නාමල්ගේ පොහොට්ටුව සහ රනිල්ගේ බෝට්ටුව!

1245

2024 ජනාධිපතිවරණය සම්බන්ධ සමාජ දේශපාලන කතිකාවේ වැඩි අවධානයක් යොමුව තිබෙන්නේ ස්වාධීනව තරග කරන ජනාධිපති රනිල්ට, සජබයෙන් ඉදිරිපත්ව සිටින සජිත්ට හා ජාජබයේ අනුර කුමාරට වුවද දැන් පොහොට්ටුවෙන් ජනාධිපතිවරණ සටනට එන එහි ජාතික සංවිධායක නාමල් ද පොදු මාතෘකාවක් බවට පත්ව සිටියි. මෙයට අමතරව මේ ආණ්ඩුවේම කැබිනට් ඇමැතිවරයකු වූ විජයදාසත්, සජබ මන්ත්‍රීවරයකු මෙන්ම එහි සභාපතිවරයාද වූ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාත්, සර්වජන බලයේ දිලිත් ජයවීරත් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටිති. මේ ලියන මොහොත වනවිට ඔවුන්ට අමතරව පක්ෂවලින් හා ස්වාධීන වශයෙන් ද තවත් පිරිසක් ඇප මුදල් තැන්පත් කර සිටිති. ඒ අනුව දැනට මුළු අපේක්ෂක සංඛ්‍යාව 22කි. මැතිවරණ කොමිසම හා අදාළ නිලධාරීන් පවසන පරිදි එක් අපේක්ෂකයකු වෙනුවෙන් අවම වශයෙන් රුපියල් මිලියන පන්සියයකට ආසන්න මුදලක් වැය කළ යුතුය. ඒවා ජනතාවගේ මුදල්ය. ජනාධිපතිවරණය සඳහා කෙතරම් අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වුවත් එහිදී ප්‍රමුඛ අවධානය යොමුවන්නේ දෙතුන් දෙනෙකුට පමණි. කිසිදු ජනපදනමක් නැතිව මේ සඳහා ඉදිරිපත් වන අයගේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී වුව ද නිකරුණේ නාස්ති කෙරෙන මුදල විශාල බව පමණක් කිව යුතුය.

2019දී ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන් 35කින් ඇප මුදල් අහිමි වූ සංඛ්‍යාව 33ක් බව ද වාර්තා වේ. මෙවර මේ ඇප මුදල් වැඩි කිරීම පිළිබඳ කතිකාවක් ද විය. එහෙත් එය තරමක් විවාදිත මාතෘකාවකි.

විශාල ඇප මුදලක් නියම කිරීමෙන් සාමාන්‍ය අපේක්ෂකයකුට අවාසියක් සිදුවන බවට ද තර්ක කෙරේ. කුමක් වුවත් ජනාධිපතිවරණයක් යනු රටේ සමස්ත ජනතාවගේම ඉරණම සමග ද බැඳී තිබෙන්නක් නිසා ඒ ගාම්භීර ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට වටිනාකමක් ලබාදීම දේශපාලනඥයන් ගේත් වගකීමකි. රටේ විධායක බලය යනු දේශපාලන සූදුවක තත්ත්වයට ද පත්විය යුතු නැත.

නාමල්ගේ පොහොට්ටුව සහ රනිල්ගේ බෝට්ටුව!

2024 ජනාධිපතිවරණය සම්බන්ධ චිත්‍රය අප බොහෝ දෙනෙකු තුළ විවිධ සිදුවීම් හා අමිහිරි මතකයන් ද නඟන්නා වූ තරමක් සංකීර්ණ අත්දැකීමක් වැන්න. ජනාධිපති රනිල් ප්‍රමුඛ ආණ්ඩුවට ඒ ජනාධිපතිවරණය මෙන්ම මෙරටේ ඡන්ද අයිතිය අහිමිකිරීමේ ප්‍රයත්න පිළිබඳව ඉදිරිපත් වූ අධි චෝදනා පත්‍රය බරපතළය. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ආණ්ඩුව හරස්වෙද්දී එහි ප්‍රධාන පාර්ශ්වය වන රාජපක්ෂලාගෙන් ලැබුණේ ද දුබල ප්‍රතිචාරයකි. කාගේ හෝ මයික්‍රෆෝනයකට පිළිතුරක් වශයෙන් ඡන්ද අයිතිය ගැන කතා කිරීමෙන් එහාට ගිය විරෝධයක්වත් ඔවුන්ගෙන් ප්‍රකාශ නොවීය.

ඒ ඡන්ද අතුරුදන් කිරීමේ දුෂ්ට චේතනා සමග සිටි අය කවරහු දැයි නිශ්චිතව කීමට අපට නොහැකි වුව ද ඒ ක්‍රියාකාරකම් සමග බොහෝ විට රනිල්ගේ අනුගාමිකයන් සිටි බවට තිබෙන චෝදනාව අපි ද අනුමත කරමු. කුමක් වුව ද කාගේ ආශිර්වාදය ලැබුණ ද ඒ මගඩි මෙහෙයුම් පරාජය විම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයක් ලෙස හැඳින්විය හැකිය.

මෙයට පෙර ද අප විසින් අවධාරණය කරන ලද පරිදි මෙම ජනාධිපතිවරණය දක්වා ඇදී ආ ක්‍රියාදාමයේ ප්‍රමුඛ මාතෘකාවක් බවට පත් වූයේ ජනාධිපති රනිල් හා ඔහුගේ දෙවසරක පාලනයට හැම අනුග්‍රහයක්ම ලබාදුන් පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂය අතර උද්ගත වූ විරසකයයි. මේ සිදුවීම් පෙළ දේශපාලනිකව කියවා බැලීම අතිශය වැදගත්ය. පොහොට්ටුවේ බහුතරයක් රාජපක්ෂ කඳවුර අත්හැර රනිල් වෙත නැඹුරු වූයේ ඇයි? රාජපක්ෂ කඳවුරේ මෙන්ම පොහොට්ටුවේ නිල අධිපති මහින්ද තම පක්ෂයේ අනුග්‍රහය ජනාධිපති රනිල්ට නොදීම සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි කිරීමක් හෝ කර නැත. 2022දී ගෝඨාභය පාලනයට එරෙහිව නැගුණු ජනතා විරෝධය විසින් රාජපක්ෂ කඳවුර භීතියට පත් වූ ආකාරය දැන් පැරණි කතාවකි. එහෙත් ඒ විරෝධය ගැඹුරු දේශපාලනික කියවීමට ලක් නොවූ අතර ඉතා පසුගාමීව තිබුණු ප්‍රභූ දේශපාලනය යළි ඔසවා තැබීමට රනිල් විධායක බලය යොදා ගැනීම ද එක්තරා සරදමකි. පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල්ට අනුව රනිල්ට ණයත් බියත් දෙකම නැති බව ද කියැවිණි. එහෙත් එය නව දේශපාලන ගමනකට රට යොමුකිරීමක් නොවීම අපට තිබෙන පසුතැවීමය. ඇත්ත වශයෙන්ම ප්‍රභූතන්ත්‍ර දේශපාලන විකෘතිය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් මත පදනම් වූ අභිනව දේශපාලනයට මුල පිරුණු ඇතැයි ජනතාව තුළ තිබුණු අපේක්ෂාව සුනුවිසුණු වී ගොස් තිබේ. ඇතැම් මැතිවරණ සමීක්ෂණයකින් පෙන්වා දී ඇත්තේ බහුතර ජනතාවක් මෙතෙක් තමන් ඡන්දය දෙන අපේක්ෂකයා කවුරුන් දැයි තීරණය කර හෝ නොමැති බවය. එහෙත් දේශපාලන පිනුම් අප්පුලාට අනුව නම් ඔවුන් පෙනී සිටින අපේක්ෂකයා දිනුම් කණුවටත් උඩින් ගුවන්ගතව සිටින්නෙකි. ජනතා අප්‍රසාදයේ සැඩ සුළඟට හසු වී සමස්ත දේශපාලනයෙන්ම ඈතට විසි වී ගොස් සිටි ඇතැම් අය ද යළිත් ප්‍රධාන අපේක්ෂකයන් වෙත සමීප වෙමින් සිටිති. එහෙත් ඒ බොහෝ දෙනෙකුට තිබෙන ජන පදනම කුමක් දැයි දන්නේ දෙවියන් පමණි. බොහෝවිට මුද්‍රිත හා විiුත් මාධ්‍යවල ද ඒ පිළිබඳ දැක්වෙන පුවත් ද මාධ්‍ය සංදර්ශන පමණකැයි අපට සිතේ. එසේම මෙරටේ සකල විධ සමාජ දේශපාලන හා සංස්කෘතික විනාශයන්ට අඩු වැඩි වශයෙන් වගකිව යුතු පමණක් නොව අන්ත දූෂණ වංචා, අක්‍රමිකතා සම්බන්ධයෙන් ද චෝදනාවලට ලක්ව සිටින අයත් අද දේශපාලන වේදිකාවල සිටිති. රට ගැන හෙට ගැන විවිධ විග්‍රහ, විශ්ලේෂණ සිදුකරන මේ බොහෝ දෙනෙකු ගැන ජනතාවට ද හොඳ අවබෝධයක් ඇත.

කෙසේ හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව දෙලොවක් අතර සිටි රනිල් දැන් පොහොට්ටුවේ බහුතරයේ ද සහාය ඇතිව ඒ සඳහා ක්‍රියාකාරීව සිටින අයුරු දැකගත හැකිය. රනිල් ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කරන අතර ඔහුගේ පක්ෂයේ අලියා ලකුණ ද තෝරාගෙන නැත. එසේම ඔහුට පොහොට්ටුව ලකුණ ද අහිමි කරනු ලැබ තිබේ. එයට ප්‍රධාන හේතුව පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් නම් කිරීමේ තීරණයයි. ඉහත දැක්වූ පරිදිම රනිල් හා රාජපක්ෂ දෙදෙනා යළිත් දේශපාලන පසමිතුරෝ බවට ද පත්ව සිටිති. පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ තෝරා ගැනීමේ කතාව තුළ ද නාටකීය සිදුවීම් පෙළක් දැකගත හැකිය. ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා පොහොට්ටුවේ අපේක්ෂකයා බවට කරන ලද ඇඟවීම් හුදු ජනතාව නොමග යැවීමක් දැයි අපි නොදනිමු. ඒ පිළිබඳව තිබෙන පුවත වන්නේ ධම්මික විසින් එම අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කරන ලද බවය. එසේ වුව ද ධම්මික අවස්ථා කීපයකදීම පවසා තිබුණේ තමන් ඒ සඳහා සූදානමින් සිටින බවය.

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක යන පදවිය නාමල්ට තිබුණත් ඔහු දේශපාලන වශයෙන් පරිණත නොවූ තවමත් වසර හතළිහක්වත් සපුරා නොමැති අයෙකි. දේශපාලන උරුමය පවුල් බලය විසින් ඒ සඳහා ඔහුට දොර විවෘත වුවත් ඇත්තටම ඔහු තවම පොහොට්ටුවකි. මේ සම්බන්ධයෙන් එන සියලු විවේචනවල හරය වන්නේ ද එයයි. අනෙක් අතට නාමල්ට ඒ අවස්ථාව ලබාදීම රාජපක්ෂ පවුල් වාදයේ කූටප්‍රාප්තිය ලෙස ද සමහරු දක්වති.

පොදුජන පෙරමුණ යනු රාජපක්ෂ පවුල සතු වත්කමකි. එය ඉදිරියට ගෙනයෑමේ වත්මන් හිමිකාරීත්වය ඔහුට පැවරීම ද පුදුමයක් නොවේ. එහිදී සිදු වූයේ ධම්මිකව පෙන්නා පසුව ඔහුගේ අකමැත්ත හෝ පසුබැසීම නිසා නාමල්ට ඒ අවස්ථාව ලබාදීමක්ද? නාමල් සමග සිටින තරුණ රාජ්‍ය ඇමතිවරයෙකුට අනුව නම් මේ කර තිබෙන්නේ තරුණයකුට අවස්ථාව ලබාදීමකි. එහෙත් පොහොට්ටුවේ වෙනත් තරුණයෝ නොසිටියෝද? සිටියත් එබඳු අවස්ථාවක් හිමිවේද?

පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නාමල් තෝරාගනු ලබන්නේ ද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල්ට සහාය දැක්වීමට එකඟ වී සිටින පසුබිමකය. කැබිනට් හා රාජ්‍ය ඇමති ධූර දරන වැඩි දෙනෙක් මෙන්ම ප්‍රාදේශීය නායකයන්ගේ සෑහෙන ප්‍රතිශතයක් ද රනිල්ගේ ජයග්‍රහණය උදෙසා කැපවී සිටින බව ද මහින්දලා දනිති. එපමණක් නොව වර්තමාන දේශපාලන සන්දර්භය තුළ තමන්ගේ පිලට හෝ රනිල් වටා සිටින පාර්ශ්වයට හෝ ජනප්‍රසාදයක් නැති බව ද මහින්ද දනී. ඇතැම් විටෙක රනිල්ට තම පක්ෂයේ සහාය ලබාදීමට පොහොට්ටුව තීන්දු කළේ නම් එහි කුමක් හෝ පදනමක් ද ඇත. රනිල් විධායක පුටුවට පත් කිරීම රාජපක්ෂවරුන්ගේ අභිමතය අනුව සිදු වූ අතර එයින් ඔවුන්ගේ ආරක්ෂාව ද තහවුරු වූ බව ඔව්හු දනිති. අද රනිල් පාර්ශ්වය මතුරන පෝලිම් යුගය අහෝසි කරමින් රට ස්ථාවර කළ වීරයාගේ කතාව හැර වෙනත් දේශපාලන විවරණයක් කිරීමට රනිල් පාර්ශ්වයට පවා නොහැකි වී තිබේ. එසේම පෝලිම් යුගය අවසන් වනවිට ඉන්ධන, ගෑස්, විදුලිය තුන් ගුණයකින් ඉහළ දැමූ ආණ්ඩුව ඊට අමතරව බදු පීඩනයේ බර ද ජනතාවට ලබා දී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායත් ලංකාවේ ණය ගෙවීමේ කාලය දීර්ඝ කර ගැනීම හැර අපනයන ආර්ථික වර්ධනයක් සිදුනොවූ බවට ආර්ථික විද්‍යා ක්ෂේත්‍රවල ඇතැම්හු පවසති. කුමක් වුවත් දේශපාලන බලය පිළිබඳ මහජන මතය අපේක්ෂා කෙරෙන මැතිවරණ සමයක සත්‍යය වෙසින් ඉගිලෙන අසත්‍ය මෙන්ම දේශපාලන ඕපාදූප ද බොහෝය. ඇත්තටම මේ ආණ්ඩුව රටේ ජන ජීවිත සුවපත් කිරීමට සාධනීය ප්‍රයත්න දරා තිබේ නම් ඒවාට කෘතවේදීවීමට ජනතාව ද දනිති. එහෙත් දේශපාලන සෙප්පඩ විජ්ජාවලින් ජනතාව මුලාකිරීම අද තරමක් අසීරුය. ආණ්ඩුවලටත් ඒවායේ මැති ඇමතිවරුන්ටත් සුඛිත මුදිත ජීවිත තිබෙන බව කවුරුත් දනිති. එහෙත් ජනතාවගෙන් බහුතරයක් තවමත් දුගී බවෙහිත් සමාජ අසාධාරණයෙහිත් වින්දිතයන් බවට පත්ව සිටිති.

නාමල්ගේ පොහොට්ටුව සහ රනිල්ගේ බෝට්ටුව!

රාජපක්ෂ-රනිල් සුසංයෝගය තුළින් අළුත් දේශපාලනයකට මුල හෝ පිරෙනු ඇතැයි විශ්වාස කළ අය ද වූහ. ජනතාවගේ කලකිරිම, බලකාමී මජර දේශපාලකයන්ට එල්ලවීම තුළින්වත් මේ පාලකයන් පාඩම් ඉගෙන නොගත් බවට අමුතු සාක්ෂි වුවමනා නැත. මේ ජනාධිපතිවරණ සටන ඒ පාලකයන්ගේ භීතියට හේතු වන්නේ ද එනිසාය. පොහොට්ටුව දෙකඩ වීමේ දේශපාලනය කුමක් දැයි වටහාගත හැකි ජනතාවක් ද මෙරටේ සිටිති. ධම්මික වෙනුවට නාමල් යෝජනා වීමේ සැබෑ හේතු ද සමහරු දනිති. කුමක් වුවත් නාමල් නෙළීමට රිසි අය පොහොට්ටුවටත් ආර්ථිකය රකින බව පවසන අය රනිල්ගේ බෝට්ටුවටත් එක්වීම මේ දේශපාලනයේ ස්වභාවයයි.

මේ අතර රනිල්ගේ පාර්ශ්වයට එක්වීමේ ප්‍රවෘත්තිවලින් වැසීගිය සමාජ මාධ්‍ය අවධානය දිනා ගැනීමට ඉකුත් 08දා සජබය විසින් සංවිධානය කරන ලද සමගි ජන සන්ධානයේ ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවයට හැකි විය. සජිත් සමග එක්වූ නිදහස ජනතා සභාවේ ඩලස් ප්‍රමුඛ කණ්ඩායමත් ශ්‍රීලනිප දයාසිරිගේ අනුගාමිකයනුත්, දෙමළ හා මුස්ලිම් නායකයන් වන රවුෆ් හකීම්, මනෝ- දිගම්බරම්, රාධක්‍රිෂ්ණන් ආදීන්ගේ දායකත්වයත් සජිත්ගේ පිලට නව බලයක් එක් කරන්නක් විය. එහිදී රාජපක්ෂවරුන්ගේ දේශපාලනයට මෙන්ම රනිල්ගේ කැබිනට් මණ්ඩලයට ද දැඩි විවේචන එල්ල වීම ද විශේෂත්වයකි. රාජපක්ෂවරුන්ගේ අහංකාරය, අධිමාන්නය, බලතෘෂ්ණාව ඩලස්ගේ විවේචනයට නිමිති වෙද්දී රවුෆ් හකීම් ආන්දෝලනාත්මක වීසා ගනුදෙනුව පිළිබඳව කැබිනට් මණ්ඩලයම දෝෂ දර්ශනයට ලක් කළේය.

කුමක් වුවත් මේ ගර්හිත දේශපාලනයට වෙනත් විකල්පයක් තිබේද? 2022දී එයට එරෙහි වූ බහුතරයකට ජනාධිපතිවරණයේදී කළ හැකි තෝරා ගැනීම කුමක්ද? දෙවසරක් එක්ව රට පාලනය කළ රාජපක්ෂ- රනිල් සම්මුතිය අවසන්ව ඔවුහු ද අද දේශපාලන පසමිතුරන්ව සිටිති. එහෙත් ඔවුන්ට වුවමනා තමන්ගෙන් ගිලිහී ගිය බලය යළි තමන්ට අත්කර ගැනීම බව නිසැකය. ජනාධිපති රනිල් පසුගිය දිනක ප්‍රකාශ කළේ ජනතාව ඡන්දය දෙන්නේ තමන් ජනාධිපති කරවීම සඳහා බවය. එසේම දූෂිතයන් ලෙසට විවිධ චෝදනා තිබෙන අය එළඹෙන මහ මැතිවරණයේදී ජනතාවට ඔවුන් පිළිබඳ තීන්දුවක් ගත හැකි බවත්ය. එසේම එබඳු චෝදනා අධිකරණයකින් විභාග කළ යුතු බව ද ඔහු පැවසීය. ජනාධිපතිගේ පිළිතුර ඉතා නිවැරදිය. එහෙත් අපටත් ජනතාවටත් තිබෙන එකම ප්‍රශ්නය මෙතෙක් හොරුන් කිසිවකුට දඬුවමක් නොලැබීමය. එය හොරුන්ගෙත් හොරු සිටින මේ ගර්හිත දේශපාලනයේ ස්වභාවය යැයි නායකයන්ට නිහඬ විය හැකිද? අදත් දේශපාලන සංවාදවල හා වේදිකාවල ඇසෙන සීනි බදු හොරුන්, බැංකු හොරුන්, සුරා බදු නොගෙවූ හොරුන් මෙන්ම බැංකුවලට පොලු තැබූ දේශපාලන ගජ මිතුරන් ගැන ද ගත් පියවරක් නැත. මේ දිනවල පාර්ලිමේන්තුවේදීත් මතු වූ වීසා හොර මගඩිය ගැනවත් පියවරක් ගැනීමට මේ ආණ්ඩුවට නොහැකි වී තිබීම ද පුදුම සහගතය.

අවසන් වශයෙන් එළඹෙන ජනාධිපතිවරණයෙන් පසුව හෝ මෙරටේ සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට උචිත අලුත් වෙනසක් අපේක්ෂා කරන ජනතාවක් ද සිටින බව සිහිපත් කළ යුතුය. එය 2022දී ඉල්ලා සිටි ‘සිස්ටම් චේන්ජ්’ හෙවත් ක්‍රමයේ වෙනසකි. එහෙත් එබඳු අපේක්ෂාවක් යථාර්ථයක් බවට පත්කර ගැනීමට උචිත දේශපාලන සන්දර්භයක් ගොඩනැඟී තිබේද? එළඹෙන ජනාධිපතිවරණයේදීත් ඒ සටන් භූමිය තුළ තිබෙන ප්‍රධානම ලක්ෂණය විය හැක්කේ පැරණි වැඩවසම් ප්‍රභූ තන්ත්‍ර දේශපාලනය සුරැකීමට ගනු ලබන ප්‍රයත්නයයි. මෙරටේ ලක්ෂ 220කට නොඅඩු ජනතාවකගේ ඉරණම වෙනස් කිරීම වෙනුවට ඒ පක්ෂවල හා පන්තිවල පැවැත්ම තහවුරු වුවහොත් රට යළිත් තිබුණු තැනටත් වඩා පහළ අගාධයකට යොමුවීමේ අනතුරක් ද ඇත. සම්ප්‍රදායික නායකයන් කෙරෙහි එල්ල වී තිබනෙ මහජන අප්‍රසාදය අවිශ්වාසය කෙබඳු වුව ද ඔවුන්ගේ නිල බල ආධිපත්‍යයට ඒ ජනහඬ යටපත් කළ හැකිය. සිංහල සමාජයේ පමණක් නොව දෙමළ හා මුස්ලිම් සමාජවල ද අපේක්ෂාව අලුත් වෙනසකි.

මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයන්ගේ පසුබිම කුමක්ද? එහි ප්‍රභූ තන්ත්‍ර දේශපාලනයේ සෙවණ නැතැයි ඉඳුරා කිව හැකිද? හිටපු ජනාධිපතිවරයකුගේ නෑයෙක් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ පුතුන් දෙදෙනෙකු ද එහි සිටිති. ස්වාධීනව තරග කරන රනිල් කොම්ප්‍රදෝරු එජාපයේ වත්මන් නියෝජනය මෙන්ම වැඩවසම් දේශපාලන ක්‍රමයේම නියමුවන් හා සහසබඳතා ඇති අයෙකි. ඔහු ජේ.ආර්. ජයවර්ධනගේ බෑනා කෙනෙක් ද වේ. නාමල් රාජපක්ෂ යනු මහින්ද නියෝජනය කරන රාජපක්ෂ රෙජීමයේ නූතන රූපයයි. සජිත් ප්‍රේමදාස ද හිටපු ජනාධිපති ප්‍රේමදාසගේ පුත්‍රයෙකි. මේ අයට වඩා වෙනස් පසුබිමක් අනුර කුමාර දිසානායකට තිබේ. ඔහු ඈත තඹුත්තේගම වැනි ග්‍රාමීය පරිසරයක පොදු ජනතාව අතර වැඩුණු අයෙකි. මෙරටේ නිදහස් අධ්‍යාපනය ලබා විශ්වවිද්‍යාල උපාධියක් ද ලද්දෙකි. නුවන් බෝපගේ ද එබඳු පසුබිමකින් පැමිණි තරුණ අරගල සමග පවතින දේශපාලනයට අභියෝග කරන්නෙකි. මේ ගනයට වැටෙන කීපදෙනෙක්ම සිටියත් දැනට ජනාධිපතිවරණ සටනේ වැඩි අවධානයක් යොමුව තිබෙන්නේ රනිල්, සජිත් හා අනුර කුමාරටය. නාමල්ට එහිලා කළ හැකි බලපෑම කුමක් දැයි දැන්ම කිව නොහැක.

advertistmentadvertistment
advertistmentadvertistment