නව විදුලි පනතින් ජනතාවට කිසිදු සෙතක් නොවන බව කලින්ම කියූ අප ත්‍රස්තවාදීන් ලෙස නම් කිරීම කනගාටුවක්

72

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය

පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් නව විදුලි පනත මගින් රටට සහ ජනතාවට කිසිදු සහනයක් අත් නොවන බව කල්තියා පෙන්වා දුන් තමන්ව ‘ත්‍රස්තවාදීන්’ ලෙස නම් කර තිබීම කනගාටුවක් බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

අදාළ පනත රටටත් ජනතාවටත් විනාශකාරී එකක් වනු ඇති බව අධිකරණය විසින් ද පෙන්වා දී තිබීම ජනතාවගේ සැබෑ ජයග්‍රහණයක් බවද එම සංගමය පවසයි.

පුනකරී පුනර්ජනනීය සූර්යබල ව්‍යාපෘතියේ විදුලි ඒකකයක් ඩොලර් ශත 15.60 සහ ඔට්ටමාවඩි සූර්යබල විදුලි ඒකකයක් ඩොලර් ශත 8.75ට ටෙන්ඩර් පටිපාටියෙන් තොරව මිලදී ගැනීම ඉතා අධික පිරිවැයක් දැරීමක් වීම හේතුවෙන් එහි බර ද අනිවාර්යයෙන්ම පාරිභෝගිකයා මත පැටවෙනු ඇතැයි ද එම සංගමය පෙන්වා දෙයි.

ඉන්දීය සමාගම් හරහා පුනර්ජනනීය සුළං විදුලි ඒකකයක් ඩොලර් ශත 8.26කට මිලදී ගැනීමේ සූදානමක් පවතින බවත්, එය මෙරටට විශාල අසාධාරණයක් බැව් තමන් පෙර සිටම පෙන්වා දුන් බවද විදුලි ඉංජිනේරු සංගමය අවධාරණය කරයි.

පනත සම්මත කිරීමට ප්‍රථම සිට මෙම කරුණු අනාවරණය කිරීම නිසා මේ වනවිට තමන්ට ත්‍රස්තවාදී ලේබලය අලවා ඇති බවත්, මේ වන විට මැතිවරණයක් ඉලක්ක කර

ගනිමින් කිසිදු විiාත්මක පදනමකින් තොරව සහ අධ්‍යයනයකින් තොරව රජය විදුලි බිල අඩු කිරීමට පියවර ගෙන ඇතැයි ද ඔවුහු පවසති.

මෙලෙස නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකර විදුලි බිල හිතූ මනාපයට අඩු කිරීමට පියවර ගැනීමෙන් ලංකා විදුලිබල මණ්ඩලය පූර්ණ කඩා වැටීමකට ලක්විය හැකි බවද එම සංගමය පෙන්වා දෙයි.

ලබන මසදී අඩු කිරීමට යෝජිතව ඇති විදුලි බිලේ වාසිය කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා ඇතුළත් කර නොමැති බැවින් මෙම තත්ත්වයට විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලනාධිකාරිය සහ අමාත්‍යාංශය ද වගකිව යුතු බවත් සඳහන් කරන විදුලි ඉංජිනේරු සංගමය ඒ සඳහා මහජන උපයෝගිතා කොමිසම මැදිහත් වනු ඇති බවට විශ්වාසය තබා ඇතැයි ද සඳහන් කර සිටී.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment