නව සාමාන්‍යකරණය තුළ කොවිඩ් වසංගතයට මුහුණ දීම

10

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ ප‍්‍රජා වෛද්‍ය ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය ගයානි ගුණවර්ධන

සති කිහිපයක් පුරා පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ බොහෝ දෙනා තම හුරුපුරුදු කාර්යයන්හි නිරත වනු දක්නට ලැබෙයි. නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරමින් ක‍්‍රම ක‍්‍රමයෙන් රට සාමාන්‍යකරණයට ලක් කළ ද තවමත් කොවිඞ් වෛරසයේ අවදානම අඩු වී නැත. දින ගණනක් පුරාවට විශාල ලෙස වාර්තා වූ රෝගීන් සහ මරණ ප‍්‍රමාණයේ යම් අඩුවක් දක්නට ලැබුණ ද එයින් කියැවෙන්නේ කොවිඞ් වසංගතය ව්‍යාප්තියේ අවදානම පහව ගොස් ඇති බව නොවෙයි.

නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් හා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් වගකීම් සහගතව කටයුතු කරන ලෙසට සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් ජනතාව දැනුම්වත් කරන්නේ එබැවිනි.

කොවිඞ් රෝග තත්ත්වය සහ එයින් ආරක්ෂා වීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් නිරතුරුව ජනතාව දැනුම්වත් කළ ද ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් නොදක්වන පිරිසක් ද තවමත් අප අතර සිටින බව සිහිපත් කළ යුතුය.

එවැනි පිරිස් ඉලක්ක කරගනිමින් සහ ජනතාවට නැවතත් යම් යම් තොරතුරු පිළිබඳ සිහිපත් කිරීමටත් නව සාමාන්‍යකරණ ජීවන රටාවකට හුරු වීමේ දී සෞඛ්‍ය පුරුදු නිසි ලෙසින් පිළිපැදීමේ වැදගත්කම සහ එහි විද්‍යාත්මක පදනම පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමටත් සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ ප‍්‍රජා වෛද්‍ය ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය ගයානි ගුණවර්ධන මහත්මිය සමඟ කළ කතාබහ අපි මෙලෙස සටහන් කර තබන්නෙමු.

(මෙම සම්මුඛ සාකච්ඡාව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය, ලෝක බැංකුව සහ UNICEF Sri Lanka විසින් කොවිඞ් රෝගයෙන් ආරක්ෂාවීම උදෙසා සුදුසු සෞඛ්‍ය හැසිරීම් පිළිබඳව (CAB) ජනතාව දැනුම්වත් කිරීම වෙනුවෙන් පවත්වනු ලබන ව්‍යාපාරයේ කොටසකි.)

  • කොවිඞ් වසංගතයේ ස්වභාවය තේරුම් නොගත්ත පිරිසක් තවමත් අපි අතර ඉන්නවා. ඔවුන්ට මේ රෝගය සම්බන්ධයෙන් යළිත් මතක් කිරීමක් කළොත්?

Covid 19 SARS – CoV -2 කියන්නේ 2019 දෙසැම්බර් මාසයේ චීනයේ වූහාන් නගරයෙන් මුලින්ම වාර්තා වූ කොරෝනා වෛරස ප‍්‍රභේදයක් නිසා පැතිරුණ රෝග තත්ත්වයක්. 2020 වර්ෂයේදී මේ රෝගය ගෝලීය වසංගතයක් බවට පත්වනවා. මේ වෙද්දි ලංකාවේ වගේම මුළු ලෝකයේම ආර්ථික, දේශපාලනික, ආගමික, අධ්‍යාපනික ආදී සෑම අංශයකටම බලපෑම් කරන්න කොවිඞ් වෛරසයට හැකියාව ලැබිලා තියෙනවා. මේ වසංගතය නිසා බොහෝ පිරිසකට ජීවිත අහිමි වුණා වගේම තවත් පිරිසක් මේ රෝගයට ගොදුරු වෙලා පීඩා විඳිමින් ඉන්නවා.

  • කොවිඞ් 19 විවිධ පුද්ගලයින්ට විවිධ ආකාරවලින් බලපානවා කියලා අපි අහලා තියනවා. මේ කතාවේ සැබෑ තත්ත්වය මොකක්ද?

කොවිඞ් වෛරසය ඇඟට ඇතුල්වෙන පුද්ගලයන්ගෙන් බොහෝ දෙනෙකුට දින දෙකත් දාහතරත් දක්වා කාලය තුළ රෝග ලක්ෂණ පහළ වෙනවා. කොවිඞ් ආසාදනය වූ බොහෝ පුද්ගලයින්ට බොහෝවිට ඇත්තේ උණ, කැස්ස, උගුරේ අමාරුව වැනි සුළු රෝග ලක්ෂණ පමණයි. ඊට අමතරව සොටු දියර ගැලීම, හිසරදය මාංශ පේශි සහ සන්ධි වේදනාව, පාචනය, වමනය, ගඳ සුවඳ නොදැනීම, ආහාර අරුචිය, තෙහෙට්ටුව වැනි සුළු රෝග ලක්ෂණ ඇති වෙනවා.

නමුත් තවත් පිරිසකට දින තුනකට වඩා පවතින තද උණ, විවේකීව සිටින අවස්ථාවේදී හෝ සුළු ක‍්‍රියාකාරකමක් කරන විට වුවත් හුස්ම ගැනීමේ අපහසුව හෝ මහන්සිය, පපුවේ වේදනාව හෝ බර ගතිය, ක්ලාන්ත ගතිය, මුත‍්‍රා පිටවීම අඩු වීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. මෙවැනි රෝග ලක්ෂණ පවතින රෝගියෙක් නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සහ රෝහල් ගත කිරීම සිදු කළ යුතුයි.

සමහර පුද්ගලයන්ට රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. නමුත් ඔවුන් රෝග වාහකයන් වෙන්න පුළුවන්. අපට මේ වෛරසයත් සමඟ කාලයක් ජීවත් වීමට සිදු වෙනවා. ඒ නිසා මෙම රෝගයේ ස්වභාවයත්, එයින් ප‍්‍රවේශම් වීමට අප අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු පිළිබඳවත් මනා අවබෝධයක් තිබිය යුතුයි.

  • කොවිඞ් වෛරසය පුද්ගලයකුගෙන් පුද්ගලයකුට පැතිරෙන්නේ කොහොමද?

මෙම වෛරසය කෙළ බිඳිති, සොටු දියර මඟින් පැතිරෙන රෝගයක්. ආසාදිත පුද්ගලයකු කහින විට, කිවිසනවිට, කතා කරන විට මෙම වෛරසය වාතයට මුදා හැරීම සිදු වෙනවා. ප‍්‍රමාණයෙන් විශාල බිඳිති පොළොව මත හෝ පෘෂ්ඨයක් මත පතිත වෙනවා. නමුත් ප‍්‍රමාණයෙන් කුඩා බිඳිති සුළු වෙලාවක් රැඳී තිබෙනවා. එම පෘෂ්ඨය ස්පර්ශ කර අපගේ මුහුණ, නාසය ඇල්ලූ විට පෘෂ්ඨය මත තැවරුණු වෛරසය අපේ ස්වසන පද්ධතියට ඇතුළු වෙනවා. එමෙන්ම ළඟ සිටින පුද්ගලයකු වාතයට මුදා හැරි විට කෙලින්ම අනික් පුද්ගලයාගේ ශ්වසන

මාර්ගයට ඇතුල් වෙන්නත් පුළුවන්. මෙලෙසින් කොවිඞ් වෛරසයට තවත් පුද්ගලයකුගේ ශ්වසන පද්ධතියට ඇතුල්වීමට හැකියාව තියනවා.

  • කුමන ආකාරයකින් හෝ කොවිඞ් වෛරසය ආසාදනය වෙලා නම් අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ගය මොනවාද?
නව සාමාන්‍යකරණය තුළ කොවිඩ් වසංගතයට මුහුණ දීම

පුද්ගලයකුට කොවිඞ් වෛරසය ආසාදනය වී නිවසේ රැඳී සිටින විට නිවසේ අනෙක් පුද්ගලයන්ගෙන් දුරස්ව කටයුතු කළ යුතුයි. හොඳින් විවේක ගැනීම, සමබල ආහාර වේල් ලබා ගැනීම ඉතා වැදගත්. වැඩිහිටියකු නම් දිනකට ලීටර් දෙකත් දෙකහමාරක් වගේ ප‍්‍රමාණයක් දියර පානය කරමින් විජලනයෙන් වැළකීම ඉතා වැදගත්. දියවැඩියාව, හෘද රෝග වැනි රෝගවලට ඖෂධ භාවිත කරන පුද්ගලයකු නම් එම ඖෂධ නොකඩවාම ලබාගත යුතුයි.

හොඳින් වාතාශ‍්‍රය, හිරු එළිය ලැබෙන කාමරයක සිටීමත් ඉතාම වැදගත් කාරණාවක්. හැකි නම් අන් අය භාවිත නොකරන නානකාමරයක් භාවිත කිරීම සුදුසුයි. පිඟන්, කෝප්ප, ඇඳ ඇතිරිලි, තුවා වෙන වෙන ම භාවිත කළ යුතුයි.

නිතර ස්පර්ශ වන මතුපිටවල් සහ හවුලේ භාවිත කරන මතුපිටවල් නිතර විෂබීජහරණය කළ යුතු අතර පවුලේ සියලූ දෙනාම මුහුණු ආවරණ පැළඳිය යුතුයි.

ඔබ ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා දැනුවත් කර ඔහු ලබා දෙන උපදෙස් පිළිපැදීම සිදු කළ යුතු අතර යම්කිසි පුද්ගලයකුට රෝග ලක්ෂණ වැඩි වනවා නම් හෝ නිදන්ගත රෝගයකින් පෙළෙන්නේ නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

  • මුහුණු ආවරණ දෙකක් හෝ කිහිපයක් පැළඳීමෙන් වෛරසය ආසාදනය වීම වැළැක්විය හැකිද?

ඇත්තටම මුහුණු ආවරණ ප‍්‍රමාණය නෙමෙයි ඒවා නිසි ලෙස පැළඳීම සම්බන්ධයෙන් ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඒ සඳහා සෞඛ්‍ය අංශ මඟින් ලබාදී ඇති හැම උපදෙසක්ම පිළිපැදිය යුතුයි. අද වෙනකොට විවිධ ප‍්‍රමාණයෙන් විවිධ වර්ගවල මුහුණු ආවරණ වෙළෙඳපොළට ඇවිත් තියෙනවා. ඒ වගේම තමයි ඇතැම් පිරිස් මුහුණු ආවරණ දෙකක් හෝ කිහිපයක් පළඳිනවා. මේ මුහුණු ආවරණ පැළඳීමේදී මුඛය සහ නාසය හොඳින් ආවරණය වන ලෙසින් පැළඳිය යුතුයි. අපිරිසිදු සහ තෙත මුහුණු ආවරණ භාවිත නොකළ යුතුයි. නාසය සහ මුඛය හොඳින් ආවරණය කළ විට මේ වෛරසයට අපේ ශ්වසන පද්ධතියට ඇතුළු වීමට ඇති හැකියාව අවම වෙනවා. ලිහිල් මුහුණු ආවරණ නිතර නිතර සකස් කිරීම, ඇල්ලීම තුළින් ඒවා අපිරිසිදු වෙනවා. ඒ නිසා මුහුණු ආවරණ පැළඳීමේදී ලිහිල් නොවූ ආරක්ෂිත මුහුණු ආවරණයක් පැළඳිය යුතුයි.

  • සබන් යොදා ගලායන ජලයෙන් දෑත් සේදීමෙන් වෛරසය විනාශ වෙන්නේ කොහොමද? මේ ගැන විද්‍යාත්මකව පැහැදිලි කළොත්?

ඇත්තටම සබන් යොදා (තත්පර විස්සක් පමණ) දෑත් ගලායන ජලයෙන් හොඳින් සේදීමෙන් වෛරසය විනාශ වෙලා යනවා. සබන් අණුවක් ගත්තොත් එක් පැත්තක් පමණයි ජලයට බැඳෙන්නේ. අනික් කොටස වෛරසයේ ලිපිඩ ආවරණය සමඟ බැඳිලා වෛරස බිත්තියට හානි කරනවා. එලෙස විනාශ වන වෛරස කොටස් ගලා යන ජලයෙන් සේදූ විට ඉවත් වෙනවා. මෙහිදී හොඳින් සබන් යොදා පෙණ නඟින ලෙස අත්ල, පිට අත්ල, මැණික් කටුව, ඇඟිලි කරු, ඇඟිලි තුඩු හොඳින් අතුල්ලා සේදිය යුතුයි. එවිට වෛරසය අපේ දෑත්වලින් ඉවත් වෙනවා. ඒ නිසා තමයි ගලා යන ජලයෙන් සබන් යොදා තත්පර විස්සක් පමණ අත් සේදීම ප‍්‍රමාණවත් කියලා වෛද්‍යවරුන් නිර්දේශ කරලා තියෙන්නේ.

  • සැනිටයිසර් හැම එකකින්ම කොරෝනා වෛරසය විනාශ වෙනවද?

හැම අවස්ථාවකදීම සබන් යොදා අත් සේදීම අපහසු නිසා එවැනි අවස්ථාවක යමෙකුට සැනිටයිසර් භාවිත කරන්න පුළුවන්. අද විවිධ නම් වලින් සහ විවිධ වර්ගවල සැනිටයිසර් දියර වෙළෙඳසල්වල තියනවා. ප‍්‍රමිතියෙන් යුතු සැනිටයිසර් දියරවල ඇල්කොහොල් ප‍්‍රතිශතය සියයට හැත්තෑපහක පමණ අගයක් පැවතිය යුතුයි. ඒ නිසා අදාළ ඇල්කොහොල් ප‍්‍රතිශතයෙන් යුතු, නිසි ලෙසින් ගබඩා කරලා තියන සැනිටයිසර් දියර පමණක් භාවිත කළ යුතුයි.

  • අද වෙද්දි මීටරේ පරතරය ගැන ජනතාවට අමතක වෙලා නේද?

කොවිඞ් වෛරසය කෙළ බිඳිති, සොටු දියර කැස්ස, කිවිසුම් ආදී ආකාරවලින් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට සම්පේ‍්‍රෂණය වෙන්න පුළුවන්. සංවෘත පරිසරයක කුඩා බිඳිති ලෙස මේ වෛරසයට රැඳිලා ඉන්න හැකියාව තියෙනවා. ඒ නිසා හැකි තරම් වාතය සංචරණය වන විවෘත ස්ථානවල අප රැඳී සිටිය යුතුයි. එනම් ජනාකීර්ණ ප‍්‍රදේශවලින් ඈත් වෙමින්,පොදු ප‍්‍රවාහනවල

ගමන් බිමන්වලින් ඈත්වෙමින්, හැකිතරම් ගමන් බිමන් අඩු කරමින් කටයුතු කළ යුතුයි.

භාණ්ඩ මිලදී ගැනීමේදී මාර්ගගත ක‍්‍රමයට ඒවා

ගෙන්වාගන්න හැකියාව තියෙනවා නම් වඩාත් හොඳයි. එහෙම නැත්නම් හැකිතරම් ජනාකීර්ණ නොවන ස්ථානයක් තෝරාගෙන ඉතා ඉක්මනින් භාණ්ඩ මිලදී ගත යුතුයි.

අඩුම තරමින් දෙදෙනකු අතර දුර මීටර් එකහමාරක් වත් තබා ගත යුතුයි.

නිවසේ දී මෙන්ම කාර්යාලයේදීත් ආහාර ගැනීමේදී හැකිතරම් පුද්ගල ඒකරාශි වීම් වළක්වාගනිමින් කටයුතු කරන්න. අත්‍යාවශ්‍යම කාරණයකට හෝ නිවසින් බැහැරට යනවා නම් හැකිතරම් පෞද්ගලික ප‍්‍රවාහන ක‍්‍රම භාවිත කළ යුතු අතර එහිදී පවා මුහුණු ආවරණ පළඳිමින්, නිසි සෞඛ්‍ය උපදේශ පිළිපැදිය යුතුයි කියලා මහජනතාවට මතක් කරනවා.

  • රට විවෘත කිරීමෙන් පසුව ගමනාගමනයේදී වෙනදාටත් වඩා සැලකිලිමත් විය යුතුයි නේද?

පොදු ප‍්‍රවාහන සේවා භාවිතය හැකිතාක් අවම කරන්න. නිතර ස්පර්ශ වන මතුපිටවල් ඇල්ලීමෙන් වැළකී නිරතුරුව අත් සේදීම, පිරිසිදු කිරීම සිදු කරන්න. අත්‍යවශ්‍ය නොවන ගමන් නොයා සිටීම තමයි වැදගත්ම කාරණය. වාහනයක ගමන් කරනවා නම් ජනෙල් විවෘත කරලා වාතාශ‍්‍රය වැඩි කරගත යුතුයි. පුද්ගලික වාහනයක වුණත් ගමන් කරන සංඛ්‍යාව අවම කළ යුතුයි. ගමන් කරන අවස්ථාවේදී මුව ආවරණ පැළඳිය යුතුයි.

  • කොවිඞ්වලින් ආරක්ෂා වෙන්න සුදුසුම එන්නත මොකක්ද?

මේ වෙද්දි කොවිඞ් වසංගතයේ බලපෑම යම් තාක් දුරට හරි අඩු කර ගන්න තියන හොඳම ක‍්‍රමය සෞඛ්‍ය

මාර්ගෝපදේශ අනුගමනය කරන ගමන්ම එන්නත්

ලබා ගන්න එක. මේ හැම එන්නතක්ම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ, ලෝකයේ වෙනත් රටවල භාවිත කරන එන්නත්. ඒ නිසා මේ එන්නත් ගැන තියන මිථ්‍යා මත විශ්වාස නොකර හැකි විගස ලබා ගත හැකි එන්නත ලබා ගන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොවිඞ් රෝගය වැලඳුණත් අසාධ්‍ය නොවී සිටීමට, මිය යාමේ ප‍්‍රතිශතය අවම කර ගැනීමට මේ එන්නත ලබා
ගැනීම වැදගත් වෙනවා.

  • කොවිඞ් වසංගතයක් සමඟම මානසික ආබාධ ඇතිවීමේ ප‍්‍රවණතාවක් තියෙනවා නේද?

ඇත්තටම කොවිඞ් ආසාදනය වූ සහ නොවූ පුද්ගලයින්ට පවා දැඩි මානසික පීඩනයන් ඇති විය හැකියි. තමාගේ හා තමාගේ සමීපතමයින්ගේ ජීවිත අනතුරේ බව කල්පනා කිරීම නිසා විවිධ මානසික රෝගවලට ගොදුරු වෙන්න පුළුවන්.

නිවෙස් තුළටම කොටුවෙලා ඒකාකාරීව ජීවිතය ගත කිරීම නිසාත් විශාදය වැනි මානසික රෝග තත්ත්වයන් ඇති වෙනවා. ඒ නිසා සමබල ආහාර, නිසි ප‍්‍රතිකාරවලට අමතරව මානසික තෘප්තිමත් බවද අත්‍යවශ්‍ය අංගයක්.

හැකි සෑම අවස්ථාවකදීම නිවසේ සිට තනි තනිව ක‍්‍රීඩා කිරීම, ව්‍යායාම කිරීම, පොත් කියවීම, ගීතවලට සවන් දීම, අලූත් දේ කිරීමට කාලය භාවිත කිරීම, ආගමික කටයුතුවල නිරතවීම ආදී ක‍්‍රම හරහා ද දුරකථන,සමාජ මාධ්‍ය භාවිත කරමින් ආදරණීයයන් සමඟ සම්බන්ධය වීමෙන් ද මෙම මානසික පීඩනය මඟහරවා ගන්න පුළුවන්.

නිසි ප‍්‍රතිකාර ගැනීම, මානසික තෘප්තිය වර්ධනය

කරගැනීම, සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම වැනි ක‍්‍රම හරහා තමන් වෛරසයෙන් ආරක්ෂා වෙන ගමන්ම, ලබා දී ඇති උපදෙස් පිළිපදිමින් අනෙකා ද මේ අවදානමෙන් මුදවා ගැනීමේ වගකීම අපි හැමදෙනාටම පැවරිලා තියෙනවා. ඒ නිසා රට විවෘත කිරීමේ නිදහස අයුතු ලෙස භාවිත නොකර වගකීම් සහගත පුරවැසියෙක් ලෙස කටයුතු කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

නිරෝෂා වාසල

advertistmentadvertistment