නාමික ව්‍යවස්ථා සංශෝධන උප්පරවැට්ටි සහ ශ්‍රී ලංකාවේ චිත්‍රය තව තවත් විරූපි කරන පාලකයෝ!

191

ආණ්ඩුව නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකළත් මේ වනවිට රට පවතින්නේ වසා දැමුනු නැතහොත් “ලොක් ඩවුන්” තත්ත්වයකට ආසන්නවය. මේ සතියේත් පාසල්වලට නිවාඩු ලබාදී තිබෙන අතර අනෙක් රාජ්‍ය ආයතන බොහොමයක්ම නිසි පරිදි සේවාවන් පවත්වාගෙන යන්නේද නැත. ඒ තරමටම ඉන්ධන අර්බුදය උත්සන්න වී තිබේ. රෝහල් ප්‍රමුඛ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රවල කාර්ය මණ්ඩල සේවයට වාර්තා නොකරන අතර පොදු ප්‍රවාහන සේවා පද්ධතියම දුර්වලවී තිබේ. ඇතැම් රෝහල්වල කාර්ය මණ්ඩල විරෝධතා දක්වමින්ද සිටිති. ආණ්ඩුවත් ආණ්ඩුවේ ඇමැති මණ්ඩලයත් ඉන්ධන අර්බුදයේ පත්ලට වැටුණු රටෙහි අඳුරෙහි අතපාත

ගාමින් සිටිතියි විපක්‍ෂ චෝදනා කරති. මේ රට අසාර්ථක, අස්ථාවර, මෙන්ම යම් ප්‍රමාණයකට හෝ අසරණ අනාථ ස්වරූපයකට පත්ව තිබේ යැයි පැවසීමද වැරදි නැත. පාලකයන්ට කෙසේ වුවත් රටේ බහුතර පිරිසක් කල්පනා කරන්නේද මේ රටට කුමක් සිදුවිය හැකිද? තම දූ දරුවන්ගේ ඉරණම කුමක් වේද යනාදිය පිළිබඳවය. බොහෝ දෙනෙක් අපේක්‍ෂා භංගත්වයටද පත්ව සිටිති. ඔව්හු පේන මානයක සහන් එළියක් නොදකිති. ජනතාවගෙන් බහුතරයක් ඉල්ලා සිටින්නේ මේ සමාජ ආර්ථික දේශපාලන අර්බුදය විසඳාගත හැකි පොදු ජාතික න්‍යාය පත්‍රයකට රට යොමු විය යුතු බවය. මේ රටේ ජනතාව පමණක් නොව විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ටද මේ ආණ්ඩුවේ ක්‍රියාදාමය පිළිබඳ විශ්වාසයක් නැත.

නාමික ව්‍යවස්ථා සංශෝධන උප්පරවැට්ටි සහ ශ්‍රී ලංකාවේ චිත්‍රය තව තවත් විරූපි කරන පාලකයෝ!

අද රට මුහුණ දී සිටින දේශපාලන, සමාජ, ආර්ථික අර්බුදයේ වගකීම මේ ආණ්ඩුව ගත යුතු බවට විවාදයක් නැත. එහෙත් රටේ අභිලාෂයට පටහැනිව තවමත් අයාලේ යන දේශපාලන ක්‍රියාන්විතයක ජනාධිපති ගෝඨාභය හිරවී සිටියි. ඔහුට ඔහුගේ ඇමති මණ්ඩලයෙන්ද කිසිදු සාධනීය සේවයක් ලබාගත නොහැක. පාර්ලිමේන්තුවට හා ඇමැතිකම් වලට පමණක් ජ්‍යෙෂ්ඨ යැයි කිව හැකි බහුතරයක් සිටින ඇමැති මණ්ඩලය පිළිබඳ ජනතාව තුළ ඇත්තේද දැඩි අප්‍රසාදයකි. තවමත් ඇතැම් අය

රැකවලුන් හා වාහන පිරිවරා ගෙන සැරිසරති. ජනතාවට ඉන්ධන සීමා වුවත් ඔවුන්ට ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබාදුන් බව මාධ්‍යවල වාර්තා වී තිබිණි. ජනතාවට අරපිරිමැස්ම ගැන කතා කරන පාලකයන්ගේ හැසිරීම් පිළිවෙත් දශමයකින්වත් වෙනස් නොවන බව ජනතාව චෝදනා කරති. රටට වුවමනා විදේශ විනිමය නොලැබෙන්නේද පාලකයන් කෙරෙහි වූ විශ්වාසය බිඳීයාම නිසා යැයිද කියති. දූෂණ, වංචාවලට යොමු වූ දේශපාලනඥයන්ගේ වැදි බණ ඇසීමට කිසිවෙක් සූදානම් නොවෙති. එහෙත් තවමත් සිදුවන්නේ ඒ මජර අශුද්ධ දේශපාලන සංස්කෘතියම නඩත්තු කිරීමය. ජනමාධ්‍යවල පළ කෙරෙන වාර්තා සත්‍ය නම් තවමත් හිටපු ඇතැම් ඇමැතිවරු ඇමැති වරප්‍රසාද විඳිති. තවත් සමහරු එම ධුරයට වෙන්වූ ප්‍රතිලාභ භුක්ති විඳිමින් සිටිති. ආණ්ඩුව සිය වගකීම් යුතුකම් පැහැර හරිමින් සිටින බවට ජනතාව පමණක් නොව ආගමික නායකයන්, වෘත්තිකයන්, බුද්ධිමතුන් ප්‍රමුඛ විවිධ අය චෝදනා කරති. සැබැවින්ම මේ සියල්ලටම මූලික හේතුව මේ පාලකයන්ට ප්‍රබුද්ධ මනසක් සංවේදීතාවක් නොමැති වීමය.

අප විසින් බදාදා ලියැවිල්ලෙන් මෙයට පෙර අවධාරණය කළෙත් අද රට මුහුණ දී සිටින අර්බුද මාලාව දේශපාලනය හා බැඳුණ සාමූහික හා සංකීර්ණ එකක් බවය. ඉන්ධන අර්බුදය ආර්ථික හා දේශපාලන කළමනාකරණය යථා පරිදි පවත්වා ගැනීමට අසමත්වීමේ එක් ඵලයකි. එහෙත් එය මේ සමස්ත අර්බුදවල කේන්ද්‍රය හෙවත් න්‍යෂ්ටිය බවට පත්ව තිබේ. දේශපාලන ඩීල් හා අශුද්ධ ගනුදෙනු මෙම ඉන්ධන සැපයීමේ ක්‍රියාදාමය සමග බැඳී තිබෙන බවට තිබෙන චෝදනා, විවේචන සුළුපටු නොවේ. ඇත්ත වශයෙන්ම තරුණ ඇමැතිවරයාට මෙබඳු සංකීර්ණ අර්බුදයකට මුහුණ දිය හැකිද? ඔහු ඒ සම්බන්ධයෙන් කළ හා කරන ප්‍රකාශ එම අර්බුදයෙන් මිදෙන මඟක් හෙළි නොකරයි. එසේම ඔහුගේ කටාර් සංචාරයෙහි ප්‍රතිඵල මොනවාද? එය සැලසුම් සහගත රටට ක්‍ෂණික සහන සලසාදුන් සංචාරයක් බවට කිසිදු වාර්තාවක් මෙතෙක් පළ වී නැත. හිටපු ඇමැතිවරයකු වු පාඨලී චම්පික ඉන්ධන ජාවාරම පසුපස දේශපාලන හස්තයක් ගැන මාධ්‍යවලටද පවසා තිබුණි. ඔහුගේ චෝදනාවල කිසියම් සත්‍යයක් තිබේද යන කුකුස සාමාන්‍ය ජනතාව තුළද වැඩෙයි. අද වනවිට ඛනිජ තෙල් සංස්ථාවේ අධිකාරී බලය ඔවුන්ගෙන් ගිලිහී යමින් පවතීද? සිපෙට්කො පිරවුම්හල් සියල්ලම වැසීමට සිදුව තිබෙන අතර ඉන්දියානු සමාගම් සතු පිරවුම්හල් ඒ බෙදා හැරීමේ කාර්යද සිදු කරයි. මේ සම්බන්ධ වෘත්තීය සමිති විසින් කරනු ලබන අනාවරණ අසත්‍යයද නොවැදගත්ද? යන්න දන්නෙත් ආණ්ඩුව පමණි.

මේ සියල්ල වර්තමාන පාලනයේ අකාර්යක්‍ෂමතාව, දුර්වලතාව මෙන්ම අධිපතිවාදී මානසිකත්වයේ දුෂ්ට විපාක බව දැන් රටම දන්නා රහසකි. මේ ආණ්ඩුව පිළිබඳ ‘වෙරිටේ රිසර්ච්’ ජනමත විමසුම දැක්වූ වාර්තාව බරපතළය. ඒ සමීක්‍ෂණයට අනුව රජයේ ක්‍රියාකාරකම් ගැන 3%කට වඩා ජනතා අනුමැතියක් නැත. 2% කට වඩා ඒවා ගැන පහන් සිතින් නොබලන බවද දැක්විණි. සැබැවින්ම මාස හතරකට නොඅඩු කාලයක් රට බින්දුවට බැස්ස වූ ඉන්ධන අර්බුදය ගැනවත් පාලකයන්ට වගේ වගක් නැතැයි ආණ්ඩුවේම අයත් පවසති. දොස් නගති. පොහොට්ටුව සමග සිටින අයට අමතරව ඉන් ස්වාධීනව වෙනම සිටින අයද පවසන්නේ මේ ආණ්ඩුව අසමත් බවය. රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට විධිමත් දේශපාලන හෝ ආර්ථික දැක්මක් මේ පාලනයට නොමැති බවද ඒ බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ.

පසුගියදා ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතු විශේෂ ලිපියක් ජනාධිපතිවරයාට එවමින් උන්වහන්සේලා විසින්ද අවධාරණය කරන ලද්දේ රටේ පවත්නා තත්ත්වය හා ජනතාවගේ පීඩාවන් දුරලීම සඳහා කිසිදු සාධනීය පියවරක් ගැනීමට මෙම ආණ්ඩුව අසමත් වී සිටින බවය. තවමත් මෙරටේ ක්‍රියාත්මක වන්නේ සුපුරුදු පක්‍ෂ දේශපාලන න්‍යාය පත්‍ර බවත් ඒ සම්බන්ධයෙන් තමන් වහන්සේලාගේ අප්‍රසාදය පළ කෙරෙන බවත් ඒ ලිපියෙහි සඳහන් වී තිබිණි. මෙහිදී උන්වහන්සේලා සෘජුව දක්වා ඇත්තේ රාජ්‍ය නායකයා වශයෙන් කිසිදු නම්‍යශීලී බවක් නොමැතිව ක්‍රියාකිරීම නිසා ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත්ව අවසන් බවය. විධායකය හා ව්‍යවස්ථාදායකය එක්ව මේ අර්බුදය ඇති කළ බවද උන්වහන්සේලාගේ චෝදනාවකි. වංචා, දූෂණ වළක්වා නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමට නොහැකිවීම රට අරාජික වීමට හේතු වූ බවද උන්වහන්සේලා සඳහන් කරති.

මහනාහිමිවරුන් ජනධිපතිවරයාට යෝජනා කරන්නේ මහජනයාට කඩිනම් සහන සැලසීමට හැකිවන ආකාරයේ කෙටි කාලීන පොදු වැඩපිළිවෙළක් සකස්කරගත් දේශපාලන න්‍යාය පත්‍රයක් බල ගැන්විය හැකි සර්වපාක්‍ෂික රජයක් පිහිටුවා ගත යුතු බවය. එම සර්වපාක්‍ෂික ආණ්ඩුව මාස 06 කට සීමාකර රටට යම් සහනයක් සැලසිය හැකි වුවහොත් එය තවත් මාස 12 කට හෝ 18 කට සීමාකර අවසාන විසඳුම ලෙස මහ මැතිවරණයකට යා යුතු බවද උන්වහන්සේලා යෝජනා කරති. ඒ සර්වපාක්‍ෂික ආණ්ඩුවේ ප්‍රධානියා සියලු පක්‍ෂ නායකයන්ගේ එකඟතාවකින් පත්කර ගතයුතු බවත් එය දුෂ්කර නම් ජගත් කීර්තියට පත් පුද්ගලයෙකු ජාතික ලැයිස්තුවෙන් පත්කර හෝ මෙම අවස්ථාවේ ක්‍රියාකරීම සුදුසු බවද උන්වහන්සේලාගේ අනුශාසනාව වී ඇත. ඒ ආණ්ඩුවට ඇමැතිවරු 15ක් ප්‍රමාණවත් වන බවත් දූෂණ චෝදනාවලට වැරදිකරුවන් වූ කිසිවෙකුට ඇමැතිධුර ලබානොදීම හා මැති ඇමැති වරප්‍රසාද අහෝසි කිරීමද මහනාහිමිවරුන්ගේ යෝජනා අතර සඳහන් වේ. මහනාහිමිවරුන් අද මෙරටේ සිදුවන මුග්ධ හා අවිධිමත් දේශපාලන මෙහෙයුම් දෙස ප්‍රබලව විමර්ශනය කර සකස්කරන ලද දස පනතක් බඳු එම යෝජනාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට වුවද ප්‍රබුද්ධ හා ගාම්භීර ප්‍රවේශයකට දොර හැරදෙන ප්‍රඥප්තියක් වැන්න.

බලයට පත්වන දේශපාලනඥයන් විසින් මෙතෙක් කරනු ලැබ ඇත්තේ ජනතාව පමණක් නොව මේ රටේ මහාසංඝරත්නයද රැවටීමක් බව නාහිමිවරුන් ඉතා නිවැරදිව වටහාගෙන ඇති බවද ඒ යෝජනාවලිය දෙස බලන ප්‍රබුද්ධ හා යහපත් පුරවැසියකුට නිසැකයෙන්ම තහවුරු වනු ඇත. මේ රටේ දේශපාලනඥයන්ගෙන් බහුතරයක්ම පටු අදහස්වලින් මෙන්ම මිසදිටු ඇදහීම්වලින්ද අන්ධ වූවෝ බව කලකට පෙර මහාචාර්ය ඩබ්ලිව්. ඇස්. කරුණාරත්න සූරීහුද ප්‍රකාශ කළහ. එසේම විවිධ ආකාරයෙන් විනාශ වී ගිය රටක්, සමාජ ආර්ථික හා දේශපාලන වශයෙන්ද ගොඩ නැංවීම සඳහා

මාර්ගෝපදේශ ලබාදීම සංඝරත්නයේ වගකීම බවද ඔහු සඳහන් කර තිබේ. එදා බුදුන් වහන්සේ ලෞකික ජීවිත සාර්ථක කරගන්නා ආකාරය බිම්බිසාර, කෝසල වැනි ප්‍රතාපවත් රජවරුන්ටද පෙන්වා දී තිබෙන පසුබිමක අද භික්‍ෂු සාමජය පාලකයන්ට මග පෙන්වීමට සුදුසුම උචිතම සිංහ පෞරුෂයක් සහිත උත්තම ආයතනය බවද මහාචාර්යවරයා අවධාරණය කර ඇත.

අපේ මහනාහිමිවරුන්ගේ මෙම ඉදිරිපත් වීම අප නමස්කාර පූර්ව අගය කරන්නේද මේ අසාරයෙන් රට ගොඩගැනීමේ ජාතික වගකීම අමතක කරන බල දේශපාලනය අත නොහරින පසුබිමකය. මේ රට තරම් දූෂණ, වංචා, හොර මැරකම් තිබෙන රටක් අපේ කලාපයේම නැත. අප අද බලා සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට සහාය දීමට පෙර අපෙන් ඉටු විය යුතු කරුණු තුනක් ගැනද සඳහන් කර තිබේ. ඒ අනුව මහ බැංකුවේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම, දූෂණ විරෝධී ක්‍රියාමාර්ග හා නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම අත්‍යවශ්‍ය බව ඇමරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව පවසා ඇත. අද ශ්‍රී ලංකාවේ සමස්ත චිත්‍රය කෙතරම් නිරූපීවී තිබේද යන්න එයින්ම තහවුරු වනු ඇත. ඒ විනාශයෙහි වගකීම 78න් පසු මේ රට පාලනය කළ නායකයන්ට පැවරෙන්නකි. එයින් පසු කැපී පෙනෙන පාලකයා වූයේ මහින්දය. ඔහු තිස් අවුරුදු යුද්ධය අවසන් කළ ජනප්‍රසාදය ලත් දේශපාලන චරිතයකි. ඔහු සමග ඒ කාර්ය මෙහෙයවූ ගෝඨාභයට ජනතාව කෘතවේදීත්වය පළ කළේ ඔහු දේශපාලන ඇද කුද නිවැරදි කරනු ඇතැයි යන පරම අභිලාෂයෙනි. එහෙත් ඔහුටද තමන්ට හිමි වූ ජනවරම හා පොහොට්ටුව ලද බලය මදිවිය. 20 වන සංශෝධනය ඔහුගෙ ඒ මනදොල සපුරාලීමට සම්මත වූවක් බවද කියති.

ගෝඨාභය ජනාධිපති ධුරයට පත්කළ ජනතාව ඔහු දෙස බලා සිටියේ අප්‍රමාණ බලාපොරොත්තු දල්වාගෙනය. එහෙත් ඔහුගේ දේශපාලන ක්‍රියාන්විතය කෙබඳු එකක් දැයි මේ වනවිට හෙළි දරව් වී තිබේ. අද රට මුහුණ දී සිටින කෘෂිකර්මාන්ත ක්‍ෂෙත්‍රය අර්බුදයට ලක්වීමේ විපත ඔහුගේ තනි තීරණයක් බව රටම දනී. රටේ ආර්ථික හා මූල්‍ය කළමනාකරණයේ අසාර්ථකත්වයටද ඔහු චූදිතයෙකි. ඔහු වෙනුවෙන් වේදිකා දෙදරවු ජනමතය පෙළ ගැස්වු පක්‍ෂවල නායකයෝ අද ඔහුගේ දේශපාලන පස මිතුරන් බවට පත්ව සිටිති. බොදු මහනාහිමවරුන්ට අමතරව කිතුනු ජනතාවගේ නායක මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු හිමියෝද ඔහු සමග සබඳතා දුරස් කරගෙන සිටින බව රහසක් නොවේ. දූෂණය, නාස්තිය හා සෝබන වැඩ ඔහුගේ පාලනයෙන් ගිලිහී නිදහසේ වැඩුණි. පාතාල අපරාධ රැල්ල සමාජයම තිගැස්සුමකට ලක් කර ඇත. ඔහු සවන් නොදෙන අධිපතිවාදී පාලකයකු බව මහනාහිමිවරුන්ගේද අදහස වී තිබේ. උන්වහන්සේලාගේ යෝජනාවලියෙහි වත්මන් අගමැති රනිල් ගැන වචන මාත්‍රයකින් හෝ සඳහන් නොවීමද සුවිශේෂය. එහි ඇඟවීම ඔහු සමග මේ අර්බුදවලට විසඳුමක් සොයාගත නෙහැකි බවය.

ලංකාව දැඩි ආර්ථික උද්ධමනයකට හසුවීමේ නියත ඵලය ලෙස පවුල් සංස්ථාවද අර්බුදයක හිරවී ඇත. රැකියා අහිමි සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන අතර සමස්ත රටම අස්ථාවරවී තිබේ. අඩු ආදායම් ලබන පවුල් ඉඳුරා අනාථ වී සිටිති. ඉන්ධන, ගෑස්, විදුලි හිඟය රටම බරපතළ අනතුරක හිරකර ඇත. බෙහෙත් හිඟවීම ප්‍රබල සමාජ අර්බුදයකට හේතු වේ. වෛද්‍යවරු දැනටමත් අනතුරු හඟවමින් සිටිති. පුද්ගල දායකත්වය අද අසාර්ථකය. සර්වපාක්‍ෂික පාලනයක් පිළිබඳ යෝජනාව අද යළි යළිත් ඉදිරිපත් වන්නේද මහමැතිවරණයකට මුහුණ දීමට තරම් ආර්ථිකයක්ද නැති නිසාමය.

අද ජාත්‍යන්තරය අපේක්‍ෂා කරන දේශපාලන ස්ථාවරත්වය මේ ආණ්ඩුවට නැත. ජනාධිපතිවරයාගේද සහායෙන් සිදුකිරීමට නියමව තිබෙන 22 වැනි සංශෝධනය පවා දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇත. එය ජනාධිපතිවරයාගේ බලය පාර්ලිමේන්තුවට දීමක් නොව ඔහුටත් රාජපක්‍ෂවරුන්ටත් ආවරණයක් වන පසුගාමී පියවරකැයි විවේචකයෝ දක්වති. ශ්‍රී. ල. නි. ප. හා ස. ජ. බ, ජ. වි. පෙ. සෘජුවම මෙම සංශෝධනයට එරෙහි වෙති. හිටපු ජනාධිපති මෛත්‍රීට අනුව මෙය එදා සම්මත කළ 19 වැනි සංශෝධනයට වඩා දුර්වල එකකි. මේ තිබෙන දැඩි පුද්ගලවාදී පාලනය වෙනස් කිරීම වෙනුවට එයට අණ්ඩ දැමීම කාගේ වුවමනාවක් උදෙසාද යන්න රහසකි. තනි පුද්ගල ආඥාව වෙනස් කිරීම අද සමාජයම ඉල්ලා සිටින්නකි. විජයදාස ඇමැතිවරයා ඒ සමාජ වුවමනාව හොඳින් දනී. රාජක්‍ෂ පවුලේ අවශ්‍යතා අනුව එය දියකර තිබේ නම් වරද කොතැනද? එම ප්‍රතිසංස්කරණය කිසියම් රාමුවක් තුළ ක්‍රියාත්මක විය යුතු බව වෙනම කතාවකි. එහෙත් සමස්ත ව්‍යවස්ථා සංශෝධනයකට යෑමට පෙර එමගින් සාධනීය විශ්වාසයක් ලබාදීම මෙහි තවත් පරමාර්ථයකි. එය දේශපාලන බලය පිළිබඳ සාධනීය සංඥාවක් වැන්න. එහෙත් මේ සංශෝධනය අස්බැන්දුමක්, තවත් දේශපාලන සෙප්පඩ විජ්ජාවක් විය යුතු නැත. දැනට වාර්තාවන අන්දමට මේ සංශෝධනය බලාත්මක වන්නේද මේ ජනාධිපතිගේ ධුර කාලයෙන් පසුවය. එයම ආණ්ඩුව තමන්ට එරෙහිව තිබෙන ජනතා විරෝධයට උඩින් පැනීමක් නොවේද? අධිකරණ ඇමැති කාගේ හෝ පීඩනයකට යටවී සිටීද? කුමක් වුවත් එබඳු දියාරු, නාමික, ව්‍යවස්ථා සංශෝධන උප්පරවැට්ටියකින් මෙරටේ තරුණ පරපුර මෙන්ම ජනතාවද රැවටිය නොහැක.

අද ප්‍රජාතන්ත්‍රවාදය වියැකී ගිය නීතියේ ආධිපත්‍ය බිඳ වැටුණු, සමානාත්මතාව හා මානව හිමිකම් නොතකන, සාධාරණය යුක්තිය නොහඳුනන, අරාජික රටක් ලෙස ලංකාවේ චිත්‍රයද විරූපවී තිබේ. පසුගිය දිනක තරු පටි පැළඳ ගත් හමුදාවේ උසස් නිලධාරියකු නිරායුධ තරුණයකුට එල්ල කළ නීච පා පහරක් රූපවාහිනී නාලිකා කීපයකම සජීවී ලෙස දැක්විණි. එබඳු සාහසික, මෘග ප්‍රහාර පෝලිම්වල පීඩනයට ලක්ව සිටින කවරකුට හෝ එල්ල කිරීම මොනතරම් අශිෂ්ටද? අශෝභනද? දැයි හෘද සාක්‍ෂියෙන්ම විමසන ලෙස පාලකයන්ගෙන්ද ඉල්ලා සිටිය යුතුය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment