වෙනස් වූවකි. යම් විද්‍යාඥයකු හෝ පුරාවිද්‍යාඥයකු සියල්ල අධ්‍යනය කර යම් උපකල්යනයක් සිදු කරයි. එම අදාළ අංශය කෙරෙහිම ඊට සමගාමීව තවත් පරීක්ෂණ සිදු කළ විද්‍යාඥයන්ගේ හා පුරාවිද්‍යාඥයන්ගේ සමකාලීන හෝ පෙරදී ඉදිරිපත්ව තිබූ අදහස් ද තවදුරටත් වෙන වෙන උපකල්පන වශයෙන් තබා ගනී. අවසානයේ සියලු විද්වතුන් එක්ව සියලු උපකල්පන පරීක්ෂා කර බලා වඩා නිවැරදි යැයි හැෙඟන උපකල්පනය සමාජගත කිරීම වර්තමානයේ දී සිදු වේ. එමගින් බොහෝ අසත්‍ය මත සමාජගත වීම වළක්වා ගැනීමට හැකියාව ලැබී ඇත.

Research Design හෙවත් ගවේෂණ අභිප‍්‍රාය නව පුරවිද්‍යාවේ ලක්ෂණයකි. නව පුරවිද්‍යානුකූලව යම් පර්යෙෂණයක් සිදු කිරීමේදී දත්ත එක් රැස් කිරීම වෙනුවට ගවේෂණ අභිප‍්‍රාය ප‍්‍රධාන කොටගෙන ඇත. දත්ත එක් රැස් කිරීම තුළින් පුරාවස්තු බොහෝ විට තිබූ ස්ථානයෙන් වෙන් වේ. එසේම බොහෝ විට දත්ත එක් රැස් කිරීමට කැණීම් සිදු කළ යුතු වේ. එය විනාශයකි. සෑම පුරාවිද්‍යාත්මක සෑරීමක්ම පුරාවස්තු විනාශ කිරීමකි ” ( ශරත් වත්තල 1965: 29) යනුවෙන් ජගත් කීර්තිධර විද්‍යාඥයකු වූ සර් මෝටිම වීලර් එසේ ප‍්‍රකාශ කර ඇත. එහෙයින් දත්ත එක්රැස් කරීම එතරම් උචිත නොවන්නකි. නව පුරාවිද්‍යානුකූලව සිදු වන්නේ ගවේෂණයයි. ගවේෂණය යනු නොයෙකුත් පුරාවිද්‍යාත්මක ස්ථාන ගොඩනැඟිලි සෙල්ලිපි හා වෙනත් භෞතික ද්‍රව්‍ය හා තොරතුරු පිළිබඳව කෙරෙන පරීක්ෂණ ය. ” ( ඒ. ලගමුව 2000: 18) ගවේෂණයෙන් පසුව කැණීම් සිදු කළ යුතුය. ගවේෂණයෙන් හැකි තරම් දත්ත එක් රැස් කර ඉන්පසුව අවශ්‍යම වුවහොත් කැණීමක් සිදු කිරීම නව ප‍්‍රවණතාවයයි. සර් විලියම් ෆ්ලින්ඩර්ස් පෙටි‍්‍ර යම් ස්ථානයක් කැණීමෙන් මතු කරගන්නට අදහස් කරන දෙය ප‍්‍රකාශ කළ යුතු යැයි පවසයි. මේ අනුව මනා ගවේෂණයකින් පසුව කැණීමක් සිදු වෙන බව පෙනේ. ඒ අනුව සියල්ලට පෙර ගවේෂණය සිදු කිරීම නව පුරා විද්‍යාවේ වැදගත් ලක්ෂණයකි.

ගුණාත්මක දත්ත සඳහා මුල් තැන ලබා දී ක‍්‍රියාත්මක වීම ද නව පුරාවිද්‍යාවේ වැදගත් වූ ලක්ෂණයකි. පුරාවස්තුවක් හමු වූ විට එය හා ඊට අදාළ වූ පරිසරය ද සමග එයට බද්ධ වී ඇති සියල්ලම පරීක්ෂණ කටයුතු සඳහා වැදගත් වේ. එහෙත් කිසිදු දැනුවත්භාවයකින් තොරව දත්ත රැස් කිරීමෙන් වැලකී පර්යේෂණයන්ට අදාළ වේ යැයි හැෙඟන වඩාත් ගුණාත්මක දත්ත එක් රැස් කිරීම නව පුරාවිද්‍යාවේ අරමුණයි. සාම්ප‍්‍රදායික අවදියේදී සිදු කරනු ලැබූයේ Quantitative හෙවත් ප‍්‍රමාණාත්මක දත්ත ගොඩනඟ ගැනීමකි. වර්තමානයේ එය වෙනස් කරමින් උක්ත අයුරින් Quantitative හෙවත් ගුණාත්මක දත්ත සඳහා ප‍්‍රමුකත්වය ලබා දීම නව පුරාවිද්‍යාත්මක ලක්ෂණයයි.

Inductive හෙවත් උද්ගාමී තර්කනය නව පුරාවිද්‍යාවේ තාර්කික ලක්ෂණයයි. Deductive හෙවත් නිගාමී තර්කනය සහිත සාම්ප‍්‍රදායික පුරාවිද්‍යාව තුළ එනම් නිදර්ශන උදාහරණ දෙමින් පැහැදිලි කළ අතීතයට එරෙහිව නිගමනාත්මක උපකල්පන කිරීම් සහිත වූ උද්ගාමි තර්කනය මේ තුළ ප‍්‍රධාන වේ. නිගාමී තර්කවල අවයව හා නිගමනය අතර නියත සම්බන්ධයක් පවතී. නිගාමී අනුමානයේදී තරකය ආරම්භ කරන්නේ සාමාන්‍යකරණයකින් නම් තර්කය අවසන් වන්නේ විශේෂීකරණය වූ නිගමණයකිනි. නිගාමී අන්මානයේදී තර්කය ගොඩනැඟීමේදී එහි ප‍්‍රකාශනවල සත්‍ය අසත්‍යතාවය සැලකිල්ලට ගන්නේ නැත. එම නිසා අසත්‍ය ප‍්‍රකාශ පවා තර්ක

ගොඩනැඟීමට යොදා ගනී. නිගාමී තර්ක වලින් බාහිර ලෝකය පිළිබඳ යමක් පැවසෙන්නේ නැත. නිගාමී තර්කවලින් බාහිර ලෝකය පිළිබඳව යමක් පැවසෙන්නේ නැත. ඊට හේතුව නිගාමී තරකයක නිගමනය එහි අවයව වලට සීමා වී නොතිබීමයි. නිගාමී අනුමානය යොදා ගැනෙන්නේ ගණිතය ජ්‍යොමිතිය වැනි රූපික විද්‍යා වලටය. නමුත් උද්ගාමී තර්කවල අවයව හා නිගමනය අතර ඇත්තේ සම්භාවිතාමය සම්බන්ධතාවයකි. තරකය ආරම්භ වන්නේ විශේෂ අවස්ථාවන්ගෙනි. තර්ක අවසන් වන්නේ සාමාන්‍යකරණය වූ නිගමනයකිනි. උද්ගාමී තර්කවලදී තරකය සඳහා යොදා ගන්නේ සත්‍ය ප‍්‍රකාශන පමණි. එබැවින් උද්ගාමී තර්කයක් ආරම්භ වන්නේ බාහිර ලෝකය නිරීක්ෂණය කිරීමෙන් ගොඩනඟගත් සත්‍ය ප‍්‍රකාශන වලිනි. එහෙයින් උද්ගාමී අනුමානය යොදාගැනෙන්නේ අනුභූතික විද්‍යාවන් වලටය. ඒ අනුව පැහැදිලි වනුයේ නව පුරාවිද්‍යාව නිගාමී ලක්ෂණ දරන බවයි.

නව පුරාවිද්‍යාවේ යහපත් ලක්ෂණයක් වශයෙන් සුභවාදී දෘෂ්ටිය හඳුන්වා දිය හැකිය. අතීතයේ පැවති අදහස වූයේ විවිධ පරීක්ෂණ සිදු කළද අතීත සමාජවල පැවති තත්ත්වයන් අපට අභිපේ‍්‍රරණය කළ නොහැකි යැයි අසුභවාදී දෘෂ්ටියෙන් ක‍්‍රියා කොට ඇත. ර්‍ණඅතීත සමාජවල සමාජ සංවිධානය හා බුද්ධිමය කටයුතු පිළිබඳ නැවත ගොඩනැංවීමක් කළ නොහැකිය. ” (කොලින් රෙන්ෆෲ, සහ පෝල් බාන් 2000: 40) යන්න සාම්ප‍්‍රදායික පුරාවිද්‍යාඥයන් තුළ තිබූ ආකල්පයකි. එහෙත් නව පුරාවිද්‍යාවට අනුව ඕනෑම අයෙකුට එවැනි ගැටලු විස`දීමට කැමැත්තක් ඇත්නම් ඒ උදෙසා ඇති පුරාවිද්‍යා දත්ත භාවිත කළ හැකිය. ශ‍්‍රී ලංකාවේ සුසාන ආශ‍්‍රිතව සිදු කළ පර්යේෂණ ඉබ්බන්කටුව පොම්පරිප්පු වැනි ස්ථානවල විවිධ අභිචාර විදි චාරිත‍්‍ර වාරිත‍්‍ර පිළිබඳ පුරාවිද්‍යාඥයන්ගේ අරමුණු ඔස්සේ සුභවාදී පර්යේෂණයන් සිදු කර ඇත.

සාම්ප‍්‍රදායිකව පැවති පුරාවිද්‍යාව තුළ සංස්කෘතික ඉතිහාසය පිළිබඳ බොහෝ විට අවධානය යොමු කළ ද නව පුරාවිද්‍යාවේ සංස්කෘතික කි‍්‍රයාදාමය පිළිබඳව අවදානය යොමු කෙරේ. සංස්කෘතික ක‍්‍රියාදාමය කෙරේ තාර්කිකව අවධානය යොමු කළ යුතුය.

උක්ත අයුරින් නව පුරාවිද්‍යාව සතු සුවිශේෂී ලක්ෂණයන් පහදා දිය හැකිය.

නිගමනය

පුරාවිද්‍යා විෂය 1960 දී පමණ නව මුහුණුවරක් වශයෙන් සංවිධානය වී නව මාවතක් ඔස්සේ ගමන් කිරීමේදී පෙර පැවති සාම්ප‍්‍රදායික ලක්ෂණවලින් මිදී විද්‍යාත්මක ගති ලක්ෂණ දරමින් නවීන විද්‍යාවන්ගේ සහයෝගයේ සහ බලපෑමේ ප‍්‍රතිඵලයක් වශයෙන් නව පුරාවිද්‍යානු ලක්ෂණ වන Explanation, Cultural process, Deductive, testing of hypothesis, Research design, Qualitative, optimism යන ඒවා නව ප‍්‍රවණතා ඔස්සේ වර්ධනය වී තිබේ. කාලයේ ඇවෑමෙන් සහ අත්දැකීම් තුළින් දියුණු වන නව ලෝකයේ පවතින සෑම අංගයක්ම අනුවර්ථනය නොවුනහොත් ලෝකයෙන් නෙරපී යෑමට වැඩි ඉඩක් පවතී. එවන් වකවානුවක පුරාවිද්‍යාව නව පුරාවිද්‍යාව වශයෙන් නැඟී සිටීම එක්තරා විදියක සුභවාදී අනුවර්ථනයකි. සාම්ප‍්‍රදායික ලක්ෂණවලින් මිදී සංස්කෘතික පුරාවිද්‍යාව විද්‍යාත්මක පුරාවිද්‍යාවක් බවට පත් විය.

නව පුරාවිද්‍යාව තුළින් සාර්ථක ගවේෂණ කැණීම් සහ නිවැරදි වාර්තාකරණය හේතුවෙන් මෙන්ම උපකල්පන තුළින් නිගමනයන් සිදු කිරීම හේතුවෙන් වැරදි මතවාද සමාජගත වීම වැළකී පුරාවිද්‍යාව යන විෂය ක්ෂේත‍්‍රය මගින් ලෝකයට සිදු කළ හැකි මෙහෙය සහ ගොඩනැඟිය හැකි අතීතයේ ස්වභාවයන්, එහි පරාසයනුත් විහිදුනු පැතිකඩ ආදිය ලෝකය ඉදිරියේ ගෙන හැර දැක්වීමට නව පුරාවිද්‍යාවට හැකි වී තිබේ.

පුරාවිද්‍යාව නව ලක්ෂණයන් සහිතව නව පුරාවිද්‍යාව වශයෙන් නැඟීසිටීම හේතුවෙන් අනෙකුත් විද්‍යාත්මක විෂයන් සමග කරට කර නැඟී සිටීම හේතුවෙන් අනෙකුත් විද්‍යාත්මක විෂයන් සමග කරට කර නැඟී සිටීමේ හැකියාව උදා වී ඇත. විද්‍යාත්මක ලක්ෂණ ආරෝපණය වීමත් සමගම කැණීමේදී පස් තට්ටු පිළිබඳ අධ්‍යයනයට භූ විද්‍යාඥයෙක් අස්ථි පරීක්ෂාවට වෛද්‍යවරුන්, C14 පරීක්ෂා සඳහා රසායන විද්‍යාඥයන්, ස්මාරක අධ්‍යනයේදී ඉංජිනේරුවන් ආදී වශයෙන් විද්වත් සහය කැටි කොට ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස පුරාවිද්‍යාව ලොව පුරා නව රැල්ලක් වී ඇත. බොහෝ පිරිස් මෙම විෂය ක්ෂේත‍්‍රය සම්බන්ධව දක්වන උනන්දුව වැඩි වීමක් දක්නට ලැබේ.

ඒ අනුව පුරාවිද්‍යාව 1960 න් පසු විද්වතුන් යටතේ විද්‍යාත්මක බවින් යුක්තව නව පුරාවිද්‍යාව වශයෙන් ඉදිරියට පැමිණීම ඉතා සාර්ථක ප‍්‍රවණතාවයක් බවට නිගමනය කළ හැකිය.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

ගුණවර්ධන, ප‍්‍රියශාන්ත (2015). පුරාවිද්‍යාව හැඳින්වීම සහ මූලික සංකල්ප, ජාඇල : සමන්තී පොත් ප‍්‍රකාශකයෝ.

රෙන්ෆෲ, කොලින් සහ පෝල් බාන්, (2000). පුරාවිද්‍යාවේ සිද්ධාන්ත, ක‍්‍රම සහ භාවිතය, රාජ් සෝමදේව, මහරගම : අනුවාදකගේ ප‍්‍රකාශනයකි.

ලගමුව, ඒ. (2000). ප‍්‍රායොගික ක්ෂේත‍්‍ර පුරාවිද්‍යාව. නුගේගොඩ : සරසවි ප‍්‍රකාශකයො.

වත්තල, ශරත් (1965). පුරාවිද්‍යාව හැදැරීම, කොළඹ : විල්බට් සහ පුත‍්‍රයෝ.
Sankalia,H.D. (1962). Indian Archaeology Today. London: Asia publishing house.
Sankalia,H.D. (1977). New Archaeology its scope and application to India. India: Ethnographic and flok culture society.

කේ. එච්. වත්සිලා රාජසිංහ
පුරාවිද්‍යා අධ්‍යයන අංශය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment