මෙවර අපගේ සංචාරය සිදු කරන්නේ පොලොන්නරුවෙන්, අරලගංවිලෙන් ඔබ්බට පිහිටා ඇති නැඟෙනහිර වෙරළේ වෙරුගල්-වාකරේ දෙසටය. පසුගිය සතිවල අරලගංවිල දානිගල ප්‍රදේශයේ ගැවසුණු අපි මීළඟට මඩකලපුව දිස්ත්‍රික්කය යටතට ගැනෙන වෙරුගල් සහ වාකරේ දෙසට ගියේ සුප්‍රකට වාලච්චේනෙන් උතුරු දෙසට වන්නට පිහිටි කල්කුඩා සහ පාසිකුඩා පසුකරමිනි. කලක් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන්ගේ නිල නොවන පාලනයට නතුව තිබුණු වෙරුගල්-වාකරේ ප්‍රදේශයට අප පළමු වතාවට ගියේ සුනාමි ව්‍යසනය නිසා එහි සිදු වූ හානි දැක බලාගන්නටය.
එකල වාලච්චේන-කජුවත්තෙන් අවසන් වූ යුද හමුදා මුරපළෙන් සමුගත් අපි වාකරේ දෙසට ගියේ කිරිමිච්චායි හන්දියෙන් පටන් ගත් එල්.ටී.ටී.ඊ. මුරපළෙන් අවසර ලබාගැනීමෙන් අනතුරුවය. එකල වාකරේ-කතිරවෙලි-වෙරුගල් යනු තනිකරම ඔවුන්ගේ පාලනයේ පැවැති ප්‍රදේශය. එහිදී අප ලැබූ අත්දැකීම් වෙනම කතා කළ යුත්තකි. සම්පූර්ණ පැය 3-4 ක් ගත කළ එම ගමනේදී අපි වෙරුගල් ඔය හරහා එකල පැවැති පාලම් පාරුවේ නැගී ඔයේ මද දුරක් ගමන් කළ අයුරු ද මතකයේ තිබේ. නමුත් ඒ ඔස්සේ අනෙක් පසට නොගියේ වෙරුගල් ඔයෙන් එහා අයත් වන්නේ ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කයට බැවින් පැමිණිය හැකි අන්තරායන් ගැන සලකාය.
අනතුරුව වාකරේ-වෙරුගල් ප්‍රදේශයට අවස්ථා කිහිපයකදීම අපට යන්නට අවස්ථාව උදා විය. ‘දිවයින ඉරිදා සංග්‍රහය’ තුළින් අප විසින්ම කරන්නට යෙදුණු “රට වටා ගිය” ගවේෂණ චාරිකාව සමයේදීත් වෙරුගල් ඔස්සේ ගමන් කරන්නට අපට පාලමක් තිබුණේ නැත. නමුත්, යුද්ධයෙන් පසු වෙරුගල් ඔය හරහා පාලමක් තනන්නට පැවැති රජය කටයුතු කළේය. අද අපි වාකරේ ඔස්සේ වෙරුගල් හරහා සේරුනුවර-මුතුර්-කින්නියා-ත්‍රිකුණාමලය දක්වා යන්නේ ඒ පාලම මතිනි. වැඩිමනත් කින්නියාවේ ඉදිවූ දිගින් වැඩිම පාලම ද යුද්ධය නිමාවෙන් පසු ප්‍රදේශයේ ජනතාව ලැබූ ප්‍රතිලාභයන්ය.
පොලොන්නරුව-කදුරුවෙල පසුකර ඉදිරියට ඇදෙන විට අපට මනම්පිටියේදී එකල දුම්රිය සහ වාහන යන දෙවර්ගයම එකම පාලමකින් ගමන් ගත් පැරණි මනම්පිටිය පාලම මුණගැසේ. දැන් ඒ සඳහා පාලම් දෙකක් ඇත. අනතුරුව අපි වැලිකන්ද පසුකර පිවිසෙන්නේ වාලච්චේන ඔට්ටමාවඩි ප්‍රදේශයටය. ඔට්ටමාවඩි පැරණි පාලම ද එකල දුම්රිය සහ වාහන යන දෙකම ගමන් ගත් පාලමකි. අපි දන්නා තරමට එකල අප රටේ වාහන සහ දුම්රිය යන දෙකම ගමන් කරවීම සඳහා තිබුණු පාලම් දෙක තිබුණේ මේ මනම්පිටිය සහ ඔට්ටමාවඩි යන ස්ථානවල පමණි. මෙම පැරණි පාලම් දැන් දුම්රිය පාලම් ලෙස පමණක් භාවිතයට ගනු ලබයි. අද බොහෝ දෙනා නොදන්නා මෙම අතීත රස කතා එම ප්‍රදේශවල අහම්බයෙන් හෝ ගමන් ගන්නා අවස්ථාවලදී නැවත නැවත බලා ආවර්ජනය කළ යුතුය.
එසේ හෙයින් වාකරේ ගමනේදී අපි යළිත් මේ ස්ථාන නරඹන්නට යෑමට අමතක කළේ නැත. අනතුරුව යළිත් වාලච්චේනෙන් උතුරු දෙසට හැරුණු අපි, නැඟෙනහිර මුහුදු ඉම දිගේ ත්‍රිකුණාමලය දෙසට ගමන් ගත්තේ එදින අපගේ ගමන වාකරේ දක්වා වැටී තිබුණු නිසාය. වාලච්චේනේ සිට ගමන් ගන්නා නාවල්අඩි-මාන්කර්නි-පනිච්චන්කර්නි-වාකරේ-කතිරවෙලි මාර්ගය සම්පූර්ණයෙන්ම පාහේ කඩොලාන තෙත්බිම්, ලවණ වගුරු ඔස්සේ විහිදුණකි. එසේම, තවත් තැනක ඇත්තේ තෙර නොපෙනෙන ලඳු කැලෑය. තවත් ඉදිරියට යන විට වම් පසින් ත්‍රිකෝණමඩු වනාන්තර දක්වා පැතිර යන ගන කැලෑවය. නමුත් ඇත්ත නම්, මේ සියලු වනාන්තර, ලඳු කැලෑ, කඩොලාන වනාන්තර දැන් බොහෝ දුරට මිනිස් ක්‍රියාකාරකම් නිසා හානියට ලක්ව ඇති බවය. ඒ පිළිබඳව අප වරක් දෙවරක් නොව කිහිපවරක්ම අප පුවත්පතේ සටහන් තබා ඇත.
මෙවර අපගේ වාකරේ-වෙරුගල් ගමන යොදා ගනු ලැබුවේ ද එවැනි වනාන්තර විනාශයක් සහ පාරිසරික හානියක් ගැන කතා කරන්නට වුවත්, දුර කතර ගෙවාගෙන අප මේ පැමිණි ගමනේදී වෙරුගල්-වාකරේ හි සුන්දරත්වය ගැන යමක් කියන්නට ද අවස්ථාවක් කරගන්නට සිතුණේ නැඟෙනහිරට අයත් වෙරළේ සුන්දරත්වය හරිම අපූරු නිසාය.
සැබැවින්ම නැඟෙනහිර වෙරළ සුන්දරත්වයෙන් මෙන්ම, ඛනිජ සම්පත්වලින් ද ඉතා පොහොසත්ය. වාකරේ-කතිරවෙලි-වෙරුගල් වෙරළ ස්වභාවයෙන්ම කළු පැහැයෙන් දිස්වේ. ඒ එහි ඉල්මනයිට් අඩංගු නිසාය. අමතරව සර්කෝන්, රූටයිල් වැනි තවත් ඛනිජ ද්‍රව්‍ය රැසක් එහි අඩංගු බැවින් පාවහන් ගලවා මේ වටිනාකම් අප අපේ පා පහසට එක් කරගත යුතුව ඇත. ඒ තරමටම ශ්‍රී ලංකා මාතාවගේ වටිනාකම් අපි ස්පර්ශ කළ යුතු වෙමු. මෙවන් වටිනා වෙරළක් සහ මුහුදු ඉම දිගේ විහිදෙන තැනිතලා කඩොලාන-ලවණ වගුරු බිම් විශාල ප්‍රමාණයක් ඉස්සන් වගාවට සහ ඉල්මනයිට් කැණීමට යොදාගැනීමේ උත්සාහයක් මේ දිනවල පවතී. ඊට ඍජු ලෙසම ගොදුරු වී ඇත්තේ වාකරේ-කතිරවේලි ප්‍රදේශයයි. අමතරව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතූර්-කින්නියා-නිලාවැලි-කුඹුරුපිඩ්ඩි වැනි ප්‍රදේශ ද මෙම අනතුරට ගොදුරුව ඇත. එසේ වුවහොත් අද අප මේ දකින වාකරේ-වෙරුගල් සුන්දරත්වය හෙට උපදින දරුවන්ට දකින්නට නොලැබෙනු ඇත.
එනිසාම ඉකුත්දා වාකරේ-කතිරවේලි ප්‍රදේශයේදී පුළුල් ජනතා විරෝධයක් මෙම ව්‍යසනකාරී ව්‍යාපෘතිවලට එරෙහිව දියත් කෙරිණි. එම විරෝධතා ව්‍යාපාරයට ද සහභාගිවීමෙන් අනතුරුව අපි කතිරවෙලි සහ වාකරේ වෙරළ තීරය බලා ගමන් ගත්තේ අදාළ ව්‍යාපෘති සඳහා ගොදුරුවන සුන්දර නැඟෙනහිර වෙරළ දැකබලාගැනීමට සහ වාකරේ වෙරළේ පහස විඳ ගැනීමේ අදහසිනි.
සැබැවින්ම වාකරේ වෙරළ අතිශය සුන්දරය. කල්කුඩා-පාසිකුඩා වැනි ජනප්‍රිය මුහුදු ප්‍රදේශ ගැන අප කලක පටන් දන්නා නමුත්, වාකරේ වෙරළේ ඇති මෙවැනි සුන්දර තැන් ගැන අදටත් බොහෝ අය නොදනිති. එවැනි ප්‍රකට වෙරළක් වන්නේ ‘සල්ලතිව්’ ය. වාකරේට දකුණු දෙසින් පිහිටි සල්ලතිවු තවමත් සැඟවී පවතින අපූරු මුහුදු තීරයකි. ඒ ගැන අප වෙනම කතා කරන බැවින් මෙවර අවධානය යොමුවන්නේ වෙරුගල්-කතිරවෙලි-වාකරේ ගැනය.
මෙම ප්‍රදේශයට ඇති නගරය වාකරේය. පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, තැපැල් කාර්යාලය, ඉන්ධන පිරවුම් හල වැනි අත්‍යවශ්‍ය පහසුකම් බොහෝමයක් පවතින්නේ වාකරේය. නමුත්, එහි ලොකු කඩමණ්ඩියක් නම් නැත. ආහාර පහසුකම්, නවාතැන් පහසුකම් යනාදිය වාකරේ සීමාසහිතය. නමුත්, සංචාරක නැවතුම්පළ ද වාකරේ අවට ඇත.
සමස්තයක් ලෙස ගත කල නැඟෙනහිර වෙරළ ඉතා සුන්දරය. බොහෝ සංචාරකයින් ඒ ගැන නොදනිති. එනිසාම මෙම වෙරළ තීරය නිකසළ, නිසංසල බවකින් යුක්තය. එනමුත්, නැඟෙනහිර වෙරළ ආරක්ෂා කරගන්නට නම්, නැඟෙනහිර වෙරළට සංචාරක ආකර්ෂණය, සංචාරක ආගමනය ඉතා ඉක්මනින් අවශ්‍යය බව අපගේ හැඟීමය.
සැරිසර-
ජගත් කණහැරආරච්චි