නාඩගම්කාරයෝ!…වගකීම් තේරුම් නොගත් දේශපාලනඥයන් නිලධාරීන් රට වනසන හැටි

431

කොවිඞ් ව්‍යසනයේ ගිලී ඇති ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය මැති ඇමැතිවරුන්ගේ අගෝස්තු මස වැටුප පමණක් පරිත්‍යාග කිරීමෙන් ගොඩ දැමිය හැකිද? විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස (සමගි ජන බලවේගය) ඇතුළු බොහෝ මන්ත‍්‍රීවරුද තම අගෝස්තු වැටුපෙන් කොටසක් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කර ඇත. මෙවැනි දෑ සංකේතාත්මකව කිරීම වරදක් නැත. නමුත් ප‍්‍රශ්නයට නිසි පිළිතුර අවශ්‍යය.

වර්තමාන අර්බුදය පිළිබඳව විමසා බැලිය යුත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ටම ටොයෝටා ලෑන්ඞ් කෲසර් ගෙන්වීමට මුදල් අමාත්‍යංශය මෑතකදී කළ උත්සාහය ද සැලකිල්ලට ගැනීමෙනි. මාධ්‍ය කළ හෙළිදරව්ව හේතුවෙන් එම අසික්කිත වෑයම තාවකාලිකව අතහැර දැමිණි. සමස්ත පාර්ලිමේන්තු ක‍්‍රමය වගකීම් විරහිතව ක‍්‍රියාත්මක කරන බව ජනතාව අවබෝධ කර ගත යුතුය. කොවිඞ් මාරයාට ශ‍්‍රී ලංකාවේ පිළිතුර නාඩගමක් විය යුතු නැත. කථානායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ‘ධම්මික පැණිය’ බීම සහ නොයෙකුත් ‘කොවිඞ් පරාජය කිරීමට බලි තොවිල්’ කළ බව ජනතාවට අමතක නැත.

ගුවන්සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යෝජනා කළේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් තම වැටුපෙන් 75% ක් ද, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් 50% ක් ද කම්කරුවන් 30% ක් ද කොවිඞ් අරමුදලට පරිත්‍යාග කළ යුතු බවයි. අගෝස්තු 20 දින ලිවූ එම ලිපිය ජනමාධ්‍යයට ද නිකුත් කර තිබිණි. (යහපාලනය 2015 දී ස්ථාපිත කළ 19 ව්‍යවස්ථා සංශෝධනයට පිංසිදු වන්නට ජනාධිපතිවරයාත් සමග කැබිනට් මණ්ඩලය 30 කට සීමා කර ඇත).

මැති ඇමැතිවරු ජනාධිපතිවරයාට යොමු කළ ලිපි ජනමාධ්‍යයට නිකුත් කිරීම අද මෝස්තරයක් වී ඇත. ඊට දින දෙකකට පෙර ‘කොවිඞ් වසංගතය හමුවේ රට මුහුණ දී ඇති අභියෝගය ජයගැනීම’ යන ශිර්ෂය යටතේ වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු මහජන නියෝජිතයින් දස දෙනෙකු ජනාධිපතිවරයාට ලිවූ ලිපිය මාධ්‍යයට නිකුත් කිරීම නැවතත් රජය තුළ අනවශ්‍ය එලෙසම බරපතල ප‍්‍රශ්නයක් මතු කර ඇත. එම තත්ත්වය ‘ගැටුම් වසංගතයක්’ බවට පත්විය හැක.

වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන විශාලතම පක්ෂය වන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එහි හවුල්කාර පක්ෂ අතර අඩු වැඩි වශයෙන් කිහිප වරක් ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවිය. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනයට ඉන්දියාව සහ ජපානය හවුල් කර ගැනීම සම්බන්ධයෙන් බරපතල ගැටුමක් ඇති විය. එම යෝජනාව අතහැර දැමීමට රජයට සිදුවිය.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් රහස් පොලිසිය අත්අඩංගුවට ගත් සමස්ත ලංකා මක්කල් කොංග‍්‍රස් නායක රිෂාඞ් බදියුදින්ගේ බාල සහෝදරයා වන රියාජ් හොර රහසේම පසුගිය වසරේ අග නිදහස් කිරීම ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ මහත් කලබගෑනියක් ඇති කළේය. පළමුවෙන්ම රජය නියෝජනය කරන පක්ෂ අතර පවතින අභ්‍යන්තර ගැටලූ නිරාකරණය කර ගත යුතුය.

අගෝස්තු 18 දින සති තුනකට රට වැසීමට ජනාධිපතිවරයාට ලිපියක් මාර්ගයෙන් බලපෑම් කිරීම නැවතත් දෙපාර්ශ්වය අතර ප‍්‍රශ්නකාරී තත්ත්වයක් ඇති කළ බව පැහැදිලිය. අවාසනාවකට කොවිඞ් ව්‍යසනය හමුවේ ආර්ථිකය මුහුණ දෙන බරපතල ආර්ථික අභියෝගය ගැනීමට කිසිදු සාධනීය යෝජනාවලියක් කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් කර නැත. එම දස දෙනා අතර අපේ ජන බල පක්ෂයේ එකම ජාතික ලැයිස්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමි ද විය. අනෙකුත් සියලූ දෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන්ය. යම් තීරණාත්මක අවස්ථාවලදී ජනාධිපතිවරයාට සහ අගමැති මහින්ද රාජපක්ෂට මන්ත‍්‍රීවරු ලිවූ ලිපි මාධ්‍යයට නිකුත් කිරීම සදාචාරාත්මකද? එවැනි උපක‍්‍රම නායකත්වය හෑල්ලූ කිරීමක් නොවන්නේද? පවතින අස්ථාවරත්වය තවදුරටත් වර්ධනය නොකරන්නේද?

කොවිඞ් අභියෝගය එන්නත්කරණය ප‍්‍රමුඛ වෛද්‍ය ප‍්‍රතිකාර මගින් පමණක් ජයගත නොහැක. කොවිඞ් පරාජය කිරීම සහ ආර්ථිකය ගොඩ දැමීම සමගාමීව සිදුවිය යුතුය. මෙම අර්බුදය ජය ගැනීමට තිබෙන ප‍්‍රබලම අභියෝගය දශක තුනක් පමණ සිදු කළ /සිදු කරමින් පවතින දූෂණ, වංචා, අක‍්‍රමිකතා නොවේද? බොර තෙල් සහ අනෙකුත් ආශ‍්‍රිත නිෂ්පාදන දිගුකාලීන ණය පදනමක් යටතේ ලබා ගැනීමට ශ‍්‍රී ලංකාවට උත්සාහ කිරීමට සිදුවී ඇත්තේ මූල්‍ය පරිපාලනයේ බරපතල දුර්වලතා නිසා නොවේද. සිවිල් ක‍්‍රියාකාරී හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මෑතකදී ආර්ථිකය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා පළ කළ අදහස් මහජන නියෝජිතයින්ගේ මෙන්ම සමස්ත ජනතාවගේ අවධානයට යොමු විය යුතුය. නාස්තිකාර තරු පහේ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ රටේ ආර්ථිකය බිංදුවට බැස්වූ ආකාරය තේරුම් ගැනීමට තෙන්නකෝන්ගේ ලිපි ඉවහල් වේ.

රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ප‍්‍රකාශ කළේ තමන් පාර්ලිමේන්තුවේ පවත්වාගෙන යන රාජ්‍ය බැංකුවකින් ලොකු ණය මුදලක් ලබාගෙන ඇති බැවින් තමන්ට කිසිසේත් කොවිඞ් ව්‍යසනයට එරෙහි සටනට තම වැටුප පරිත්‍යාග කිරීමට හැකියාවක් නොමැති බවයි. ”මට කියන්න තියෙන්නේ පැහැදිලිවම මට එහෙම වැටුප පරිත්‍යාග කරන්න හැකියාවක් නැහැ. මොකද, මෙම පාර්ලිමේන්තුවේ තියෙන බැංකුවෙන් ගත් ණයට වැටුප සම්පූර්ණයෙන්ම වෙන්කරලා තියෙන්නේ.”

වර්තමාන ආර්ථික අර්බුදය පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ 225 ම වසරක වැටුපම පරිත්‍යාග කළත් විසඳීමට නොහැක. තවදුරටත් ජනතාව සිල්ලර දේශපාලන උප්පරවට්ටිවලින් රැවටීම අහස පොළොව නූහුලන අපරාධයකි. කළුතර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන පියල් නිශාන්ත මන්ත‍්‍රීවරයා මාධ්‍යයට කළ ප‍්‍රකාශය අති බහුතර ජනතාවක් විමතියට පත් කරන්නට ඇත. තම සම්පූර්ණ මාසික වැටුපම බැංකුවකට හරවා ඇති බව පියල් නිශාන්ත මන්ත‍්‍රීවරයා ජනතාව ඉදිරියේ තැබීම අපූරු තත්ත්වයකි. ඔහු එම ප‍්‍රකාශය කළේ සියලූම මාධ්‍ය ඉදිරියේය. තම මාසික වැටුපම පාර්ලිමේන්තුවේ ක‍්‍රියාත්මක බැංකුවේ හෝ ඉන් පිටත බැංකුවකට ගත් ණයක් ගෙවීමට හැරවූ එක මන්ත‍්‍රීවරයා ඔහු විය නොහැක. එක්තරා ආකාරයකට එම මන්ත‍්‍රීවරයා සහ රජය මුහුණ දෙන අභියෝගය සමානය. රජයද බරපතල ණය උගුලක පැටලී ඇත. විමසිය යුතු තවත් කරුණක් ඇත. යම් කිසි පුද්ගලයකු උපයන මාසික වේතනයම හිලව් කර ගන්නා ආකාරයට ණයක් ලබා ගත හැකිද යන්නයි. පාර්ලිමේන්තුවේ ක‍්‍රියාත්මක එක රාජ්‍ය බැංකුවකි. ඕනෑම මන්ත‍්‍රීවරයකුට තම මාසික වැටුපෙන් 60 % ණයක් ලබා ගැනීමට අවස්ථාවක් ඇත.

ශ‍්‍රී ලංකාවේ සිදු වූ එකම ප‍්‍රබල මූල්‍ය වංචාව 2015 පෙබරවාරි සහ 2016 මාර්තු සිදු වූ මහ බැංකු බැඳුම්කර සොරකම් නම් ආර්ථිකය මෙලෙස කඩා වැටෙන්නේ නැත. 2020 වසරේදී පුපුරා යන කොවිඞ් ව්‍යසනය හේතුවෙන් ශ‍්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප‍්‍රධාන මාර්ග සියල්ල ඇහිරීමත් සමග සියල්ල උඩු යටිකුරු විය. තත්ත්වය වඩාත් බරපතල වූයේ 2019 ජනාධිපතිවරණයෙන් පසුව පැවති පළමුවන කැබිනට් මණ්ඩලයේදී ගත් තීරණයක් අනුව කළ බදු සංශෝධනයක් හේතුවෙන් රුපියල් බිලියන 500 කට වඩා වැඩි ප‍්‍රමාණයක් රජය අහිමි කරගෙන තිබීමයි. යහපාලන රජය ක‍්‍රියාත්මක කළ වඩාත් ආක‍්‍රමණශීලි බදු ප‍්‍රතිපත්තිය හේතුවෙන් මහා භාණ්ඩාගාරය ශක්තිමත් වූ බව අවධාරණය කළ යුතුය. පසුගියදා කොවිඞ් ව්‍යසනය හේතුවෙන් මරණයට පත්වූ එවකට මුදල් ඇමැති මංගල සමරවීර මහා භාණ්ඩාගාරය ශක්තිමත් කිරීමට ගත් ක‍්‍රියාමාර්ග අමතක කළ නොහැක. රුපියල් බිලියන 500 කට වඩා වැඩි ප‍්‍රමාණයක් අහිමි කර ගැනීමේ වගකීම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ රජය ගත යුතුය. මංගල සමරවීර මුදල් ඇමැති ධුරයට පත්වූයේ 2017 මැයි 22 දිනය. එම ධුරයේ සිටි ලෝකයේ හොඳම මුදල් ඇමැති ලෙස සම්මානයට පාත‍්‍රවූ රවී කරුණානායක මංගල ඉසිලූ විදේශ ඇමැති ධුරයට පත්විය. සමරවීරගේ සමයේ රාජ්‍ය අදායම වැඩි කිරීමට ගත් ක‍්‍රියාමාර්ග හේතුවෙන් 2018 සමස්ත ආදායම රුපියල් බිලියන 1,950 විය. 2019 දී එය රුපියල් බිලියන 1,900 විය. 2020 රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1,373 වීමට හේතු වූයේ 2019 ජනාධිපතිවරණයෙන් පසුව කළ සමස්ත බදු කපා හැරීමයි.

කොවිඞ් ව්‍යසනයෙන් වැනසී ඇති ආර්ථිකය දේශපාලන විජ්ජා මගින් ගොඩගැනීමට නොහැක. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂ සහ නිලධාරී පැලැන්තිය තම වගකීම නිසියාකාරව ඉටු කරනවා නම් රටේ ආර්ථිකය මෙලෙස දුර්වල වන්නේ නැත. මහජන නියෝජිතයින්, නිලධාරී පැලැන්තිය (රාජ්‍ය සේවය සහ දේශපාලන පත්වීම් ලබන්නන්) සහ යම් පෞද්ගලික ව්‍යාපාර දීර්ඝ කාලයක් තුළ ක‍්‍රියාකර ඇති ආකාරය පුදුමාකාරය. පාර්ලිමේන්තුව තුළ ක‍්‍රියාත්මක රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මෙන්ම අමාත්‍යංශ උපදේශක කාරක සභා නිකුත් කර ඇති වාර්තා අනුව නිසියාකාරව ක‍්‍රියාත්මක රාජ්‍ය ආයතනයක් සොයා ගැනීම බරපතල අභියෝගයකි. රාජ්‍ය ආදායම නිසියාකාරව එකතු කර ගැනීමේ ක‍්‍රමවේදයක් නැත. මැති ඇමැතිවරුන්ගේ පහසුවට පාර්ලිමේන්තුවේ රාජ්‍ය බැංකුවක් පමණක් ස්ථාපිත කිරීම ප‍්‍රමාණවත් නොවේ. මූල්‍ය අපරාධ කොට්ඨාසයක් ද වහාම ඇති කළ යුතුය. මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය තිස්ස විතාරණ සහ අනුර ප‍්‍රියදර්ශන යාපා නායකත්වය දෙන කොමිටි හෙළිදරව් කර ඇති ආකාරයට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය විනයක්, මූල්‍ය නීතියක් නැත. ජනතා බදු මුදල්වලට කිසිදු ආරක්ෂාවක් නැත. වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද ඒ අමාරුව?

කිසිදු පක්ෂයකට රුපියලක්/ඩොලරයක් ඉතිරි කර ගැනීමට අවශ්‍ය නැත. රාජ්‍ය අරමුදල් කාබාසිනියා කරන්නේ කිසි හිතක් පපුවක් නැති ආකාරයටය. මීට පෙර කොවිඞ් හේතුවෙන් රට වැසූ විට රජය එක පවුලකට රුපියල් 5,000 ලබා දුන්නේය. මෙවර එම මුදල රුපියල් 2,000 දක්වා අඩු කර ඇත. නිරෝධායනය කළ පවුල්වලට දුන් රුපියල් 10,000 ලබා දීම අවශ්‍යම කණ්ඩායමකට සීමා කර ඇත. කොවිඞ් අර්බුදය ජයගත්තත්, ආර්ථිකය ගොඩදැමීම පහසු නොවනු ඇත. මිලියන 1.5 පමණ වන රාජ්‍ය සේවකයින් සහ ලක්ෂ ගණනාවක් වන විශ‍්‍රාමිකයින්ට විශ‍්‍රාමික වැටුප් ගෙවීමෙන් පසු රජයට ඉතිරිවන්නේ රුපියල් බිලියන 200 පමණක් බව මෑතකදී පැවසුවේ රාජ්‍ය ඇමැති ආචාර්ය නාලක ගොඩහේවා ය. රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මෙම ලියුම්කරු සමග පැවසුවේ රුපියල් 2,000 දීමත් අභියෝගයක් බවය. දැනටමත් ශ‍්‍රී ලංකාවේ දේශපාලන නායකත්වය ප‍්‍රමාද වැඩිය. කිසිදු පක්ෂයකට තවදුරටත් වංචාකාරී දේශපාලනයේ යෙදීමට අවස්ථාවක් නැත. දූෂිත නිලධාරී පැලැන්තියට සහ ව්‍යාපාරික ප‍්‍රජාව ද තත්ත්වය තේරුම් ගත යුතුය. රටේ මුදල් පාර්ලිමේන්තුවෙන් සම්පූර්ණයෙන්ම ගිලිහී ඇති බවට දිය හැකි ප‍්‍රබලම උදාහරණය රේගුව වරාය අධිකාරියට එරෙහිව වසර 10 කට පමණ පෙර පවරා ඇති තවමත් අවසාන වී නොමැති නඩුව සහ රේගුව ‘ලංකා කෝල්’ ආයතනයෙන් මහා භාණ්ඩාගාරයට පාඩු වන ආකාරයට දඩ මුදල් අයකර ගැනීමයි. වැඩි විස්තර පාර්ලිමේන්තුවෙන් ලබා ගත හැක.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment