නාවික හමුදාවේ දෙවැනියාට හිස් තැනක්… වයි.එන්.ට.කැපිල්ලක්… නාවික හමුදාපතිට වසරක සේවා දිගුවක්…?

1611

නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානි සහ වැඩ බලන නාවික හමුදාපති රියර් අද්මිරාල් යූ.එස්. ආර්. පෙරේරා විශ‍්‍රාම ගනු ලබන්නේ, ජුලි 27 වෙනිදාය. රුසියානු සමූහාණ්ඩු නාවික හමුදාවේ 325 වන සංවත්සරය වෙනුවෙන් පැවති නාවික පෙළපාලිය සහ උත්සව මාලාවට සහභාගී වෙමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මේ වන සිටියේ, විදේශගතවය. මේ නිසා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානි රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න, එක වරම නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානි සහ නාවික හමුදාපති යන තනතුරු ද්විත්වයේම ‘වැඩ බලන්නා’ බවට පත්විය. සාමාන්‍ය සම්ප‍්‍රදාය අනුව මාණ්ඩලික ප‍්‍රධානියා විශ‍්‍රාම ලබන විටම අනෙක් මාණ්ඩලික ප‍්‍රධානියා නම් වුවත් නාවික හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානියාගේ හිස් තැන තවම පිරවී නැත. මේ සඳහා සුදුසුකම් සපුරා සිටින්නේ රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්නය. නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති ධුරය දරමින් සිටියදී 2021 මැයි 19 වෙනිදා රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න, නාවික හමුදාපතිවරයා විසින් නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානි ලෙස පත් කළේය.

මාණ්ඩලික ප‍්‍රධානි තනතුර සඳහා නාවික හමුදාපතිවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නිර්දේශ කර යවා තිබුණේ රියර් අද්මිරාල් ජයරත්නගේ නම පමණය. එසේ තිබියදී ආරක්ෂක අමාත්‍යංශය වෙතින් එල්ල වූ විරෝධයක් හේතුවෙන් නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා පිළිබඳව සොයා බැලීම සඳහා ත‍්‍රිවිධ හමුදාපතිවරුන් ප‍්‍රධාන වූ කමිටුවක් නම් කර තිබේ. මෙය නරක පූර්වාදර්ශයකි. සියලූ හමුදාපතිවරුන් සිය හමුදාවේ තනතුරු සඳහා, අදාළ පිරිස නම් කරන අතර, එම නිර්දේශිත නාම සඳහා ජනාධිපතිවරයා අනුමැතිය දීම හෝ නොදීම සිදුවේ. එය ජනාධිපතිවරයා සතු බලයකි.

  • මෛත‍්‍රීගේ ක‍්‍රමවේදය

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සමයේ යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි සඳහා යුද හමුදාපති මහේෂ් සේනානායක එවන ලද්දේ, දක්ෂතාවය සහ ජ්‍යෙෂ්ඨත්වය අතින් පහළ නිලධාරියකු වන මේජර් ජෙනරාල් සත්‍යප‍්‍රිය ලියනගේ ගේ නම පමණය. එම නමින් නොසෑහුණු, ජනාධිපති මෛත‍්‍රී, හමුදාවේ ජ්‍යෙෂ්ඨයන් දස දෙනාගේ නම්, ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ අනුව, තමා වෙත එවන ලෙස හමුදාපතිවරයා වෙත දන්වා සිටියේය. ඒ අනුව මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නම ද ඇතුළත්ව හමුදාපතිවරයා සිය නිර්දේශය යාවත්කාලීන කර යවනු ලැබීය. එම ලේඛනය අනුව ජනාධිපති මෛත‍්‍රී, යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කළේය. මෙය නිවැරදි ක‍්‍රමවේදයකි. අදාළ හමුදාපතිවරයා සිදු කරන ලද නිර්දේශයක් පිළිබඳව තමා නොසෑහෙන්නේ නම් ජනාධිපතිවරයා සිදු කළ යුත්තේ ඒ සඳහා කමිටු දැමීම නොව නාවික හමුදාපති සමග කතිකා කරගෙන නව නිර්දේශයක් ලබා ගැනීමය. රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න වෙත එවැනි කිසිදු අභියෝගයක් නොමැත. මාණ්ඩලික ප‍්‍රධානි තනතුර සඳහා නාවික හමුදාවේ ‘හැම අතින්ම’ සුදුස්සා ඔහුය.

  • කවුද මේ වයි.එන්.?

කොළඹ රාජකීය විද්‍යාලයේ කැඩෙට් භට කණ්ඩායම හර්මන් ලූස් අභියෝගතා කුසලානය දිනා ගන්නා විට ජ්‍යෙෂ්ඨ කැඩෙට් භටයෙකු ලෙස එම විද්‍යාලය නියෝජනය කළ වයි.එන්. ජයරත්න, 15 වෙනි බඳවා ගැනීම යටතේ නාවික හමුදා පුහුණුව සඳහා බැඳී 1988 දී වැඩ බලන උප ලූතිනන්වරයකු ලෙස අධිකාරියට පත්විය. රණ වික‍්‍රම සහ රණ සුර යන පදක්කම් දෙවරක් දිනාගත් ඔහු, උත්තම සේවා පදක්කම සහ ශ‍්‍රී ලංකා සන්නද්ධ සේවා පදක්කම ආදී පදක්කම් රාශියක් ලබා ගත් නිලධාරියෙකි. ඔහු සම්බන්ධයෙන් මාණ්ඩලික ප‍්‍රධානි තනතුර ලබාදීම අවිවාදිත තත්ත්වයක් වෙද්දී, ඔහුගේ නම සලකා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලද්දේ ඇයි යන්න, විවාදිතය. විශේෂයෙන්ම මෙම කමිටුව නියෝජනය කරන හමුදාපතිවරුන් වෙත ද, මෙම පූර්වාදර්ශය අනුව, තම තමන්ගේ හමුදා සඳහා ප‍්‍රධාන තනතුරු ලබාදීමේ කමිටු වෙත යෑමට සිදුවෙනවා ඇත. මේ අතරවාරයේ වාර්තා වූයේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න වෙත ජනාධිපතිවරයා විසින් තවත් සේවා දිගුවක් ලබාදී ඇති බවය. 2020 ජුලි 15 වැනිදා වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, 24 වන ශ‍්‍රී ලංකා නාවික හමුදාපතිවරයා ලෙස පත්වූ අතර එම වසරේ සැප්තැම්බර් 18 වෙනිදා ඔහු වෙත ජනාධිපතිවරයා විසින් වසරක සේවා දිගුවක් ලබාදී තිබුණි.

  • කරන්නාගොඩ ගොඩ

නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානි තනතුර සඳහා පත්කිරීම, මෙසේ අලකලංචි වී තිබෙන අවස්ථාවක, හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ වෙත දමා ගසන ලද චෝදනා ගොනුවෙන් ඔහු බැහැර කිරීමට නීතිපතිවරයා ක‍්‍රියා කළේය.

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ වෙත යහපාලන ආණ්ඩුව සමයේදී දරුණු ලෙස චෝදනා එල්ල කරමින්, කරන්නාගොඩගේ වීරත්වය වැනසීම සඳහා ප‍්‍රයත්න ගණනාවක් දරනු ලැබීය. ඒ අනුව වසන්ත කරන්නාගොඩ සහ ඞී.කේ.පී දසනායක යන නාවික විරුවන් සිපිරි ගෙට දක්කා සතුටුවීම යහපාලනයේ අවශ්‍යතාවය විය.

එකොළොස් දෙනෙකු පැහැර ගෙන ගොස් මරා දැමීම සඳහා තම පුද්ගලික ආරක්ෂක නිලධාරියා සම්බන්ධ බව පවසමින්, රහස් පොලිසියට පැමිණිලි කරන්නේ 2009 මැයි මස 28 දාය. එදිනම මෙම පැහැර ගැනීමේ මෙහෙයුමේ වගකිව යුත්තා වන, නේවි සම්පත් නාවික හමුදාවෙන් පලා යන්නේය. එදින ඔහුගේ කාමරයට සීල් තබනු ලබන්නේය. සම්පත් රහස් පොලිස් අත්අඩංගුවට පත්වන්නේ 2009 ජුනි 10 දිනය. 10 දා කාමරය යළි විවෘත කළ විට කාමරයේ තිබී තරුණයින්ගේ පාස්පෝට් පහක් හා ජාතික හැඳුනුම්පත්, ගිනි අවි උණ්ඩ ඇතුළු භාණ්ඩ තොගයක් හමුවන්නේය. දඬුවම් මුදලාලි නමැති පොලීකරු ළඟ තැන්පත් කර තිබූ ලක්ෂ ගණනක මුදල් සහිත වව්චරද ඒ අතර විය. හමු වූ පාස්පෝට් හිමි තරුණයන් සියලූ කප්පම් ගෙන මරා දමනු ලැබ තිබුණේය.

2010 ජුනි මස 9 දා නේවි සම්පත් ඇප මත නිදහස් වන්නේය. ඇපමත නිදහස් වූ සම්පත් හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා හමුවී පවසන්නේ, නාවික හමුදාපතිවරයා විසින් ජෙනරාල් සරත් ෆොන්සේකාත්, සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් සරත් වීරසේකරත්, හිටපු ටෙස්ට් නායක අර්ජුන රණතුංග හා මාධ්‍යවේදීන් පස්දෙනකු ඝාතනය කිරීමට තමන්ට බලපෑම් කළ බවය. තමන් ඊට අකමැති වීම නිසා දැන් වසන්ත කරන්නාගොඩ තමන්ගෙන් පළිගන්නා බවය. ඔහුට අනුව මේ එක් ඝාතනයකටවත් ඔහු සම්බන්ධ නැත. ඒවා කර ඇත්තේ හිටපු නාවික හමුදාපතිගේ කිට්ටු නිලධාරීන් වන ඞී. කේ. පී. දසනායක, ආර්. පී. එස්. රණසිංහ වැනි නිලධාරීන් ය. කරන්නාගොඩ තමන්ගෙන් පළිගන්නට දසනායකලා මැරූ මිනිස්සුන්ගේ පාස්පෝට් තමන්ගේ කාමරවල ලාච්චුවට හොරෙන් දමා ඇති බව නේවි සම්පත් කියන්නේය. යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමග සම්පත් මුණසිංහ උසාවියෙන් මෝෂන් එකක් ගෙන රහස් පොලිසියට තවත් අලූත් කතාවක් කියන්නේය. දැන් මේ කතාවට අලූත් පරිච්ෙඡ්ද ගණනක් එක්වී ඇත්තේය.

  • නේවි සම්පත් එක රැයෙන් නිවැරදිකරු;

නේවි සම්පත් නමැති කප්පම්කරුවා ගැන රහස් පොලිසියට පැමිණිලි කරන්නේ එවකට නාවික හමුදාපති ය. ඔහු නාවික හමුදාවෙන් මේ පිළිබඳ කළ පරීක්ෂණවල ප‍්‍රතිඵලත් සහිතව රහස් පොලිසියට කටඋත්තරයක් දෙන්නේය. අනතුරුව සම්පත් පුරා වසරක් රඳවා තබාගෙන ප‍්‍රශ්න කරන රහස් පොලිසිය 2011 මාර්තු මස 30 වැනිදා උසාවියට වාර්තාවක් ඉදිරිපත් කරමින්, සම්පත් මුණසිංහ මේ පැහැර ගැනීම් සඳහා සම්බන්ධ බව කියන්නේය. තවත් වසර හතරකට ආසන්න කාලයකට පසු සිදුවන ආණ්ඩු පෙරළියත් සමග රහස් පොලිසියට සම්පත් විසින් යළිත් ලබාදෙන කටඋත්තරයෙන් පසු නඩුවේ වගඋත්තරකරුවා වන්නේ, පැමිණිලිකාර වසන්ත කරන්නාගොඩ ය. එසේම ඔහු අවට සිටි නිලධාරීන්ය.

ඒ සමගම මෙතෙක් සම්පත් මුණසිංහ ට පටබැඳ තිබූ, නේවි සම්පත් යන නාමය ද අලූත් චරිත සඳහා යහපාලන සී.අයි.ඩි.යේ නිශාන්ත සිල්වා සහ ශානි අබේසේකර විසින් පටබඳින්නේය.

රහස් පොලිසිය එකවරක් නේවි සම්පත් යනුවෙන් හඳුන්වන්නේ, සම්පත් මුණසිංහය. තවත් වරක චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නම් නාවික නිලධාරියා ය. කාලයක් ගතවන විට චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි රටින් පිටවී ඇතැයි පවසන පොලිසිය ඒ සඳහා උදව් කළා යැයි එවකට ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සම්බන්ධ බවට සැක කළේය. තමන්ට ලැබුණු තොරතුරු අනුව, චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි, බෝට්ටුවකින් රටින් පිට කර ඇත්තේ, ශ‍්‍රී ලංකාවේ හමුදා සේවයේ, ඉහළම නිලධාරියා බව පොලිසිය විසින් උසාවියට රපෝර්තු කළේය. එවකට සේවයේ යෙදෙනු තරු හතරේ එකම හමුදා නිලධාරියා වන අද්මිරාල් විජේගුණරත්න අත්අඩංගුවට පත්වන්නේ එසේය.

පොලිසිය විසින්ම අධිකරණයට වාර්තා කළ පරිදි, චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි, මැලේසියාවට පැන ගොස් ඇත්තේ වෙනත් නමක් සහිත ගමන් බලපත‍්‍රයක් උපයෝගී කර ගෙන ගුවන් මාර්ගයෙනි. ඔහු යළි මෙරටට පැමිණීමෙන් පසු, දොම්පේ ප‍්‍රදේශයේ වත්තක මුරකරුවකු ලෙස සේවයේ යෙදුනු ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමේදී දැනගන්නට ලැබුණු බව පොලිසිය විසින්ම අධිකරණයට වාර්තා කළේය.

  • පැමිණිලිකරු විත්තිකරු වෙයි

පියවරෙන් පියවර මෙසේ යමින් අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම පිණිස යහපාලන ආණ්ඩුව සූදානම් විය. මේ සිදුව ඇත්තේ යුද අපරාධයක් නොවේ. අපරාධ නීතිය යටතේ වරදකරුවන් බවට අදාළ චූදිතයන් පත් කළ යුතු අපරාධ සිද්ධියකි. ඒ පිළිබඳව මුලින්ම පොලිසිය වෙත පැමිණිලි කළ, අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ ‘සියල්ලේ වගකිව යුත්තා’ යන ලේබලය ඇලවීමට යහපාලනය උත්සාහ කළේය. යුද අපරාධ චෝදනාව ඉදිරියට දමා, යුද ජයග‍්‍රහණය ආපසු හැරවීමේ දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවය වෙනුවෙන් යහපාලන ආණ්ඩුව දිවා ? නොබලා මෙහෙවර කරන ලද්දේ එසේය.

මෙවැනි රණවිරු දඩයම සිදු කරන ලද්දේ, යහපාලන ආණ්ඩුව අටවන ලද වෙනම ඒකකයක් මගිනි. නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යවරයා, සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඞී. එම්. ස්වාමිනාදන්, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා, නීතිඥ ජේ.සී. වැලිඅමුණ මෙම කමිටුවේ සාමාජිකයෝ වූහ. ඊට අමතරව විමර්ශන ක‍්‍රියාවලියේ ප‍්‍රගතිය දැනුම් දීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර, පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ශානි අබේසේකර යන පිරිස ද මෙම කමිටුව සඳහා කැඳවා තිබුණි. එදා ඩයස්පෝරාව වෙනුවෙන් රණවිරුවන් හිරගෙට දැක්වූ ශානි අබේසේකරගේ සියලූදේ දැන් එළියට පැමිණ තිබේ. ශානිගේ දකුණු අත වූ නිශාන්ත සිල්වා තමනට ‘ගාස්තු ගෙවූ’ ස්වීඩනයට පැන ගත්තේය. ජේ.සී. වැලිඅමුණ, තමන් තානාපති නිලය දැරූ ඔස්ටේ‍්‍රලියාවේම පදිංචි විය.

  • නීතිපති අපේක්ෂා නොකරයි
නාවික හමුදාවේ දෙවැනියාට හිස් තැනක්… වයි.එන්.ට.කැපිල්ලක්… නාවික හමුදාපතිට වසරක සේවා දිගුවක්…?

අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ වැනි රණවිරුවෙක් අන් ජාතියක් සතුව සිටියේ නම්, මෙවැනි කතාවක් සිතන්නට පවා ඔවුන් ඉඩදෙන්නේ නැත. ඔහුගේ වීරත්වය ඒ තරම්ම අනභිභවනීය ය. මේ ගැටයේම අමුණා රියර් අද්මිරාල් ඞී.කේ.පී. දසනායක ද යහපාලන ආණ්ඩුව විසින් ගැට ගැසුවේය. ජනාධිපතිවරයෙක් විසින් ලිඛිතව ප‍්‍රශංසාවට ලක් කළ, නාවික හමුදාවේ සිටි එකම නිලධාරියා දසනායක ය. ඒ රෙකමදාරුව ඔහුට ලැබෙන්නේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ගෙනි. නාවික හමුදාපතිවරුන් සිව් දෙනෙක් යටතේ ප‍්‍රශංසා ලේඛන 10 ක් ලද නිලධාරියා ඔහුය. හෙතෙම රණවික‍්‍රම පදක්කම් 04 ක් දිනා ගත්තේය. රණ සූර පදක්කම් දිනා ගත්තේය. ඞී.කේ.පී දසනායක එවැනි නිලධාරියෙකි. දසානායක යනු ජාතියට ලෙහෙසියෙන් හමුවන වර්ගයේ විරුවකු නොවේ. යුද්ධය අවසන් සමයේ පුරා මාස හයක් ඔහු ගත කළේ මහ සමුදුරේය, රට වට බැඳි රන් වැට යන්න නාවික හමුදාවට ඔබින පාඨයක් බවට පත් කළේ, ඔහු වැනි විරුවන්ය. එක් ත‍්‍රස්තවාදියකුට හෝ මුහුදෙන් පැන යන්නට, ඔහු සහ ඔහුගේ සේනාංක විසින් අවස්ථාව ලබා දුන්නේ නැත. යහපාලනය විසින් දසනායකට දැමූ ගැටයේම අඹරා වත්මන් ආණ්ඩුව ද දසනායකට ‘ඔහේ ගෙදර යන්නට’ ඉඩ ලබා දුන්නේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්ම පත් කළ, දේශපාලන පළිගැනීම් කොමිසම සිය වාර්තාවේ දසනායක පිළිබඳ සඳහන ද පසෙක දමා, දසනායකට නාවික හමුදාවෙන් විශ‍්‍රාම යෑමට මේ ආණ්ඩුව ඉඩ ලබාදී, නිකම්ම බලා සිටියේය.

තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි පවරා ඇති නඩුව ප‍්‍රකාරව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව ගොනු කළ චෝදනා, පවත්වාගෙන යෑමට අපේක්ෂා නොකරන බව නීතිපතිවරයා කොළඹ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පසුගිය බදදා ප‍්‍රකාශ කළේය.

  • දසනායකට ඔහේ යන්න දීම

නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කිරීමට විරුද්ධව හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ විසින් අභියාචනාධිකරණයේ ගොනු කළ රිට් පෙත්සම ප‍්‍රකාරව අභියාචනාධිකරණය මඟින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන් කරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා නීතිපතිවරයා වෙනුවෙන් එසේ පැවසීය. තරුණයන් 11 දෙනකු අතුරුදන් කිරීමට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කිරීමට එරෙහිව අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් කරන්නාගොඩ, රිට් පෙත්සමක් ගොනු කරමින් අභියාචනාධිකරණයට සඳහන් කර සිටියේ වසර දහයක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ නිලධාරීන්ට තමන් සැකකරුවකු කිරීමට තරම් සාක්ෂි අනාවරණය වී නොතිබූ බවය. එහෙත් 2015 දී යහපාලන ආණ්ඩුව පත් වීමෙන් පසු විමර්ශන වෙනතකට යොමු වූ බව කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රෝමේෂ් ද සිල්වා මහතා විස්තරාත්මකව අභියාචනාධිකරණයට සඳහන් කර තිබිණි. අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ වෙත පමා වී හෝ යුක්තිය ලැබීම පිළිබඳව බෙහෙවින් සතුටට පත් වනවාසේම, රියර් අද්මිරාල් ඞී.කේ.පී. දසනායක වෙත ද යුක්තිය ඉටුවනු ඇත යන්න ජාතියේ අපේක්ෂාවය.

  • ජනපති ආරක්ෂක මූලස්ථානයට
නාවික හමුදාවේ දෙවැනියාට හිස් තැනක්… වයි.එන්.ට.කැපිල්ලක්… නාවික හමුදාපතිට වසරක සේවා දිගුවක්…?

ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දුටු සිහිනයක්, ඔහු වෙත සැබැවින්ම දකින්නට ලැබුණේ පසුගිය අඟහරුවාදාය. එදා ආරක්ෂක ලේකම්වරයා ලෙස සියලූ සැලසුම් සකස් කරමින් ත‍්‍රිවිධ හමුදාව එකම බිමක් සඳහා රැගෙන යෑමට, අභිමානවත් ගොඩනැගිල්ලක් සේම පරිසරයක් අද සැකසී අවසන්ය. මේ වන විට ශ‍්‍රී ජයවර්ධනපුරයේ ඇති ආරක්ෂක හමුදා පුරවරය සඳහා යුද හමුදාව සහ ආරක්ෂක අමාත්‍යාංශය පැමිණ ඇති අතර නුදුරේදීම නාවික සහ ගුවන් හමුදා ද මෙම පරිශ‍්‍රය සිය නිවහන බවට පත් කරගන්නවා ඇත.

යහපාලන ආණ්ඩුව පැමිණි විගස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප‍්‍රකාශ කරන ලද්දේ, ගාලූමුවදොර පිටිය අසල හමුදා මූලස්ථානය විකුණන ලද මුදල් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ගිණුමේ තැන්පත් කරගෙන ඇති බවය. ඒ සා විශාල බේගල් ඇදබාමින්, මෙම හමුදා පරිශ‍්‍රය ඉදිකිරීම අඩාල කිරීම සඳහා යහපාලනය බොහෝ දත කෑවේය. පොලොන්නරුවේ සිට රට පාලනය කළ නිශ්ශංකමල්ල රජු මෙන් අනුන්ගේ වැඩ සඳහා නම ගසාගෙන ලකුණු දමාගත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද සිය ධුර කාලය අවසන් වීමට ආසන්න ව තිබියදී, නෙලූම් කුලූන සහ ජයවර්ධනපුර හමුදා පරිශ‍්‍රය විවෘත කර තම නම ඒ සඳහා දමා ගත්තේය. එසේ වුවත් වත්මන් ජනාධිපතිවරයා, මෛත‍්‍රී ජනාධිපතිවරයාගේ සමයේ ඉදි කිරීම ආරම්භ කරන ලද වකුගඩු රෝහල විවෘත කිරීමේ අවස්ථාව ලබා දුන්නේ හිටපු ජනාධිපතිවරයාටම ය.

යුද හමුදාපතිවරයාගේ ආරාධනයෙන් හමුදා පරිශ‍්‍රය සඳහා පැමිණි ජනාධිපතිවරයා අභිමානවත් ආචාර පෙළපාලියකින් පිළිගත් යුද හමුදාවෝ, ජනාධිපතිවරයා වෙත සිය උත්තමාචාරය දැක්වූහ.

නව ඩිජිටල් ක‍්‍රියාන්විත මැදිරිය විවෘත කිරීම, ගුවන් සංක‍්‍රමික බලසේනාවේ ආරම්භය සහ එහි ඉතිහාසය මෙන්ම අතිරේක ප‍්‍රහාරක බලකාය පිළිබඳ ලියැවුණු මුද්‍රිත සහ ඩිජිටල් ග‍්‍රන්ථ එළිදැක්වීම ඇතුළත් උත්සව ගණනාවක් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් එහිදී සිදුවිය.

  • විශ‍්‍රාම මුහුණු වෙනුවට අලූත් මුහුණු

මෙම සතියේදී යුද හමුදාවේ තනතුරු කිහිපයක් සඳහා නව මුහුණු එක් විය. භට කාර්ය සම්පාදන අණසක මූලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ඉකුත් සඳුදා කොස්ගම පිහිටි භට කාර්ය සම්පාදන අණසක මූලස්ථානයේදී ද, එදිනම ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 10 වන කර්නල් සේනාවිධායක ලෙස බි‍්‍රගේඩියර් අනිල් ඉලංගකෝන් පොල්හේන්ගොඩ පිහිටි ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී ද රාජකාරි කටයුතු ආරම්භ කළේය.

භටකාර්ය සම්පාදන අණසක මූලස්ථානයේ ආඥාපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් රංජන් පේ‍්‍රමලාල් යුද්ධ හමුදා දිවියෙන් විශ‍්‍රාම ගැනීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා විදුලි හා යාන්ත‍්‍රික ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක ධුරය හොබවනු ලබන මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් එම ධූරයට පත්විය.

යුද්ධ හමුදා මූලස්ථානයේ පාබල අධ්‍යක්ෂ මණ්ඩලයේ 19 වන පාබල අධ්‍යක්ෂ ජෙනරල් ලෙස ශ‍්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර පසුගිය සතියේ වැඩ භාරගත්තේය. පාබල අධ්‍යක්ෂ ජෙනරල් ලෙස රාජකාරි කළ මේජර් ජෙනරල් තිලක් හැංගිලිපොල යුද්ධ හමුදා දිවියෙන් විශ‍්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර එම ධුරයට පත්විය.

ශ‍්‍රී ලංකා කාලතුවක්තු රෙජිමේන්තුවේ නිලධාරියකු වන මේජර් ජෙනරල් ටිකිරි දිසානායක මේ සතියේ යුද හමුදාවෙන් විශ‍්‍රාම ගැනීමට නියමිතය. මේජර් ජෙනරල් ටිකිරි දිසානායක සිය හමුදා දිවිය තුළ ආරක්ෂක සේනා මූලස්ථානය – වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් මෙන්ම යුද හමුදාවේ ප‍්‍රධාන තනතුරු රැසක් ද හොබවා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

  • දහයක් මේජර් ජෙනරාල් නිලයට

මේ අතර බි‍්‍රගේඩියර්වරු දස දෙනකු බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේදී යුද හමුදාපතිවරයා විසින් මේජර් ජෙනරාල් නිලය දක්වා උසස් කළේය. ඒ අනුව නව මේජර් ජෙනරාල්වරු වන්නේ

  1. මේජර් ජෙනරාල් වන්දිත මහින්කන්ද
  2. මේජර් ජෙනරාල් නිලාම් හේරත්
  3. මේජර් ජෙනරාල් හිරෝෂ වනිගසේකර
  4. මේජර් ජෙනරාල් ප‍්‍රසාද් එදිරිසිංහ
  5. මේජර් ජෙනරාල් ලක්සිරි පෙරේරා
  6. මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි
  7. මේජර් ජෙනරාල් ලලිත් හේරත්
  8. මේජර් ජෙනරාල් උපුල් වීරකෝන්
  9. මේජර් ජෙනරාල් පී. එස්.කේ. සංජිව
  10. මේජර් ජෙනරාල් අනිල් සමරසිරි

යන පිරිසය.

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment