නාස්තිකාර රාජධානියේ කථා වස්තුව

815

1948 පෙබරවාරි 04 වැනිදා ශ්‍රී ලංකාව Independent රාජ්‍යයක් වූ බව කියනු ලැබේ. අදටත් මේ රට Independent නිදහස නැති dependent රාජ්‍යයකි. එනම් හරකාගේ කනේ එල්ලී සිටින මැක්කා මෙන් අපේ රටද හැමදාමත් කාගේ හෝ ඇඟක එල්ලී ලේ බොමින් එමගින් ජීවත් වන බවය. මේ අවුරුද්දේ ජනවාරි මාසයේ වියදමට වඩා එම මාසයේ ආදායම ඉතා පහළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබේ. මෙයින් හැඟී යන්නේ ශ්‍රී ලංකාව තවදුරටත් ණයට ජීවත්වීමේ ප්‍රතිපත්තිය දිවිහිමියෙන් සුරකින බවය. ලංකාවේ දැනට පවත්නා ආදායම් වියදම් පරතරයේ විශාලත්වය හේතුවෙන් රජයේ වියදම් තවදුරටත් සීමා කරන ලෙස ජනාධිපති වික්‍රමසිංහ විසින් දන්වනු ලැබ ඇත. ජනවාරි මාසයේ අපේ රටේ ආදායම රුපියල් බිලියන එකසිය පනස් අටයි දශම හතකි. වියදම බිලියන තුන්සිය හැටහතයි දශම අටකි. මෙයින් තේරෙන්නේ අපේ කට්ටිය රුපියල් සියයක් හම්බ කර කිසිදු හිරිකිතයක් නැතිව රුපියල් දෙසිය විසිපහක් වියදම් කරන බවය. මේ අනුව අප රුපියල් එකසිය විසිපහක් ණය ය. රටේ තත්ත්වය ඉතාම නරක බව ඇත්ත. අතේ සතේ නැති එකා බඩ පිටපොත්තට ඇලෙන තෙක් කුසගින්නේ සිටින බවත් ඇත්ත. හැබැයි සල්ලි තියෙන එකා ඉන්දියාවට ඇතිවෙන්නට එක්ක අතදිගහැර වියදම් කර කෑම ගිල දමන බව අපි දනිමු. මෙහිදී අප කෑම යනුවෙන් හඳුන්වන්නේ බත්, මාළු, එළවළු, ෆ්‍රයිඩ් රයිස් හෝ කොත්තු නොව දෛනික ජීවිතය ගතකිරීම සඳහා මේ රටේ ධනවත් ජනතාව වියදම් කරන මුදල ය. ශ්‍රී ලංකාව මධ්‍යම පන්තික රාජ්‍යයකි. මේ මධ්‍යම පන්තිය ඉතා වේගයෙන් පහළට ලිස්සා යමින් දිළිඳු පන්තිය කරා ගමන් කරමින් සිටී. ඒ බව එසේ මුදල් වියදම් කරන වැඩිදෙනාට වැටහේ. එහෙත් තමන් ජීවත්වන අන්තිම දවස අද සේ සලකා කටයුතු කරන ඔවුහු හෙටත් ඒ ජීවිතය එහෙමම මිල අධික ලෙස ගත කරති.

ශ්‍රී ලංකාව පාඩුපිට දුවන රාජ්‍යයක් බවට පත්වන්නේ ඉංග්‍රීසීන් කන්දඋඩරට ඇතුළු මුළු ලංකාවම අල්ලා ගැනීමෙන් පසුවය. ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණයෙන් පසුව ශ්‍රී ලංකාවේ ජනතාව කොටස් දෙකකට බෙදිණ. ඉන් පළමු කොටස වූයේ ඉංග්‍රීසි පාලකයන්ගේ පස්සා පැත්ත දිවෙන් සෝදා පිරිසිදු කළ සිංහල ප්‍රජාවය. මේ පිරිස තමන් සිංහලයන් වීම ගැන දුක්වෙමින් ආගම මාරුකර සංස්කෘතිය ද මාරු කළහ. ආගම සහ සංස්කෘතිය යනු එකට බැඳී තිබෙන නිමිති දෙකකි. ඒ බව දුටු ඉංග්‍රීසි පාලකයා මහත් සේ සතුටට පත්ව තමන් වෙත නතුවූ ස්වදේශිකයන්ට ආණ්ඩුවේ රැකියාද, නම්බුනාම ද ලබාදුන්නේය. මෙසේ හදිසියේම ඉංග්‍රීසීන් බවට පත්වූ සිංහලයන්ගෙන් සමහරු ඉංග්‍රීසි බස ඉංග්‍රීසින්ටත් වඩා හොඳින් උගත් අතර සම්පූර්ණ යුරෝපී ඇඳුම හෙවත් ටයි කෝට් ඇඳුම් කට්ටලය ඇඳගෙන පයිප්ප උරමින් රික්ෂෝ රථවල ගමන් කළහ. එහෙත් සල්ලි තිබුණාට ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට නොදත් ධනවත් පිරිස කලිසම හා කෝට් එක ඇඳ ඊට උඩින් සරමක් ද ඇඳගත්හ. මෙසේ කලිසම, සරම සහ කෝට් එක යන තුනම එකවර ඇඳ සිටින අයගේ ඡායාරූප පැරණි පොත්වලින් බලාගත හැකිය. මෙවැනි අය හඳුන්වනු ලද්දේ ‘රෙද්ද අස්සේ මහත්තයා’ යනුවෙනි. මේ පිරිස තම පුතුන් එංගලන්තයට පිටත්කර අධ්‍යාපනය ලබාදුන් අතර ආපසු ලංකාවට පැමිණීමේදී කලිසමට උඩින් රෙද්දක් ඇඳීමට ඒ දරුවන්ට අවශ්‍ය නොවීය. එයට හේතුව ලංකාවෙන් එංගලන්තයට නැව් නැග්ගේ සිංහල දරුවන් වුවද ආපසු ආවේ සම්පූර්ණ සිංහල සුද්දන් නිසාය. මෙසේ පැමිණි අය එකෙක්වත් උදැල්ලක් අල්ලා පොළොව කෙටුවේ නැත. ඔවුන් කළේ පොළෙව කොටන වතුකර දෙමළ ජනයා වැඩ කළ තේ වතුවල ලියනමහත්වරුන් හෝ සහකාර සුපිරින්ටෙන්ඩන්ට්වරුන් ලෙස වැඩ භාර ගැනීමය. හැබැයි ප්‍රධාන වත්තේ ප්‍රධාන සුපිරින්ටෙන්ඩන්ට් තනතුර හැමදාමත් පැවතුනේ සුද්දකු අත ය. අපේ අය දෙවන පෙළ සිංහල සුද්දන් ලෙස නාස්තිකාර ජීවිත ගත කළහ.

බි්‍රතාන්‍ය ආක්‍රමණවලින් පසු ශ්‍රී ලංකාවේ ජනතාව දෙකට බෙදුණු බව අපි මුලදී සඳහන් කළෙමු. එසේ බෙදුණු අයගෙන් දෙවැනි කොටස වූ කලී සුද්දන්ගේ පස්ස දිවෙන් සේදීම ප්‍රතික්‍ෂේප කළ ප්‍රගතිශීලී කොටස්ය. මේ පිරිස සිංහල සංස්කෘතියටත් අල්පේච්ඡ ජීවිතයටත් ගරු කළහ. එහෙත් අතේ සතේ නැති නිසා ඔවුන්ට හැමදාම සිදුවුණේ කිසිදු හඬක් නැති කම්කරු පන්තියක් ලෙස කටයුතු කිරීමටය. අසාධාරණයට විරුද්ධව මේ පිරිස හිස එසවූ සෑම විටකම බෙල්ලට දෙකක් දී ඔවුන් නිහඬ කරන ලදි. මේ අතර බි්‍රතාන්‍ය මතධාරී සිංහල නාගරික පන්තිය ක්‍රමයෙන් රට තුළ ව්‍යාප්ත වීමට පටන් ගත්තේය. මේ පන්තිය අබමල් රේණුවක් නිෂ්පාදනය කළ පිරිසක් නොවූහ. ඔවුන් කළේ වෙන අය වවන අබ මල්ද පුවක්මල්ද පොල් මල්ද පමණක් නොව නියඟලා මල්ද අනුභව කිරීමය. එනම් මේ පිරිස තනිකරම අනුන්ගෙන් යැපුණු ‘සැපා’ලා පිරිසක් වූහ. ශ්‍රී ලංකාව අත්පත් කරගැනීමෙන් පසු එංගලන්තය විසින් මේ රට පාලනය කරන ලද්දේ ඉන්දියාව සමඟ එකට ඈඳුණු ප්‍රදේශයක් සේ සලකා එක ගිණුමක් යටතේය. මේ අතර ශ්‍රී ලංකාවේ වියහියදම් ගැන සෙවීම සඳහා වෙනම අයවැය ලේඛනයක් සෑදිය යුතු බව එක්දහස් අටසිය ගණන්වල මුලදී එංගලන්තයේ යටත්විජිත ලේකම් කල්පනා කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස අයවැයක් සාදන ලද අතර ශ්‍රී ලංකාව යනු බි්‍රතාන්‍යයේ සාක්කුවට කෙළවමින් අන්තිම නාස්තිකාර නාගරික පන්තියක් සිටින රටක් බව එම අයවැය ලේඛනය මගින් හෙළි විය. මෙතැන් සිට ක්‍රමයෙන් ශ්‍රී ලංකාව අත්හැර දැමිය යුතු බව යටත්විජිත භාර ලේකම් කල්පනා කළ ද එසේ අත්හැරීමෙන් හිරුනොබසින අධිරාජ්‍යයට විය හැකි Damage එක සලකා එම තීරණය නොගැනීමට යටත්විජිත ලේකම්ට සිදුවිය. 1948 දී එංගලන්තය අපේ රටට නිදහස දෙන්නේ සිය කැමැත්තෙන් බව සියලු දෙනා දත යුතුය. අපේ රට එතරම්ම නාස්තිකාර රාජ්‍යයකි.

advertistmentadvertistment
advertistmentadvertistment