නව වසරේ බලාපොරොත්තුව එක රටක් එක නීතියක්

385

කෝට්ටේ කල්‍යාණි සාමග‍්‍රී සංඝ සභාව විසින් වත්මන් ජනපතිවරයාට පිරිනැමූ සම්මානය තුළ ශ‍්‍රී ලංකාධීශ්වර අභිධානය මුලටම එක්කොට තිබෙන්නේ යම් කිසි බලාපොරොත්තුවක් ඇතිවයි කල්පනා කළ හැකිය. මහා සංඝරත්නය බොහෝ දුරට කල්පනා කොට මේ අභිධානය තෝරාගෙන ඇත්තේ ජනාධිපතිවරයා ලවා කළ යුතු වැදගත් වැඩ කීපයක් තිබෙන නිසයි. පසුගිය වසංගත සමයේ මේ කාර්යයන් සියල්ල අතපසු වන්නට යෙදුණි. රුවන්වැලි සෑයේ දිවුරුම මතක් කරන්නටත් මේ සම්මානය හේතු වී තිබේ. අවස්ථා ගණනාවකදී ජනපති මන්දිරයට මහා සංඝරත්නය කැඳවා උපදෙස් ගැනීමට කටයුතු කළත් එහිදී කතා කළ දේ යථාර්ථයක් නොවීම ගැනත් උන් වහන්සේලා කල්පනා කරන්නට ඇතැයි සිතේ. කෙසේ වෙතත් වසර තිහක යුද සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලැබුණු දායකත්වය අගයා සම්මානයක් දීම මූලික අරමුණක් වීම වළක්වන්නට නොහැකිය.

රට ආර්ථික අගාධයකට වැටී තිබේ. ඒ නිසාම විදෙස් බලවතුන් හමුවේ දණින් වැටී ජාතික සම්පත් බදු දී ඩෙලර් හොයන්නටත් සිදුව තිබේ. ජනතාව පීඩාවට පත් කරන තීන්දු තීරණ හමුවේ ආණ්ඩුව කෙරෙහි අප‍්‍රසාදය ද ලියලමින් තිබේ. අපනයන ආදායම අහිමි වීමත් ආනයන වියදම් වැඩි වීමත් මැද වසර පණහක විවෘත ආර්ථික මොඩලය ගැන නැවතත් සිතන්නට අවස්ථාවක් ලැබී ඇත. මේ මොඩලය ක‍්‍රියාත්මක කිරීමට කැපවූ දේශීය ඒජන්තයකු වූ පී.බී. ජයසුන්දර සිය තනතුරෙන් ඉවත් වුවද ණය මත දුවන ආර්ථිකය ගැන ආණ්ඩුවල තිබෙන විශ්වාසය බිඳී නොමැත. විදේශීය භාණ්ඩ මත යැපෙන මානසිකත්වය අත් හැරීමට ජනතාව ද සූදානම් නැත. ඔවුන් මැසිවිලි නගනුයේ සිය රට දේ සිරි සැපදේ සංකල්පය ක‍්‍රියාත්මක නොකරන නිසා නොව පිටරට දේ අග හිඟ වී ඇති නිසාය. විද්‍යුත් මාධ්‍ය මාෆියාවට මේ අග හිඟය කුණු රසට ඉස්මතු කළ හැකි මාතෘකාවක් වී තිබේ.

ලංකාවට විද්වතුන්ගේ හිඟයක් නැත. දොස්තර, ඉංජිනේරු, ගණකාධිකාරී වෘත්තීන් හි විශේෂඥතාවය දරන්නන් වාර්ෂිකව විශ්වවිද්‍යාලවලින් බිහිවෙති. කලක් ගත වන විට ඔවුහු හරි හම්බ කර ගැනීම පිණිස රට හැර යති. ඇතැමුන් විදෙස් පුරවැසිකම් ලබා පිටරට පැල පදියම් වෙති. ගම්බද මහ ගෙවල් පාලූවට යති. කුඹුරු වතු පිටි විකුණා දමන්නට සිදු වීම අරුමයක් නොවේ. ලංකාවට හිඟ වී තිබෙන්නේ ගොවියන්ය නොයෙකුත් දක්ෂතාවයන්ගෙන් සපිරි ශිල්පීන්ය. රට පොහොර නුදුන් බැවින් උරණ වී සිටින්නේ ගොවියන් නොව බහුජාතික සමාගම් විසින් කලක් තිස්සේ පෝෂණය කළ ගොවි කම්කරුවන්ය. 1948 නිදහස ලබන විට රටට ආදරය කරන දේශපේ‍්‍රමීන් වැඩි පිරිසක් මේ රටේ සිටියහ. පනස් හයේ හැටේ වෙනස ඇති වන්නට දායකත්වය සැපයූයේ ඔවුන්ය. එහෙත් අද ඒ පරපුර අභාවයට ගොසින්ය. එක් රටක් එක නීතියක් ගැන සිහින මවන නූතන පරපුරට අවශ්‍ය වන්නේ අභිමානවත් ජාතියක සැබෑ ඒකීයත්වය සහ ඓතිහාසික විකාශනයේ නීති රීති නොව අධිරාජ්‍යවාදීන් විසින් අප හිස මත තබා ගිය ගතානුගතික නීතියකි. ජනපතිවරයා විසින් මේ අරමුණ සඳහා සංකල්පයක් ඉදිරිපත් කරලීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර තිබෙනුයේ කුමන අරමුණක් කරා යෑමට දැයි පැහැදිලි නැත. එහෙත් ඒ ගැන ඉතිහාස සාධක අනුව විමසීම අදට ප‍්‍රයෝජනත්වය.

නව වසරේ බලාපොරොත්තුව එක රටක් එක නීතියක්

වසර දෙදහස් පන්සීයක ලිඛිත ඉතිහාසය තුළම ලංකාව එක රටක් ලෙසට පැවතී නැත. වරින්වර සිදු වූ සතුරු ආක‍්‍රමණ හමුවේ රට බෙදී ගිය ආකාරය ඉතිහාසයෙන් විමසීමට හැකිය. ද්‍රවිඩ ආක‍්‍රමණ නිසා වරින් වර රට පරාධීන විය. රජු පලා ගිය අතර පසුව පැහැදිලි ප‍්‍රබල නායකත්වයක් යටතේ රට එක සේසත් විය. සත්වන සියවසේ මාන වර්මන් යනුවෙන් රාජ්‍යයට පත් වූයේ එවැනි ප‍්‍රබල පාලකයෙකි.

එතැන් සිට දහවැනි සියවස දක්වා වූ කාලය තුළ රට එක සේසත් රාජ්‍යයක් වශයෙන් ප‍්‍රබලව නැගී සිටි ආකාරය ඉතිහාසයෙන් තේරුම් ගත හැකිය. පස්වන කාශ්‍යප රජු මේ පරපුරේ අභීත නායකයෙකි. බුද්ධ ශාසනය වෙනුවෙන් මහත් සේවයක් කළ එතුමා විසින් කරවූ ව්‍යවස්ථාවක් ජේතවනාරාමය අසල ගල් පුවරුවක ඇත. ඉතා දීර්ඝ ලිපියක් වූ එහි තිබෙන එක් ව්‍යවස්ථාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතු යැයි හැෙඟ්. එහි අටවන සහ නව වන පේළිවල දක්වා තිබෙන්නේ මෙයයි.

(කෙත්කම් සුලබ්කොට් සිරිලක් ළොන්දුරුවයි සාබිය නිවය් රට් සොයය් සැත් බිය නෙරැ නන්ජැයින් නන් සෙය් බුද් බන්ද කරය්) නන් ජැයින් යනු නනා ජාතීන්ය. හත් වන සියවසට පෙර පැවති දෙමළ පාලන සමයේ දී පැමිණි ද්‍රවිඩයන් රැසක් රට පුරා විසිරී සිටියහ. ඔවුන්ට ඇරුණු වෙනම නීති රීතිද තිබුණහ. විවිධ ආගම් අදහන්නන් නිසා බුදු සසුන පිරිහීමකට ලක්ව තිබුණි. මේ නිසා මේ විවිධ විදෙස් ජාතීන් බෞද්ධ සංස්කෘතියට අනුගත කර ගැනීම රජුගේ බලාපොරොත්තුව විය. ඒ අවදියෙන් පසු සතරවන මිහිඳු රජු කළ මිහින්තලා පුවරු ලිපියේ දක්වා ඇත්තේ පෙර දෙමළ කාලයේ අනුගමනය කළ නීති රීති වෙනස් කළ යුතු බවයි. (කණැවැදිය වන් තාක් තන්හි පෙරෙ දෙමෙළ් කලැ පෙරෙ සිරිත් දිය බෙදුම් මෙ වෙහෙරට් මෙ ගතැ යුතු) ඒ කාලයේ සාංඝික දේපළ උකස් කිරීම ද බදු දීම ද සිදු වී තිබේ. ඒ ව්‍යවස්ථාවේ දක්වා තිබෙන්නේ මේ නීති වෙනස් කොට ශාසනයට අවශ්‍ය ස්වාධීනත්වය සැලැස්විය යුතු ආකාරයයි.

වර්ෂ 1766 ට පෙර දවස මෙරට යම් යම් විදෙස් ආධිපත්‍යයන් යටතේ පැවතිය ද එක රටක් වශයෙන් පැවතුණි. නමුත් එම වර්ෂයේ ලන්දේසීන් සහ සිංහලේ රජු ඇතුළු නිලමේවරු අත්සන් කරන ලද ගිවිසුම ප‍්‍රකාරව ගව්වක පළලින් යුක්ත රටේ සම්පූර්ණ මුහුදු බඩ තීරය ලන්දේසි කොම්පඤ්ඤය සතු විය. එතැන් පටන් රටවල් දෙකක් වශයෙන් නීති දෙකක් ක‍්‍රියාත්මක විය. ලන්දේසීන් සිංහල ලේකම් මිටි අනුගමනය කරමින් ඉඩම් තොම්බුද පාසල් තෝම්බුද සකස් කළහ. කොම්පඤ්ඤයට ආදායම හිමිවන පරිදි ලන්දේසි නීතිය මෙරටට ආදේශ කළහ. ඉන්පසු 1796 ද මෙම මුහුදු බඩ පළාත් ඉංග‍්‍රීසීන් වෙත පවරා දුන් මුල් කාලයේ එම ප‍්‍රදේශ පාලනය වූයේ දකුණු ඉන්දියාවේ බි‍්‍රතාන්‍ය වෙළෙඳ සමාගම විසිනි. එවිට දකුණු ඉන්දියාවේ පැවති සමින්දාර් නීතිය මෙරටට ආදේශ විය. අනතුරුව 1806 පමණ සිට ඉංග‍්‍රීසීන් විවිධ ප‍්‍රකාශන සහ ආඥාවන් ගැසට් මගින් පළ කර ඉංග‍්‍රීසි නීතිය මුහුදු බඩ පළාත් වෙත ආරෝපණය කරන ලද්දේය.

1806 මුස්ලිම් විවාහ හා දේපළ නීතිය ස්ථාපිත කරන ලද්දේ මේ යටතේය. එමෙන්ම මලබාරයෙන් ගෙන්වන ලද දෙමළ වහලූන් උදෙසා ලන්දේසීන් ක‍්‍රියාත්මක කළ තේසවලාමෙයි නීතිය, ඉංග‍්‍රීසි නීතියේ විවිධ නඩු තීන්දු යටතේ දිවයින පුරාවටම ආදේශ කරන ලද්දේය. 1815 දී ගිවිසුමකින් කන්ද උඩරට සිංහලේ ඉංග‍්‍රීසි කිරීටයට භාර දෙන ලද්දේ මෙරට නිලමේවරු විසිනි. මේ තත්ත්වය හමුවේ සමස්ත රට තුළම ලන්දේසි ඉංග‍්‍රීසි නීති ක‍්‍රියාත්මක වන්නට ආරම්භ වුණි. 1948 වසරේ අපට බි‍්‍රතාන්‍යයන් ගෙන් නිදහස ලැබුණද අද දක්වාම ක‍්‍රියාත්මක වන්නේ රෝම ලන්දේසි නීතියයි. මේ යටතේ පැරණි සිංහල නීතියකට අද අපට ඉතිරිව තිබෙන්නේ උඩරට විවාහ නීතිය පමණකි. වැන්දඹුවන්ගේ ආරක්ෂාව උදෙසා ක‍්‍රියාත්මක කළ පැරණි සිංහල නීතිය පවා ඉංග‍්‍රීසි නීතිය යටතේ අහෝසි වී තිබේ. දඹුල්ලේ කලූන්දෑවේ වැන්දඹුවන් සඳහා වෙන් කොට තිබූ එවැනි ඉඩමක් ඉඩම් නිරවුල් කිරීම යටතේ බැහැර කරනු ලබන්නේ පැරණි සිංහල නීතිය නොසලකා ක‍්‍රියාකරමිනි.

දැන් එක් රටක් එක් නීතියක් සඳහා අවශ්‍ය සංකල්ප ගොනු කරන කල්හි, අපට පස්වන කසුප් රජු ගේ ජේතවන ව්‍යවස්ථාව ද මිහින්තලා පුවරු ලිපිය මගින් කියැවෙන ව්‍යවස්ථාව ද භාවිතයට ගත හැකිය. පෙර ලන්දේසි ඉංග‍්‍රීසි කාලයේ දී පැවති මෙවැනි නීති අවලංගු කළ යුත්තේය.

විදෙස්වලින් පැමිණි නොයෙකුත් ජාතීන් බෞද්ධ සංස්කෘතියට අනුගත කළ යුත්තේය යනුවෙන් නීති පැණවීමට බාධාවක් නැත. එහෙත් මෙවැනි සෘජු තීරණයකට යා හැක්කේ සිංහලයන් ලෙසට පළමුවත් එයට සමාන්තරව රටක් වශයෙනුත් ආර්ථික සමෘද්ධිය අත්පත් කරගතහොත් පමණි. පස්වන කසුප් රජු (සිරිලක් ළොන්දුරුවයි සාබිය නිවයි ) කීවේ ඒ අර්ථයෙනි. මෙරට පාලකයන් බහුතරය දෙමළ මුස්ලිම් ධනවතුන්ගෙන් යැපෙන බව නොරහසකි. නැතහොත් ඔවුන් ගජ මිතුරන්ව සිටින බව නොරහසකි. විදෙස් ඩොලර් මත යැපීම අවම කොට අපනයනය ශක්තිමත් කර ගැනීමෙන් සහ ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමෙන් පමණක් එක රටක් එක නීතියක් ස්ථාපනයට අවස්ථාව ඇත්තේය. ඒ සඳහා අභිනව වර්ෂයට ජනතාව පෙළ ගැස්වීම ශ‍්‍රී ලංකාධීශ්වර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වගකීමයි.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment