නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ජනපතිවරයාගේ බලය  කප්පාදු කළොත් රටට අහිතකරයි

287

* අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ

ජනාධිපතිවරයාගේ සම්පූර්ණ බලතල කප්පාදු කර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම රටට අහිතකර යැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පවසති.

ජනාධිපතිවරයාට යම් බලතල ප්‍රමාණයක් හිමිවිය යුතු වීම කාලෝචිත අවශ්‍යතාවක් බවද උන්වහන්සේ පැවසූහ.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ජනපතිවරයාගේ බලය  කප්පාදු කළොත් රටට අහිතකරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ප්‍රථමයෙන් මහජනයාට යම් ආර්ථික සහන ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය යුතු යැයිද අනුනාහිමියෝ ප්‍රකාශ කළහ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (29) පෙරවරුවේ අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ අනු නාහිමියෝ මේ බව පැවැසූහ. රටක් ස්ථාවරවීම සඳහා දේශපාලන ස්ථාවරත්වය බලපාන නමුත් මහජනයාට යම් හෝ සහන කඩිනමින් ලබා දීම අත්‍යවශ්‍ය යැයිද ධම්මදස්සි හිමියෝ විජේදාස රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කළහ. නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහා නායක හිමියන් දැනුවත් කිරීම සඳහා මහනුවරට පැමිණි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ (29) පෙරවරුවේ දළදා මාලිගාවට ගොස් දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව අස්ගිරි මහා විහාරයට ගිය ඒ මහතා එහිදී අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් ඇතුළු කාරක සංඝසභාවේ මහා සංඝරත්නය හමුවේ යෝජිත නව ව්‍යවස්ථා සංශෝධන වැඩපිළිවෙළ සම්බන්ධව අදහස් දැක්වූවේය. රට ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත්වෙලා. එහි ප්‍රතිඵලයක් විදියට සමාජය තුළ අසහනකාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා. තත්ත්වයට ප්‍රධාන හේතුව දේශපාලනික වශයෙන් රටේ අස්ථාවර භාවයක් ඇති වීමයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ සිට විධායක ජනාධිපතිවරයාට තනි තීන්දු මත කටයුතු කිරීමට ඇති බලය නැවත වතාවක් පාර්ලිමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනවලට පවරා ගත යුතුව තිබෙනවා. ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් පාරදෘෂ්‍ය භාවයක් ඇතිව ආණ්ඩුව පවත්වාගෙන යෑම ඉතා වැදගත්.

දහනව වැනි ව්‍යවස්ථාව මගින් හඳුන්වා දී තිබූ ස්වාධීන ආයතන

මගින් රාජ්‍ය අංශයේ දූෂණ වංචා සහ අකාර්යක්ෂමතාවය නැති කිරීමට ගෙන තිබූ පියවර විසිවැනි ව්‍යවස්ථා විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අවලංගු කළා. එමගින් තනි පුද්ගලයෙක් මත බලය පැවරීම නිසා තමයි මේ විනාශයට පාර කැපුනේ.

ද්විත්ව පුරවැසිභාවය තිබෙන පුද්ගලයෙක් පාර්ලිමේන්තුවට ඇවිත් මුදල් අමාත්‍යාංශය භාර අරගෙන ආර්ථික විනාශයක් කරන්න විශාල දායකත්වයක් දුන්නා. ඒවා නිවැරදි කරන්න අවශ්‍යයි. නව අගමැතිවරයෙක් යටතේ ආණ්ඩුවට මා එකතු වුණේ ඒ නිසයි.

විපක්ෂය මේ මොහොතේ කළ යුත්තේ ප්‍රායෝගිකව කළ හැකි දේ කුමක්ද යන්න අවබෝධ කර ගැනීමයි. මේ රටේ ජනතාවගේ අදහස් විමසලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් ඒකට අපි කැමතියි. ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍යයි. මේ මොහොතේ කළ හැකි දේ කුමක්ද, කළ නො හැකි දේ කුමක්ද යන්න විපක්ෂය තේරුම්ගත යුතුයි. මිරිඟුවක් පසුපස දිව යනවා වගේ වැඩ ගැන ජනතාව විශ්වාසය තබන්නේ නැහැ.

නයින්ටීන් ප්ලස් මගින් විපක්ෂයේ බලාපොරොත්තු වෙන්නේ 19 ට වඩා වැඩි දියුණු ව්‍යවස්ථා සංශෝධනයක්. අපි දැන් ගෙනත් තිබෙන්නේ එවැනි එකක් තමයි. විපක්ෂය කියන්නේ ජනාධිපතිවරයාට අමාත්‍යාංශ දැරීමට ඇති හැකියාව අහිමි කරන්න ඕන කියලයි.

අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් වෙලා තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය මතයි. විධායක ජනාධිපති රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකියන්න ඕනේ කියන කාරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රධාන වගන්තියක්. රටේ විධායක ජනාධිපතිවරයා තමයි සේනාධි නායකයා. ජනාධිපතිවරයාගෙන් ආරක්ෂක අමාත්‍යාංශය ඉවත් කරනවා නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යන්න ඕන.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment