නැතිබැරි අය තවත් පෙළන රජයේ බදු වැඩි කිරීම්….

155

මෙසේ බදු ගෙවීමට හැකියාව හා ශක්තිය ඇති අයගෙන් රජය වැඩි බදු ආදායමක් උපයා ගැනීමට ක්‍රියා කරන්නේ නම් එය ඇත්ත වශයෙන්ම අතිමහත් බහුතර සාමාන්‍ය ජනයා මත පැටවී ඇති වක්‍ර බදු බර අඩු කර ගැනීමට ඉවහල් වේ. මූල්‍ය අරමුදලේ එකඟතා අනුව කටයුතු කරන විට රජය විසින් බදු ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා රජයේ බදු ආදායම් වැඩි කරගත යුතු බව ඇත්තය. එහෙත් එය වැඩි කරගන්නා මූලාශ්‍ර තීරණය කරන්නේ රජය විසින්ය.

ඉදිරියේ දී පුළුල් බදු මෙහෙයුමක්

රජය විසින් අනිවාර්ය කර ඇති බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් ටින් අංකය ගැන මේ දිනවල සමාජයේ බොහෝ කතාබහට ලක්ව ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන පරිදි මෙය බදු ලිපි ගොනුවක් නොවන අතර මේ අංකය ලබාගත් පමණින් කෙනෙකුට බදු ගෙවීමට ද සිදු නොවේ. ටින් අංකය ලබාගත් කෙනෙකු බදු බැඳියාවට ලක්වෙනු ඇත්තේ බදු නිදහස් ආදායමට වැඩි ආදායමක් උපයන්නේ නම් පමණි. වර්තමානයේ මේ බදු නිදහස් ආදායම වාර්ෂිකව නම් රු. ලක්ෂ 12 කි. මාසිකව නම් රු. ලක්ෂයකි. ඒ නිසා කෙනෙකුට ටින් අංකයක් ලබාගත්තත් බදු ගෙවීමට සිදු වන්නේ බදු නිදහස් ආදායමට වැඩියෙන් උපයන ආදායම සඳහා පමණි. දැන් මාසෙකට රු.ලක්ෂයක් යනු මහා ලොකු මුදලක් නොවේ. ඒ නිසා අප නම් සිතන්නේ මේ බදු නිදහස් ආදායමේ සීමාව වැඩි කළ යුතු බවයි. එහෙත් රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව කටයුතු කරන බැවින් එම ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා නොයෙකුත් බදු වෙනස්කම් සිදු කරමින් සිටින අතර 2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18 ක් දක්වා වැට් බද්ද වැඩි කළේ ද ඒ අනුවය. ටින් අංකය අනිවාර්ය කර පසුව ඒ අය අතුරින් බදු ගෙවිය යුතු වුවත් තවමත් රජයට බදු නොගෙවා පැහැර හරින පිරිස් බදු දැලට කොටු කර ගැනීමේ සූදානමක් පවතින බවට ද අපට රජයේ ආරංචිමාර්ගවලින් දැනගන්නට ඇත. ඒ සඳහා ඉදිරියේ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පුළුල් මෙහෙයුමක් දියත් කරනු ඇති බවට ද අපට දැනගන්නට ඇත.

සාමාන්‍ය ජනයා මත වැඩි බරක්

මෙසේ බදු ගෙවීමට හැකියාව හා ශක්තිය ඇති අයගෙන් රජය වැඩි බදු ආදායමක් උපයා ගැනීමට ක්‍රියා කරන්නේ නම් එය ඇත්ත වශයෙන්ම අතිමහත් බහුතර සාමාන්‍ය ජනයා මත පැටවී ඇති වක්‍ර බදු බර අඩු කර ගැනීමට ඉවහල් වේ. මූල්‍ය අරමුදලේ එකඟතා අනුව කටයුතු කරන විට රජය විසින් බදු ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා රජයේ බදු ආදායම් වැඩි කරගත යුතු බව ඇත්තය. එහෙත් එය වැඩි කරගන්නා මූලාශ්‍ර තීරණය කරන්නේ රජය විසින්ය. මේ නිසා වැට් වැනි වක්‍ර බදු වැඩි කරනවාද එසේත් නැත්නම් ආදායම් බදු වැනි සෘජු බදු වැඩි කරනවා ද යන්න තීරණය කරන්නේ රජය විසිනි. මේ අනුව රජය බොහෝ දුරට කර ඇත්තේ වක්‍ර බදු වැඩි කිරීමට පියවර ගැනීමයි. මේ නිසා භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වී අතිමහත් බහුතර සාමාන්‍ය ජනයා මත විශාල බරක් පැටවේ. රජය විසින් 2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 15 ට පැවැති වැට් බද්ද සියයට 18 ක් දක්වා වැඩි කළා පමණක් නොව මෙතෙක් වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ වැට් බද්දට යටත් කිරීම ද සිදු කළේය. ඒ නිසා එම භාණ්ඩවල බදු වැඩි වන්නේ සියයට 3 කින් නොව අලුතින්ම සියයට 18 කිනි. මේ නිසා එම භාණ්ඩවල මිල ගණන් සැලකිය යුතු වැඩි වීමකට ලක්වේ. ඒ නිසා දැනට සිදුව ඇත්තේ රජයේ බදු වැඩි කිරීම් හරහා නැතිබැරි අය තවත් පෙළන තත්ත්වයක් නිර්මාණය වීමයි.

බදු අංකය ලබා ගැනීම පහසු කරයි

ජනයාට බදු අංකය ලබා ගැනීම පහසු කළ යුතුව තිබේ. විශේෂයෙන් ග්‍රාමීය ජනයාට ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හෝ එහි ප්‍රාදේශීය හා නගර කාර්යාල වෙත පැමිණීමට වඩා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මේ ටින් අංකය ලබාගත හැකි නම් එය වඩාත් පහසුවකි. මේ අනුව වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාටම බදු (ටින්) අංකයක් ලබා දීමට අදාළ කටයුතු වහාම සරල කොට පුළුල් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා දේශීය ආදායම් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඊට අදාළ පහසුකම් සැලසෙනු ඇත. ඒ සඳහා වෙනම කවුන්ටරයක් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දී ඇති අතර ඊට අමතරව රජයේ බැංකු, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි ස්ථානවල ද ඊට අදාළ කවුන්ටර් විවෘත කිරීමේ හැකියාව සොයා බැලීමට ද නියමිතය. බදු අංකය ලබා දීම කාර්යක්ෂම කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තු, රාජ්‍ය පරිපාලන සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය යන ආයතනවල නිලධාරීන් සමග පසුගියදා පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. විශේෂයෙන් ම දැනට මාර්ගගතව මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හෝ එහි ප්‍රාදේශීය හා නගර කාර්යාල වෙත පැමිණීමෙන් බදු අංකය ලබාගත හැකිවේ. මේ සඳහා ලියාපදිංචි වීමේ අයදුම් පත්‍රය තවදුරටත් කෙටි කිරීම සහ අංකය ලබා ගැනීමට දැනට ගතවන දින පහක පමණ කාලය කෙටි කිරීම පිළිබඳ ව මෙහි දී අවධානය යෙමුව ඇත. ඒ අනුව රාජ්‍ය පරිපාලන සහ දේශීය ආදායම් නිලධාරීන් විසින් ඊට අදාළ නීතිමය පියවර ගැනීමට නියමිතය. ටින් අංකය යනු ඉපදුනු දිනයේ සිට දරුවකුට ලබා දිය යුතු දෙයක් බව දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජේ.ටී. චන්දන මහතා පසුගිය දා (09) කොළඹදී දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය විසින් පවත්වනු ලැබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් කීවේය.

බදු අයකර ගැනීම කාර්යක්ෂම කිරීම

බදු අයකර ගැනීම වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නෛතික ක්‍රියාවලියේ සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවක් පැවැත්විණි. රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම උදෙසා කළයුතු නෛතික සංශෝධන සඳහා අදහස් ලබා ගැනීමට මෙම විශේෂ රැස්වීම පවත්වනු ලැබිණි. ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව හා සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන නියාමනය කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන ගෙනඒම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. මෙහිදී ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැහැදිලි කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කාරක සභාව හමුවට අවස්ථා කීපයකදී ගෙන්වා සාකච්ඡා කළ බවත් එහිදී හඳුනාගත් ගැටලු ගණනාවක් පවතින බවත්ය. සභාපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ ඕනෑම පුද්ගලයකුට බදු නොගෙවා වසර 15 ක් සිටිය හැකි බවයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු ලිපිගොනුවක් තක්සේරු කිරීම සඳහා පවතින පනත යටතේ මාස 30 ක් සහ අභියාචනා සලකා බැලීම සඳහා තවත් මාස 24 ක් පවතී. ඒ අනුව බදු ලිපිගොනුවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ මාස 54 කට අධික කාලයක් පවතින අතර ඉන්පසු බදු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනා කළ පසු පනතට අනුව ඔවුන්ට වසර 2 කාලයක් ඒ සඳහා හිමි වන බවද අලුත්ගමගේ මහතා පැවසීය. ඉන් පසු අභියාචනාධිකරණයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කළ හැකි බවත් මේ සඳහා ආසන්න වශයෙන් වසර 15 කට අධික කාලයක් ගත වන බවත් ඔහු කීවේය.

බදු අය කිරීමේ ක්‍රියාවලිය

මෙහිදී අදහස් දැක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කළේ 2023.06.30 දිනයට ලැබිය යුතු හිඟ බදු ආදායම රුපියල් බිලියන 943 ක් වන බවයි. විවිධ හේතු මත අයකර ගැනීමට නොහැකිව පවතින මුදල රුපියල් බිලියන 767 බව සහ අය කර ගත හැකි මුදල් රුපියල් බිලියන 175 බවයි. එමෙන්ම හිඟ බදු මුදල් ලෙස මෙම වසර තුළ රුපියල් බිලියන 37ක් මුදලක් අයකර ගෙන ඇති බවද නිලධාරීන් වැඩිදුරටත් පැහැදිලි කර ඇත. සෑම වසරකම නොවැම්බර් 30 වන දින හෝ ඊට පෙර බදු වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබුණු පසු ඉන් අනතුරුව ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි කළ නිලධාරීන් පෙන්වා දුන්නේ එම බදු වාර්තාව ලැබුණු පසු අදාළ නිලධාරියා එම තොරතුරු රැමිස් පද්ධතියට ඇතුළත් කරන බවත් ගැටලු පවතින අවස්ථා හඳුනා ගැනීම සිදු කරන බවත්ය. ඉන් අනතුරුව විගණනයක් සිදු කරන බව සහ ඇතැම් අවස්ථාවන්හිදී යම් පැහැදිලි කිරීම් සිදු කිරීම සඳහා වැඩිදුර තොරතුරු ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි. එසේ තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවන්හිදී බොහෝවිට බදු හිමියන් විසින් එම තොරතුරු හිතාමතාම ප්‍රමාද කරන බවද නිලධාරීන් විසින් කාරක සභාවට පෙන්වා දෙන ලදී. බදු වාර්තාව නිලධාරියා විසින් විගණනය කිරීම සඳහා පවතින පනතේ මාස 30 තිබීම හා ඉන් අනතුරුව කොමසාරිස් ජනරාල්ට අභියාචනා කළ පසු තවත් වසර දෙකක කාලයක් අභියාචනය විභාග කිරීම සඳහා කාලය පවතින බවත් නිලධාරීහු පෙන්වා දුන්හ. මෙහිදී කාරක සභාව ප්‍රකාශ කළේ කොමසාරිස්වරයාට අභියාචනා විභාග කිරීම සඳහා පවතින වසර දෙකක කාලය වැඩි බවත් එය මාස හයක් දක්වා අඩු කිරීම යෝග්‍ය බවයි. කෙසේ වුවත් මාස 06 තුළ තීරණය ලබා නොදෙන්නේ නම් තක්සේරු මුදල වෙනස් නොවෙන බව උපකල්පනය කළ යුතු බව මෙහිදී අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මේ නිසා බදු ගෙවන්නන් බදු කොමිෂන් සභාවට අභියාචනා කරන්නේ නම් තක්සේරු මුදලින් අවම වශයෙන් සියයට 50 ක් ගෙවිය යුතු බවට වන පනතේ විධිවිධාන සංශෝධනය කළ යුතු බවට ද මෙහිදි යෝජනා වී ඇත.

බදු අභියාචනා කොමිසමේ බලතල

බදු අභියාචනා කොමිෂන් සභාවේ බලතල පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කරන ලදි. ඒ අනුව බදු අභියාචනා කොමිෂන් සභා පනතේ යම් සංශෝධනයන් සිදු කිරීම පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය. දැනට දින 270 කාලයක් අභියාචනයක් විභාග කිරීම සඳහා බදු අභියාචනා කොමිෂන් සභාවට පවතින අතර ඒ සඳහා යම් කාල රාමුවක් ලබා දීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. බදු අභියාචනා කොමිෂන් සභාවේදී සලකා බැලිය යුත්තේ තක්සේරු මුදල හෝ ගණනය කිරීම් පිළිබඳව පවතින ප්‍රශ්න පමණක් බවත් මූලික කාරණාවන්ට විරුද්ධතාවයක් ඇත්නම් ඒ සඳහා අභියාචනාධිකරණයට අභියාචනා කිරීම සඳහා අවශ්‍ය පනතට සංශෝධනය ගෙන ආ යුතු බවත් මෙහිදී කමිටුව තීරණ කළේය. දැනට පනතේ තක්සේරු කිරීම සඳහා මාස 30ක කාලය වසර එකක් දක්වා අඩු කිරීම යෝග්‍ය බවද කාරක සභාවේ අදහස විය. දීර්ඝ සාකච්ඡාවකින් පසුව කමිටුව තීරණය කළේ එම මාස 30 එසේ තැබීමටත් නමුත් මුදල් අමාත්‍යවරයාට අවශ්‍ය අවස්ථාවන්හිදී එම කාල සීමාව ගැසට් මගින් වෙනස් කිරීම සඳහා අවශ්‍ය බලය පනතින් ලබා දීමට කටයුතු කිරීම සුදුසු බවයි.

දේශීය ආදායම් පනතට සංශෝධන

මේ අනුව පනත සඳහා සංශෝධන ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත බදු අභියාචනය ලැබුණු පසු ඔහුගේ නියෝගය මාස 6 තුළ ලබා දිය යුතුය බවට සහ එසේ නොවුණහොත් මූලික තක්සේරුව නිවැරදි හා ස්ථිර වූ බවට උපකල්පනය කරන බවට පනතට ඇතුළත් කිරීමට යෝජනා විය. ඒ අනුව බදුකරු එම තීන්දුව හා එකඟ නොවේ නම් මාසයක් ඇතුළත බදු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනා කළ හැකිය. බදු අභියාචනා කොමිෂන් සභාව මාස හයක් ඇතුළත තීරණය ලබා දිය යුතු අතර බදු අභියාචනා කොමිෂන් සභාවට බලය ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තක්සේරු කරන ලද මුදලේ පවතින ගණනය කිරීම් දෝෂ සහගත නම් ඒ ගැන විභාග කිරීමට පමණි. අනෙකුත් ප්‍රාථමික විරෝධතාවන් එනම් නීතියේ ප්‍රශ්න පවතී නම් ඒ සඳහා අභියාචනාධිකරණයට අභියාචනා කළ හැකිය. අභියාචනාධිකරණයට ද මේ සඳහා යම් කාල රාමුවක් හඳුන්වා දිය යුතු බව, එනම් අවුරුදු එකක් ඇතුළත අභියාචනය විභාග කර අවසන් විය යුතු බව පනතේ දැක්විය යුතු බවටද මෙහිදී යෝජනා විය. එමෙන්ම බදු අභියාචනා විභාග කිරීම සඳහා අධිකරණ පද්ධතිය තුළ විශේෂ අධිකරණ සංකීර්ණයක් පිහිටුවීමට ද මෙහිදී අධිකරණ අමාත්‍යවරයා එකඟතාවය පළ කළේය. මෙම සාකච්ඡාවේදී මතු වූ කරුණු ඇතුළත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තු පනතට ගෙන ආයුතු සංශෝධන කෙටුම්පත් කිරීම නීතිපතිතුමා හා නීති කෙටුම්පත් සම්පාදක විසින් සිදු කිරීමටත් එම සංශෝධනය සකස් කළ පසු ඉදිරි දිනෙක පාර්ලිමේන්තුවේදී රැස්වී නැවත සාකච්ඡා කිරීමටත් කමිටුව තීරණය කර ඇත. බදු රැස් කිරීමට පවතින මෙවැනි නීතිමය බාධක ඉවත් කරගත යුතු අතරම වඩාත් අවශ්‍ය කරන්නේ රජයේ බදු වැඩි කිරීම් හරහා නැතිබැරි අය තවත් පෙළනවා වෙනුවට ඇති හැකි අය මත වැඩි බදු බරක් පැනවීම හරහා ක්‍රමයෙන් රටේ සෘජු බදු ආදායම වර්ධනය කර ගැනීමයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com

advertistmentadvertistment
advertistmentadvertistment