නැතිබැරි කාලෙට  වටිනා බෝගයක් – හාල්මැස්සන් දඹල

532

කවුරුත් අකමැති තැන සතුටින් වැවෙනවා
 පෝෂණ ගුණයෙන්ද ඉහළයි
 වසර පුරාම කරල් හැදෙන ප්‍රභේද තියෙනවා
 අනුභව රටා වැඩිදියුණු කරගතහොත් ජනප්‍රිය බෝග කාණ්ඩයටත් අතුළු වේවි

නැතිබැරි කාලෙට  වටිනා බෝගයක් - හාල්මැස්සන් දඹල

හෙට අනිද්දා පැමිණෙනවා යැයි කියන ආහාර හිඟයට මුහුණ දෙන්නට රට පුරා විවිධ පැතිකඩයන් ඔස්සේ සූදානම් වෙනවා දකින්නට ලැබේ. පොහොර, වල්නාශක වැනි දෑ නැතැයි කියමින් මැසිවිලි නඟමින් සිටි පිරිසක්ද, සියලු අඩුලුහුඬුකම් දරාගෙන හෝ කුඹුරට බැස තිබෙන අයුරු පසුගියදා දැකගන්නට ලැබුණි. තවත් පිරිසක් වැඩි අවධානයක් යොමුකරනුයේ ගෙවතු වගාව ශක්තිමත් කරමින් ප්‍රධාන ආහාර බෝගයට අමතරව ඇවැසි දෑ නිවස අහල පහළින්ම උපද්දවා ගන්නටය. ගෙවතු වගාවේදී එළවළුවක් ලෙස ආහාරයට ගතහැකි රනිල කුලයේ බෝගයකට බොහෝවිට හිමිවන්නේ වැඩි ඉඩකඩකි. ආකර්ශනයකි. හාල්මැස්සන් දඹල නමින් හඳුන්වන එළවළු බෝගය ගෙවතු වගා පරිසරයන් තුළදී ඉදිරියට එන්නේ මෙවන් පසුබිමක් සහිතවය. උද්භිද විද්‍යාත්මකව ලැබ්ලැබ් ප‘පියුරියස් ((Lablab purpureus) නමැති මෙම ආරෝහක ශාකය අප්‍රිකානු සම්භවයක් සහිත, එහෙත් මේ වනවිට ආහාර බෝගයක් ලෙස ඝර්ම කලාපීය බොහොමයක් රටවල පැතිරී තිබෙන්නකි. ඇතැමුන් දමිල උච්ඡාරණය භාවිතයට ගනිමින් මෙය වැරදියට ‘අවර’ යනුවෙන් නම් කළත්, එලෙස නම්ලද වෙනත් ආහාර බෝගයක් අපට තිබෙන බවද අමතක නොකළ යුතුවේ. එසේ හැඳින්වන්නේ කැනවාලියා ග්ලැඩියේටා (Canavalia gladiata) නමැති ශාකයයි. මෙම ලිපියට අදාළ නැතිවුවත් නියම අවර ගැනද යමක් සඳහන් කළයුතුය. මෙහි බීජ තුළ කැනවානින් නමැති විෂ සහිත සංයෝගයක් තරමක සාන්ද්‍රණයකින් අන්තර්ගත වේ. මේ නිසා අනුභව කළ ඇතැමුන්ට මත්ගතියක් වැනි රෝගී තත්ත්වයක් ඇතිවිය හැකිය. මේ නිසා අවර කරල් හෝ ඇට ආහාරයට ගන්නන් යම්  ක්‍රමවේදයන් ඔස්සේ මෙම අහිතකර දෑ ඉවත් කිරීමට පුරුදුවී සිටිති. එක ක්‍රමයක් වනුයේ රැයක් පුරා ඇට ජලයේ පොඟවා අනතුරුව බීජාවරණය ඉවත්කර තම්බා, වතුර පෙරාහැර අවශ්‍ය පරිදි පිස ගැනීමයි.

නැතිබැරි කාලෙට  වටිනා බෝගයක් - හාල්මැස්සන් දඹල

හාල්මැස්සන් දඹලවල මෙවන් තත්ත්වයක් නැත. වැලෙහි හටගන්නා කරල් ලපටි අවස්ථාවේදී කිසිදු අමතර වෙහෙසක් නැතුවම එළවළුවක් ලෙස ආහාරයට ගත හැකිවේ. එහෙත් පිසින ලද ලපටි බෝංචි කරල් වලින් පිටවන ආකර්ශනීය සුවඳත්, දිව පිනවන මිහිරි රසයත් හාල්මැස්සන් දඹල කරලෙන් බලාපොරොත්තු නොවිය යුතුය. සමාජය තුළ එතරම් ජනප්‍රියතාවයක් මෙම බෝගයට ලැබී නැත්තේද මෙම දුර්වලතාවය හේතුවෙනි. එහෙත් එයට ආවේනික රසයක් හා සුවඳක් පවතී. එය ඇතැමුන්ට ප්‍රිය නැත. වැල පුරා පොකුරු වශයෙන් හටගන්නා කරල් දුඹුරු පැහැ ගනිමින් වේලී ගියවිට වියළි හාල්මැස්සන්ගේ පෙනුම ලැබෙන නිසා මෙසේ හැඳින්වීමට සමාජය පෙළඹී තිබෙන බව සිතිය හැකි කරුණකි. එහෙත් මෙම කරල් ඇසුරෙන් ‘කන්න හිතෙන’ අපූරු ව්‍යංජනයක් පිළියෙළ කළ සූපවේදියෙක් අප සමග පැවසුවේ සිහින්ව කැපූ මෙම කරල් වියළි හාල්මැස්සන් හා මිශ්‍රකළවිට සෑදෙන අනගි ආහාරය නිසා මෙවන් හැඳින්වීමක් ලැබෙන්නට ඇති බවය. කෙසේ වෙතත් පෙරදාටත් වඩා වැදගත්කමක් හාල්මැස්සන් දඹලවලට  අද දවසේ ලැබී තිබෙන බවනම් පිළිගත යුතුය.

නැතිබැරි කාලෙට  වටිනා බෝගයක් - හාල්මැස්සන් දඹල

 “අපි ගොවි ක්ෂේත්‍ර ගවේෂණය කරමින් මෙම බෝගයේ තිබෙන වගා දර්ශ එකතු කෙරුවා. දැනට අපි සතුව රූපීයව වෙනස් දර්ශ 25 කට වඩා තිබෙනවා. සමහර ඒවා ප්‍රභා උදාසීන වර්ග. ඒ කියන්නේ හිරුඑළිය පතනය වෙන කාලය නොහොත් දවල් කාලයේ දිග, ඒවායේ මල් පිපෙන්නට බාධාවක් නෑ. ඒ නිසා අවුරුද්ද පුරාම මල් පිපෙනවා. ඵල දරනවා. තවත් සමහර ඒවා ප්‍රභා සංවේදීයි. දහවල් කාලයේ දිග අනුව තමයි ඒවායේ මල් පිපෙන්නේ. මේ නිසා අවුරුද්දේ වැඩි කාලයක් ඒවායේ වැල් ඇදෙමින් වැඩෙනවා මිසක් කරල් එන්නේ නෑ. තවත් විස්තර කරනවානම් මේ දෙවර්ගය තුළම තිබෙනවා මාංසල කරල් සහ මාංසල නොවන පොතු වගේ කරල් තිබෙන දෙවර්ගයම. ඉතින් අපි වගාවකට තෝරාගන්න ඕනෑ මාංසල කරල් හැදෙන ආලෝකය ලැබෙන කාල පරාසයට සංවේදී නොවන වගා දර්ශයක්.”

 තම කාර්යාල පරිශ්‍රය තුළ කම්බිගසා සාදනලද වංගු සහිත පන්දලමක් පිරෙන්නට විවිධ මාදිලියේ හාල්මැස්සන් දඹල වැල් වවාගෙන ඒවාහි හැඩරුව හා ගතිගුණ අධ්‍යයනයේ යෙදී සිටින ගන්නොරුවේ උද්‍යාන බෝග පර්යේෂණායතනයේ ශෂ්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන විද්‍යාඥ දයානි කරුණානන්ද තම අත්දැකීම් ගෙනහැර පෑවේ එලෙසිනි. අද වනවිට තවත් වගා සංග්‍රාමයකට රට සූදානම් වෙමින් සිටී. මාස කීපයක් තුළ ආහාර හිඟයකට මුහුණදීමට සිදුවනු ඇති බවට බලධාරීන් විසින්ද මේ වනවිට ප්‍රකාශයට පත්කර හමාරය. ගෙවතු වගාව කෙරෙහි උනන්දුවීමේ අවශ්‍යතාවය අප විසින්ද කල්තබා පෙන්වාදුන්නේ මේ හේතුවෙනි. සාම්ප්‍රදායික මෝස්තර ගෙවත්තෙන් මිදී, පෝෂණීය ගෙවත්තක

 අවශ්‍යතාවය කීප වතාවකදීම පෙන්වා දෙනු ලැබුවේ ජනතාවගේ පෝෂණය සම්බන්ධයෙන් වෙනදාට වඩා වැඩි වගකීමක් ගෙවත්ත මත පැවරී තිබෙනා බැවිනි. ඒ අනුව බැලූකල හාල්මැස්සන් දඹල වැනි බෝගයක් ඉදිරියටම එන්නේය.

 “සාමාන්‍ය බෝංචි ප්‍රභේදයන්ට වැළඳෙන රෝග හාල්මැස්සන් දඹලවලට එන්නේ අඩුවෙන්. කොළ කහවීමේ රෝගය යනාදිය එන්නෙම නැතිතරම්. ගෙවත්තේ අයිනකට වෙන්න තියෙන වැටකට මේ වැලක් යැව්වහම අමතර පොහොර දැමීමකුත් නෑ. හිටවද්දී කෙරෙන ආරම්භක සැලකිල්ල විතරයි. කර්කශ පරිසරයට හොඳට ඔරොත්තු දෙනවා. ඒ නිසා ගෙවත්තේ හොඳට දියසීරාව තිබෙන තැන්වලට සංවේදී බෝගවලට වෙන්කරලා, ආන්තික බිම්කොටසක් මේ බෝගයට වෙන්කරන්න පුළුවන්. අද හුඟක් දෙනා කතාකරනවානේ දේශගුණ විපර්යාස නිසා ඵලදාවට සිදුවෙන හානි ගැන. ඒ පැත්තේ බැලුවත් හාල්මැස්සන් දඹල ඔරොත්තු දෙන බෝගයක් කියන්න පුළුවන්.”

 කරුණානන්ද මහත්මිය වැඩිදුරටත් පෙන්වාදෙයි. දකුණු ඉන්දීය මෙන්ම වෙනත් ආසියාතික රටවල කෑම රටාවන් තුළ හාල්මැස්සන් දඹල වලින් සාදන කෑම වර්ග ගණනාවකි. ඇතැම් තැන්වල ඇත්තේ ලපටි කරල් මාළු හෝ මස් සමග මිශ්‍රකොට සාදන ව්‍යංජනයන්ය. ඇතැමුන් මේරූ බීජ වෙන්කරගෙන ඒවාහි තිබෙන තරමක් ඝන බීජාවරණයද ඉවත්කර බීජ පියළි වෙන්කර ගනිමින් තම්බා සුප් වර්ගද සාදනු ලබයි. මෙරටුන්ගේ දිවට ගැලපෙන්න අනුභව විධි බිහිකිරීම උදෙසා ආහාර තාක්ෂණවේදීන් පෙරට පැමිණීමද කාලීන අවශ්‍යතාවයකි.

 “අපි රසායනික විශ්ලේෂණයක් පවා සිදුකෙරුවා. මේ කරල් හා බීජ තුළ කුමන ආකාරයේ සංයෝග තිබේදැයි බැලීම තමයි අරමුණ වුණේ. පශු පර්යේෂණ ආයතනය හා සම්බන්ධව කරන ලද ඒ සොයාබැලීමෙන් පවා තහවුරු වුණා පෝෂ්‍ය පදාථයන්ට අතිරේකව කිසිදු ආගන්තුක හානිකර සංයෝග මිශ්‍රණයක් නොතිබෙන බව.”

 එසේ පවසන කරුණානන්ද දයානි මහත්මිය සතුව ගෙවතු වගාකරුවන්ට ලබාදීම සඳහා කිසියම් ප්‍රමාණයක බීජ සංචිතයක්ද තිබේ. බීජ 10 ක පමණ ප්‍රමාණයක් ඔබේ ගෙවත්ත සරුකිරීමට හොඳටම ප්‍රමාණවත් වනු ඇත. ගන්නොරුවේ උද්‍යාන බෝග ආයතනය අමතා (0812388011 – 13 ඇය සම්බන්ධකර ගැනීමෙන් පසු ඔබගේ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කරගත හැකිවේවි.

 සනත් එම්. බණ්ඩාර
[email protected]
සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment