විරුද්ධ වූ කම්කරුවන් පිරිසකගේ වැඩ තහනම්
යළිත් සේවයේ පිහිටුවීම නොකළැයි විරෝධය
විසඳුමක් දෙනතුරු තේ වෙන්දේසියට රැගෙන යෑමට ඉඩ දෙන්නේ නෑ – ඇමැති තොණ්ඩමන් වෘත්තීය සමිති නියෝජිතයන්ට කියයි
කැලණිවැලි තේ වතු සමාගමට අයත් සියලුම තේ වතුවල නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කොළ තේ වෙන්දේසිය සඳහා රැගෙන යෑමට ඉඩ ලබා නොදෙන බව ලංකා කම්කරු කොංග්රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.
එම වතු සමාගමට අයත් නානුඔය උඩරදැල්ල වතුයායේ වතු පාලන අධිකාරිය විසින් තේ ගස් ගලවා කෝපි වගාව සිදු කිරීමට තීරණය කර බැකෝ යන්ත්රයක් යොදාගෙන ඉකුත් මස කටයුතු කරමින් සිටියදී එයට විරෝධය පළ කළ එම වතුයායේ වතු කම්කරුවන් කිහිපදෙනකුගේ වැඩ තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් නුවරඑළිය සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලයේ එම කම්කරුවන් විසින් සිදු කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සහකාර කම්කරු කොමසාරිස්වරයා විසින් ඊයේ (30 දා) දෙපාර්ශ්වයම කැඳවා සාකච්ඡාවක් පවත්වා ඇත.
එම සාකච්ඡාවට පැමිණිලි පාර්ශ්වය, වතු පාලන අධිකාරිය සහ ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා සහභාගි වී ඇත. එහිදී වතු පාලන අධිකාරිය තාවකාලිකව වැඩ තහනම් කළ වතු කම්කරුවන්ට යළිත් වැඩ ලබාදීමට එකඟතාවය පළ නොකිරීම මත එම සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී ඇත.
එයට විරෝධය පාමින් එම වතු සමාගමේ සියලුම වතුවල නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කොළ තේ වෙන්දේසිය සඳහා රැගෙන යෑමට ඉඩ ලබා නොදෙන ලෙස එම වෘත්තීය සමිතියේ සියලුම සාමාජිකයන්ට ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා විසින් දැනුම් දී ඇත.
මෙම ගැටලුවට විසඳුමක් ලබාදෙන තෙක් එම වෘත්තීය සමිති ක්රියාමාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යන බව ලංකා කම්කරු කොන්ග්රසයේ මහ ලේකම් ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා කියා සිටියේය.
නුවරඑළිය නාලක රත්නායක