නාකොටික් නිලධාරීන් 6ක් – සැකකරුට පහරදී කකුල කඩලා

89

මූලික අයිතීන් කැඩූ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

හෙරොයින් සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථ රියැදුරකුට යකඩ පොල්ලකින් අමානුෂික ලෙස පහරදී පාදයකට බරපතළ තුවාල සිදුකළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් හයදෙනකු එම ත්‍රිරෝද රථ රියැදුරුගේ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් නිකුත් කළේය.

කොළඹ 14 නාගලිංගම් වීදියේ පදිංචි හෙට්ටිආරච්චිගේ ගැමුණු තිස්ස නමැති 47 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරු ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ එස්. තුරෙයිරාජා, මහින්ද සමයවර්ධන හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීන්දුව නිකුත් කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ උප පොලිස් පරීක්ෂක ලයනල් ජයරත්න, පොලිස් කොස්තාපල් (60728) බී.ජී. සංජීව, පොලිස් කොස්තාපල් (74811) ආර්.ඒ. රත්නගමගේ, පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව, ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. ලුඩොකි සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් සිල්වා යන නිලධාරීන් හයදෙනා පෙත්සම්කාර ත්‍රිරෝද රථ රියැදුරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට අධිකරණය එලෙස නිගමනය කරමින් තීන්දුව නිකුත් කළේය.

2016.08.29 වැනිදා ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී පළමු හා දෙවන වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු දුම්රිය මාර්ගය ඔස්සේ පලායෑමට වෑයම් දැරීම නිසා අවම බලය යොදවා අත්අඩංගුවට ගත් බව වගඋත්තරකාර පොලිස් නිලධාරීන්ගේ ස්ථාවරය වුවත් තම අධිකරණය හමුවේ ගොනු වී ඇති අධිකරණ වෛi වාර්තා, පෙත්සම්කරුට සිදු වී ඇති තුවාල හා ආබාධ අනුව එය අවම බලයක් පාවිච්චි කිරීමක් බවට පිළිගත නොහැකි යැයිද එම තීන්දුව මඟින් පෙන්වා දී තිබිණි.

කුමන චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගැනීමක් සිදුකළත් කිසිම සැකකරුවකු වධහිංසාවට හෝ කෲරත්වයට පත්කිරීමේ අයිතිය පොලිසියට නොමැති බවත් සෙසු විනිසුරු දෙපළගේ එකඟත්වය ඇතිව විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ලියා ප්‍රකාශයට පත්කළ එම තීන්දුව මඟින් පෙන්වා දී තිබිණි. සියලු කරුණු සලකාබැලිමේදී පෙරකී වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති 11 හා 12 (1) යන මූලික අයිතිවාසිකම්, එනම් කිසිම තැනැත්තෙකු වධහිංසාවලට හෝ කෲර අමානුෂික හෝ අවමන්සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේය සහ නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීමටද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ යුත්තේය යන මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බව තම අධිකරණයට සැකයකින් තොරව පැහැදිලි වන්නේ යැයි ද එම තීන්දුව මඟින් පෙන්වා දී තිබිණි.

තරාතිරම හෝ අනෙකුත් සියලු කරුණු නොසලකා යුක්තිය හා සාධාරණත්වය සොයා එන සෑම පුද්ගලයකුටම යුක්තිය උපරිමයෙන් ඉටුකිරීම තම අධිකරණයේ වගකීම හා යුතුකම වන්නේ යැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව මඟින් පෙන්වා දී තිබිණි.

කෙසේ නමුත් පෙරකී වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ඇතුළු විත්තිකරුවන් හයදෙනකුට එරෙහිව කෲර හා අමානුෂික හිංසා වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් මේ වනවිටත් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා හතරක් යටතේ නඩු පවරා ඇති බව එකී අධිචෝදනා පත්‍රයේ පිටපතක් අධිකරණයට ඉදිරිපත් කිරීම නිසා පෙරකි තීන්දුව මඟින් වන්දි ගෙවීමකට වගඋත්තරකාරයන් යටත් නොකිරීමට පියවර ගෙන තිබිණි.

නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය පෙනී සිටි අතර නීතිඥ සේනානි දයාරත්න මහත්මිය, නීතිඥ නිශෝධනි වික්‍රමසිංහ මහත්මිය සමඟ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ වරුණ ද සිල්වා මහතා පළමු හා තෙවන සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment