නාන්න සබන් කෑල්ලක් නැති තරමට බඩු මිල ඉහළ ගිය හැටි

73

රට දිනෙන් දින බරපතළ ආර්ථික අගාධයක් කරා ගමන් කරමින් ඇත. රටවැසියන් ලෙස අප මේ වන විටද එම ආර්ථික අගාධයේ කරවටක් ගිලී හමාරය. තෙල්, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ආහාර වර්ග හිඟවීමෙන් ඒවායේ මිල ගණන් දිනෙන් දින ඉහළ යමින් ඇත. ඒ හේතුවෙන් ඉදිරියේදී උග්‍ර ආහාර හිඟයක් රට තුළ නිර්මාණය වීමේ අසුබ පෙරනිමිති පහළ වෙමින් ඇත. එබැවින් දුප්පතුන් ලෙස ඉපිද දුප්පතුන් ලෙසම මියයන බහුතරයක් වූ ජනතාවක් ජීවත්වන රටක හෙට දවස පිළිබඳ බොහෝ දෙනෙක් තුළ පවතින්නේ වචනයෙන් විස්තර කළ නොහැකි අවිනිශ්චිත බවක්ය. එවැනි තත්ත්වයක් තුළ වුවද පුදුම උපදවන සුළු කරුණ බවට පත් වන්නේ රට වැටී ඇති අගාධයේ තරම නොදකින පාලකයන් තම තමන්ගේ බලය රැකගැනීම පිණිස යෙදී සිටින කැත හිරිකිත උත්සාහයන් තවදුරටත් දකින්නට ලැබීම පිළිබඳය.

මෙම සටහන තබන අවස්ථාව වන විට කොළඹ ගාලුමුවදොර ආරම්භ කොට ඇති නොනිදන අරගලයට දින 20ක් සම්පූර්ණ වී හමාරය. එහි එක්රැස්වන මෙරට තරුණ ප්‍රජාව ඇතුළු විවිධ වෘත්තිකයන් කලාකරුවන් ඇතුළු සියල්ලන් උස්හඬින් ඉල්ලා සිටින්නේ අසමත් රාජ්‍ය පාලනය ගෙදර යා යුතු බවත් ඉන් අනතුරුව රටට හිතකර පාලනයක් ඇතිකළ යුතු බවත්ය. එය ගාලුමුවදොරට පමණක් නොව මේ වනවිට රටේ පොදු ප්‍රකාශනය බවට ද පත්වී අවසන්. කනගාටුවට කරුණ වන්නේ ඒ පිළිබඳව මේ වන තුරුත් රට කරවන ඇත්තන් වගේ වගක් නැති ආකාරයෙන් කටයුතු කරන අයුරු දකින විටය.

එවැනි වටපිටාවක් තුළ මෙරට භාණ්ඩ හා සේවා වෙළඳපොළ මුළුමනින්ම කළු කඩ මාෆියාවක් බවට පත්වෙමින් තිබෙන ආකාරයක් දැකගත හැක. මිල පාලනයෙන් මිදුන භාණ්ඩ මිල අකාරුණික ලෙස රටවැසියාගේ ගෙල සිරකර තබමින් දිනෙන් දින ඉහළ නගින ආකාරයක් මේ දිනවල දැකගත හැක. අත්‍යවශ්‍ය ආහාර වර්ගවලින් ආරම්භ වන මිල ඉහළ යෑම මේ වනවිට සබන් කැටය, ගිනිපෙට්ටිය පවා ‘ගිනිගණන්’ බවට පත්කොට ඇත. දිනෙන් දින ගණන් උස්සන බඩු මිල පිළිබඳව අවස්ථා කීපයකදී කොළඹ පිටකොටුව තොග වෙළඳුන්ගෙන් අප කළ විමසීමේදී ඔවුන් පවසා සිටියේ රට තුළ ඩොලර් හිඟවීම හේතුවෙන් ඉහළ යන බඩු මිල පාලනය කිරීම ඔවුන්ට කළ නොහැකි බවක්ය.

එබැවින් තවදුරටත් බඩුමිල පිළිබඳ කතාබහ කිරීම පිණිස කොළඹ තොග වෙළඳුන් මුණ ගැසීම කාලය නාස්ති කිරීමක් බැවින් කොළඹින් බැහැර තම ව්‍යාපාර පවත්වාගෙන යන කුඩා කඩ හිමියන් කීපදෙනෙකු සමඟ කතාබහ කිරීම අපගේ අරමුණ බවට පත්විය. එහිදී මුණ ගැසුණු එක් ව්‍යාපාරිකයෙක් බඩුමිල ඉහළ යෑම පිළිබඳව සිදුකළ කතාබහ පිණිස වෙනස්ම ප්‍රවේශයක් ලබාගනිමින් මෙයින් දශක දෙක තුනකට පමණ එපිට මතකයක් අවදි කරන්නට විය. එම අදහස් දැක්වීම තුළ නූතන පාරිභෝගික ජනතාවට උගත හැකි පාඩම් බොහෝ විය.

“මම වෙළෙඳාම ආරම්භ කරලා දැන් අවුරුදු තිස් පහක් හතලිහක් පමණ ගතවෙලා තිබෙනවා. ඔය කාලය අතර තුර වෙළෙඳාම විතරක් නොවෙයි වෙළඳපොළ තුළ සිද්ධ වෙච්ච වෙනස්කම් රාශියක් දකින්නත් මට අවස්ථාව ලැබුණා. මේ දවස්වල වැඩිපුර කතාබහ වෙන සබන් වලින්ම මම කතාව පටන් ගන්නම්. මම බිස්නස් පටන්ගත්ත කාලය ගත්තොත් ඒ දවස්වල යමක් කමක් තියෙන කෙනෙක් තමයි සබන් කැටයක් මිලට ගත්තේ. වැඩි දෙනෙක් ගත්තේ සබන් භාගයයි. එහෙමත් නැත්නම් සබන් කාලයි. හැම කඩේකම වගේ සබන් කැටේ කපල අලෙවි කරන්න තංගුස් නූල් පොටක් තිබුණා. අද වගේ ඔළුවට එකයි හමට එකයි කියලා සබන් වර්ග ගොඩක් තිබුණේ නෑ. රෙදි හෝදන සබන් භාගයක් දෙන්න කිව්වොත් ඒකෙන් දෙනවා. ඇගේ ගාන සබන් භාගයක් ඉල්ලුවොත් ඒකෙන් දෙනවා එච්චරයි. ඒ කාලෙත් සුවඳ සබන් වර්ග කීපයක් තිබුණ. නමුත් ඒවා මිලදී ගන්න තරම් ලොකු උවමනාවක් ගමේ ගෙඩේ මිනිස්සුන්ට තිබුණේ නෑ. දැන් තත්ත්වය එහෙම නෑ. ඊයේ පෙරේදා සබන් මිල ඉහළ යන්නත් කලින් කඩේක එක සබන් කැටයක්වත් ආසාවකට ඉතුරු කළේ නෑ. කාක්කො වහගත්ත වගේ ආව ගෙනිච්ච.”

පසුගිය දිනවල දෙතුන් ගුණයකින් මිල ගණන් ඉහළ ගිය සබන් මිල මුල්කර ගනිමින් ආරම්භ කළ කතාව තව දුරටත් ඉදිරියට ගෙන යමින් වෙනත් වෙනත් ආහාර ද්‍රව්‍ය හා බඩු භාණ්ඩ පිළිබඳව ඔහු විසින් තව දුරටත් අදහස් දක්වන්නට විය. මීට දශක කීපයකට පෙර මෙරට මිනිසුන් ගතකළ සරල සුන්දර දිවි පෙවත පිළිබඳ බොහෝ තොරතුරු ඔහුගේ අදහස් දැක්වීම තුළ අන්තර්ගතව තිබීම විශේෂත්වයකි.

“අසූව දශකයේ මැද භාගය වනවිට මම අර මුලින් සඳහන් කළ තත්ත්වය වෙනස් වෙන්න ගත්තා. ඒ වෙනකම් අපේ රටේ මිනිස්සු කන්න බොන්න අඳින්න පළඳින්න වියදම් කළේ තමන්ගේ ආදායමේ හැටියට පමණයි. ගමේ ජීවත්වෙන සෑම කෙනෙකුටම ගොඩ මඩ ගොවිතැන් බත් තිබුණා. ඒ වගේම ගමක ගෙවල් පනහක් ගත්තොත් අඩුම තරමින් ගෙවල් හතරක පහකවත් කිරි ගවයො තුන් හතර දෙනා හැදුව. තව පිරිසක් කුකුල්ලු ඇති කරල ඒ හරහා ආදායම ලැබුව. ඒ කාලෙ අද වගේ ෆාම් කුකුලන් ඇති කරන පුරුද්දක් තිබුණේ නෑ. එහෙමයි කියලා මිනිස්සු බිත්තර කෑවේ නැද්ද. අහුලගෙන කෑව කිකිළි දාන බිත්තර ගම්වල ඕන තරම් තිබුණ. ගෙදර හදන වැස්සියන්ගෙන් දොවාගත්ත කිරි ටික තිබුණ. අල බතල ටික තිබුණ. පවුලක දරුවො හතර පස්දෙනා හිටියත් අද වගේ අහේනියක් එදා තිබුණේ නෑ. පුළුවන්නම් ඒ මොකද කියලා හොයලා බලන්න. එදා අපට නිවහල් ආර්ථිකයක් තිබුණ. ඒ වගේම වගා කරගෙන කන පුරුද්දක් තිබුණ. ලංකාවට රූපවාහිනිය ආවට පස්සේ තමයි මේ හැම දෙයක්ම වෙනස් වෙන්න ගත්තේ. එහෙම වුණේ කොහොමද කියලත් මගේ අත්දැකීම් ඇසුරෙන් පොඩි විස්තරයක් කරන්නම්. පුළුවන්නම් මේව පත්තරයට ලියන්න. එතකොටවත් අපේ මිනිස්සු තේරුම් ගනීවි රටේ පවතින දේශපාලන ක්‍රමයයි මහා පරිමාණ ව්‍යාපාරික ප්‍රජාවයි එකතුවෙලා මේ රටට කරපු විනාශයේ තරම.”

මේ වනවිට රට තුළ බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් හතළිහත් පනහත් අතර අගයකටය. කිරිපිටි කිලෝවක් මිලදී ගැනීමට නම් ඒ සඳහා රුපියල් දෙදහසකට අධික මුදලක් වැයකළ යුතුව ඇත. කුකුළු මස් කිලෝවක් රුපියල් එක් දහස් පන්සීයේ සීමාවට ඔන්න මෙන්න අගයක් ගෙන ඇත. හාල්, සිල්ලර අල, ලූනු මිල ගණන්වලට කඩි කුලප්පුව වැලදී ඇත. එම මිල ගණන් නිතර නිතර වෙනස්වෙමින් ඇත. එබැවින් පාරිභෝගික ජනතාවට විදින්නට සිදුව ඇති දුක් ගැහැට නිමක් නැත. ඒ පිළිබඳ වඩාත් හොඳ අවබෝධයක් වෙළෙඳ ප්‍රජාව තුළ ඇත. මා හා අදහස් දක්වන ලද ව්‍යාපාරික මහතා තම කටහඬ නැවතත් අවදිකර සිටියේ ඒ පිළිබඳව අදහස් දැක්වීම පිණිසය.

“ඊයේ කඩේට ආව කෙනෙක් අද නැවත බඩුවක් ගන්න ආවොත් ඊයේ ඒ බඩුව මිලට ගත් මුදලට අද ඒ දෙය මිලදී ගන්න බැරි තත්ත්වයක් තමයි අද තියෙන්නේ. මම මුලින් කිව්වනෙ අපේ රටට රූපවාහිනිය ආවට පස්සේ හුඟක් දේවල් වෙනස් වුණා කියලා. රූපවාහිනිය ආව එකේ වරදක් නෑ. ඒ දේවල් රටක තියෙන්න ඕන. නමුත් අපේ රටේ සිද්ධ වුණේ මොකක්ද. රූපවාහිනී නාලිකා ආරම්භවීමත් එක්ක දැවැන්ත වෙළෙඳ ප්‍රචාරන ආයතන රටපුරා ක්‍රියාත්මක වෙන්න ගත්තා. ඒ හරහා උපභෝගී, පරිභෝග භාණ්ඩ පිළිබඳ පුළුල් ප්‍රචාරයක් දෙන්න ගත්ත. උදාහරණයක් දෙකක් කියන්නම්. සබන් කැට දවටන තුනක් තැපැල් කරලා එව්වොත් රන් පවුම් තෑගි වශයෙන් ලබාදෙනවා කියලා ප්‍රචාරය කිරීමත් එක්ක සබන් කාල, භාගය ගත්ත මිනිස්සු ඒ පුරුද්ද අත් හැරලා සබන් කැටය බැගින් මිලට ගන්න පුරුදු වුණා. වෙළෙඳ ප්‍රචාරණ කලාව විසින් පාරිභෝගික මනස ඉතාමත් සූක්‍ෂම ලෙස වෙනස් කරන්න ගත්තෙ එහෙමයි. අසූව දශකයේ මැද භාගයක් වෙන කොට රටම මේ උගුලෙ පැටලෙන්න ගත්ත. මහා පරිමාණ කුකුළු මස් ව්‍යාපාර රටපුරා ආරම්භ වෙන්න ගත්ත. බොයිලර් කුකුල් මස් වෙළෙඳපොළට එන්න ඉස්සර රූපවාහිනී දර්ශන මගින් ඒ දේවල් අපේ මිනිස්සුන්ට රසකර කැව්ව. ඔය විදිහට සමස්ත වෙළෙඳපොළම වෙළෙඳ ප්‍රචාරණයේ ගොදුරක් බවට පත්වෙන්න ගත්ත. ඒ විතරක් නොවෙයි එහෙම කාලයක් යද්දී රටපුරා හන්දියක් හන්දියක් ගානේ සුපිරි වෙළෙඳසැල් ඇති කරන්න තවත් පිරිසක් කටයුතු කළා. ඉන් පස්සේ මොකද වුණේ. රටම සුපිරි වෙළෙඳ සැල් සංස්කෘතියේ ගොදුරක් බවට පත්වෙන්න ගත්ත. ඕක තමයි මහත්තයො ඇත්ත කතාව. අද අපේ මිනිස්සුන්ට ඒ තත්ත්වයෙන් මිදෙන්න බැරිව දුක් විඳිනව. ඒ බව හොඳින්ම දන්න මහ පරිමාණ ව්‍යාපාරිකයෝ ඩොලර් නෑ කිය කියා හිතෙන හිතෙන මිල ගණන්වලට බිස්නස් කරගෙන යනවා.

ගමේ ගොඩේ සිල්ලර කඩයක් කරන අපි වගේ පුංචි ව්‍යාපාරිකයන්ට ඒ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් කමක් නෑ. අපි කරන්නෙත් පුංචි ලාභයක් තියාගෙන කීයක් හරි හොයාගන්න එක විතරයි. අද අපේ රට පත්වෙලා තිබෙන තත්ත්වය කල්තියා දුටුව දෙන්නෙක් මේ රටේ හිටිය. එක්කෙනෙක් තමයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. එතුමිය රට තුළ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න ලොකු වැඩකොටසක් කළා. අනිත් කෙනා තමයි විශිෂ්ට ව්‍යාපාරිකයකු වූ උපාලි විජයවර්ධන මහත්තය. එතුමන් දේශීය ව්‍යාපාරිකයෙකු ලෙස අලුත් අලුත් දේ රට තුළම නිෂ්පාදනය කරමින් ලොකු දැක්මක් සහිතව කටයුතු කළා. ඒ දේවල් අදත් ඒ විදිහට ක්‍රියාත්මක වුණා නම් ලෝකයට ණය නැති රටක් ලෙස අපිට ඔළුව උස්සන්න ඕන තරම් ඉඩකඩ පැවතුණා.”

කුඩා ව්‍යාපාරිකයකු වුවද මා සමීපයේ සිටින මිනිසා සංකල්පමය වශයෙන් පොහොසත්ය. රට හිඟමනට වැටී ඇති වටපිටාවක් තුළ ඔහු සමඟ සිදුකළ කතාබහ තුළ උගත හැකි පාඩම් බොහෝය. වෙළෙඳ ප්‍රජාව විසින් මෙරට ජන මනස වෙනස් කළ ආකාරයත් ඒ හරහා රට තුළ කළුකඩ මාෆියාව ක්‍රමිකව හිස ඔසවන ආකාරයත් පිළිබඳව ඔහු විසින් විස්තර කර සිටි කරුණු කිසිසේත් බැහැර කළ නොහැක්කේ වෙළෙඳපොළ වෙනස්කම් උදාහරණ සහිතව ඔහු විසින් විස්තර කර සිටීම හේතුවෙන්ය. එබැවින් තව දුරටත් කළු කඩ මාෆියාවේ ගොදුරු බවට පත්නොවී සිටීම පිණිස තම තමන් විසින් කළයුතු දේ කුමක්ද යන්න තීරණය කිරීම මෙම ලිපිය කියවන පාඨකයන් සිහි බුද්ධියෙන් යුතුව කල්පනා කළ යුතුය. ඉදිරියේ යම්කිසි ආහාර අර්බුදයක් ඇතිවේ නම් ඒ සඳහා පිළියම් ඇත්තේ තම තමන් සතු දැනුමේ සහ අවබෝධයේ තරම මතය.

● රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment