නව ලේකම්වරු සමඟ ජනපති අගමැති නව වසරටත් ලෑස්තියි

305

2021 අවුරුද්දේ අවසාන දින කිහිපය දේශපාලන කරළියේ කාට කාටත් වැඩ රාජකාරි අධික කාර්යබහුල දින කිහිපයක් විය. ආණ්ඩු පක්ෂයට විපක්ෂයට කියා වෙනසක් නොවීය. සියල්ලෝම සිටියේ කාර්යබහුලව ය.

පාර්ලිමේන්තු නිවාඩු ලැබීමත් සමඟම නත්තල් නිවාඩුවත් වසර අවසානයේ ලැබෙන විවේකයක් ගත කිරීම සඳහා රටින් බැහැරව ගිය බොහෝ මැති ඇමැතිවරු වැඩි දෙනෙක් නැවත ලංකාවට පැමිණ සිටියේ නැත. එම නිසා දේශපාලන ක‍්‍රියාකාරකම් තරමක් අඩු විය. එහෙත් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ප‍්‍රධාන ධාරාවේ වැඩකටයුතුවල කිසිදු අඩුවක් පාඩුවක් නොවී ය.

පසුගිය සතියේ අපේ දේශපාලන කරළියේ වැඩි වැඩියෙන් කතා බහට ලක්වූ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ තිරුපති සංචාරය සඳහා ගත වූයේ දින දෙකක කාල පරාසයකි. එහෙත් අපේ රටේ සමාජ මාධ්‍ය එම සංචාරය පිළිබඳව විවිධ කටකතා හා දූෂමාන ආරංචි සති ගණනකට සෑහෙන්නට මුදාහැර තිබීම ද පසුගිය සතියේ කැපී පෙනෙන ලක්ෂණයක් විය. කවුරු කෙසේ මොනවා කිව්වත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම සංචාරය නිම වීමෙන් පසු නැවත ලංකාවට පැමිණ සුපුරුදු පරිදි තමන්ගේ වැඩ කටයුතු ටික පටන් ගත්තේය. අගමැතිවරයාට වැඩ රාජකාරි බහුල වූයේ පසුගිය දිනවල ආණ්ඩුව ඇතුළේ ඇමැතිවරුන්ගේ තිබූ අලකලංචි කිහිපයකුත් සමඟයි. යුගදනවි ගනුදෙනුවලට එරෙහිව ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරු කිහිප දෙනෙක් විරෝධය පළ කිරීමත් සමගම එය ලොකු අභ්‍යන්තර අරගලයකට හේතුවක් විය. මෙම ප‍්‍රශ්නයේදී විමල්, උදය සහ වාසු වෙනම කණ්ඩායමක් සහ
බලවේගයක් ලෙස ආණ්ඩුව ඇතුළේ කටයුතු කරන බව පිටට පෙන්නුම් කළත් ඔවුන් කිසිලෙසකත් තනිවී සිටියේ නැති බව අගමැතිවරයා දැන සිටියේය. විමල්ලා වාසුලා පිටුපස තවත් සැලකිය යුතු කණ්ඩායමක් සිටින බවද අගමැතිවරයාට රහසක් නොවීය. ලංකාවට පැමිණි මොහොතේ පටන්ම මේ නිසා නඩු ගණනාවක් ම අගමැතිවරයා අභිමුවට පැමිණියේ ය.

පසුගිය දිනවල දැකගත හැකි තවත් විශේෂ ලක්ෂණයක් වූයේ විමල්ලා වාසුලා හා උදයලා වැනි උණුසුම් අදහස් දරන ඇමැතිවරුන්ට ප‍්‍රහාර එල්ල කරන පොහොට්ටුවේ පසුපෙළ මන්ත‍්‍රීවරුන්ගේ නිහඬතාවයයි. විශේෂයෙන්ම සාගර කාරියවසම්, තිස්ස කුට්ටිආරච්චි වැනි මන්ත‍්‍රීවරු මේ අයුරින් නිහඬව සිටීම දේශපාලන කරළියේ පුදුමයට කරුණක් විය. සමහරු කීවේ ඒ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ලංකාවේ නොසිටි නිසා වන්නට ඇතැයි කියාය. කෙසේ වෙතත් මේ සෑම තැනකදීම තත්ත්වය සමනය කිරීමට හා ආරවුල් විසඳීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දායකත්වය ඉතාමත් සාධනීය එකක් වූ බව සැකයක් නැත.

2021 අවුරුද්දේ අන්තිම දවස් නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පසුගිය දින කිහිපය තුළ වැඩ රාජකාරි බහුල විය. වෙනදාට සාපේක්ෂව බලන විට හමුවීම් රැස්වීම් සහ භෝජන සංග‍්‍රහයන්ද බහුල විය. මේ නිසා ජනාධිපතිවරයා හොඳටම අවිවේකීව සිටියේය.

පසුගිය සති අන්තයේ නත්තල යෙදී තිබූ බැවින් නත්තල නිසා ද ජනාධිපතිවරයාට තරමක් වැඩ රාජකාරි බහුල විය.

මේ අතර පසුගිය සතිඅන්තයේ විශේෂ අමුත්තෙක් ජනාධිපති හමුවන්නට පැමිණ සිටියහ. ඒ ජපානයේ ප‍්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නායක හාමුදුරුවන් වහන්සේ ය.

ජනාධිපතිවරයා උන් වහන්සේව ඉතා උණුසුමින් පිළිගෙන සුදුසු ලෙස අසුන් පනවා එකත්පස්ව හිඳ උන්වහන්සේ සමඟ බොහෝ දෑ කතාබහ කරන්නට පටන් ගත්තේය. කොරෝනා ව්‍යසනයෙන් පසු ජපානය නැවත හිස එසවීම ගැන කියමින් බානගල උපතිස්ස හිමියෝ පරණ පත්තරයක් ගෙන ජනාධිපතිවරයාට පෙන්වා සිටියේය.

”මේ තමයි අනගාරික ධර්මපාල තුමා පළකරපු සිංහල බෞද්ධයා පත්තරේ. 1923 අවුරුද්දේ ජපානය ලොකු ඛේදවාචකයකට මුහුණ දුන්නා. ලොකු භූමිකම්පාවක් නිසා ජපානය පොළොවට සමතලා වුණා. ඒ වෙලාවේ ජපන්නු අන්ත අසරණ වුණා. අනගාරික ධර්මපාල තුමා එතුමාගේ පත්තරෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කළා ජපානයේ ජනතාවට උදවු කරමු කියලා. ඒ වෙලාවේ ලංකාවේ හිත හොඳ මිනිස්සු ජපානයට උදව් කරන්න ඉදිරිපත් වුණ හැටි තමයි මේ ලියලා තියෙන්නේ…”

ජනාධිපති ඉතා උනන්දුවෙන් එම පුවත්පත් ලිපිය ගෙන කියවන්නට වූයේය. ”ඔබවහන්සේ මට මේ පත්තරේ දෙන්නකෝ… විවේකීව කියවන්න.”

”මම මේ පෙන්නුවෙ අපේ දෙරට අතර අවුරුදු පනස් ගණනකට වැඩි මිත‍්‍රත්වය පිළිබඳ ඉතිහාසයක් තියෙනවා. අදත් අපි මේක ආරක්ෂා කරගන්න ඕන. අපි රටවල් දෙක එකිනෙකාට උදව් පදව් කරගන්න ඕන…” බානගල හිමියෝ කීහ.

”ජපානයේ හොඳ රටක්. ඉතිහාසයේ ඉඳලා ජපානයට අපිත් අපිට ජපානයත් උදව්පදව් හුවමාරු කරගෙන තියෙනවා. ඒ මිත‍්‍රත්වය අපි හෙටත් තියාගන්නවා හාමුදුරුවනේ…” ජනාධිපතිවරයා කීවේය. එම සාකච්ඡාව ඒ අයුරින් ඇදී ගොස් තවත් ටික වේලාවකින් අවසන් විය.

රනිල් දියතාලාවේදි
ජනතාව හමුවෙලා

එක්සත් ජාතික පක්ෂ නායකයා දියතලාවේ කළ සංචාරය නිමා කොට කොළඹට පැමිණි පසු පක්ෂයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායම් පළමුවරට මුණ ගැසුණේ ඉකුත් අඟහරුවාදා ය. සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත ගිය නායකයා පක්ෂ නියෝජ්‍ය නායක රුවන්, සභාපති වජිර, මහලේකම් රංගේ ප‍්‍රමුඛ නිලධාරීන් මුණ ගැසී පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

ප‍්‍රධාන ධාරාවන් හතරක් ඔස්සේ පක්ෂ යාන්ත‍්‍රණය නව වසරේ ඉදිරියට ගෙන යෑම පිළිබඳව මෙහිදි දීර්ඝ ලෙස පිරිස සාකච්ඡා කළහ. තරුණ කණ්ඩායම්, කාන්තා සංවිධාන ශක්තිමත් කිරීම, ප‍්‍රතිපත්ති සකස් කිරීම ගැන මෙන්ම සාමාජික ප‍්‍රවර්ධනය යන කාණ්ඩ 4 ඔස්සේ පක්ෂය ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නායකයා මෙහිදී පිරිසට උපදෙස් දුන්නේය.

ඊට අමතරව පළාත් පාලන මන්ත‍්‍රීවරුන් කැඳවා ඔවුන්ට වගකීම් පැවරිය යුතු බවට ද නායකයා දැනුම් දුන්නේය. පළාත් පාලන නියෝජිතයන් හරහා බිම් මට්ටමේ සංවිධාන කටයුතු ශක්තිමත් කළ යුතු බව ද නායකයා කියා සිටියේය. ජනවාරි මස මුල් සතියේදී එම කණ්ඩායම් මුණ ගැසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනා ලෙස ද නායකයා මහලේකම්වරයාට උපදෙස් දුන්නේය.

දියතලාවේ සංචාරය අතරතුරදී ජනතාව මුණ ගැසුණු විට ඔවුන් කී දෑ ගැන ද පිරිස දැනුම්වත් කිරීමට ඔහු පියවර ගත්තේය.

”ගොවීන්ගෙන් බහුතරයක් පසුගිය කාලේ එළවළු වගා කරලා නෑ. දියතලාවේ ඉන්න ගමන් මම ප‍්‍රදේශයේ මිනිස්සු හම්බ වෙන්න ගියා. එතනදී හම්බ වුණු ගොවීන් මට කිව්වේ ඔවුන් පහුගිය කාලේ අල වගා කළේ නෑ කියලයි. සාගතයක පෙරනිමිති තමයි මේ පේන්න තියෙන්නේ.” නායකයා කීවේ කනගාටුවෙනි.

”ඔව් සර් මේ ගැන රටේ මිනිස්සුන්ට හරි අවබෝධයක් තවම නෑ. අමාරු කාලයක් ආවත් කන බොන ටික නැති වෙන එකක් නැහැ කියලයි ජනතාව තවම හිතන්නේ නෑ.” රුවන් තවත් මතයක් ඉදිරිපත් කළේය.

”ඩොලර් අර්බුදයට විසඳුම අයි.එම්.එෆ්. යන එකයි කියලා සර් කිව්වට පස්සේ විපක්ෂයේ අනෙක් අයත් ඒක කියන්න පටන් ගත්තා. දැන් මිනිස්සු දන්නවා අයි.එම්.එෆ් කියන්නේ මොකක්ද කියලා. ඒ වගේ මේ ප‍්‍රශ්නය ගැනත් රටට පණිවුඩයක් දෙන්න.” රංගේ ද ඉල්ලීමක් කළේය.

පිරිසගේ ඉල්ලීම ප‍්‍රකාරව නායකයා ඉකුත් අඟහරුවාදා ඉදිරියේදි ඇතිවෙතැයි කෘෂි විශේෂඥයන් විසින් අනතුරු හඟවන සාගතයක් ඇතිවීමේ අවදානම ගැන කරුණු පැහැදිලි කරමින් මාධ්‍යයට විශේෂ ප‍්‍රකාශයක් කළේය. එසේම සාගතයට ගත හැකි හොඳම විසඳුමත් නායකයා එහිදී ඉදිරිපත් කළේය.

ලේකම් ගැන
ජනපති කනස්සල්ලෙන්

පසුගිය සතිඅන්තයේ ජනාධිපතිවරයාගේ අවධානය දැඩි ලෙස යොමු වූ තවත් කරුණක් තිබුණි. ඒ වූ කලී ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර සම්බන්ධයෙන් රටේ එක් එක් පාර්ශ්වවලින් නැගෙන්නට වූ බරපතල චෝදනා පිළිබඳවයි. මේ චෝදනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඒ තරම් සතුටින් සිටියේ නැත. විශේෂයෙන්ම ආණ්ඩුවේ ලොකු ලොකු වගකීම් දරන කැබිනට් මණ්ඩල සාමාජිකයන් පවා එළිපිටම මෙසේ රජය සහ ජනාධිපති ලේකම්වරයා විවේචනය කරමින් අරඹා තිබූ අභ්‍යන්තර අරගලවලට ජනාධිපතිවරයා එතරම් මනාපයක් පෙන්වූයේ නැත.

ඒ අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අපේ රටේ සියලූම මුද්‍රිත මාධ්‍යවල ප‍්‍රධාන කර්තෘවරු මුණගැසෙන්නට අවශ්‍ය විය. ජනාධිපතිවරයා ඒ පිළිබඳව සිය මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චිට පවසා දැනුම් දුන්නේ සියලූම පුවත්පත්වල කර්තෘවරු කැඳවා දිවා භෝජන සංග‍්‍රහයක් සහිත හමුවක් සූදානම් කරන ලෙසය.

ඒ අනුව එම හමුව යෙදී තිබුණේ ඉකුත් 27 වන සඳුදා දහවල් ය. රාජ්‍ය සහ පෞද්ගලික සියලූම පුවත්පත්වල කර්තෘවරුන් සඳහා ආරාධනා පත් එවා තිබුණි.

ඒ අනුව සඳුදා දහවල් 11.30 ට ජනාධිපති මන්දිරයේ දී මෙම හමුව පැවැත්වුණු අතර ලංකාවේ සිටින ප‍්‍රවීණතම මාධ්‍යවේදීන් වන සිරි රණසිංහ, සිංහ රත්නතුංග, ආරියනන්ද දොඹගහවත්ත, ප‍්‍රභාත් සහබන්දු, අනුර සොලමන්ස්, නාරද නිශ්ශංක, තුෂාර ගුණරත්න, ධර්ම ශ‍්‍රී කාරියවසම්, මහින්ද ඉලේපෙරුම, කුලශ‍්‍රී කාරියවසම් ඇතුළු සීමිත මාධ්‍යවේදීන් පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියහ. ලලිත් වීරතුංග, සුදේව හෙට්ටිආරච්චි හා කිංස්ලි රත්නායක ද එහි සිටියහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හරි වේලාවට පැමිණ ඔවුන් පිළිගනිමින් සාකච්ඡා කතාබහ ආරම්භ කළේය.

”මේ රටේ ජනතාවගෙන් බලය අරගෙන අපි මේ රට නගා සිටවන වැඩපිළිවෙළ ආරම්භ කළේ දැවැන්ත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන්න හිතාගෙන. අපට ඒ සඳහා ලොකු සැලැස්මක් තිබුණා. මම ඇවිල්ලා මේ රටේ බලය අරගෙන මාසයක් දෙකක් යනකොට මුළු ලෝකෙම වෙළා ගත්ත භයානක වසංගතයකට අපේ රටටත් යටත් වෙන්න සිද්ධ වුණා. අපේ තිබුණු සැලසුම් ඔක්කොම වෙනස් වුණා. සංවර්ධන සැලසුම් පැත්තක තියලා අපිට සිද්ධ වුණා මේ රටත් ජනතාවත් මේ වසංගතයෙන් බේරා ගන්නා සටනට අවතීර්ණ වෙන්න.

ජනපති කතුවරුන්ට
කරුණු පහදයි

නව ලේකම්වරු සමඟ ජනපති අගමැති නව වසරටත් ලෑස්තියි

එතෙන්දි අපි සතු මුදල් සංචිත අපි නොහිතපු විදිහට වෙන වෙන අරමුණු සඳහා වියදම් කරන්න වුණා. අපිට කොවිඞ් රෝගය සඳහා රෝහල්වල පහසුකම් වැඩි දියුණු කරන්න වුණා. පී සී ආර් කට්ටල් සහ ඊට අවශ්‍ය ඇඳුම් ගෙන්නන්න වුණා. ලෝකයේ හොඳම එන්නත් ගෙන්නන්න සිද්ධ වුණා. ලෝකයේ වෙන වෙන තැන්වල දුක් විඳපු අපේ රටේ ජනතාව ආපසු ගෙන්නන්න වුණා. රට මාස ගණන් වහලා තියන්න වුණා. ජනතාවට සහනාධාර දීමනා පන්දාහක් ගාණේ දෙපාරක් දුන්නා. දහදාහ ගාණේ බඩු මලූ දුන්නා.

මෙන්න මෙතනදී අපේ විදේශ සංචිත ක්ෂය වෙන්න පටන් ගත්තා. ආදායම් නොමැති වුණා. නිෂ්පාදනය ඇනහිටියා. නොයෙකුත් කරදරවලට අවුරුදු දෙකක් තිස්සේ අපි මූණ දුන්නා. අන්න එහෙම මගේ කාලයෙන් අවුරුදු දෙකක් නිරපරාදෙ ගතවෙලා ගියා.

අපිට තව ඉතුරු වෙලා තියෙන්නෙ අවුරුදු තුනයි. රට දුෂ්කර අවස්ථාවකට මුහුණ දීලා තියෙනවා තමයි. හැබැයි අපි ඉදිරි අවුරුදු තුන ඇතුළත අපට කරන්න බැරි වුණු හැම සංවර්ධන කටයුත්තක් ම මේ රට වෙනුවෙන් කරනවා. අපේ ඉලක්කවලට යන්න මේ අවුරුදු 3ක් ඇති.

මේ දුෂ්කර අවස්ථාවේ නොයෙකුත් අපි නොහිතපු දේවල් වෙනවා. අද ඩොලර් හිඟයකට රට මුහුණ දීලා. එක පැත්තකින් ඉන්ධන මිල වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ගෑස් පිපිරුවා කියනවා… මාධ්‍ය වලටත් ලොකු වගකීමක් තියෙනවා මේවා ගැන ඇත්ත නැත්ත හොයල බලන්න. අපිත් එක්ක වැඩ කරපු යම් යම් අය සාර්ථක වුණා. ආයතන ප‍්‍රධානීන්ගෙන් මම බලාපොරොත්තු වුණු සේවය සමහර තැන්වල ඉටු වුණේ නැහැ. නමුත් සමහර තැන් වල හිතුවටත් වඩා හොඳට ඒ ඉලක්ක ජය ගත්තා. සාර්ථක වුණ තැන් තිබුණත් මාධ්‍යවලට ඒවා පේන්නේ නෑ…”

”ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමනි ඒවා ගැන මාධ්‍ය දන්නේ නෑ. ඒව ගැන මාධ්‍යවලට කියන්න කෙනෙක් නෑ. ඇමැතිවරු ටෙලිෆෝන්වලට එන්නේ නෑ…” පුවත්පත් කතුවරයකු ද අඩුපාඩු පෙන්වා දුන්නේ ය.

”ගෑස් පිපිරුවා පිපිරුවා කියනවා. මේ වගේ දේවල් පහුගිය කාලේ හැමදාමත් වුණා. හැබැයි දැන් විතරක් මේවා වැඩිපුර පෙන්නනවා. ඒක වැරදියි.

අනිත් එක ගෑස්වල සංයුතියේ වෙනසක් මත මේ පිපිරීම් සිදුවුණා කියලා මම විශ්වාස කරන්නේ නෑ. හැබැයි ඒක වරදක් වුණා. ගෑස්වල ගඳ පෙන්වන මර්කැප්ටන් කියන රසායනික මේගොල්ල එකතු කරලා නෑ… එතන වරදක් වෙලා තියෙනවා.

මම කියන්නේ ඔබතුමාලා මේ ගැන සාධාරණව බලන්න. හැම ප‍්‍රශ්නයකම දෙපැත්තක් තියෙනවා. මාධ්‍යවලින් ගොඩක් වෙලාවට ආවරණය වෙන්නේ එක පැත්තයි.”

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර සම්බන්ධයෙන් මතුවී ඇති අර්බුදයේ අලූත් තත්ත්වය ගැන ද ප‍්‍රශ්න මතුවිය.

”එතුමා රජයේ සේවකයෙක්. ඉතාම දක්ෂ නිලධාරියෙක්. අවංක කෙනෙක්. එතුමා ක‍්‍රියාත්මක කරන්නේ මේ රජයේ ප‍්‍රතිපත්ති. ඉතින් කවුරු හරි එතුමාව අල්ලගෙන ඇඟිල්ල දිගු කරළා චෝදනා කරනවා නම් ඒක වැරදියි.”

”එතකොට විමල් වීරවංශලා

ගම්මන්පිලලා වාසුලා වගේ අයට මොකද කරන්නේ…”

”ඒ ගොල්ල ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියක් විවේචනය කරනවා. හරි නං ඒ ගොල්ල ඔවුන්ගේ ඇමැති ධුරවලින් අස් වෙලා තමයි උසාවි යනවා නං යන්න ඕන. ඒ මොකද මීට පෙර දෝෂාභියෝගය වෙලාවේ මේ රටේ විනිසුරුවරයෙක් දීපු තීන්දුවක් තියෙනවා. යම් ඇමැතිවරයෙක් රජයේ සාමූහික වගකීම උල්ලංඝනය කරමින් නඩු මගට බහිනව නම් පළමුව ඔහු දරන තනතුරුවලින් ඉල්ලා අස්විය යුතුයි. ඒක නඩු තීන්දුවක්. ඔය ඇමැතිවරු තුන් දෙනා තමන්ගේ තනතුරු වලින් අයින් වෙලා නඩු මගට ගියා නම් තමයි හොඳ.”

”එතකොට ඔබතුමා ඒ අයව අයින් කරනවද..”

”නෑ අපි එහෙම තීන්දුවක් අරගෙන නෑ. මම කිව්වේ කළ යුතු විදිය.

මම කියන්නේ මෙන්න මේකයි. අපි ආණ්ඩුවක් හැටියට තනි ගමනක් එක මතයක ගිහිල්ලා වැඩ කරලා තමයි මේ අභියෝග ජය ගන්න අපට පුළුවන් වෙන්නේ. අරයා වැරදියි මෙයා වැරදියි කියලා කාටවත් චෝදනා කර කර ඉඳලා හරියන්නේ නෑ.

මට මතකයි ඉස්සර අපි යුද්ධ කරනකොට මුහමාලේ ඇටෑක් එකේදි අපි හොඳටම ගුටි කෑවා. අපේ සෙබළු දෙසීයකට වැඩියෙන් මැරුණා. යුද්ධ ටැංකි හයක් අහිමි වුණා. නමුත් අපි ඒ වෙලාවේ අරයා වැරදියි මෙයා වැරදියි කිය කිය කාටවත් චෝදනා කර කර හිටියේ නෑ. අපි නිලධාරීන් හැටියට කවුරුත් එහි වගකීම බාර අරගෙන ඊළඟ ඇටෑක් එකට හොඳින් සංවිධානය වුණා. එහෙම එකාවන්ව ශක්තිමත් වෙලා ප‍්‍රති ප‍්‍රහාර එල්ල කරලා අර ප‍්‍රහාරයේ පොලියත් එක්ක අපි ජයග‍්‍රහණයක් අත්පත් කරගත්තා. අපි වැඩ කරන්න ඕන එහෙමයි…”

මේ අයුරින් දීර්ඝ කතාබහකට පසුව ජනාධිපතිවරයා සියලූම දෙනාට දිවා ආහාරය සඳහා ආරාධනා කළේය.

සාමාන්‍යයෙන් සිංහ රත්නතුංග වැනි අයෙකු මෙවන් හමුවකට වෙනදා සහභාගී වන්නේ නැත. නමුත් මෙවර ජනාධිපතිවරයාගේ ආරාධනය ඔහු පිළිගෙන පැමිණ තිබිණි. දිවා ආහාරය ගනිද්දී ජනාධිපතිවරයා යාබද මේසයක හුන් සිංහ රත්නතුංගව තම මේසය වෙත ගෙන්වා ගත්තේය.

තවත් නොබෝ වේලාවකින් එම හමුව අවසන් විය.

පසුගිය බදාදා දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවත් භෝජන සංග‍්‍රහයකට සහභාගි විය. එය සංවිධානය කර තිබුණේ ජනාධිපති කාර්යාලයේ සේවය කරන සියලූම සේවක සේවිකාවන් වෙනුවෙනි. ජනාධිපති මන්දිරයේ පැවති මෙම භෝජන සංග‍්‍රහයට ද ජනාධිපතිවරයා නිසි වෙලාවට පැමිණ සේවක සේවිකාවන් හා සුහදව කතා බහ කරන්නට විය.

”අපි ඉතින් හැමදාම වැඩ කටයුතු වලදී නිල වශයෙන් හමුවෙලා කතාබහ කරනවා. හැබැයි ඉතින් පුද්ගලිකව කතා බහ කරන්නත් මෙහෙම අවස්ථාවක් තියෙන්න ඕන…”

ජනාධිපතිවරයා එසේ කීවේ ඔවුන් සමග තිබූ දුරස්ථභාවය ඉවත් කරමිනි.

සෑම සේවකයෙකු ළඟටම ගොස් ලොකු කුඩා භේදයකින් තොරව මිනිත්තු කීපයක් ගත කරමින් ඔවුන් සමග සුහදව කතා බහ කිරීම කාගේත් හිතසුව පිණිස විය.

ජනාධිපතිවරයා එදින දහවල් ආහාර ගත්තේ ද සේවක සේවිකාවන් මැද සිට ය. අවසානයේ ඔවුන්ගේ බිය නැති වූ තැන ජනාධිපතිවරයා සමග කණ්ඩායම් වශයෙන් ඡායාරූප ගන්නට ද පෙළඹ සිටියහ. ජනාධිපති ගෝඨාභය ඉවසීමෙන් ඒ සෑම කටයුත්තකටම සහභාගි වූයේ සිනහමුසු මුහුණෙන් යුතුව ය.

එම සුහද කතා බහෙන් පසු බදාදා හවස 2.00ට පමණ ජනාධිපතිවරයා බුද්ධංගල ආනන්ද මාහිමිපාණන්ගේ අවමංගල්‍යයට අවසන් ගෞරව දැක්වීම පිණිස බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මධ්‍යස්ථානය බලා පිටත්ව ගියේය.

බුද්ධංගල ආනන්ද හිමියෝ යනු අමාත්‍ය සරත් වීරසේකරගේ වැඩිමහල් සහෝදරයා ය. මීට කලකට පෙර උන්වහන්සේ ගිහියෙකු ව සිටි සමයේ ඉතා දක්ෂ හමුදා නිලධාරියකු ලෙස සේවය කළේය. එවකට බි‍්‍රගේඩියර් ආනන්ද වීරසේකර ලෙස සේවය කළ එතුමන් පසුව රජයේ පුනරුත්ථාපන කොමසාරිස්වරයා ලෙස ද රටට ලොකු සේවයක් කළ අයෙකු වූහ. එම සියලූ සේවාවන්ට පසුව එතුමන් පැවිදිව සසුනට එක් වී අම්පාර බුද්ධංගල ප‍්‍රදේශයට වී බුද්ධංගල ආනන්ද හිමිපාණන් නමින් ආරණ්‍ය සේනාසනයක භාවනානුයෝගීව වැඩ සිටියහ.

බෞද්ධ මන්දිරයේදී ජනාධිපතිවරයාව පිළිගනු ලැබුවේ සරත් වීරසේකර ඇමැතිවරයා ය. ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව පැමිණ සරත් වීරසේකර ඇතුළු ඥාති පිරිස හා බොහෝ වේලාවක් ආනන්ද වීරසේකර මැතිඳුන් ගිහියෙකුව සිටි සමයේ ඉටු කළ නිල රාජකාරි මෙහෙවර හා සමාජ මෙහෙවර ගැන කරුණු සාකච්ඡා කරමින් සිටියේය.

”මට එතුමන් එක්ක හමුදා නිලධාරියෙකු හැටියට එකට සේවය කරන්නත් අවස්ථාව සැලසුණා..” ජනාධිපතිවරයා එම කරුණු විස්තර කළේ අතීතයේ හමුදා භටයකු ව සිටි සමයේ ගතකළ ජීවිතය ගැනද බොහෝ කරුණු ගෙනහැර මතක් කරමිනි.

සැලකිය යුතු කාලයක් මෙසේ එම ස්ථානයේ කාලය ගත කළ ජනාධිපතිවරයා ආපසු එන්නට පැමිණ ආරණ්‍ය සේනාසනයේ සිට පැමිණ සිටි භික්ෂූන් වහන්සේ නමක් හා කතාබහ කළේය. උන්වහන්සේ සමඟ ද ජනාධිපතිවරයා ආනන්ද වීරසේකරයන්ගේ හමුදා ජීවිතය ගැන පැරණි මතකය අලූත් කරමින් ටික වේලාවක් වේලාවක් කතාබහ කළේය.

රනිල් ද අගමැති –
බැසිල්ද අගමැති.!

පසුගිය සතියේ අපේ දේශපාලන කරළිය ඇතුළාන්තයේ තවත් කරුණක් සාකච්ඡාවට ගැනුණි. ඒ වූ කලී රජයේ අමාත්‍ය ධුරවල හා වගකිව යුතු ඇතැම් පදවි තානාන්තරවල ලබන වසර තුළ ලොකු වෙනසක් ඇති වේ යැයි කියන කතාවයි. මුලින්ම මේ කතාව පැතිර ගියේ එක්තරා අන්දමක කටකතාවක් වශයෙනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද සහාය ඇතිව ලංකාවේ ඩොලර් අර්බුදය විසඳන්නට හා මේ දිනවල පවතින ආර්ථික අර්බුදය ජය ගන්නට නම් රනිල් වික‍්‍රමසිංහ වැනි, ජාත්‍යන්තරයේත් ආශීර්වාදය ලත් පළපුරුදු නායකයකුගේ දායකත්වය අවශ්‍ය යැයි කියා කතාවක් පසුගිය දිනවල සමාජයේ පැතිර ගියේය. රනිල් ආණ්ඩුවට එක්කර ගෙන ඔහුට අගමැති තනතුර බාර දී කෙටි කලකට සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ඒ මඟින් මේ තිබෙන ආර්ථික ප‍්‍රශ්න ජය ගැනීම හොඳම විසඳුම යැයි යෝජනා කරන අයද සිටියහ. එහෙත් ඒ එකදු යෝජනාවක්වත් එළිපිට සමාජගත වූයේ නැත. ඒ වෙනුවට නොයෙකුත් අන්දමේ කටකතා පැතිර ගියේය. ඒ සෑම කටකතාවකින්ම කියැවුණේ 2022 වසරේ පළමු මාසයේ පළමු සතිය තුළදීම අපේ රටේ ලොකු සමාජ දේශපාලන පරිවර්තනයක් ඇති වනු ඇතැයි කියාය.

ආණ්ඩුවේ කිසිවෙකුවත් එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුවත් මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් ප‍්‍රකාශ කළේ නැත. ඒත් කතාව රට පුරා පැතිර ගියේ ය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ ද රනිල් සම්බන්ධයෙන් පසුගිය සතිය වන විට ලොකු විවේචනයක් පැන නැගී තිබිණි. දේශපාලනමය වශයෙන් බරපතළ පරිහානියකට පත්ව සිටින වත්මන් ආණ්ඩුවට මුක්කු ගහන්නට තම නායකයා සූදානම්ව සිටින බව ඔවුන්ගේ විවේචනය විය. රනිල් පමණක් නොව, මේ සඳහා පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ද ලොකු වෙහෙසක් දරමින් සිටින බව විවේචනවලින් කියැවිණි.

මේ ප‍්‍රශ්නය එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ සමගියට තදින් බලපාන කරුණක් විය. එජාප නායකයාත් වත්මන් සභාපතිවරයාත් එකතුවී මේ වෙලාවේ කළ යුත්තේ නිදා සිටින යෝධයකු බඳු එක්සත් ජාතික පක්ෂය නඟාසිටුවීම බව ඉන් වැඩි දෙනෙකුගේ අදහස වූහ. එක්සත් ජාතික පක්ෂය මෙතෙක් කලක් ඡන්දපොළට නොගොස් ගම්වල නිෂ්ක‍්‍රීය වූ ලක්ෂ 25ක් පමණ වූ තම බලවේගය අවදි කරවාගෙන මීළඟ ආණ්ඩුව භාර ගැනීමට සැරසෙනවා වෙනුවට මේ කරමින් සිටින්නේ මොනවාද කියා එක්සත් ජාතික පක්ෂය ඇතුළාන්තයෙන් ලොකු විවේචනයක් තිබිණි.

තමන් ගිලෙන නැව්වලට ගොඩ බහින්නේ නැති බව රනිල් මේ සම්බන්ධයෙන් කිහිප තැනක දී පසුගියදා අදහස් පළකර සිටියත් එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයෙන් දිගින් දිගටම මේ චෝදනාව නැගෙන්නට විය.

ඒ පැත්තෙන් කීවේ ලබන වසරේ මේ ආණ්ඩුවේ අගමැති රනිල් කියාය.

ඒ අතර ඊට නොදෙවැනි තවත් කතාවක් පසුගිය සතියේ ආණ්ඩුවේ නොයෙකුත් දේශපාලන මර්මස්ථානවල යටි පිල තුළ කතාබහ වෙන්නට පටන් ගත්තේය. ඒ වූ කලී ලබන වසරේ මේ ආණ්ඩුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ වත් වෙන කිසිවකුවත් නොව, බැසිල් රාජපක්ෂ වනු ඇතැයි කියාය. සමහර කටකථා කිව්වේ බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ ඇමරිකාවේ සිට ලංකාවට එන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහින්ද අගමැතිවරයාගේ ද ආශිර්වාදය ඇතිව ලබන 04 වැනිදා වන විට අගමැති පුටුවේ වාඩි වනු ඇතැයි කියාය. එහෙත් මේ සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් කීමට ආණ්ඩුව ඇතුළේ කිසිදු වගකිව යුත්තෙක් ඉදිරිපත් වූයේ නැත.

ඇමැතිවරුන්ගෙන් ඒ ගැන විමසූ විට බොහෝ දෙනෙකු දුන් පොදු උත්තරයක් ද විය.

”ඔව් ඉතින්… ඒ වගේ දේවල් වුණත් මේ වෙලාවේ වෙන්න බැරි නෑ… අපි නම් ඕවාට පුදුම වෙන්නේ නෑ…”

ආණ්ඩුවේ ඇමැතිවරයෙක් ද නොවන පසුපසට වී බලා සිටින ප‍්‍රබල දේශපාලනඥයෙක් මේ ගැන විමසන විට කීවේ එසේය.

ආනන්ද හිමියෝ
දන්නා අගමැති

නව ලේකම්වරු සමඟ ජනපති අගමැති නව වසරටත් ලෑස්තියි

එහෙත් මේ කයි-කතන්දර ගැන තවත් පුද්ගලයෙක් පසුගිය සතියේ හරි අපූරු කතාන්දරයක් කීවේ පුවත්පත් සාකච්ඡාවක් ද කැඳවමිනි. ඒ මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ය.

”මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි මේ රටේ අගමැති. එතුමා පොදු ජනතාවගේ අගමැති. ජනතාව කැමති අගමැති. එතුමාගේ ඒ අගමැති තනතුර වෙනස් කරන්නත් යම් යම් බලවේග ක‍්‍රියාත්මක වෙන බව අපට ආරංචි වෙලා තියෙනවා. මේක කුමන්ත‍්‍රණයක්. ඒ කුමන්ත‍්‍රණය රජය ඇතුළාන්තයෙන් සහ පිටතින් දෙපැත්තෙන්ම ක‍්‍රියාත්මක වෙන්න පටන් අරන් තියනවා.

පසුගිය 26 වැනිදා සජිත් අලූත් කටයුත්තකට මුල පිරුවේය. ඒ නගරයෙන් නගරයට ගොස් ජනතාව හමුවන ”මනුෂ්‍යත්වය චාරිකාව” වැඩසටහනය.

හම්බන්තොට පොළ භූමියෙන් ආරම්භ කළ වැඩසටහන දින කිහිපයක්ම හම්බන්තොට කේන්ද්‍රගත කරගනිමින් පවත්වනු ලැබීය.

ඔහු යන යන සෑම තැනකින්ම අසන්නට දකින්නට ලැබුණේ මිනිස්සුන්ගේ දුක් අඳෝනාවන්ය.

”මන්ත‍්‍රීවරයෙක් තියා ඇමැතිවරයෙක්ටත් පාරට බැහැලා අපි ඉස්සරහට එන්න බැහැ මහත්තයෝ. අපි උන්නද මළාද කෑවද බීවද කියලා බලන්න කෙනෙක් නෑ. දිනුවත් පැරදුනත් හැමදාම අපි ළඟට ඇවිල්ල අපේ දුක සැප හෙව්වේ ඔබතුමා.” පොළ භූමියේ සිටි බොහෝ දෙනෙක් සජිත් සමග කීවේය.

”අපිත් රැල්ලට රැවටිලා පොහොට්ටුවට ඡන්දය දීපු මිනිස්සු. ජනතාවගේ දෙපා ළඟට එනවා කියලා ඔබතුමා එදා කියද්දී අපි ඔබතුමාට හිනා වුණා. හැබැයි ඔබතුමා අද අපේ දෙපා මුලට ඇවිල්ල දුක අහනව. අපි අඬ අඬා ඔබතුමාට දුක කියනවා.” මවක් ඇස්වල කඳුළු පුරවාගෙන සජිත් සමග කීවේය.

”ආණ්ඩුවේ සමහරු දැන් කියනවා ජනතාව මීට වඩා කැපකිරීම් කරන්නලූ” තිරෝද රථ රියැදුරෙක් සජිත්ට කීවේය.

”ඔව් ආණ්ඩුවේ තවත් පිරිසක් කියනවා ජනතාවට ‘ටිකක් කන්න කියලා. තව සමහරු කියනවා එක වේලක් අඩු කරලා කන්නලූ’. තව ටික දවසකින් කියයි ‘කන්න එපා’ කියලා. ජනතාව කැපකිරීම්-ආණ්ඩුව සැපගැනීම්’ සජිත් උත්තර දුන්නේය.

”මේ ආණ්ඩුව ආව දවසේ ඉඳලාම ජනතාව කළේ කැපකිරීම් කරන එක. හැබැයි ආණ්ඩුවේ උදවිය කළේ සැප ගැනීම. ආණ්ඩුවට දුකක් නෑ. ජනතාවට ඇපත් නෑ.” දින හතරක් මුළුල්ලේ සජිත් මනුෂ්‍යත්වය චාරිකාව සිදු කළේ ය.

විශාල උද්යෝගයකින් ජනතාව ඒවාට සම්බන්ධ වූ අතර ආණ්ඩුවට එරෙහිව ඇති අප‍්‍රමාණ කලකිරීම ජනතාව සිය හැඟීම්වලින් පිට කරනු ලැබීය.

ජනපතිගේ කතාවට
වාසු උත්තර බඳියි

වාසුදේව, විමල් සහ උදය ගම්මන්පිල සම්බන්ධයෙන් පසුගිය සඳුදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පුවත්පත් කතුවරු සමග කරන ලද කතාවට එදිනම ලොකු ප‍්‍රසිද්ධියක් ලැබුණි.

හරි නම් නම් උසාවි යන්න ඕන විමල්ලා, වාසුලා උදයලා ඇමැති තනතුරුවලින් ඉල්ලා අස් වෙලා යයි ජනාධිපතිවරයා පැහැදිලිවම කියා සිටියේය. ඔහු ඒ බැව් කීවේ පරණ නඩු වාර්තාවක් ද අලූතෙන් මතක් කරමිනි.

මේ කතාව ගැන අපේ දේශපාලන කරළිය තුළ විවිධ වාද විවාද මතුවිය. විපක්ෂය මේ නිසා අප‍්‍රමාණ සන්තෘෂ්ටියටත් ආශ්වාදයටත් පත්වූයේ ආණ්ඩුවේ තිබෙන හොඳම දත් තුනක් හෙලවි හෙලවි ආසාදිතව දැන් ගැලවී යාමට ඔන්න මෙන්න ඇති බව මතක් කරමිනි. මාධ්‍යකරුවෝ ඒ තුන්දෙනා යන යන තැනදී මේ පිළිබඳ විවිධ ප‍්‍රශ්න නගන්නට වූහ. මේ තිදෙනාටම මෙය මහා හිරිහැරයක් බවට පත් වූ තැන වාසුදේව නානායක්කාර පසුගියදා මාධ්‍ය අමතා විශේෂ ප‍්‍රකාශයක් කළේ ය.

”ජනාධිපතිතුමා එහෙම කියලා තිබුණට අපිව අස් කරනවයි කියලා නෑ. ඒ නිසා කවුරුවත් කලබල විය යුතු නෑ. අපි වරදක් කරලා තියෙනවා කියලා එතුමාට ඒත්තු යනවනං ඕන නම් පුළුවන් අපිව අයින් කරන්න. හැබැයි අපි මේ වගේ දුෂ්කර වෙලාවක ජනාධිපතිතුමා තනියම අතඇරල එතුමාව තනිකරල දාල යන්න සූදානම් නෑ.

ඒ මොකද මේක අපි හදපු ආණ්ඩුව. එදා මහින්ද මහත්තයව මැදමුලනට යවලා ජනේල එල්ලපු වෙලාවේ අපි තමයි පාරට බැහැලා මහින්ද සුළඟ පටන් අරගෙන එතුමාව යළිත් කොළඹ ගෙන්නලා මේ මහා බලවේගය නිර්මාණය කළේ. ඉතිං එහෙම නිර්මාණය කරපු බලවේගය අතෑරලා අපි යනවද… වාසු එම උත්තරය දුන්නේ තරමක උත්ප‍්‍රාසය දනවන ස්වරයකින් යුතුවය.

එළඹෙන නව වසරේ මාධ්‍ය ආයතන කිහිපයක ද ලොකු වෙනසක් සිදුවන බවට කතාවක් පැතිර ගියේය. ඒ වන විට ස්වාධීන රූපවාහිනී ආයතනයේ ද ඉහළ පුටුවල වෙනසක් ඇතිව තිබුණි. ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා ලෙස සේවය කළ සුදත් රෝහණ සම්බන්ධයෙන් ලොකු ලොකු ගැටලූ මතුවී තිබිණි. කෙසේ වෙතත් අවසානයේ ඔහු පසුගිය සතියේ දිනක ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත ලියුමක් යවමින් සිය ඉල්ලා අස්වීම බාර දුන්නේය.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ ආරංචිය දැන ගැනීමෙන් පසුව මදක් කලබලයට පත්වූයේ සුදත් රෝහණ වැනි කලාකරුවකු ගෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නමැති බලවේගය ආරම්භ කිරීමට ලැබුණු සහයෝගය හා කැපවීම ඔහුට පමණක් ඉතා හොඳින් මතකයේ තිබුණ නිසා වන්නට ඇත.

මේ අතර සුදත් රෝහණගෙන් හිස් වූ අයි ටී එන් මහ පුටුවට ඩලස් ඇමැතිවරයා නිරෝෂන් පේ‍්‍රමනාත්ව පත්කර ඇතැයි කියා කතාවක් ද පසුගිය සතියේ පැතිරෙන්නට විය.

එහෙත් එම පත් කිරීම සම්බන්ධයෙන් ද යම් යම් ගැටලූ ඇති බව පෙනී ගියේ පසුගිය සතිය අවසානය වන විටත් ඉල්ලා අස් වූවා යැයි කියන සභාපති සුදත් රෝහණ දිගින් දිගටම සිය කාර්යාලයේ සිය අසුනේ වාඩි වී සිටි නිසාය. අග‍්‍රාමාත්‍යවරයාගේ දැඩි ඉල්ලීම මත ඔහු එම තනතුරින් ඉවත් නොවනු ඇතැයි කියා තතු දත් බොහෝ දෙනා විශ්වාසය පළ කර සිටියහ.

රට තුළ දැවන්ත ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබුණත් මේ එළඹ ඇත්තේ උත්සව සමයකි. එබැවින් බොහෝ දේශපාලන හා සිවිල් ක‍්‍රියාකාරිකයන්ට තාවකාලික විරාමයක් ලැබී ඇති සෙයකි. බොහෝ දේශපාලනඥයන් මේ වන විට ගතකරන්නේ රටින් බැහැරවය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතාටද පසුගිය සතියේ දින වෙන්කර තිබූ බොහෝ හමුවීම් ඒ නිසා අවලංගු කරන්නට සිදුවිය. ඔහු අමරසේකර මාවතේ තම නිවසේ ගතකළද කාර්යබහුලත්වයේ කිසිදු අඩුවක් වී නොමැත. දෙස් විදෙස් බොහෝ දෙනෙක් ඔහු අමතමින් රටේ පවත්නා තත්ත්වය මෙන්ම රට මෙම අගාධයෙන් ගොඩගැනීමට ඇති වගකීම පිළිබඳවද එහිදී බොහෝ දේ සාකච්ඡා කර ඇත.

විශේෂයෙන්ම රටට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක ඇති අවශ්‍යතාවය මෙන්ම එය පුළුල් මහජන සහභාගිත්වයකින් මෙන්ම අනුමැතියකින් සිදුකළ යුත්තක් බවද එහිදී අවධාරනය වී තිබේ. එමෙන්ම රටේ ආණ්ඩුක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කරනවාත් සමගම පවත්නා මැතිවරණ ක‍්‍රමයෙහිද සංශෝධනයක් සිදු විය යුතුය යන්න එහිදී බොහෝ දෙනකුගේ අදහස වී තිබේ. එය ඒ පිළිබඳව ජයසූරිය මහතා සමග කතාකළ විද්වතුන් බොහෝ දෙනකුගේ හා පුවත්පත් කතුවරුන්ගේ මෙන්ම රටේ තරුණ තරුණියන්ගේ ද මතය වී ඇතැයි කියවේ.

එම කාරණයට අදාළව මේ රටේ මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගමික නායකයන් බොහෝ දෙනකුද එකම මතයක පිහිටා සිටීම විශේෂත්වයකි. එය තමන්ගේ ද ඒකායන අදහස බව එහිදී ප‍්‍රකාශකර ඇති කරු තමන්ද එළඹෙන ජනවාරි මාසයේදීම ඒ සඳහා පුළුල් ක‍්‍රියාකාරීත්වයකට යොමුවන බව ඔවුන් වෙත ප‍්‍රකාශකර තිබේ.

එමෙන්ම රටේ පුරවැසියෙක් විදේශිකයකු විවාහ කරගන්නේ නම් ඒ සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් පූර්ව අවසරයක් ලබාගත යුතු බවට නිකුත්කර ඇති අලූත්ම චක‍්‍රලේකයට ද කරු තම විරෝධය සටහන් කර ඇත. විදේශ පුරවැසිභාවය අත්නොහළ අයට රාජ්‍ය පාලනයට එක්වීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පවා වෙනස් කරගත් පිරිසක් සාමාන්‍ය ජනතාවට වෙනස් නීති පනවන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කරමින් ඔහු පසුගිය සතියේ නිවේදනයක් ද නිකුත්කර තිබේ.

33 වැනි ජාතික යෞවන ක‍්‍රීඩා උළෙල ඉකුත්දා නිමාව දුටුවේ ගම්පහ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට විජයග‍්‍රහණය අත්කර දෙමිනි. ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට මෙන්ම තරුණ සේවා සභාපති දමිත වික‍්‍රමසිංහටද තවමත් හැම කෙනකුගෙන්ම පාහේ සුබපැතුම් ගලාගෙන එන්නේ උළෙලේ කටයුතු සියල්ලම හිතුවාටත් වඩා හොඳින් සංවිධානය කර තිබූ හෙයිනි. ක‍්‍රීඩා උළෙලේ සමාප්තිය අතරතුර ඇමැති නාමල් රාජපක්ෂත් තරුණ සේවා සභාපති දමිත වික‍්‍රමසිංහත් ශ‍්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තු අගමැති පැතුම් රණසිංහත් කිසියම් කතාබහක නිරතවූහ. අමාත්‍යවරයා අදහස් කරගෙන සිටි අයුරින්ම 2022 වර්ෂයේ මෙරට මූලිකම තරුණ සංවර්ධන ව්‍යාපෘතියේ වගකීම යොවුන් පාර්ලිමේන්තුවට පැවරීමට කටයුතු යෙදුණේ ඒ කතාබහෙන් ඉනික්බිතිය.

‘‘දමිත…! ඔයා අතගහපු හැම වැඩක්ම මම හිතුවාටත් වඩා හොඳින් කළා. මට ඒ ගැන සතුටුයි. ඔයාලට මම තවත් වගකීමක් පවරනවා. මේ වැඩෙත් ශක්තිය උපරිමයෙන්ම යොදල කරන්න. හැමෝගෙම උදව් මේ වැඬේට කොහොම හරි අරගන්න බලන්න. 2022 ලෝක තරුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සමුළුව අපි මෙහේ තියමු. දැන්ම ඉඳන්ම ඒකට ලෑස්ති වෙන්න. ලෝකයේ හැම රටකින්ම තරුණ තරුණියන් 3000ක් විතර මේකට ගෙන්න ගන්න ඕනි. කොළඹ පෝට්සිටි එකේ මේක ලෑස්ති කළොත් හොඳයි. මම හිතනවා ඒක තරුණ පිරිසටත් අලූත් අත්දැකීමක් වෙයි කියල. මේකෙන් අපට ලොකු ප‍්‍රයෝජනයක් අත්වේවි. ලෝකෙ හැම රටක්ම වාගේ දැන් තරුණ තරුණියන්ගේ ශක්තිය ගැන විශ්වාසය තියල තමා ඉස්සරහට යන්න උත්සාහ කරන්නේ. මේ හරහා අපට පුළුවන් විදේශ ආයෝජකයන් රටට ගෙන්වා ගන්න. ඒත් එක්කම රටේ සුන්දරත්වයත් ලෝකෙට පෙන්වන්න පුළුවන්. ඒ ඔස්සේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න පුළුවන්. අපේ සංස්කෘතික වටිනාකම් ගැන කියන්නත් මේක හොඳ අවස්ථාවක්. අපි මේ වැඬේ උපරිම ලස්සනට කරමු. ලොකු විශ්වාසයකින් මම මේක සභාපතිතුමාට භාරදෙන්නෙ. මෙතෙක් බාර දුන්න හැම වැඩක්ම මම හිතුවාටත් වඩා හොඳට කරන්න ඔබතුමා මහන්සි අරන් තිබුණා. අදම මේක සැලසුම් කරන්න. දැන්ම වැඬේට බහින්න” යැයි ද එම කතාබහ අතරතුර සභාපති දමිත වික‍්‍රමසිංහට උපදෙස් දෙමින් අමාත්‍යවරයා පැවසීය.

පාසල් දරුවන්ට සජිත්
සක්වල පෙන්වයි

මේ අතර පසුගිය සතියේ බ‍්‍රහස්පතින්දා සජිත් තවත් සුවිශේෂී කටයුත්තකට මුල පිරුවේය.

ඒ ඔහු විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ‘‘සක්වල” නවතම වැඩසටහනයි.

සක්වල වැඩසටහන හරහා ඔහු සිදුකිරීමට අපේක්ෂා කරන්නේ රටේ දුෂ්කර පාසල්වල දුවාදරුවන්ගේ පරිගණක සහ තාක්ෂණික දැනුම වර්ධනය කිරීමත් සුහුරු පන්ති කාමර ආරම්භ කිරීමත් ය. ඒ හරහා තෝරාගත් පාසල්වලට ඉතා විශාල ප‍්‍රමාණයෙන් පරිගණක ඩිජිටල් පුවරු, සුහුරු පන්ති කාමරයකට අවශ්‍ය පරිගණක ලබාදීමටද සජිත් කටයුතු කරයි.

එහි පළමු නියමු ව්‍යාපෘතිය ආරම්භ වූයේ තණමල්විල බෝදාගම විද්‍යාලයෙනි.

සජිත්ගේ මේ අලූත්ම කටයුත්ත පිළිබඳව සැලවූ බොහෝ දෙනෙක් සජිත්ට දුරකථනයෙන් අමතා ප‍්‍රශංසා කරන්ට පටන් ගත්හ.

‘‘ආණ්ඩුවක් කරන්න ඕනේ මේවා. හැබැයි ආණ්ඩුවෙ ලොකු ලොක්කෝ කරන්නේ සැප ගන්න ලෝකෙ වටේ යන එක.”

භික්ෂූන් වහන්සේ නමක් සජිත්ට කතා කොට එහෙම කීවේය.

‘‘සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහත්තයා, මේ රටේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය දෙන්න පැය ගණන් රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ කතා කළා. එච්චර හොඳ වැඩෙත් නරකයි කියන්න උදවිය ඒ දවස්වල හිටිය. හැබැයි ඒ නිදහස් අධ්‍යාපනයේ පළවෙනි සටන කන්නන්ගර මහත්තයා දිනුවා” උන්වහන්සේ සජිත් සමඟ කීවේය.

‘‘අද මුළු ලෝකෙම අලූත් තාක්ෂණයක් ඉස්සරහට යනවා. ඔන්ලයින් අධ්‍යාපනය අතින් අපේ රට මොනතරම් පසුගාමීව ද ඉන්න කියලා පහුගිය දවස්වල හොඳටම පෙනුනා. සාම්ප‍්‍රදායික අධ්‍යාපන ක‍්‍රමය නෙවේ අද තියෙන්නේ. අද අධ්‍යාපනය නූතන තාක්ෂණයත් එක්ක යන්නේ. හැබැයි කොම්පියුටරයක් ඇහැට දැකපු නැති දරුවා මේ රටේ ඉන්නවා. එහෙම වෙලාවක ඔබතුමා කරන මේ වැඬේ වචනවලින් කියලා නිම කරන්න බැහැ” ලේකම් රංජිත්, සජිත්ගේ අලූත්ම සංකල්පය ගැන එහෙම කීවේ ය.

‘‘92%ත්, 97% අතර සාක්ෂර මට්ටමක් අප රටේ පවතින්නේ. ඩිජිටල් සාක්ෂරතාවය අද ආර්ථික සංවර්ධනයේ මිණුම් දණ්ඩක් වෙලා තියෙනවා. අපේ රටේ ජනතාවගේ ඩිජිටල් සාක්ෂරතාවය 2020 වර්ෂයේ 49% යි. පරිගණක සාක්ෂරතාවය 32.2%යි. අපේ රටේ භාගයකට ඒ හැකියාව නැහැ. අපගේ වගකීම තමයි ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය වන පරිදි වැඩකටයුතු කිරීම. අපි ඉන්නේ හතරවෙනි කාර්මික විප්ලවය ක‍්‍රියාත්මක වන අවස්ථාවේ. තවමත් අපි උපයෝගි කරගන්නේ පළවෙනි දෙවෙනි විප්ලව වල මෙවලම් සහ ක‍්‍රියාදාමයන්. එය කනගාටුවට කරුණක්. වෙනත් රටවල්වල හතරවෙනි කාර්මික විප්ලවයට අදාළව තොරතුරු තාක්ෂණය, ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය, ස්වයංක‍්‍රීයකරණය, රොබෝ තාක්ෂණය යන ඒවා භාවිත කරයි. මේවා තමයි අනාගත රැකියා උත්පාදන සඳහා අලූත් දැනුම. විද්‍යා, ගණිත සහ ඉංජිනේරු මෙන්ම ඩිජිටල් තාක්ෂණය වැනි විෂයන්වලට අපි උනන්දුවෙන් අවධානය යොමු කරන්න ඕනේ. රටක් වශයෙන් ඉදිරියට යන්න අපි මේවායේ රැඩිකල් වෙනසක් ඇති කරන්න ඕනේ.”

සජිත් සිය වැඩසටහන පිළිබඳව මන්ත‍්‍රීවරුන් සමග කීවේ එහෙමය.

‘‘සක්වල” නියම වැඩසටහන පැවැත්වුණේ තණමල්විල බෝදාගම විද්‍යාලයේදීය. අති නවීන පරිගණක පංති කාමරය දුටු දරුවන්ගේ මුහුණු මත සිනා මල් පිපෙනු දැකිය හැකි විය. එය අතිශය සංවේදී මොහොතක් බවට පත්විය.

‘‘මේ වගේ දුෂ්කර ප‍්‍රදේශවලට කොම්පියුටරයක් තියා ඬේට කාඞ් එකක් දාගන්න වත් දරුවන්ට සල්ලි නැහැ. එහෙම ප‍්‍රදේශයකට මේ කරපු පිංකම වචනවලින් කියලා නිම කරන්න බැහැ”

විද්‍යාලයේ ගුරු මණ්ඩලය සජිත්ට ස්තුති කළේ එහෙමය.

‘‘මේක අපේ ජීවිතයේ ඉතාම සතුටුදායක වෙලාවක්. පරිගණක පුවරුවක්, නවීන කොම්පියුටරයක්, සුහුරු පන්ති කාමරයක් අපිට හීනයක් වෙලා තිබුණේ. ඉතාම කටුක දුෂ්කර ජීවිත තමයි අපි ගෙවන්නේ. එහෙම තැනකට ඇවිල්ලා ඔබතුමා මෙහෙම පරිත්‍යාගයක් කරලා අපිට අලූත් ලෝකයකට දොරටු ඇරලා දුන්නට ගොඩක් පින්” පාසලේ දරුවන් සජිත්ට කීවේය.

දුප්පතුන් ගැන
දිනේෂ්ගේ දුක

ම.එ.පෙ. නායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂයේ බල මණ්ඩල රැස්වීම් කිහිපයක් පසුගිය කාලයේ පැවැත්වුනු අතර, අමාත්‍යවරයා අවිස්සාවේල්ල- සීතාවක බල මණ්ඩලය රැස්කර තිබුණේ පසුගිය ඉරිදාය (26දා).

හංවැල්ලේදී පැවති, ඊට ම.එ.පෙ. නියෝජ්‍ය ලේකම් පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා මෙන්ම බල මණ්ඩල දේශපාලන ප‍්‍රධානීන් එක්ව සිටියද මාධ්‍යයට නිරාවරණ වූයේ නැත.

වැදගත් කරුණ වූයේ පාර්ලිමේන්තුවේ සභා නායකවරයාද වන ම.එ.පෙ. නායකයා මෙහිදී දේශපාලනික වශයෙන් විශේෂ කරුණු රැසක් සාකච්ඡාවට ලක් කිරීමය.

‘‘රටේ දුප්පත් මිනිස්සුන්ට කන්න බොන්න ලොකු ප‍්‍රශ්නයක් තිබෙනවා”

බල මණ්ඩල නියෝජිතයකු නැඟු ප‍්‍රශ්නයට දිනේෂ් වහා පිළිතුරු දුන්නේය.

‘‘අඩු ආදායම්ලාභී ජන කොටසට අත්‍යවශ්‍ය අහාර ලබාදීම ගැන ආණ්ඩුව සහතිකයක් ලබාදෙන්න ඕනෙ. අපි ම.එ.පෙ. විදියට ඒ ස්ථාවරය පැහැදිලිව රජයට දන්වලා තියෙනවා. ඒ වගේම අනෙක් ජන කොටස් මුහුණ දෙන, ආර්ථික ප‍්‍රශ්න විසඳන්නත් හොඳ කළමනාකාරීත්වයකින් යුක්ත මෙහෙයවීමක් අත්‍යවශ්‍ය බව අපි කියලා තියෙනවා”

‘‘සාමාන්‍යයෙන් යන සම්ප‍්‍රදායික ක‍්‍රමයටම අද මතුවෙලා තියෙන ප‍්‍රශ්නවලට ප‍්‍රායෝගික උත්තර දෙන්න බෑ”

යදාමිණි ගුණවර්ධන එසේ කියද්දී දිනේෂ්, යළි කතා කළේය.

‘‘හරි, ඇත්ත, සම්ප‍්‍රදායික පොතේ ගුරුවාදී න්‍යායන්ගෙන් බැහැරව, පශ්චාත් කොවිඞ් සමයේ ආර්ථික ප‍්‍රශ්නවලට මුහුණදීම 2022 වර්ෂයේ ආණ්ඩුවේ අභියෝගය බව පැහැදිලියි. හැබැයි, අය වැයෙන් ගෙනාපු සැලසුම් ගමේ ඉඳන් උඩට ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කරන වැඩපිළිවෙළකුත් ඕනෙ. කොවිඞ් ආපු මුල් අවස්ථාවෙ ජනාධිපතිතුමා සියලූ රටවල සහය ගත්තෙ නැත්නම් ප‍්‍රශ්නෙ තවත් උග‍්‍ර වෙන්න තිබුණා. ඒකත් අපි අමතක කරන්න හොඳ නෑ”

‘‘ජනතාවට දුන්න පොරොන්දු තියෙනවා, ජන වරම අනුව යන්නෙ නෑ කියලා ආණ්ඩුවට ලොකු විවේචනයක් තියෙනවා” ම.එ.පෙ. බල මණ්ඩලය නියෝජිතයෙක් කීය.

ඊට තදින් පිළිතුරු දෙමින් ම.එ.පෙ. නායකයා ස්ථාවරය අනාවරණ කළේය.

‘‘ආණ්ඩුවට දුන් ජන වරම ආරක්ෂා කරගන්න ම.එ.පෙ. කැපවී ඉන්නවා. ඒ වෙනුවෙන් ක‍්‍රියා කරනවා. ඒ වගේම ඒ ජන වරම වෙනුවෙන් එදා කැපවුන සියල්ලන්, ඊට ප‍්‍රමුඛතාවය දෙයි කියලා, ම.එ.පෙ. විදියලට අපි බලාපොරොත්තු වෙනවා.”

‘‘අලූත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියපු එක ගැනත් තාම නිශ්චිත තත්ත්වයක් නෑ නේද?”

‘‘ඒක 2022 අවුරුද්දෙ ආරම්භ වෙයි කියන, අපේ ස්ථාවරය අපි කියන්න ඕනෙ” එසේ කියමින් යදාමිණි ගුණවර්ධන මන්ත‍්‍රීවරයා වැදගත් ප‍්‍රශ්නයක් මතු කළේය.

‘‘දැන්, බරපතළ ප‍්‍රශ්නයක් තමයි, පාසල් ගිහින් ඉවර වෙලා රස්සා නැතිව ඉන්න තරුණ පිරිස. තරුණයන්ට පොතේ උත්තර නෙමේ, ප‍්‍රායෝගික උත්තර ඕනෙ..”

‘‘මේකත් 2022 ආණ්ඩුවට තියෙන අභියෝගයක්.

මේ තරුණ පරම්පරාව රටේ අනාගතය වන නිසා ඔවුන් බලවත් කිරීමට සියලූ ශක්තීන් යොදන්න ඕනෙ. මේකට ප‍්‍රාදේශීය සභා පවා යොදාගන්න ඕනෙ. හැබැයි පොතේගුරුවාදයෙන් බෑ. පශ්චාත් කොවිඞ් ආර්ථිකය හදන්නත්, ප‍්‍රාදේශීය මට්ටමේ ඉඳලා වැඩ කරන්න අදට ගැළපෙන ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් ආණ්ඩුවට ඕනෙ”

ම.එ.පෙ.නායක දිනේෂ් තම ස්ථාවරය පැහැදිලිව කියා සිටියේය. දේශපාලන කරලියේ ක‍්‍රියාකාරී චරිත රැසක් විදෙස්ගතව සිටීම හා නිවාඩු ලැබ විවේකීව සිටීම නිසා තොරතුරු හිඟ වූ බැවින් මෙවර ලිපිය තරමක් කෙටි එකක් විය. ලබන සතියේ සිට සුපුරුදු ඉඩකඩ භාවිත කරමින් දේශපාලන කරලියේ අලූත් තොරතුරු ඔබ වෙත ගෙන එන බව කරුණාවෙන් සලකන්න.

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment