අතරමඟ නැවතුණු ව්‍යාපෘති ගොඩගන්න ආයෙත් ඇමරිකානු ඩො. බිලියනයක්
රටේ පැවති ආර්ථික අර්බුදයත් සමග රජය විසින් විදේශ ණය වාරික හා පොලී ආපසු ගෙවීම 2022 වර්ෂයේ දී තාවකාලිකව නතර කරනු ලැබීය. ඒ සමග විදේශීය ණය ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වූ මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘතිද අතරමග නතර විය. පසුගිය කාලයේ චීන එක්සිම් බැංකුවේ නැතහොත් චීන ආනයන හා අපනයන බැංකුවෙන් ලබාගත් ණය මුදල් මත මෙරට මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්ම කරනු ලැබීය. චීන එක්සිම් බැංකුව විසින් ණය මුදල් ලබාදීම නතර කිරීම හේතුවෙන් ඇතැම් සංවර්ධන ව්‍යාපෘති නවතා දැමීමට සිදුවිය. කෙසේ වුවද ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග චීන එක්සිම් බැංකුවේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක කරනු ලැබූ සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට හැකිවී ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත්කොට ඇති නිවේදනයට අනුව ඩොලර් බිලියන 4.2 ක ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව චීනයේ අපනයන – ආනයන බැංකුව (EXIM) සමග අත්සන් කළ බව සඳහන් කොට තිබුණි. එම නිවේදනයට අනුව මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මගින් සැළකිය යුතු ණය සහන සැලසෙන අතර, අත්‍යවශ්‍ය මහජන සේවාවන් සඳහා වැඩි අරමුදල් වෙන්කිරීමට සහ තීරණාත්මක යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහනදායී මූල්‍යකරණය නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට ඉඩ සැලසෙන බව ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත්කොට ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ශ්‍රී ලංකාව සිය ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 4.2ක් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා චීන අපනයන -ආනයන බැංකුව සමග ණය ගිවිසුමක් අත්සන් කළ බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ ද සඳහන් කොට තිබුණි. ණය වෙනුවෙන් සහනයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා සිටියේ 2022 ජනවාරි මාසයේදීය. ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමත් සමග අතරමග නවතා දමා තිබූ ව්‍යාපෘති සඳහා වෙන්ව තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලක් මෙරටට ලැබීමට නියමිතව ඇති බැව් භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කොට තිබුණි. මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීන අපනයන ආනයන බැංකුව සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගිවිසුම්වලට එළඹීමත් සමග මෙකී මුදල් භාවිතයට ගැනීමට හැකිවනු ඇති බවද එම ප්‍රකාශකයා සඳහන් කොට තිබුණි. ඒ අනුව කඩවත මීරිගම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට හැකිවන අතර දැනට වසර තුනක පමණ කාලයක සිට මෙකී අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නතර වී තිබුණි. ඒ විතරක් නොව මූල්‍ය අර්බුදය නිසා නතර වී ඇති මාර්ග ව්‍යාපෘතිවලින් බහුතරයක් යළි ආරම්භ කිරීමට හැකිවන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
චීනයේ ඇති රාජ්‍ය බැංකු අතර චීන අපනයන හා ආනයන (එක්සිම්) බැංකුව ද ලෝකයේ රටවල්වල විවිධ ව්‍යාපෘති සඳහා ණය ලබාදෙන බැංකුවකි. චීන බැංකුවලින් ණය ලබා දෙන්නේ අධික පොලී අනුපාතයක් යටතේය. එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ විලියම් සහ මේරි විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාර දත්තවලට අනුව වසර 18ක කාලයක් තුළදී චීනය විසින් රටවල් 165ක් සඳහා ඩොලර් බිලියන 843 ක් වටිනා යටිතල පහසුකම් ව්‍යාපෘති 13,427 කට මුදල් හෝ ණය ලබා දී ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා සඳහන් කරන ආකාරයට මෙම වර්ෂයේ මාර්තු මස 30 වැනිදින වන විට චීන එක්සිම් බැංකුව මගින් මෙරට ව්‍යාපෘති සඳහා ලබාගෙන ඇති ණය මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 3993කි.
ගෙවීම් පැහැරහැර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 904කි.
වෙරිටේ රිසර්ව් ආයතනය මගින් නිකුත්කොට තිබූ වාර්තාවකට අනුව පුත්තලම ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය, හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ව්‍යාපෘතිය සඳහා චීන ආනයන අපනයන බැංකුවෙන් ණය ලබාගෙන තිබුණි. එකී ව්‍යාපෘති සඳහා ගෙවීමට ඇති ණය මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1902කි. බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලිබලාගාර ව්‍යාපෘතිය, කොළඹ නෙළුම් කුලුන ව්‍යාපෘතිය සඳහාද චීනයෙන් ණය ලබාගෙන තිබූ අතර එකී ව්‍යාපෘති සඳහා ගෙවීමට ඇති ණය මුදල ඩොලර් මිලියන 140කි. ඒ අනුව රාජ්‍ය සංස්ථා විසින් චීනයට ගෙවිය යුතු ණය මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 2042කි.
ශ්‍රී ලංකා රජය විසින් විදේශීය ණය වාරික හා පොලී ගෙවීම නතර කිරීමත් සමග චීන අපනයන හා ආනයන බැංකුව විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස සඳහා ලබාදීමට එකඟවූ ණය මුදල් ලබාදීම නතර කරනු ලැබීය. ඒ සමග මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කඩවත දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු අතරමග නතර කරනු ලැබීය. මෙකී ව්‍යාපෘතිය නතර කිරීම නිසා මෙරට ශ්‍රමිකයන් 2000ක පමණ පිරිසකට රැකියා අහිමිවිය. චීනයෙන් ගෙන්වනු ලැබූ ශ්‍රමිකයන් කොන්ත්‍රාත් කාලය අවසන් වීමට පෙර නැවත චීනය වෙත පිටත් කර යැවීමට කොන්ත්‍රාත්කාර සමාගමට සිදුවිය. මෙම තත්ත්වය නිසා 2022 ජුනි මස සිට 2023 මැයි මස දක්වා කාලය තුළ සේවක පිරිස් චීනයට පිටත්කර යැවීමේදී දැරීමට සිදුවූ ගුවන්ගමන් බලපත්‍ර ගාස්තු, ඇතුළු අනිකුත් වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 40.66 සහ යෙන් මිලියන 4.96ක මුදලක් කොන්ත්‍රාත්කරු විසින් මෙකී ව්‍යාපෘතියෙන් ඉල්ලා තිබුණි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රුපියල් මිලියන 176,785කි. ඉන් රුපියල් මිලියන 158386 ක් චීනයේ ආනයන හා අපනයන බැංකුව විසින් ලබාදීම 2020 සැප්තැම්බර් මස 15 වැනි දින ආරම්භ කළ අතර මෙකී ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2024 සැප්තැම්බර් මස 14 වැනි දින අවසන් කිරීමට නියමිතව තිබුණි.
මෙකී ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නතරවීමත් සමග මාර්ගයේ ඇතැම් ස්ථානවල ඉදිකිරීම් සඳහා හෑරු වළවල් ජලයෙන පිරී තිබුණි. එම ප්‍රදේශවල ජනතාවද පාරිසරික වශයෙන් ගැටලු රැසකට ලක්ව සිටිති. ඒ විතරක් නොව කොන්ක්‍රීට් වැඩවල කම්බි අනාරක්ෂිත ලෙස නිරාවරණය වී තිබුණි. මේ නිසා එම ප්‍රදේශවල ජනතාව අනතුරුදායක තත්ත්වයන්ට ලක්ව සිටිති. කොන්ත්‍රාත් ගිවිසුමට අනුව මාර්ග ආරක්ෂාව සහ ව්‍යාපෘති ආරක්ෂණ සැලසුම් ක්‍රියාත්මක කර නොතිබුණි. බෝක්කු ඉදිකිරීම් දෙපස පස් පිරවීම සිදුකර නොතිබූ අතර බෝක්කු ඉදිකිරීමේ කටයුතු අතරමග නවතා දැමීම නිසා සාමාන්‍ය ජනතාවට දැඩි බලපෑමක් එල්ල වී ඇත. මාර්ග ආරක්ෂණය සඳහා 2022 වර්ෂය තුළ පමණක් රුපියල් මිලියන 9.82ක ගෙවීමක් සිදුකර තිබුණි.
මේ වනවිට කොන්ත්‍රාත්කරුට අතුරු ගෙවීම් මගින් රුපියල් මිලියන 13266.87ක මුදලක් ගෙවා තිබුණි. එහෙත් කොන්ත්‍රාත්කරුට නිම කළ වැඩ සඳහා නොගෙවා ඇති අතුරු ගෙවීම් වටිනාකම රුපියල් මිලියන 40,347.75කි. කොන්ත්‍රාත්කරුට මෙකී මුදල නොගෙවීම හේතුවෙන් 2022 වර්ෂයේ ජුනි මස 22 වැනි දින කොන්ත්‍රාත්කරු විසින් රුපියල් මිලියන 666.32 මුල්‍ය ගාස්තුවක් ඉල්ලා තිබුණි. මෙකී ව්‍යාපෘතිය සඳහා පුද්ගලික ඉඩම් කැබලි 5136ක් පවරාගෙන තිබූ අතර පවරාගෙන ඇති රජයේ ඉඩම් කැබලි සංඛ්‍යාව 1220කි. ඉඩම් අතපත්කර ගැනීම වෙනුවෙන් වන්දි මුදල් ලෙස ගෙවා ඇති මුදල රුපියල් මිලියන 9,402.14කි. ප්‍රමාද පොලිය ලෙස රුපියල් මිලියන 1,016.54ක් ගෙවා තිබුණි. ඉඩම් අත්පත් කරගැනීම වෙනුවෙන් ඉඩම් හිමියන්ට රුපියල් මිලියන 88.23ක් සහ ප්‍රමාද පොලිය ලෙස රුපියල් මිලියන 331.87ක් ගෙවීමට නියමිතව තිබුණි.
කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසිවලට අනුව කොන්ත්‍රාත්කරු විසින් කාර්යසාධන ඇපකරය තම පුද්ගලික වියදමින් ලබාගත යුතුය. එහෙත් එයට පටහැනිව ඒ සඳහා වැඩ ප්‍රමාණ පත්‍රවල වෙනම ගෙවීම් අයිතමයක් ඇතුළත්කර එම අයිතමය යටතේ රුපියල් මිලියන 805.43ක් ව්‍යාපෘතිය මගින් ගෙවා තිබුණි. කොන්ත්‍රාත් කොන්දේසි වෙනස් කිරීම සඳහා අනුමැතිය ලබාගත යුතුය. ඒ විතරක් නොව කොන්ත්‍රාත්කරුට වාසිදායක හා රජයට අවාසිසහගත කොන්දේසි කොන්ත්‍රාත් ගිවිසුම්වල ඇතුළත් නොකළ යුතුය. කොන්ත්‍රාත් ගිවිසුමට මෙම කොන්දේසි ඇතුළත් කළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත.
මෙකී මාර්ගය ඉදිකිරීමේදී පල්ලේවල නගරයට ආසන්නයේ කල්එළිය මැදගම්පිටිය මාර්ගය සැලසුම් කොට ඇත්තේ මධ්‍යම අධිවේගී මාර්ගයට ඉහළින් ගුවන් පාළමක් ඉදිකිරීමටය. මේ සඳහා ඉඩම් පවරා ගැනීමද අවසන් කොට තිබුණි. කෙසේ වුවද ගුවන් පාළම ඉදිකිරීම් සම්බන්ධයෙන් එල්ලවූ ජනතා විරෝධය හේතුවෙන් මාර්ගයේ මූලික සැලසුම් සංශෝධනය කිරීමට කටයුතු කරනු ලැබීය. මේ නිසා රුපියල් මිලියන 2.590ක අමතර පිරිවැයක් දැරීමට සිදුවී තිබූ අතර මීට අදාළ වැඩබිම භාර නොදීම මත කොන්ත්‍රාත්කරු විසින් රුපියල් මිලියන 411.92 අමතර ගෙවීමක් හා දින 177ක දීර්ඝ කිරීමක් ඉල්ලා තිබුණි.
තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය ද චීන එක්සිම් බැංකුවේ ණය මුදල් මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි. මේ වනවිට මෙකී ව්‍යාපෘතියද නතර වී ඇත. 2015 වර්ෂයේදී වූ ආණ්ඩු පෙරළියත් සමග ඇති වූ ජනතා විරෝධයත් සමග මෙකී ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමට නොහැකිවිය. කෙසේවුවද 2017 වර්ෂයේදී නැවත මෙකී ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා චිනයේ EXIM බැංකුව සමග ණය ගිවිසුම් අත්සන් කරනු ලැබීය. 2018 වර්ෂයේදී ව්‍යාපෘති කළමනාකරණ ඒකකයද ස්ථාපිත කරනු ලැබීය. ඒ කොයිහැටි වුවද පාස්කු ප්‍රහාරයෙන් පසු කොන්ත්‍රාත්කාර සමාගම විසින් අධ්‍යයන කටයුතු නතර කිරීමට කටයුතු කරනු ලැබීය. 2020 වර්ෂයේ දී මෙකී ව්‍යාපෘතියේ කටයුතු නැවත ආරම්භකරනු ලැබීය. මේ පිළිබඳ වාරිමාර්ග අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ 2020, 2021 යන වර්ෂවල මෙකී ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත්කර ගැනීමේ කටයුතු සියයට 95ක් ද, මැනුම් හා සමීක්ෂණ කටයුතු සියයට සියයක් මේ වනවිට අවසන් කොට ඇති බවය. තල්පිටිගල ජලාශ ව්‍යාපෘතියේ මූලික කටයුතු සියල්ල අවසන් කර ඉදිකිරීම් ඇස්තමේන්තුවෙන් සියයට 09ක පමණ ආසන්න ප්‍රමාණයක වැඩ කොටසක් අවසන් කොට ඇති බව වාරිමාර්ග අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට තිබුණි.
ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතියද පසුගිය කාලයේ දැඩි ලෙස කථාබහට ලක්වූ ව්‍යාපෘතියකි. මෙකී ව්‍යාපෘතියේ පළමු අදියරේ සැලසුම් සකස් කිරීම සඳහා පමණක් අවුරුදු 05කුත් මාස 04ක් ගතවී තිබූ අතර ව්‍යාපෘතියේ සැලසුම් සකස් කිරීමේ කටයුතුවලින් සියයට 7.5ක ප්‍රමාණයක් තවදුරටත් නිමකළ යුතුව තිබුණි. ගිං නිල්වලා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2014 වර්ෂයේ නොවැම්බර් මස 05 වැනිදින වාරිමාර්ග අමාත්‍යාංශය විසින් චීනයේ CAMEC සමාගම සමග ඇමෙරිකානු ඩොලර් 690,000,000 ක කොන්ත්‍රාත් ගිවිසුමකට එළඹ තිබුණි. ඒ සඳහා පූර්ව අත්තිකාරම් ලෙස කොන්ත්‍රාත් වටිනාකමින් සියයට 4.35ක් වූ ඇමෙරිකානු ඩොලර් 29,989,000ක මුදලක් (රුපියල් 4,011,054,982) අදාළ කොන්ත්‍රාත් සමාගමට ගෙවීමට කටයුතු කරනු ලැබීය. කෙසේ වුවද යහපාලන රජය බලයට පත්වීමත් සමග මෙකී ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට කටයුතු කරනු ලැබීය. මෙකී ව්‍යාපෘතිය නිල්වලා ගංගාව ආශ්‍රිතව පමණක් සිදුකරන ලෙස ආර්ථික කළමනාකරණ කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත්කොට තිබුණි.
මෙම ව්‍යාපෘතිය ආරම්භකොට දැනට වසර 09ක් ගතවී තිබේ. ඒ සඳහා දරා ඇති වියදම රුපියල් මිලියන 4,090කි. ව්‍යාපෘතියේ භෞතික ප්‍රගතිය සියයට 4.5කි. ඒ විතරක් නොව වසර 05 කාලයක් තුළ ව්‍යාපෘති කාර්යාලයේ කාර්ය මණ්ඩල සඳහා වැටුප් දීමනා හා අනිකුත් කටයුතු සඳහා රුපියල් මිලයන 27ක මුදලක් වැයකොට තිබුණි. මෙකී ව්‍යාපෘතිය සඳහා මේ වනවිට රුපියල් මිලියන 4,090ක මුදලක් වැයකරනු ලැබුවද ජනතාවට කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් ලැබී නොතිබුණි.
වයඹ මහ ඇළ ව්‍යාපෘතියද වාරිමාර්ග අමාත්‍යාංශය මගින් කරනු ලබන මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘතියකි. මෙකී ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 9978.48කි. මෙහි ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව 2020 වර්ෂයේදී චීනයේ CAMEEQMCG- JV නැමති විදේශීය සමාගමකට භාරදී තිබූ අතර 2020 2024 යන කාලය තුළ ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම්කොට තිබුණි. කොන්ත්‍රාත් සමාගමේ කාර්යමණ්ඩල හිඟය, ඉදිකිරීම් උපකරණ නොමැතිවීම, දුර්වල වැඩබිම් කළමනාකරණය හේතුවෙන් වසර දෙකක කාලයක් තුළ ව්‍යාපෘතියේ ඉදිකිරීමේ ප්‍රගතිය සියයට 2.97ක් තරම් පහළ මට්ටමක පැවතුණි. මේ නිසා මෙකී කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට වාරිමාර්ග අමාත්‍යාංශය මගින් පියවර ගෙන තිබුණි. ඒ වනවිට කොන්ත්‍රාත් සමාගම වෙත පූර්ව අත්තිකාරම් ලෙස ලබා දී ඇති මුදල රුපියල් මිලියන 1,197.32කි. නිම කළ වැඩ වෙනුවෙන් ගෙවා ඇති මුදල රුපියල් මිලියන 355.24කි. ඉදිරියේදී මෙකී කොන්ත්‍රාත්තුවේ පිරිවැය රුපියල් මිලියන 17604කින් ඉහළ යා හැකි බවට ඇස්තමේන්තුකොට තිබුණි.
එමෙන්ම චීනයේ එක්සිම් බැංකුවේ ණය අරමුදල් මත මධ්‍යම හා ඌව පළාත්වල මාර්ග හා පාළම් පුළුල් කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ. කි.මී. 64.31 දිග මාර්ග පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම මෙකී ව්‍යාපෘතියේ අරමුණ වේ.
නතර වී ඇති ව්‍යාපෘති ආරම්භ කිරීම පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා කියන්නේ මෙවැනි කථාවකි.
චීනය ලෝකයේ ගොඩක් රටවලට ණය දීල තියෙනවා. චීනය ප්‍රධන ණය දෙන රටවලින් එකක්. චීන එක්සිම් බැංකුවට අමතරව ව්‍යාපෘති සඳහා හන්ගෙරියානු එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 47ක්, ඉන්දියාවේ එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 871ක්, ඇමෙරිකා එක්සත් ජනපදයේ එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 40ක් ණය අරගෙන තියෙනවා. ඒ අනුව චීනයේ එක්සිම් බැංකුවෙන් තමයි වැඩිම ණය මුදලක් අරගෙන තියෙන්නේ.
මේ අවස්ථාවේදී කළ යුත්තේ පාරවල් හදන එක නෙවෙයි. ණය ගැනීම අවම මට්ටමක තියාගෙන දේශීය ආර්ථිකයට ශක්තිමක් කිරීමට කටයුතු කිරීමයි. විදේශීය ණයවලින් කෙතරම් ප්‍රමාණයක් රටේ වත්කම් බිහිකරන්න දායක වෙනවාද? කෙතරම් ප්‍රමාණයක් කාගේ කාගේ සාක්කුවලට යනවාද කියලා අපි දන්නේ නැහැ. විදේශ රටවලින් ණය ලැබෙන්නේ නැති නිසා සාක්කුවලට යන ප්‍රමාණය සැලකිය යුතු අයුරින් අඩුවෙලා තියෙනවා. මෙම ණය ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම තුළින් රටට වාසියක් අත්වේද කියන ප්‍රශ්නය මතුවෙනවා. විදේශ ණය අරගෙන ව්‍යාපෘති අරම්භ කරන විට එම ව්‍යාපෘතිවලින් විදේශ විනිමය උපයාගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැතිව එම ව්‍යාපෘතිවලින් රුපියල් උපයලා වැඩක් නෑ. බවද මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා කියන්නේය.
ලලිත් චාමින්ද