නාවක්කුලියේ සිංහලගම… උතුරුකරේ පියසටහන්…

131

යුද සමය දශක 03ක පමණ කාලයක් පැවතුනි. ඒ කාලයේ උතුරු නැගෙනහිර පුරා යුද ගැටුම් තිබූ නිසා යුද හමුදාවේ සහ කොටි ත‍්‍රස්තවාදීන්ගේ පාලනය යටතේ සිටීමට දෙමළ ජනතාවට සිදුවිය. සමහර ප‍්‍රදේශ කොටි ත‍්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයේ පවතිද්දී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් නිල නොවන ඊනියා ඊළාම් රාජ්‍ය පාලනයක් එම ප‍්‍රදේශවල පවත්වාගෙන ගිය අතර, හමුදා බලය තහවුරු කරගෙන සිටි ප‍්‍රදේශවල පාලනය හමුදාව විසින් කරගෙන ගියේය.

යාපනය අර්ධද්වීපය කොටි ත‍්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයෙන් සම්පූර්ණයෙන්ම මුදාගත් පසු රජයේ සිවිල් පරිපාලනය පූර්ණ වශයෙන් ස්ථාපිත කරනතුරු යුද හමුදාව එහි ආරක්ෂක කටයුතු මෙන්ම සිවිල් පරිපාලන කටයුතු ස්ථාපිත කිරීමට පූර්ණ සහයෝගය ලබා දෙන ලදී.

1995 වසරේ ඔක්තෝබර් මස ඇරඹි ‘‘රිවිරැස” ක‍්‍රියාන්විතය මගින් 1996 වසරේ මැද වනවිට සමස්ත යාපනය අර්ධද්වීපයම කොටි ග‍්‍රහණයෙන් මුදාගත් පසු හමුදා සේනාංක 03ක් පිහිටුවන ලදී. ඒ යාපනය අර්ධද්වීපය මුදාගැනීමට දායකවූ 51 වන සේනාංකය හා 52 වන සේනාංකය සමග අලූතින් පිහිටවූ 55 වන සේනාංකය සමගිනි. යාපනය ආරක්ෂක සේනා ආඥාපති (Jaffna Security Force Commander) මූලස්ථානය යටතේ ක‍්‍රියාත්මක වන මෙම සේනාංක (Division) මූලස්ථාන 03 යාපනය අර්ධද්වීපය බලප‍්‍රදේශ 03කට බෙදා පාලනය කරමින් සිටිති. යාපනය නගරය ඇතුළු කන්කසන්තුරය හා පලාලි ප‍්‍රමුඛ වලිකාමම් ප‍්‍රදේශය 51 වන සේනාංකය යටතේ පවතී. නාවක්කුලි, චාවාකච්චේරිය, කොඩිගාමම්, මිරුසුවිල්, වැල්වැටිතුරෙයි, තොණ්ඩමනාරු, පූතූර් ඇතුළු ප‍්‍රදේශ 52 වන සේනාංකය යටතේ තිබේ. ඒ අනුව තෙන්නමරාච්චි කොටස සම්පූර්ණයෙන්ම හා වඩමාරච්චි කොටසේ ප‍්‍රදේශ කීපයක්ද 52 වන සේනාංකයට අයත්වේ.

ඉතිරි හමුදා බලප‍්‍රදේශය අයත් වනුයේ 55 වන සේනාංකයටයි. කඩෙයිකාඩු, වෙත්තලයිකර්නි, මුල්ලියාන්, චුන්ඩිකුලම්, අයියකච්චි, අලිමංකඩ, කිලාලි, පලෙයි, මරදන්කර්නි, නෙල්ලිඅඩි, පේදුරුතුඩුව, කරවෙඞ්ඩි, වල්ලිපුරම් ඇතුළු වැදගත් ප‍්‍රදේශ රැසක් 55 වන සේනාංකයට අයත් වෙති. යාපනය අර්ධද්වීපයේ වැදගත් යුද මර්මස්ථාන රැසක් පිහිටි ප‍්‍රදේශ අයත් වනුයේ වඩමාරච්චි කොටසටය. එම වඩමාරච්චි කොටසේ පාලනය හමුදා සේනාංක 02ක් යටතේ පවතී. වැඩි ප‍්‍රදේශ ගණනාවක් 55 වන සේනාංකයටද, ප‍්‍රදේශ කීපයක් 52 වන සේනාංකයටද අයත්වේ. මා යාපනය අර්ධද්වීපයට යනවිට එහි ආරක්ෂක සේනා ආඥාපතිව සිටියේ මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කුයි. ඔහු යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානි ලෙස පත්වීයෑම නිසා නව ආරක්ෂක සේනා ආඥාපති ලෙස මේජර් ජෙනරාල් සුජීව සෙනරත් යාපා පත්ව ආවේය. එමෙන්ම මා යනවිට 55 වන සේනාංකාධිපතිව සිටි මේජර් ජෙනරාල් මහින්ද කුමාර ජයවර්ධන ඉංජිනේරු සේනාංකාධිපති ලෙස පත්වී යෑම නිසා 55 වන සේනාංකාධිපති ලෙස බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න ගුණරත්න පත්විය.

යාපනය අර්ධද්වීපයේ ඉතා වැදගත් ජනාකීර්ණ ප‍්‍රදේශ රැසක් හා ප‍්‍රභාකරන්ගේ උපන් ගම වන වැල්වැටිතුරෙයි අයත් 52 වන සේනාංක ප‍්‍රදේශයේ මා කළ සංචාරය ගැන මෙවර සටහන් කරමි. යුද හමුදා පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන බි‍්‍රගේඩියර් සාමන්ත වික‍්‍රමසේන එහි සේනාංකාධිපති ලෙස කටයුතු කරයි. යාපන මහනුවර ඒ 09 මාර්ගයේ ජනාකීර්ණ නගරබද ප‍්‍රදේශ රැසක් සහ වැල්වැටිතුරෙයි, තොන්ඩමනාරු යන එල්.ටී.ටී.ඊ යුද මර්මස්ථාන ලෙස පැවැති ප‍්‍රදේශද අයත් වනුයේ 52 වන සේනාංකයටයි. යාපනය මහනුවර ඒ 09 මාර්ගයේ නාවක්කුලි, කයිතඩි, චාවාකච්චේරිය, මීසාලෙයි, කොඩිගාමම්, මිරුසුවිල්, එලූතුමට්ටුවාල් වැනි ජනාකීර්ණ ප‍්‍රදේශ පවතිනුයේද 52 වන සේනාංකය යටතේයි. යුද සමයේ දරුණු යුද ගැටුම් පැවැති යුද මර්මස්ථානවූ මෙම ප‍්‍රදේශ අද වනවිට ලබා තිබෙන දියුණුව, සංවර්ධනය ඉතා විශාලය.

52 වන සේනාංක ප‍්‍රදේශයේ සංචාරය කිරීමට මා සමග යෑමට එක්වූයේ යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂක මණ්ඩලයේ බොහෝ කලක් සේවය කරමින් මාධ්‍යවේදීන් සමග බොහෝ සුහදව සිටි නිලධාරියෙකි. ඔහු අද කර්නල්වරයෙකි. මිරුසුවිල් 52 වන සේනාංකයේ දැනට සේවය කරන කර්නල් ප‍්‍රියන්ත ලියනගේ මට දුන් සහයෝගය ඉතා විශාලය.

1983 වසරේ ජූලි කලබල ඇතිවී එල්.ටී.ටී.ඊ යුද සටන් ඇතිවන විට සිංහල ජනතාව පදිංචිවී සිටි යාපනය නගරයේ සිංහල පදිංචිකරුවන් නැත. පොලිස් හා ආරක්ෂක හමුදා සාමාජිකයන් හැරුනුවිට රජයේ ආයතනවල හා ව්‍යාපාරික ස්ථානවල සේවය කරන සුළු පිරිසක් එහි නැත. සිංහල පවුල් කීපයක් පදිංචිවී සිටින සිංහල ගමක් නාවක්කුලිහි ඇත. යුද සමයේ යාපනයේ පදිංචිවී සිටි සිංහල පවුල් කීපයක් එහි පදිංචිවී සිටිති. නාවක්කුලි දුම්රිය ස්ථානය අසල අක්කර 05ක රජයේ ඉඩමක මෙම සිංහලූන් සිටින අතර කර්නල් ප‍්‍රියන්ත ලියනගේ සමග මම එම සිංහල ගමට ගියෙමි. නාවක්කුලිය සිංහල ගම ලෙසින් හැඳින්වෙන මෙම ගමේ පවුල් 57ක් සඳහා පර්චස් 15 බැගින් ලබාදී ඇති අතර, දැනට පවුල් 17ක පමණ ජනයා එහි පදිචිවී සිටිති. එම ගමට බෞද්ධ විහාරස්ථානයක්ද ඇත. ශ‍්‍රී සමිද්ධි සුමන විහාරය ලෙස හැඳින්වෙන එහි විහාරාධිපති ලෙස හංවැල්ලේ රතන හිමියෝ වැඩ වසති.

නාවක්කුලියේ සිංහලගම… උතුරුකරේ පියසටහන්…

මෙම ගම පිහිටුවීමට මූලිකත්වයක් ගෙන ක‍්‍රියාකළ ආශා දමයන්ති මහත්මිය නාවක්කුලි දෙමළ මහා විද්‍යාලයේ සිංහල විෂය උගන්වන ගුරුවරියයි. 2011 වසරේ සිට ඇය එම විදුහලේ සේවය කරන්නීය. අප එම විදුහලට ගොස් ඇය හමුවූ විට මෙලෙස අදහස් දැක්වූවාය.

‘‘මම ඉපදුනේ ඉගෙන ගත්තෙ හැදුනෙ වැඩුනේ යාපනයේ. මගේ පියා 1960 සිට යාපනයේ පදිංචිව සිටි ව්‍යාපාරිකයෙක්. ඔහුගේ ගම මාතර. මව මහනුවර කාන්තාවක්. 1970දි මගේ පියා සමග විවාහවී යාපනයේ පදිංචියට පැමිණ තිබෙනවා. බේකරියක් සහ සිල්ලර බඩු කඩයක් පියාට තිබුණා. කඬේ තිබුණෙත් අපි පදිංචිව සිටියෙත් නල්ලූර් ගමේ. මම ඉගෙන ගත්තෙ යාපනය සිංහල විද්‍යාලයේ. දහම් පාසල් ගියේ නාග විහාරයට.

1983 ජූලි 23 වනදා අපේ කඬේ ගිනි තියලා සිංහලයන්ට පහර දුන්නා. අපි ඔක්කොම සිංහලයන් හමුදා ආරක්ෂාව මැද යාපනයෙන් පිටත් වුණා. අපේ පවුල මහනුවරට ආවා.

2009 වසරේ යුද්ධය අවසන්වූ පසු 2010 දි අපි සිංහල පවුල් කීපයක් යාපනයට ආවා. අපිට අපේ ගේදොර ඉඩම් ලැබුණේ නෑ. අපි යාපනය දුම්රිය ස්ථානයේ තාවකාලිකව නැවතී සිටියා. දෙමළ රජයේ නිලධාරීන්ගෙන් අපිට කිසිම සාධාරණයක් ඉටුවුනේ නෑ. අපිට යාපනයෙන් ඉඩම් නොදී නාවක්කුලියේ ඉඩම් දුන්නා. ඒ ඉඩම නිවාස සංවර්ධන අධිකාරියට අයත් රජයේ ඉඩමක්. අපිට එහි පර්චස් 15

බැගින් දුන්නා. සිංහල රාවය සංවිධානය අපිට සහයෝගය දුන්නා. එහි සභාපති අක්මීමන දයාරත්න හාමුදුරුවෝ ප‍්‍රමුඛ හාමුදුරුවරු සහ ගිහි නිලධාරීන් අපිට උදවු කළා. ඒ වගේම තමයි හමුදාව දැක්වූ සහයෝගය ඉතා විශාලයි. එදා සිට අද දක්වා හමුදාව අපිට උදවු කරනවා. රජයේ නිලධාරීන්ට කලින් අපි හැම අවශ්‍යතාවයක්ම කියන්නෙ හමුදාවට. අපිට මේ ඉඩම්වල අයිතිය තවම නීත්‍යානුකූලව ලබාදී නෑ. රජයේ නිලධාරීන්ගේ කිසිම උනන්දුවක් නෑ අපිට ඉඩම්වල අයිතිය ලබාදෙන්න.

1983 දි යුද්ධය පටන් ගන්න පෙර විශාල සිංහල ජනතාවක් යාපනයේ හිටියා. 1972දි 20402ක්ව සිටි එම පිරිස 1981 වනවිට 5648 දක්වා අඩුවී තිබුණා. 1983 ජූලි 23 වැනිදා එම පිරිසත් යාපනයෙන් පන්නා දැම්මා. නැවත යාපනයට නෑවිත් මහනුවරට වෙලා ඉන්න මටත් පුළුවන් කම තිබුනා. ඒත් මම ඉපිද බාලවිය ගෙවමින් ඉගෙනගත් යාපනයට ආදරේ නිසයි මෙහාට ඇවිත් පදිංචිවී දෙමළ ළමුන්ට සිංහල උගන්වන ගුරුවරියක් ලෙස ඉන්නෙ.ඒත් සිංහල අපිට තවම සාධාරණයක් ඉටුනොවීම ගැන හරිම කණගාටුයි”? යාපනය අර්ධද්වීපයේ තිබෙන එකම සිංහල ගම වන නාවක්කුලි ගම 52වන සේනාංකය යටතේ පවතින බලප‍්‍රදේශයක පිහිටීම නිසා එහි කටයුතු වලට සහයෝගය දීම කෝලක්කන්ඩි 12 වන ගැමුණු හේවා බළඇණියට පැවරී ඇත. මිරුසුවිල් 52 වන සේනාංකාධිපති බි‍්‍රගේඩියර් සාමන්ත වික‍්‍රමසේන එම සියලූ කටයුතු පිළිබඳව නිල වශයෙන් මෙන්ම පෞද්ගලිකවම සොයා බලයි.

කෝලක්කන්ඩි 12 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කරනුයේ ලූතිනන් කර්නල් තුසිත ගනගේයි. මගේ පාසල් මිතුරෙක් වන ඔහු මෙම සංචාරයේදී මට විශාල සහායක් දැක්වීය.

තෙන්නමරාච්චි කොටසේ ප‍්‍රදේශ රැසක ආරක්ෂාව හා සුබසාධන කටයුතු මෙහෙයවන 52වන සේනාංක මූලස්ථානය යටතේ වඩමාරච්චි කොටසේ වැදගත් ප‍්‍රදේශයක්ද පවතී. දශක 03ක යුද්ධයකට පිවිස මහා විනාශයක් සිදුකළ කොටි ත‍්‍රස්තවාදී නායකයා ලෙස සිටි ප‍්‍රභාකරන්ගේ උපන් ගම වැල්වැටිතුරෙයි පිහිටියේ 52 වන සේනාංකය යටතේ තිබෙන වල්ලෙයි 521 වන බලසේනාධිපති මූලස්ථානයට අයත්වය. ගැමුණු හේවා රෙජිමේන්තුවේ දක්ෂ නිලධාරියෙක් වන බි‍්‍රගේඩියර් මහේන් සල්වතුර එහි බලසේනාධිපති (Brigade Commander) ලෙස කටයුතු කරයි.

යාපනය පේදුරුතුඩුව මාර්ගයේ කි.මී 48ක් පමණ ගියවිට හමුවන වැල්වැටිතුරෙයි නගරයට ආසන්නව පිහිටි කුඩා ඉඩමක තිබූ සාමාන්‍ය නිවසක ඉපිද හැදී වැඩුන ප‍්‍රභාකරන්ගේ පියා රජයේ ඉඩම් නිලධාරියෙකි. ප‍්‍රභාකරන්ගේ නිවස අද දකින්නට නැත. එම හිස් ඉඩම පමණක් ඇත.

කොටි ත‍්‍රස්තවාදීන් නැතත් ඊළාම්වාදීන් සුළුතරයක් තවමත් එම ප‍්‍රදේශයේ සිටිති. ප‍්‍රසිද්ධියේ ඊළාම්වාදය පැතිරවීම නොකළත් දෙමළ දේශපාලනඥයන්ගේ සහ ඊළාම්වාදී රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගය ලබමින් රහසේ ක‍්‍රියාකාරීව සිටිනා ඊනියා ඊළාම්වාදීන් ගැන යුද හමුදාව, පොලීසිය හා බුද්ධි අංශ විමසිලිමත්ව පසුවෙති. එල්.ටී.ටී.ඊ ගුවන් හමුදා නායකයාව සිටියදී හමුදා ප‍්‍රහාරයකින් මියගිය ශංකර් සිහිකිරීමද මෙම ප‍්‍රදේශයේදී සිදු කරයි. තිරුවිල් ක‍්‍රීඩාංගණය ඉදිරිපිට සහ උඩුප්පිඞ්ඩි හන්දියේ ස්මාරක ඉදිකර මියගිය කොටි නායකයන් සිහිකිරීමට පහන් පත්තු කිරීම වසරක් පාසා කරගෙන ආවත් 2021 වසරේ එය සිදු නොකළ බව හමුදාව පවසයි. නොවැම්බර් මස පවත්වන මහාවීර සතියේදී මෙම පහන් දැල්වීම සිදු කරයි. වැල්වැටිතුරෙයි, තොන්ඩමනාරු, පුතූර්, අච්චුවෙලි යන එල්.ටී.ටී.ඊ මර්මස්ථාන ලෙස පැවැති ප‍්‍රදේශ 521 වන බලසේනාව යටතේ අද ඉතා නිදහස් සාමකාමී ජනාකීර්ණ ප‍්‍රදේශ ලෙස පවතී. මෙම ප‍්‍රදේශ කීපය යාපනය අර්ධද්වීපයේ වඩමාරච්චි කොටසට අයත්වන අතර, පේදුරුතුඩුව, නෙල්ලිඅඩි, වලිපුරම්, කරවෙඞ්ඩි, නගර්කෝවිල්, චෙම්පියන්පත්තු, මුල්ලියාන්, මුහමාලෙයි, පලෙයි, අයියකච්චි, වෙත්තලයිකර්නි, චුන්ඩිකුලම්, අලිමංකඩ ඇතුළු යුද මර්මස්ථාන රැසක්ව තිබූ වඩමාරච්චි කොටසේ විශාල ප‍්‍රදේශයක් අයත් වනුයේ 55 වන සේනාංකය යටතේයි.

මම එම ප‍්‍රදේශවලද සංචාරය කළෙමි.
එම තොරතුරු ලබන සතියේ බලාපොරොත්තු වන්න.
(මතු සම්බන්ධයි)

සටහන හා ඡායාරූප
සිරිමෙවන් කස්තුරිආරච්චි
යාපනයේ සංචාරයකින් පසු

advertistmentadvertistment
advertistmentadvertistment