නාට්‍ය කලාවේ අසිරිය ග‍්‍රන්ථයක් ලෙස…

135

නාට්‍ය රසය – සරත් විජේසූරිය
ප‍්‍රකාශනය – විජේසූරිය ග‍්‍රන්ථ කේන්ද්‍රය


නාට්‍ය හා රංග කලාව ශ‍්‍රී ලංකාවේ වර්තමාන අධ්‍යාපන ක්ෂේත‍්‍රයෙහි පාසල් හා විශ්වවිද්‍යාල තුළ ජනප‍්‍රිය විෂය ධාරාවක් බවට පත්ව තිබේ. පාසල් මට්ටමින් හය වසර සිට උසස් පෙළ පන්ති දක්වා ද විශ්වවිද්‍යාල මට්ටමින් උපාධිය දක්වා ද නාට්‍ය හා රංග කලාව ඉගැන්වෙන බැවින් මෙම විෂය හදාරන විශාල ශිෂ්‍ය ප‍්‍රජාවක් ද පාසල් පද්ධතිය තුළ හා සෞන්දර්ය විශ්වවිද්‍යාලය, ශ‍්‍රී ජයවර්ධනපුර, කැලණිය, යාපනය, ශ‍්‍රීපාලි මණ්ඩපය වැනි උසස් අධ්‍යාපනායතනයන්හි මෙම විෂය  ඉගැන්වීමට විෂයබද්ධ සුදුසුකම් ලත් ගුරුවරුන් හා ආචාර්ය මහාචාර්යවරුන් රැුසක් ද සිටින බව පෙනේ. පසුගිය දශක කිහිපය තුළ පාසල් හා උසස් අධ්‍යාපන විෂය ධාරාවට හඳුන්වා දෙන ලද මෙම විෂය නිර්දේශ ආවරණය කෙරෙමින් රචනා වූ ශාස්ත‍්‍රීය මට්ටමේ ග‍්‍රන්ථ රැුසකි. පෙරදා එදිරිවීර සරච්චන්ද්‍ර, සුචරිත ගම්ලත්, එම්.එච්.ගුණතිලක, ඒ.වී.සුරවීර, තිස්ස කාරියවසම්, හේමපාල විජයවර්ධන, ආදී මහාචාර්යවරුන් විරචිත ග‍්‍රන්ථ ද මෙදා සුනන්ද මහේන්ද්‍ර, සුනිල් ආරියරත්න, ආරියරත්න ඇතුගල, ආරියරත්න කළුආරච්චි, මුදියන්සේ දිසානායක, සරත් විජේසූරිය ආදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙම විෂය පිළිබඳ රචිත ශාස්ත‍්‍රීය පොතපත ද සුලබය. මීට අමතරව දිවයිනේ ප‍්‍රවීණ නාට්‍යවේදීන් වූ සුගතපාල ද සිල්වා, රංජිත් ධර්මකීර්ති, විජිත ගුණරත්න ආදීන් විසින් ද මේ විෂය අරබයා රචනා කරන ලද ග‍්‍රන්ථ රැුසකි. පෙර අපර දෙදිග නාට්‍ය සම්ප‍්‍රදාය, මෙරට ගැමි හා ජන නාටකය, නාට්‍ය විචාර සංකල්ප, නාට්‍ය විධි, නාට්‍ය ඉතිහාසය, නාට්‍ය පෙළ සාහිත්‍යය මෙම ග‍්‍රන්ථ අතර කැපී පෙනේ. පෙර අපර දෙදිග නාට්‍ය සම්ප‍්‍රදාය, මෙරට ගැමි හා ජන නාටකය, නාට්‍ය විචාර සංකල්ප, නාට්‍ය විධි,නාට්‍ය ඉතිහාසය, නාට්‍ය පෙළ සාහිත්‍යය මෙම ග‍්‍රන්ථ අතර කැපී පෙනේ. මෙම ග‍්‍රන්ථාවලියට අලූතින්ම එක්වී ඇති සරත් විජේසූරිය මහාචාර්යවරයා විරචිත නාට්‍ය රසය කෘතිය මෙරට පාසල්හි හා විශ්වවිiාලයන්හි නාට්‍ය හා රංගකලාව විෂය ඉගෙන ගන්නා සිසුන්ට, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට, ගුරුවරුන්ට හා ආචාර්ය මහාචාර්යවරුන්ට ශාස්ත‍්‍රීය අගයකින් යුත් හස්තසාර ග‍්‍රන්ථයක් වනු නොඅනුමානය.

නාට්‍ය කලාවෙහි අසිරිය, එහි ස්වාමීත්වය,රඟමඬල පේ‍්‍රක්ෂකයා හා නාට්‍ය රසය හා සාහිත්‍ය රසය පිළිබඳව කෙරෙන මූලික කරුණු ඉදිරිපත් කිරීමකින් කෘතිය  ඇරැඹේ. කතුවරයා පවසන පරිදි මෙම ග‍්‍රන්ථය රචනා කිරීමට ඔහු ප‍්‍රාමාණිකයකු වන්නේ ය. ‘කාලයක් තිස්සේ මම විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ට නාට්‍ය කලාව  උගන්වමින් සිටිමි. නාට්‍ය නැරඹීම, වැඩ මුළුවලට සහභාගීවීම නාට්‍ය විනිශ්චය කිරීම යනාදී කටයුතුවලට ද සම්බන්ධව සිටිමි. මාගේ ශාස්ත‍්‍රීය පර්යේෂණ කටයුතු සිදු කළේ ද නාට්‍ය කලාව ආශ‍්‍රයෙනි. මේ පොත ලියා තිබෙන්නේ කාලයක් තිස්සේ නාට්‍ය ඉගන්වීමට එක් රැුස් කරගත් කරුණු ගොනු කරමිනි‘.(පෙරවදන) කතුවරයා ම පවසන පරිදි මේ කෘතිය පර්යේෂණ කෘතියක් නොවූව ද නාට්‍ය හා රංග කලාව උගන්වන හා ඉගෙනගන්නා පිරිසට පහසුවෙන් කියවීමට හැකි සරල ආකෘතියකින් රචනා කොට ඇති ග‍්‍රන්ථයකි.

වර්තමාන ශ‍්‍රී ලංකාවේ නාට්‍ය කලාව පිළිබඳ හැඳින්වීමක් කරමින් රූපවාහිනිය, සිනමාව හා වේදිකා නාට්‍යය අතරවන සම්බන්ධය පිළිබඳව කතා කරන කතුවරයා ස්වතන්ත‍්‍ර නාට්‍ය කලාවේ ඉරණම පිළිබඳ කරුණු දක්වමින් පවසන්නේ එය අසීරුවෙන් පණ ගැට ගසාගෙන සිටින තත්ත්වයක පවතින බවය. ඉන්පසු නාට්‍යයේ ස්වාමීත්වය පිළිබඳ කරුණු දක්වමින් විජේසූරිය අදහස් කරන්නේ එය රචකයාට හිමි බවයි. අධ්‍යක්ෂ, නිෂ්පාදක, අර්ථපති තිදෙනානාම නාට්‍යයක් රඟමඬලෙන් සමුගත් පසු නොපෙනී යන බවත් එහෙත් රචකයාට ඒම ඉරණම අත් නොවන බවත් ය. රඟ මඬලක පේ‍්‍රක්ෂකයා යන අනු මාතෘකාව ඔස්සේ කරුණු ඉදිරිපත් කරමින්, පේ‍්‍රක්ෂකයාගේ භූමිකාව කෙබඳු ද යන්න සංදර්ශනාත්මකව පැහැදිලි කිරීම සඳහා ප‍්‍රවීණ නාට්‍යවේදීන්වන එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, විජිත ගුණරත්න, ජයලත් මනෝරත්න හා කේ.බී. හේරත් වැන්නවුන්ගේ අදහස් උධෘතකොට දක්වයි. පේ‍්‍රක්ෂකයාට අර්ථවත් අත්දැකීමක් ලබා දෙන අතර වින්දනයක් ද ලබා දීම සමපාතව සිදුවීම සරල කටයුත්තක් නොවන බව කතුවරයාගේ අදහස වේ. සාහිත්‍ය රසය හා නාට්‍ය රසය යනු දෙආකාර අත්දැකීමකි. පේ‍්‍රක්ෂකයා නාට්‍ය නරඹයි. පාඨකයා සාහිත්‍යය කියවයි. සාහිත්‍ය කෘතියක් අගයකිරීම හා නාට්‍ය නිර්මාණයක් අගය කිරීම අතර වෙනස දීර්ඝව පෙන්වා දෙන්නේ සරච්චන්ද්‍රගේ මනමේ හා සිංහබාහු පිළිබඳ රෙජී සිරිවර්ධන විචාරකයා දක්වා තිබූ අදහස් සිහියට නංවමිනි. රෙජී සිරිවර්ධනට අනුව කුමන මිනුම් දණ්ඩකින් බැලූවත් මනමේ සහ සිංහබාහු අපූර්ව සාහිත්‍යමය හා නාට්‍යමය ජයග‍්‍රහණ දෙකකි. වේදිකා නාට්‍යය නරඹන පේ‍්‍රක්ෂකයාට එය ජීවමාන කලාවක්වන අතර නිෂ්පාදක හා නළු නිළියන්ට එය සාමූහික කලාවක් වේ. මෙහි දී සාමූහික කලාවක්වන්නේ නළු නිළියන් මතු නොව නිෂ්පාදනයට අත්‍යවශ්‍ය ආනුෂංගික අංශ (Ancillary) භාර නිර්මාණකරුවන්ගේ දායකත්වය ද කැපී පෙනෙන බැවිනි. එම ආනුෂංගික අංශ නිර්මාණකරුවන්ගේ කාර්යභාරය පිළිබඳව මෙම ග‍්‍රන්ථයේ දී කතුවරයා අවධානය යොමුකොට ඇති බව පෙනේ.

එම ආනුෂංගික අංග මොනවාද? රංග වස්ත‍්‍ර, අංග රචනය, රංග වින්‍යාසය, සංගීතය, පසුතල නිර්මාණය, වේදිකා පරිපාලනය හා එවැනි අංග රැුසකි. මෙම අංග සඳහා විශෙෂ්ඥ දැනුමැත්තන් ගේ දායකත්වය ලබා ගැනීම හොඳ නිෂ්පාදකයකුගේ වගකීම වේ.

නාට්‍යයක නිෂ්පාදනය ඇරැුඹෙන නාට්‍ය පෙළ හෙවත් පිටපත ගැන කතුවරයා පවසන්නේ පිටපත් රචනය ඉගැන්වීමට අපහසු කටයුත්තක් බවයි. නාට්‍යයේ සංදර්භය කෙබඳු ද කථනය හා රූපණය, චරිත නිරූපණය, නාට්‍යයේ ගැටුම, ක‍්‍රියා විකාශනය හා භාෂාව පිළිබඳව සාකච්ඡුා කොට ඇත්තේ නාට්‍ය පෙළ අවසාන නිෂ්පාදනය දක්වා පසු කරන විවිධ අවධීන් පිළිබඳ මූලික දැනුමක් ලබා දෙමිනි. නාට්‍ය නිෂ්පාදන කාර්යයට අමතරව බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගෙන් මෙරට නාට්‍ය කලාව ලබා ඇති ආභාසය, ලංකාවේ එපික් රංගය, වීදි නාට්‍ය කලාව වැනි විෂය පිළිබඳව ද කාලීන තොරතුරු ඇතුළත් කිරීමට කතුවරයා අමතක කොට නොමැත. නාට්‍ය හා රංග කලාව පිළිබඳ න්‍යායාත්මක දැනුමකින් හෝ පෙරඅපර දෙදිග නාට්‍ය කලාව පිළිබඳ අධ්‍යයනයකින් තොරව පළවන පොතපත බහුල සමයක සරත් විජේසූරිය විසින් රචනා කරන ලද නාට්‍ය රසය කතුවරයා විසින් ලබා ඇති ආස්වාදනීය ඥානය විද්‍යාර්ථීන්ට හා රසිකයන්ට ප‍්‍රදානය පිණිස කළ විස්තර වර්ණනාවක් ලෙස හඳුන්වමි.

 බුද්ධදාස ගලප්පත්ති

advertistmentadvertistment
advertistmentadvertistment