නාමල් උයනේ සිසිලස මෙන්ම ආශිර්වාදයත් ‘සොබාසර’ තුළින් ප්‍රකට කෙරෙනවා

94

‘සොබාසර’ සංස්කාරක ජගත් කණහැරආරච්චි ‘දිවයින’ පවුලේ සාමාජිකයකු වන්නට ප්‍රථම ‘ජාතික නාමල් උයනේ’ සාමාජිකයෙකි. ජාතික නාමල් උයන ආරම්භ කර වසරක් යන්නටද මත්තෙන් ජගත් නාමල් උයනට එක්වන අතර, මාගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිපලයක් ලෙස ගොඩනැඟුණු නාමල් උයනේ ආරම්භක කටයුතු සඳහා දායකත්වය ලබාදුන් කණ්ඩායමේ කැපී පෙණෙන වැඩකොටසක් ඔහු අතින් සිදු විණි. කොටින්ම සදිසාවෙන්ම නාමල් උයනට ප්‍රවේශවන මාර්ගවල නාමල් උයනේ නාමපුවරු ලියැවුණේ ඔහු අතිනි. ඒ ඔහු කවුරුත් නොදන්නා නමුත් පුවරු ඇඳීමේ ශිල්පියකු ද වූ නිසාය. කෙසේ වෙතත්, දුම්බර වනාන්තරයේ ගවේෂණ කටයුතුවල එකල නිරතව සිටි සොබාසර සංස්කාරකවරයා නාමල් උයනේ නැවතී ගත කළ කාලය තුළ එම පරිසරය, තුරු වදුල, දිය උල්පත්, අලි – ඇතුන් ඇසුරෙන් ලබාගත් උගෙනීම, ආභාෂය සහ විඳීම ‘සොබාසර’ වැනි නිර්මාණ කාර්යයකට පදනම වන්නට ඇතැයි මම කල්පනා කරමි.

‘දිවයින’ පවුලට එකතු වූ පසුවද වසරක් පාසා එළැඹෙන ‘ජාතික නාමල් උයන’ සාංවත්සරික ‘දිවයින’ මෙන්ම ‘සොබාසර’ ද අමතක කළේ නැත. 2004 වසරේදී ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතින් පරිසරය වෙනුවෙන් සිදුකළ මෙහෙය වෙනුවෙන් මා ‘ජනාධිපති පරිසර සම්මානය’ ලබාගත් මොහොතේ සොබාසර සංස්කාරකවරයාද ‘ජනාධිපති පරිසර සම්මානය’ දිනාගැනීම බොහෝ දෙනා නොදන්නා කතාවකි. ඒ සියලු ඇගයීම් ලැබුණේ ‘සෞන්දර්යයට වඩා වැඩි යමක්’ තේමාවෙන් ‘සොබාසර’ පරිසර සංරක්ෂණය කරමින් ඒවා තිරසර භාවිතයට ගන්නා හැටි කියාදීම නිසා සහ අනාගත පරපුරට දේශයේ පාරිසරික උරුමය රැකදෙන්නට ගන්නා ලද අනුපමේය උත්සාහය නිසාය. එබැවින් 20 වැනි විය සපුරන ‘සොබාසර’ට මෙන්ම ‘දිවයින’ ටද මම දීර්ඝායුෂ පතමි.

වනවාසී රාහුල හිමි
ජාතික නාමල් උයන නිර්මාතෘ

නාමල් උයනේ සිසිලස මෙන්ම ආශිර්වාදයත් ‘සොබාසර’ තුළින් ප්‍රකට කෙරෙනවා


advertistmentadvertistment