නායකත්වයට මඟ පෙන්වන බාලදක්ෂ වැඩ මාසය…නන්ද ප‍්‍රනාන්දු සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ

69

තරුණ තරුණියන්ගේ මානසික ශාරීරික සහ අධ්‍යාත්මික සංවර්ධනය මෙන්ම නිර්මාණාත්මක පුද්ගල වර්ධනයට අතහිත දීමේ අරමුණින් ආරම්භ වූ බාලදක්ෂ ව්‍යාපාරය ලෝක ව්‍යාප්ත ස්වෙච්ඡා සංවිධානයකි. ලෝකයේ මෙන්ම ලංකාවේද තරුණ තරුණියන් මේ වන විට බාලදක්ෂ ව්‍යාපාරය සඳහා වැඩි උනන්දුවක් දක්වන බව ඒ පිළිබඳව සොයා බැලීමේදී අවබෝධ වේ. ශ‍්‍රී ලංකා රජයේ පනතකින් අනුමත මෙරට බාලදක්ෂ ව්‍යාපාරය වයස අවුරුදු හතේ සිට විසිහතර දක්වා වූ කාන්තා පිරිමි දෙපාර්ශවයේම සාමාජිකත්වයෙන් ගොඩනැඟී තිබේ.

ළමා කාලය, තරුණ කාලය නායකත්ව ගති වලින් පෝෂණය කර ගනිමින් ඵලදායි ලෙස ගත කරන්නේ කෙසේද යන්න සහ වැඩිහිටියන් ලෙස ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද යන්න බාලදක්ෂ ව්‍යාපාරය හරහා උගන්වනු ලබයි. කුඩා අවධියේ පටන් යහපත් පුරවැසියෙක් ලෙස ජීවිතය අරඹා අධ්‍යාපනය ලබා ගනිමින් රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරමින් ජාතික ආදායමට දායකත්වය දැක්වීමට පුහුණු කිරීම බාලදක්ෂ ව්‍යාපාරයේ මූලික අරමුණයි.

මේ වන විට ශ‍්‍රී ලංකාව තුළ බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකයින් සංඛ්‍යාව 75000 ඉක්මවා ඇති බවට සමීක්ෂණවලින් හෙළි වී තිබේ. මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී රැකියා සතිය ලෙසින් බාලදක්ෂයන්ගේ හැකියාවන් ප‍්‍රදර්ශනය කිරීම සඳහා සතියක් වෙන්කර තිබුණ ද, පසුව එය ‘‘ජාතික බාලදක්ෂ වැඩ මාසය ” ලෙස නම් කරන ලදී. මෙම වසරේද දෙසැම්බර් 07 සිට 31 දක්වා ජාතික බාලදක්ෂ වැඩ මාසය ක‍්‍රියාත්මක වේ. මෙවරද ජාතික බාලදක්ෂ වැඩ මාසය සඳහා මූල්‍යමය අනුග‍්‍රහය දක්වනු ලබන්නේ සම්පත් බැංකුවයි. ජාතික බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් ජාතික බාලදක්ෂ සේවා මාසය සඳහා අනුග‍්‍රහය දැක්වීම සම්බන්ධයෙන් හා ජාතික බාලදක්ෂ ව්‍යාපාරය සම්බන්ධයෙන් සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප‍්‍රනාන්දු මහතා ‘‘දිවයින”ට මෙලෙසින් අදහස් දැක්වීය.

‘‘වයස අවුරුදු හතේ දරුවන්ගේ පටන් වයස අවුරුදු විසි හතර දක්වා තරුණ තරුණියන්ට බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. ජීවිතය යහමඟට අරගෙන වගකීමක් ඇතුව නායකත්ව ගති ලක්ෂණ පෙන්නුම් කරමින් ජීවිතය සකස් කර ගන්නේ කොහොමද කියන එක මේ බාලදක්ෂ ව්‍යාපාරයෙන් උගන්වනවා. මේ බාලදක්ෂ පිරිස සිඟිති බාලදක්ෂ, බාලදක්ෂ, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ සහ මානවක බාලදක්ෂ කියලා කොටස් හතරකට වෙන් කරනවා. ඒ ඒ වයස්වලට ගැලපෙන පුහුණුව මුල් කාලයේදී බාලදක්ෂ කාමර තුළින් ලබා දෙනවා. ඊට පස්සේ ඒවා ප‍්‍රායෝගිකව අත්හදා බලන්න බාලදක්ෂයින්ට ඉඩ හදලා දෙනවා. ඇත්තටම කියනවා නම් මේ බාලදක්ෂ ව්‍යාපාරයට සීමාවක් නෑ” ලෙස සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා බාලදක්ෂ ව්‍යාපාරය සම්බන්ධයෙන් මූලික පැහැදිළි කිරීමක් කළේය.

මෙලෙස බාලදක්ෂයින් ඉගෙන ගත් කරුණු ප‍්‍රායෝගිකත්වයට හරවා යම්කිසි පුද්ගලයකුට හෝ ආයතනයකට අවශ්‍ය සේවයක් සපයා එමඟින් ආදායමක් ඉපයීම බාලදක්ෂ වැඩ මාසය තුළදී බාලදක්ෂයින් විසින් සිදු කරනු ලබයි. ‘‘විවිධ පුද්ගලයින්, විවිධ සංවිධාන කොඩි විකුණනවා, ටිකට් විකුණනවා අපි දැකලා තියෙනවා. එහෙම නැත්නම් ආයාචනා කරල මුදල් ඉල්ල ගන්නවා. හැබැයි බාලදක්ෂ වැඩ මාසය තුළින් සිදු කරන්නේ ඊට වඩා වෙනස් දෙයක්. එක් එක් වයස් පරතරවලට අනුව එක් එක් බාලදක්ෂයන්ට තියන හැකියාවෙන් ප‍්‍රයෝජන අරගෙන යම්කිසි පුද්ගලයෙකුට හෝ ආයතනයකට සේවය සපයලා මුදලක් උපයා ගැනීම තමයි ජාතික බාලදක්ෂ වැඩ මාසයේදී සිද්ධ කරන්නේ. තමන්ගේ ශ‍්‍රමය වැය කරලා තමයි බාලදක්ෂයන් යම්කිසි මුදලක් ලබාගන්නේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කිසිම පුද්ගලයකුට ලැජ්ජාවකට පත් වෙන්න හේතුවක් නෑ.”

ඒ අනුව යම්කිසි පුද්ගලයකුගෙන් හෝ ආයතනයකින් දිනයක් වෙන් කරවා ගනිමින් අදාළ දිනයේදී එම ස්ථානයට ගොස් අවශ්‍ය කටයුතු සිදු කරදී ඒ සඳහා මුදල් අයකර ගැනීම බාලදක්ෂයන් විසින් සිදු කරනු ලබයි. මෙලෙස දුරකථන ඇමතුමක් ලබාදී හෝ අන් ක‍්‍රමයකට දිනයක් වේලාවක් වෙන් කරවා ගැනීමේ සිට අදාළ ස්ථානයට ගොස් සේවාව සපයා මුදල් ලබාගැනීම දක්වා වන සම්පූර්ණ ක‍්‍රියාවලියම සිදු කරනු ලබන්නේ බාලදක්ෂයින් විසින් තනිවම වීම සුවිශේෂී කාරණාවකි. මේ සඳහා අදාළ සේවා ස්ථානයට හෝ පුද්ගලයාට පෙන්වීම සඳහා බාලදක්ෂයන්හට ඔවුන්ගේ තොරතුරු ඇතුළත් කළ කාඞ්පතක් ලබාදී තිබේ. මෙම කාඞ්පත සකස් කිරීම මූල්‍යමය අනුග‍්‍රහය ලබා දී ඇත්තේ සම්පත් බැංකුව විසිනි.

වසර තිස් හතරකට ආසන්න කාලයක් තිස්සේ සම්පත් බැංකුව ඔවුන්ගේ ශුද්ධ ලාභයෙන් 1% ක මුදලක් සමාජ සත්කාර වෙනුවෙන් යොදවයි. තරුණ ප‍්‍රජාවගේ හා වැඩිහිටියන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් සම්පත් බැංකුව පරිසරයට, සමාජයට, ආගමට සේවයක් වන කාර්යයන් රැසක් සිදු කරන අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අතහිත දෙමින් කටයුතු කරයි. මේ වන විට දිවයින පුරා සම්පත් බැංකු ශාඛා 229 ක් පිහිටුවා ඇති අතර ඔවුන්ගේ මුළු වත්කම් ප‍්‍රමාණය ටි‍්‍රලියන 1.1 ද ඉක්මවා ගොස් තිබේ. පුද්ගලික බැංකු අතර සම්පත් බැංකුව රටට වැඩදායි මෙන්ම ඵලදායි කටයුතු රාශියක් සිදු කරමින් සිටිනවා. 1987 සම්පත් බැංකුව විප්ලවීය වෙනසක් ඇති කරමින් තමයි බැංකු ක්ෂේත‍්‍රයට පිවිසුණේ. මුල්වරට ස්වයංක්රීය ටෙලර් ස්වයංකී‍්‍රය ටෙලර් යන්ත‍්‍රයක් හඳුන්වා දෙමින් සම්ප‍්‍රදායික බැංකු ක‍්‍රමය වෙනස් කළේ සම්පත් බැංකුව. නවීන තාක්ෂණය සමග අලූත් ක‍්‍රම භාවිත කරමින් ලංකාවේ බැංකු ක‍්‍රමයට නවමානයන් හඳුනා දුන් සම්පත් බැංකුව දිහා බලාගෙන ඒ අනුව යමින් තවත් බැංකු ක‍්‍රම නිර්මාණය වුණා. ඒ ගැන අපට තියෙන විශාල ආඩම්බරයක්. ”

මෙලෙස වසර තිස් හතරකට ආසන්න කාලයක් තිස්සේ සමාජ සුභසාධන කටයුතු සඳහා දායකත්වය ලබාදෙන පුද්ගලික බැංකුවක් ලෙස සම්පත් බැංකුව බාලදක්ෂ ව්‍යාපාරයට අතහිත දීමට ගත් තීරණ සම්බන්ධයෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.

‘‘කෙනෙක්ට කන්න බොන්න දුන්නොත්, මොනවා හරි දෙයක් අරන් දුන්නත් ඒක ටික කාලයක් තමයි පවතින්නේ. හැබැයි බාලදක්ෂයින් කියන්නේ ඔවුන්ගේ උත්සාහයෙන් නායකත්ව ගති පෙන්නුම් කරමින් වැඩ කරන කොට්ඨාසයක්. ඒ නිසා ඔවුන්ට යම්කිසි උපකාරයක් කළොත් ඒකෙ වාසිය තියෙන්නේ මුළු බාලදක්ෂ ව්‍යාපාරයට ම කියන එක අපි තේරුම් ගත්තා. ඒ නිසා තමයි මේ වැඩ මාසය සාර්ථක කරගන්න බාලදක්ෂයන්ට උදව් කරන්න අපි තීරණය කළේ. කෙනෙක් තනියම නැගිටින්න කොහොමද, අභියෝග ජයගන්නේ කොහොමද, ප‍්‍රතික්ෂේප වීම් දරාගෙන ශක්තිමත් වෙන්නෙ කොහොමද කියන හැමදේම මේ බාලදක්ෂ ව්‍යාපාරයෙන් වගේම බාලදක්ෂ වැඩ මාසයෙන් බාලදක්ෂයන්ට උගන්නනවා.”

මෙලෙස බාලදක්ෂයින් විසින් උපයා ගන්නා ලද මුදල් බාලදක්ෂ ව්‍යාපාරය දියුණුව වෙනුවෙන් යෙදවීමද සුවිශේෂී කාරණාවකි. කෙසේ වෙතත් මේ වන විට ලංකාවේ ඇතැම් පාසල්වල තවමත් බාලදක්ෂ ඒකක පිහිටුවා නැති නමුත් වර්තමාන අධ්‍යාපන ලේකම්වරයාගේ ද මැදිහත් වීමෙන් සියලූම පාසල් සඳහා බාලදක්ෂ ඒකකයක් පිහිටුවීමේ වැඩසටහන් ද ඉදිරියේදී ක‍්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති බව අධ්‍යක්ෂකවරයා පැවසීය.

‘‘මේ බාලදක්ෂ ව්‍යාපාරය කියලා කියන්නේ මුදල් මතම පදනම් වුණු දෙයක් නෙමෙයි. පාසල් මට්ටමින් බාලදක්ෂ ඒකකවලට එකතුවෙලා දරුවන්ට මේ ව්‍යාපාරයට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. මෙහිදී ප‍්‍රධාන ගැටලූවක් වෙලා තියෙන්නේ බාලදක්ෂ පුහුණුකරුවන් නොමැති වීම. ඒකටත් රජය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරියේදී වැඩපිළිවෙළක් සකස් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නිල ඇඳුමක් ලබාදීමේ කටයුතු ගැනත් රජය අවධානය යොමු කරලා තියෙනවා. බාලදක්ෂ ව්‍යාපාරයේ නිරත වුණු කෙනෙක් විදිහට මම කියන්නේ මේක දරුවන්ට තමන්ගේ අනාගතය වගේම වර්තමානය ශක්තිමත් කරගන්න හොඳ අවස්ථාවක්. ඒ වගේ දේවල්වලට සම්පත් බැංකුව නිරන්තරයෙන්ම උදව් උපකාර කරනවා කියලත් සිහිපත් කරන්න කැමැතියි.” මෙවැනි වැඩසටහන් සඳහා ඉදිරියේදී ද සම්පත් බැංකුවේ දායකත්වය නොමසුරුව ලබාදෙන බවටත් පුද්ගලික බැංකු ක‍්‍රමය වෙනස් කරමින් දශක තුනහමාරකට ආසන්න කාලයක් තිස්සේ ජනතාවකට සේවය සැලසූ සම්පත් බැංකුව තවත් නවීන පහසුකම් රැසක් ලාංකේය බැංකු ක‍්‍රමයට හඳුන්වාදීමේ බලාපොරොත්තුවෙන් සිටින බවත් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සිහිපත් කළේය.

නිරෝෂා වාසල
ඡායාරූප – ජූඞ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment