නෆ්රාන් නවුෆර් අතහැර හරීෂ් අජ්මාල් සෙවීම!

623

‘සලාෆි’ යනු සුන්නි ඉස්ලාම් ආගමික පාර්ශ්වයේ මූලධර්මවාදී යාන්ත්‍රණය ලෙස සැලකේ. 2019 අප්‍රේල් 21 ප්‍රහාරවලින් පසුව තරුණයන් අතර අන්තවාදය පැතිරවීමේ අවදානම මත ඉස්ලාම් දේශකයන් 200 දෙනකු ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කර තිබිණි. ඇත්තෙන්ම ආගමික සහජීවනය රැකෙන්නට නම් අන්තවාදී මතයට ලැබෙන ඉඩ අඩු විය යුතුය. නැත්නම් එය කොතනින් කොයි වෙලේ පුපුරා යයිද යන්න කිව හැකිද? ලංකා ආරක්ෂක අංශ ඉන්දියාවට ගිය පිරිස ගැන මෙන්ම ඉදිරියේ මෙරටට ඇතිවන තර්ජන ගැනද නිසි ලෙස විමර්ශනය කළ යුතුය. ආරක්ෂාව තහවුරු නොවන්නේ නම් කිසිවිටක ආර්ථික ස්ථාවරය ඇතිවන්නේ නැත.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නම් කිරීම වෙනුවෙන් වාද විවාද පවතින්නේ වසර පහක සිටය. නමුත් මෙය දේශපාලන ක්‍රීඩාවකි. නවුෆර් මවුලවි ගැන සඟවා මහමොළකරු සෙවීම නිරන්තරව සිදුවේ. පාස්කු කොමිසම් වාර්තාවේ මහමොළකරු ගැන මෙලෙස සඳහනක් වෙයි. ‘පාස්කු ඉරිදා දින ප්‍රහාරයේ මහ මොළකරු ලෙස කටයුතු කළ වහබ්වාදියා වන සහරාන් වර්ෂ 2009 සිට නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි ප්‍රදේශයේ දේශනා පවත්වමින් ඔහු විසින් අනුදක්නා ලද ඉස්ලාම් අන්තවාදය පතුරවමින් සිටියේය.’ නමුත් බුද්ධි තොරතුරු කළමනාකරණය යනු කෛරාටික ක්‍රීඩාවකි! කොමිසමට මහ මොළකරුවෙකු නිත්‍ය ලෙසම සොයා ගැනීමට නොහැකි වූයේ මේ නිසාම දැයි කිසිවකු නොදනී. මේ කතා අපට මතක් වූයේ ඇයි? පාස්කු නිසා නොව ගුජරාට් ප්‍රාන්තයේදී මෙරට මුස්ලිම් ජාතිකයන් 04 දෙනකු අයිසිස් සාමාජිකයන් යැයි පවසමින් අත්අඩංගුවට ගෙන ඇති නිසාය. මොවුන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවූ නාටාමිවරුන් වන අතර ඉන්දියාවට නිරන්තරව ගොස් ඇත්තේ රන් ජාවාරම සඳහාය. මොවුන් ඉස්ලාමීය රැඩිකල්කරණයට ලක්වූ බවට කිසිදු තොරතුරක් නැත. මේ අය අයිසිස් සාමාජිකයන් ලෙස නම් කරන්නේ ඉන්දීය පොලිසියයි. දැන් ඉන්දියාවේ මැතිවරණ සමයයි. මුස්ලිම් විරෝධය පාලක පක්ෂයේ සටන් ප්‍රමුඛ සටන් පාටයයි. එසේනම් මේ කුමන නාටකයක්ද? පාස්කු ප්‍රහාරය සිදුවූයේද 2019 ඉන්දීය මැතිවරණ සමයේදීය. එතනින් එහාට කතා නොකරමි.

වෙසක් දිනට පෙර ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මෙරට මුස්ලිම් ජාතිකයන් අතර සිටි 33 හැවිරිදි නුස්රත් අහමඩ් ගානි මීගමුවේ පදිංචිකරුවෙකි. එමෙන්ම 27 හැවිරිදි නෆ්රාන් නවුෆර් හා 35 හැවිරිදි ෆාරිස් ෆාරික්ද, 43 හැවිරිදි රස්ඩීන් අබ්දුල් රහීම් යන අය කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. අහමඩ් ගානි නමැත්තාට පාකිස්තාන වීසා බලපත්‍රයක්ද හිමිව තිබූ බවද ඉන්දීය ආරක්ෂක අංශ පවසයි. මේ කණ්ඩායම ඉන්දීය අත්අඩංගුවට ගන්නා විට ජංගම දුරකථන, ගමන් මළු සහ ගුවන් ගමන් බලපත්‍ර හා අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ කොඩියක්ද ඔවුන් සතුව තිබූ බවද එරට පොලිස් ප්‍රධානියකු පවසා තිබේ. මෙම සිවු දෙනාට උපදෙස් ලැබී ඇත්තේ පාකිස්තානයේ පදිංචි අබු නමැත්තකුගෙනි. මොවුන්ගේ දුරකථන පරීක්ෂාවේදී ඉන්දියාවේ විවිධ ස්ථානවල ඡායාරූප සහ වීඩියෝ දර්ශනද ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක වූ ත්‍රස්ත මර්දන ඒකකය ගුජරාටයේ නගරයක් සෝදිසි කොට පිස්තෝල හා පතුරම් කිහිපයක්ද සොයා ගෙන තිබිණි. 27 හැවිරිදි නෆ්රාන් නවුෆර් යනු පොට්ට නවුෆර්ගේ පුත්‍රයාය. මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ පොට්ට නවුෆර්ට 2005 වර්ෂයේ ජූලි මස 04 වැනිදා මරණීය දණ්ඩනය නියම කෙරිණි. වසර 16කට පසු නවුෆර්ට කොවිඩ් වෛරසය ආසාදනය වීම නිසා මරණයට පත්විය. එසේ නම් මේ කණ්ඩායම අයිසිස් කණ්ඩායමකට වඩා පාතාල කණ්ඩායමක් ලෙස හැඳින්වීම සුදුසුය. සියල්ල දන්නේ නැත. මේ ජාවාරම්කාර පිරිස තමන්ට සල්ලි හා මත්කුඩු ලැබෙන්නේ නම් ඕනෑම දෙයක් කරන්නට නොපැකිලේ. ගුජරාට් පොලිස් ප්‍රධානි චිකාස් සාහේ ප්‍රකාශ කරන්නේ ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී තහවුරුවී ඇත්තේ මේ අය මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානම්ව ඉන්දියාවට ආ බවය. ඇත්ත කවරෙකු කියයිද?

කවරක් නමුත් අයිසිස් සංවිධානයේ ඉන්දියාවේ ප්‍රධානියා සහ ඔහුගේ සහචරයකු පසුගිය මාර්තු 20 වන දින ඇසෑම් ප්‍රාන්තයේ ඩුබි්‍ර දිස්ත්‍රික්කයේ දී අත්අඩංගුවට පත්විය. නිවේදනයක් නිකුත් කරමින් ඇසෑම් පොලිසියේ ප්‍රධාන මහජන සම්බන්ධතා නිලධාරි පී. ගොසාමි පැවසුවේ කලින් ලැබුණු ඔත්තුවක් මත විශේෂ කාර්ය බළකාය විසින් ධර්මසාලා ප්‍රදේශයෙන් මේ දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි. ඇත්තෙන්ම බංග්ලාදේශයේ සිට ඉන්දියාවට දේශ සීමාව හරහා රහසිගතව ඇතුළු වෙද්දී හරීෂ් අජ්මාල් ෆාරුකි නම් අයිසිස් ප්‍රධානියා හා ඔහුගේ සහචරයකු වූ පානිපාට්හි අනුරාග් සිං හෙවත් රෙහාන් අත්අඩංගුවට පත්විය. අනුරාග් සිං ඉස්ලාම් ආගමට හැරී ඇති අතර ඔහුගේ බිරිඳ බංග්ලාදේශ ජාතිකයකු බව කියවේ. බංගලාදේශයේ කඳවුරු බැඳගෙන සිටින ඉන්දියාවේ අයිසිස් සංවිධානයේ ඉහළ පෙළේ නායකයන් දෙදෙනෙක් කඩාකප්පල්කාරී ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා ඩුබි්‍ර හරහා ඉන්දියාවට පැමිණෙන බව ඉන්දීය බුද්ධි අංශවලින් තහවුරු කර ගෙන තිබිණි. “ඔවුන් දෙදෙනාම ඉන්දියාවේ ඉස්ලාමික රාජ්‍ය සංවිධානයට නව /සාමාජිකයන් එක් කර ගැනීම හා එම පිරිස් ත්‍රස්ත ප්‍රහාර සඳහා පෙළඹවීම කළ අය වන අතර ඔවුන් ඉන්දියාව පුරා ස්ථාන කිහිපයකදී සංවිධානය වී ඇති බව ඉන්දීය පොලිසිය මගින් අනාවරණය කරගෙන තිබිණි. මේ දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇසෑම් පොලිසිය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන්ව අයිසිස් ත්‍රස්ත සැකකරුවන් අල්ලා ගැනීම සඳහා ජාත්‍යන්තර දේශසීමා ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කරන ලදී. මාර්තු 20 වන දින අලුයම 4:15 ට පමණ, චූදිතයන් බන්ලාදේශයේ සිට ජාත්‍යන්තර දේශසීමාව තරණය කිරීමෙන් පසු ඩුබි්‍ර හි ධර්මසාලා ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්විය.

අලිගාර් මුස්ලිම් විශ්වවිද්‍යාලයේ හිටපු ශිෂ්‍යයකු වන ෆාරුකි අලිගාර් මොඩියුලයේ නිර්මාතෘ බවට සැක කෙරේ. ෆාරුකි උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ ඩේරාඩුන් හි චක්‍රටාහි උපන් අයෙකි. 33 හැවිරිදි හරිස් ෆාරුකි ඉන්දියාවේ තරුණයන් මුස්ලිම් රැඩිකල්කරණය කර විවිධ ත්‍රස්ත ප්‍රහාර සිදු කිරීම සඳහා තරුණයන් බඳවා ගත් ඉන්දියාවේ ප්‍රධානියා යැයි එරට මාධ්‍ය කියයි. රෙහාන් (30) නවදිල්ලියේ රේල් භවන් හි සහකාර අංශ නිලධාරියකු ලෙස සේවය කළ අතර වාර්ෂිකව රුපියල් ලක්ෂ 9 ක් උපයා ඇති පුද්ගලයෙකි. අනුරාග් අයිසිස් නායක ෆාරුකි සමඟ සම්බන්ධ වූයේ කෙසේද යන්නත්, ඔහු ඉස්ලාම් ආගමට හැරවීමට ඔහු පෙළඹවූයේ දැයි පැහැදිලි නැත. තවත් මූලාශ්‍රයට අනුව මේ දෙදෙනා රහසිගත සන්නිවේදන යෙදුම් හරහා ඔවුන්ගේ “විදේශීය හසුරුවන්නා” සමඟ සම්බන්ධ වී ඉන්දීය මෙහෙයුම් මහමොළකරු විය.

ඇත්තෙන්ම 2019 මෙරට පාස්කු ප්‍රහාරයෙන් පසු හිටපු අයිසිස් නායක අබු බකර් අල් බග්ඩාඩි ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාවේ කාශ්මීර ප්‍රාන්තයේ ”Wilayah of Hind” නම් ඉස්ලාම් ප්‍රාන්තය පිහිටුවන බවයි. ඔවුන්ගේ අමාක් පුවත් සේවාව හරහා මෙම නිවේදනය සිදුකර තිබිණි. ලංකාවේ ප්‍රහාරය පිළිබඳ වගකීම භාරගනු ලැබුවේද අමාක් පුවත් සේවා හරහා සිදුකළ නිවේදනයකිනි. මේ ගැන අලිගාර් මුස්ලිම් විශ්වවිද්‍යාලයේ හිටපු ශිෂ්‍යයකු වන ෆාරුකි හොඳින් දන්නා බව රහසක් නොවේ.

2016 වසරේදී බංග්ලාදේශයේ අවන්හලක සිදුවූ ප්‍රහාරය වැනි කලින් කලට උප මහාද්වීපයේ එල්ල කෙරුණ ජිහාඩ් ප්‍රහාර හරහා ‘සලාෆි’ දේශකයන් පිළිබඳව සහ ඔවුන් තරුණ මුස්ලිම් ප්‍රජාවට කරන බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබුණි. සකීර් නායික් එවැනි අන්තවාදියෙකි. ඔහු සිත් ඇද ගන්නා දේශකයකු මෙන්ම ඉහළ අලෙවියක් සහිත ඉස්ලාම් ආගමික ග්‍රන්ථ රචනා කළ කතුවරයෙකි. මධ්‍යම පන්තික සහ නාගරික මුස්ලිම්වරුන් විශාල පිරිසක් සකීර් නායික් වටා එක් රැස්ව සිටියහ. පැහැදිලි ඉංග්‍රීසි බසින් දේශනවල යෙදෙන සලාෆිවරයකු වන නායික්, ආගමික කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශ්ලේෂණ අනුව දකුණු ආසියාවේ තරුණ මුස්ලිම් ප්‍රජාව අතර ජනප්‍රිය තැනැත්තෙකි. ඔහු පිළිබඳව ඉන්දීය සහ බංග්ලාදේශ බලධාරීන්ගේ දැඩි අවධානයක් යොමු වූයේ, 2016 වසරේදී බංග්ලාදේශයේ අවන්හලක එල්ල කෙරුණ ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවකු විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙනි. ඔහු පවසා තිබුණේ තමන් සකීර් නායික්ගේ දේශනවලින් උත්තේජනය ලැබූ බවය. එම බංග්ලාදේශ් ප්‍රහාරයේ වගකීම අයිසිස් සංවිධානය විසින් භාරගනු ලැබුණි.

හරීෂ් අජ්මාල් ෆාරුකි ද, සකීර් නායික්ගේ දේශනා අසා ඇති බව රහසක් නොවේ. පාස්කු ප්‍රහාරයෙන් පසු සකීර් නායික්ගේ පිස් ටීවී මෙරට තහනම් කෙරිණි.

තරුණ ප්‍රජාව අතර සිය මතවාද ප්‍රචලිත කරමින් සිටින ‘සලාෆි’ ආගමික පාර්ශ්වයට, ඉන්දීය උප මහාද්වීපයට අයත් ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින් යන රටවල් ඔවුන්ගේ මතවාද වැපිරීමේ තවාන් බිම් බවට පත්වී තිබේ. එය පැහැදිලිව අවබෝධ කරගත යුතු කාරණයකි. ‘සලාෆි’ යනු සුන්නි ඉස්ලාම් ආගමික පාර්ශ්වයේ මූලධර්මවාදී යාන්ත්‍රණය ලෙස සැලකේ. 2019 අප්‍රේල් 21 ප්‍රහාරවලින් පසුව තරුණයන් අතර අන්තවාදය පැතිරවීමේ අවදානම මත ඉස්ලාම් දේශකයන් 200 දෙනකු ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කර තිබිණි. ඇත්තෙන්ම ආගමික සහජීවනය රැකෙන්නට නම් අන්තවාදී මතයට ලැබෙන ඉඩ අඩු විය යුතුය. නැත්නම් එය කොතනින් කොයි වෙලේ පුපුරා යයිද යන්න කිව හැකිද? ලංකා ආරක්ෂක අංශ ඉන්දියාවට ගිය පිරිස

ගැන මෙන්ම ඉදිරියේ මෙරටට ඇතිවන තර්ජන ගැනද නිසි ලෙස විමර්ශනය කළ යුතුය. ආරක්ෂාව තහවුරු නොවන්නේ නම් කිසිවිටක ආර්ථික ස්ථාවරය ඇතිවන්නේ නැත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment