නැතිවම බැරි වී නැත්තටම නැතිවන දෝතලු

1533
badadaathi


 
සිංහලයන් පිරිත් පින්කම්, ශාන්ති කර්ම, බලි තොවිල්, මංගල අවස්ථා වැනි තම ආගමික, සංස්කෘතික, කලා කටයුතු සෞභාග්‍ය දනවමින් වඩාත් සුන්දර කර ගැනීමට සොබාදහමේ අපූර්ව නිර්මාණයක් වන පොල්, පුවක් වැනි තාල වර්ගයේ ශාකවල මල් බහුල වශයෙන් යොදා ගනී. මේවා අතුරින් දුලභව හමුවන පුවක් මලක් ආකාරයේ රක්ත වර්ණ මලකට විශේෂ වැදගත් කමක් හිමිවේ. මේ රක්ත වර්ණ මල පුවක් මලක් සේ පෙනුනත් සැබැවින්ම එය අතිශය දුර්ලභ ”දෝතළු” ශාකයෙහි මලයි. මලේ පැහැය නිසා දෝතළු ශාකය සමාජගතවී ඇත්තේ ”රත් දෝතලූ” හෝ ”රන් දෝතලූ” ලෙසිනි. මෙම  ගසෙහි ඇති දුර්ලභත්වය හා මලෙහි සුන්දරත්වය නිසා අතීතයේ සිටම මෙම මල් කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වූ බව ජනශ‍්‍රැති හා සාහිත්‍යයේ හමුවන තොරතුරු අනුව පැහැදිලිවේ. දෝතලූ ශ‍්‍රී පාද අඩවියේ ප‍්‍රමුඛ වශයෙන් හමුවන අතර බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ අවස්ථාවේදී සමනල ගිරි මුදුනේ ශ‍්‍රීපාද පද්මය පිහිටුවන ලෙස සුමන සමන් දිව්‍ය රාජයා බුදුන් වහන්සේට ආරාධනා කළේ රත් දෝතලූ මලක් පූජා කොට බව ජනප‍්‍රවාදයේ දැක්වේ. මේ නිසා අදටත් රත් දෝතලූ මල් ශ‍්‍රී පාදයට පූජා කිරීමට බොහෝ අය උත්සාහ ගනී. අතීතයේ දෙවොල් මඩු ශාන්ති කර්මයේ දී පත්තිනි දේවිය වෙනුවෙන් පුවක්, තල්, පොල්, ඉඳි සහ දෝතලූ භාවිතයෙන් සකස් කළ විශේෂ සැරසිල්ලක් භාවිතා කළ බවද සඳහන්වේ. සෙනසුරු අපල දුරු කිරීමට දෝතලූ පූජා කළ යුතු යැයි පවතින මිථ්‍යා ඇදහීමක් නිසා සෙනසුරු අපල දුරු කිරීමට දෝතලූ පූජා කරන අයුරු වර්තමානයේ පවා දැකිය හැකිය.
 
 ”උඳු මුං කල කලත් මාරුතු තණ වීවග
 
 දෝතලූ තල් තැඹිලි අඹ රඹ උගු සමග
 
 ඇම කල් සැදි නොයෙක් කෙත් වතු දැක එමග
 
 මඳ තැන් තොසින් තොගොසින් මිතුර මන රඟ”
 
 යනුවෙන් ගිරා සංදේශ මාර්ග වර්ණනාවේදී ද දෝතලූ මලේ සුන්දරත්වය අගය කිරීමට ලක්ව තිබේ.
 
 ”බඳිමින් වලූමල් දෝතලූ සුද් දේ
 
 සදමින් කුඩ කොඩි ඒ මැදි මැද් දේ
 
 බඳිමින් රන් දජ මිණි බැඳි සද් දේ
 
 වඩමින් එකුමරු ඒ පුර මැද් දේ”
 
 යනුවෙන් මහාබිනික්මන් කාව්‍ය දක්වන්නේද දෝතලූ මල් අලංකාරය වැඩි කිරීමට භාවිතා කළ බවයි. සිදුහත් කුමරු
 
 ගිහිගෙයින් නික්මීම විස්තර කිරීමට මහනුවර යුගයයේදී ගැමි බසින් ලියවුනු මෙම කාව්‍ය ලියූ කවියා දෝතලූ සුන්දරත්වයට වශී වී ඒවා අලංකාරයට යොදා ගන්නට ඇත.
 
 ”තැඹිලි තඹුනෙල් නවසි බෝදිලි
 
 තල් කිතුල් ඉඳි කැන් මනා
 
 ලේනතැරි දෝතළු පුවක් වලූ කදලි සුවරෑඳල් සමගිනා
 
 ලබු පුසුල් නාරන් දොඩම් අඹ රසැති වැළ වරකා ගෙනා
 
 තෙදැති ගණපති නුවණ දෙන්
 
 මට පුදම් මේ හැම සිතු මෙනා”

natiwamabarivee1
 
 යනුවෙන් වදන් කවි පොතට පවා දෝතලූ එකතු වී තිබේ. දෝතලූ මලේ සුන්දරත්වය නිසාම පැරණි සමාජය සොදුරු යුවතියන් දුටුවේද දෝතලූ මල් ලෙසය. දෝතලූ නාමය අතීතයේ රූමත් යුවතියන් සඳහා බහුලව භාවිතා කල බව සමාජයෙන් හමුවන ජන කවි ජන කතා අනුව පැහැදිලිවේ. දෝතලූ මල් එතනා ජන ශ‍්‍රැතියේ බොහෝ ප‍්‍රකටය. මිහිරි හඬින් ගී ගයනමින් වනයේ සැරිසැරූ ඉතාම සුන්දර තරුණියක් දකින යකෙකුට ඇය පිළිබඳ සිතක් පහළවීම සම්බන්ධව දැක්වෙන ප‍්‍රකට ජනතාවක් වෙයි. එහිදී
 
 ”හදිස්සියේ මම යමිනා දුර ගමනා
 
 ළමිස්සියක් කැලයක හිඳ දර කඩනා
 
 ළමිස්සී නොවෙයි දෝතලූ මල් එතනා
 
 ගැටිස්සියේ නුඹ සිටිනා තැන කොතනා”
 
 යනුවෙන් පවසමින් යකා තරුණිය වර්ණනා කරන්නේද දෝතලූ මල් එතනා ලෙසය. දෝතලූ මල් මෙන් සුන්දර යුවතියන් පිළිබඳ එකළ සමාජයේ තිබූ වටිනාකම ඉන් පැහැදිලි වෙයි. අතීතයේ පමණක් නොව
 
 ”සෙංකඩගල දිලෙනා
 
 දෝතලූ මල් එතනා
 
 මේ මල් රේණු නැතුව කලියුගයට පිපුණා”
 
 යනුවෙන් නූතන ගීත සාහිත්‍යයේද රූබර තරුණියන් දෝතලූ මල් එතනා යනුවෙන් දැක්වූ අවස්ථාවන් හමුවෙයි.
 
 මෙලෙස අතීතයේ සිටම ඉහල වටිනා කමක් අත්කරගත් දෝතලූ ගසද පුවක් ගස අයත් කුලය වන Plame කුලය හෙවත් තාල කුලයට අයත් ශාකයකි. Loxococcus rupicola (Thw’&H.Wendl. & Drude (ලොක්සොකොකස් රුපිකෝලා) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙරටටම ආවේණික ශාක විශේෂයක් වන දෝතලූ ශාකය මීටර් 300 – 1500 අතර නිරිත දිග වැසි වනාන්තර ආශ‍්‍රිතව සීමිත ව්‍යාප්තියක් පෙන්වයි. දිය පහරවල් අසල සෙවන සහිත සිසිල් පරිසරයන්හි පර්වත මතුපිට සමූහවාසී කුඩා ගහන ලෙස මේවා දක්නට ලැබේ. මෙය 2012 රතු දත්ත ලැයිස්තුවෙහි ෑභ හෙවත් වඳවී යෑමේ තර්ජනයට ලක්වූ විශේෂයක් ලෙස වර්ගීකරණය කොට තිබේ. සබරගමුව ආශ‍්‍රිත වනාන්තර හා ගෙවතුවල මෙම ශාකය ස්වාභාවිකව හමුවන අතර ශ‍්‍රී පාද අඩවියෙහි ප‍්‍රධාන වශයෙන් හමුවේ. මීටර 5 -12 පමණ උස සිහින් කඳකින් යුත් මෙම ශාකය බීජ මගින් ව්‍යාප්ත වන අතර පැළ, පැළවීමේ ප‍්‍රතිශතය අඩු නිසා ව්‍යාප්ත වීම සීමා වී තිබේ. දෝතළු ගසක් පීදුනු පසු නිපත‍්‍රයක් හෙවත් කොලපුවකින් ආවරණය වූ පුෂ්ප මංජරිය දක්නට ලැබිය හැකිය. මෙම නිපත‍්‍රය රතු පැහැ වන අතර පුෂ්ප මංජරියද තද රතු පැහැයක් ගනී. මෙම ශාකය රත් දෝතලූ හෝ රන් දෝතලූ ලෙස නම් ලැබීමට හේතු වී ඇත්තේද මෙම රක්ත වර්ණයයි. දෝතලූ ඵලයක් සෙ.මී. 2.5 පමණ වට ප‍්‍රමාණයකින් යුක්ත වන අතර එක් වර ගෙඩි 15 -25 පමණ සෑදේ. බුලත් විටට ගන්නා පුවක් මෙන් මෙහි බීජ හෙවත් ගෙඩිද සාමාන්‍ය පුවක් මෙන්ම බුලත් සමග කෑමට යොදා ගන්නා අතර ඖෂධ නිපදවීම සඳහා යොදාගත් බවටද වාර්තා වී තිබේ.
 
 මෙම ශාක විශේෂය රත් දෝතලූ හෝ රන් දෝතලූ ලෙස හැඳින්වූවද ඇතැම් ප‍්‍රදේශවල මෙම විශේෂය  ”රත්” හෝ ”රන්” යන විශේෂණ පදය නොමැතිව  ”දෝතලූ” ලෙස හඳුන්වයි. නමුත් ඇතැම් අය වැරදි වැටහීම නිසා Areca concinna (ඇරිකා කොන්සින්නා) යන විද්‍යාත්මක නමින් හඳුන්වන ලේනතැරි ශාකයද දෝතළු ලෙස හඳුන්වයි. රත් පැහැ වීම නිසා ”දෝතලූ” වර්තමානයේ ”රත් දෝතලූ” ලෙස විශේෂයන් හැඳින්වූවද අතීතයේ ඒවා දෝතලූ ලෙස හඳුනා ගෙන ඇත. වදන් කවි පොතෙහි ”ලේනතැරි” හා ”දෝතලූ” යන වදන් දෙකම භාවිතයෙන් පෙනී යන්නේ පුරාණයේ මෙම ශාක විශේෂ දෙක වෙන් වෙන් වශයෙන් හඳුනාගත් බවයි. රත්නපුර වේවැල්වත්ත ප‍්‍රදේශයේ හමුවන දෝතලූ ඔය හා ඉන් හට ගන්නා සුන්දර දිය ඇල්ලද ”දෝතලූ ඇල්ල” ලෙස නම් ලබා ඇත්තේ එය පිපුණු දෝතලූ මලක් මෙන් සුන්දර නිසා මෙන්ම එම ඇල්ල අවට දෝතලූ ගස් විශාල ලෙස හමුවන නිසාය. කිතුල්ගල, මාකන්දාව වන රක්ෂිතය තුල පිහිටි සුන්දර දිය ඇල්ලක් ”ලේන්තැරි ඇල්ල” ලෙස නම් ලබා ඇති අතර ඊට හේතු වී ඇත්තේ අතීතයේ ඒ අවට ලේන්තැරි ගස් බහුල ලෙස හමුවීමය. මෙයද දෝතලූ හා ලේනතැරි යන ශාක වෙනස් විශේෂ දෙකක් ලෙස හඳුනාගත් බවට සාධකයකි. ලේන්තැරිද දෝතලූ මෙන්ම ආරක්ෂිත ශාක ලැයිස්තුවේ ඇති දුර්ලභ ඒක දේශික ශාකයකි. මෙම දෝතලූ ශාකයේ ඇති වටිනාකම නිසාම 2020 මාර්තු 03 වන දින වෙළෙඳාමෙන් තර්ජනයට ලක්වූ වන විශේෂ මුද්දර කාණ්ඩය යටතේ රත්දෝතලූ මලක් ඇතුළත් මුද්දරයක්ද නිකුත් කරන ලදී. 1979.03.26 දින නිකුත් කරන ලද මෙරට ආවේණික ශාක හා සතුන් නිරූපණය වූ මුදල් නෝට්ටු කාණ්ඩයෙහි රුපියල් 100 නෝට්ටුවටද ලේන්තැරි ශාකයේ රූපයක්ද එක් කර තිබීමෙන් එහි වැදගත් කම ඉස්මතුවේ.
 
 මෙම ශාකයට සිදුවන ප‍්‍රධානම හානිය වන්නේ මිථ්‍යා විශ්වාස නිසා රත් දෝතළු මල් විවිධ පූජාවන්ට යොදා ගැනීමය. ශ‍්‍රීපාදස්ථානය රුවන් වැලි සෑය මුල්කරගනිමින් මහා පූජාවන් ලෙස මෙම මල් පූජාව සිදුවේ. විසිතුරු ශාකයක් ලෙස ඉහළ විභවයක් ඇති නිසා මෙම පැළ වාණිජ අරමුණු වෙනුවෙන් යොදා ගැනීමට දරන උත්සාහයන්ද තිබේ. දෝතලූවල ඇති වඳවීයෑමේ හැකියාව නිසා 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත මගින් VIII උපලේඛනය යටතේ ආරක්ෂිත ශාක නාම ලේඛනයට ඇතුළත් කොට තිබේ. ඒ අනුව මෙම ශාකය හෝ ශාකයේ කොටසකට හානිදායක යම් ක‍්‍රියාවක් කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම මුළුමනින්ම තහනම් වේ. මෙම තහනම පෞද්ගලික දේපලක තිබෙන ශාකයකට පවා අදාළවේ.
 
 යමෙකු සැබෑ ලෙසම මෙම ශාකවලට ආදරය කරන්නේ නම් කළ යුත්තේ ස්වාභාවික පරිසරයේම ඒවා බෝවීමට ඉඩ හැරීමය. මෙතරම් වැදගත් කමක් සහිත ශාකයක් අන්ධ භක්තියෙන් යුතුව විනාශ කිරීම මහා පාපකාරී ක‍්‍රියාවකි. නීතියෙන් දඬුවම් ලැබිය හැකි දිට්ඨධම්මවේදනීය කර්මයකි.
 
 ”පූජේමි බුද්ධං කුසුමේන නේන
 පුඤ්ඤෙන මෙතෙන ලබාමි මොක්ඛං
 පුප්ඵං මිලායාති යථා ඉධංමෙ
 කායො තථා යාති විනාස භාවං”
 
 මේ මල් බුදුරජාණන් වහන්සේට පුජා කරමි. මේ පින හේතුවෙන් මට නිවන ලැබේවා! මේ මල් යම් සේ පරවන්නේද මාගේ ශරීරයද එසේ විනාශ වන්නේය යනුවෙන් අර්ථවත් ලෙස ජීවිතයේ සැබෑ ස්වරූපය අවබෝධ කර දීමට මල් පූජාව අනුදැන වදාරන බෞද්ධ දහමට අනුව සුදුසු වන්නේ උදයේ පිපී සවසට පරවන සුලබ මල් පූජාවය. මල් පූජාවේ සැබෑ පින ලැබීමට ගෙමිදුලේ පිපෙන සුලබ මලක් පූජා කොට එය මැලවෙනු බලා ජීවිතයේ යථා ස්වාභාවය අවබෝධ කරගත යුතුය. අතිශය දුර්ලභ නීතියෙන් ආරක්ෂිත දෝතලූ නෙළීම තහනම් වූවද එය සමන් දෙවිඳුන්ට, බුදුන්ට පුදා පින්රැුස් කර ගැනීමට නීතිය බාධාවක් නොවේ. ඒ මල් පූජාව සිදුකළ හැකි ආකාරයද කුද්දක නිකායෙහි ආපදානපාලියෙහි කිංසුක පූජක ථේරාපදානයෙහි කියාදෙයි. කිංසුක නම් තෙරුණ්වහන්සේ නමකට මලින් පිරුණු කෑල ගසක් දැක බුදුරජාණන් වහන්සේට මේ මල් පූජා කිරීමේ සිත් පහළ වූ නමුත් එම මල් නෙළා ගැනීමට නොහැකි වීම නිසා උන් වහන්සේ
 
 ”කුසුමං ථුල්ලිතං එතං
 වණ්ණගන්ධායතං මුදා
 බුද්ධෙසට්ඨං සරිත්වාන
 ආකාසේපි සුපූජයේ.”
 
 යන ගාථාව කියා එම මල් බුදුන් වහන්සේට පූජාකොට කල්ප අනූහතරක් කල් දුගතියක් නම් නොදුටුවේය. මේ නිසා නෙළා ගැනීම නීතියෙන් තහනම් වනයේ පිපී දිලෙන දුර්ලභ රත් දෝතලූ මලක් දුටු විට එය බුදුන් වහන්සේට පූජා කිරීමට සිතක් පහළ වූයේ නම් එම මල ගසෙහි තිබියදීම මෙම ගාථාව සජ්ඣායනා කොට එය බුදුන් වහන්සේට පූජා වේවා යැයි ප‍්‍රාර්ථනා කොටද ඒ මහා පුණ්‍යකර්මය සිදු කරගත හැකිය. එය අනාගත පරපුරටද ගස ඉතිරි වන ජාති ජාතින් පින් ලැබෙන මහා පුණ්‍යකර්මයක් වනු ඇත.

– අසිරු වේදිත කරුණාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment