1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනතට අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන ජනාධිපතිවරණය එළැඹෙන 21 වැනි ශනිදා (සැප්තැම්බර් 21) පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරණය පැවැත්වූ 1982 ඔක්තෝබර් 20 වැනිදා සිට 2019 නොවැම්බර් මස පැවැති ජනාධිපතිවරණය දක්වා ජනාධිපතිවරණ අටක් පවත්වා ඇති අතර මෙම සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන්නේ නව වැනි ජනාධිපතිවරණයයි.
ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ උණුසුම් හා විශාලතම අපේක්‍ෂකයන් සංඛ්‍යාවක් තරග වදින ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතය. මීට පෙර පැවැති විධායක ජනාධිපතිවරණ අට පැවැතුණේ ප්‍රධාන ප්‍රතිවාදීන් දෙදෙනා අතර ද්වන්ධ සටනක් ලෙසයි. මෙවර එය ප්‍රබල තුන්කොන් සටනක් බව පැහැදිලිව පෙනේ. ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් 17,140,354 ක (එක්කෝටි හැත්තෑ එක් ලක්‍ෂ හතළිස් දහස් තුන්සිය පනස් හතරක) පිරිසක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුරවැසියා තේරීම සඳහා සිය ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති. මෙවර ජනාධිපතිවරණයේදී පිළිගත් දේශපාලන පක්‍ෂවල අපේක්‍ෂකයන් ඇතුළුව ස්වාධීන අපේක්‍ෂකයන් ද සමගින් 39 දෙනකුගේ නාම යෝජනා මැතිවරණ කොමිසම විසින් පිළිගනු ලැබූ අතර, එක් අපේක්‍ෂකයකු වූ එම්. ඉලියාස් (ස්වාධීන) මහතා නාම යෝජනා භාරදීමෙන් දින කීපයකට පසුව හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත විය. මෙවර ජනාධිපතිවරණය සඳහා එකදු අපේක්‍ෂිකාවක් තරග නොකිරීම සුවිශේෂී සිද්ධියකි. මීට පෙර කිසිදු අයුරකින් සිදු නොවූ ලෙස මැතිවරණ නීතිය ද ක්‍රියාත්මක වෙමින් පවතින බැව් පෙනේ. ඒ සඳහා මැතිවරණ කොමිසම් සභාව සිය ශක්තිය ගෙන තමන්ට ලැබෙන බලතල අතට ගෙන ඇති බවක් පෙනුණ ද ඇතැම් දේශපාලන පක්‍ෂ නායකයන්, තම ආධාරකරුවන් හා ඇතැම් පාක්‍ෂිකයන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බැව් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ක්‍රියාකාරිත්වයේ එනම් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි. ස්වාධීන අපේක්‍ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතව තිබූ තරුණ හමුවක් ද අවලංගු කිරීමට හා සංග්‍රහ කිරීමට ගෙනා ආහාර පානද යළිත් හරවා යවනු ලැබීය. එලෙසම ගාලු මුවදොරට කැඳවා ත්‍රිරෝද කුලී රථවල ප්‍රධාන ජනපතිවරණ අපේක්‍ෂකයකු ප්‍රවර්ධන ස්ටිකර් ඉවත් කිරීමට ද පොලිසිය මෙහෙයුමක් සිදු කළ බවට වාර්තා විය. ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස නාම යෝජනා භාරදුන් ප්‍රේමසිරි මානගේ අපේක්‍ෂකයා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක රැලියක වේදිකාවට ගොඩවී කතාවක් පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමිසමේ අවධානයට යොමුවී ඇත.
යුරෝපා සංගමය ඇතුළු විදෙස් මැතිවරණ නිරීක්‍ෂණ කණ්ඩායම් කීපයක් ශ්‍රී ලංකාව තුළ ජනාධිපතිවරණය පිළිබඳ පූර්ව නිරීක්‍ෂණ ආරම්භ කර ඇති වකවානුවක ප්‍රධාන පක්‍ෂවල නායකයන්, අපේක්‍ෂකයන් ස්වාධීන ප්‍රධාන අපේක්‍ෂකයෝ ඉවක් බවක් නොමැතිව ජනතාවට නැව් ගණනින් පොරොන්දු ලබාදෙමින් සිටිති. රජයේ සේවක වැටුප් වැඩිවීම, ඒ සමග තවත් වරප්‍රසාද ලබාදීම, කිරිපිටි මිල අඩු කිරීම, ජල බිල් ගාස්තුව අඩු කිරීම, විශ්වවිiාල මහපොළ ශිෂ්‍යත්වය දීමනාව, ශිෂ්‍යාධාර දීමනාව වැඩි කිරීම යන කරුණු කාරණා ගණනින් ඉදිරියේදී ගෑස් මිලද අඩු කිරීමෙන් ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට ඉඩ ඇතැයි ජනතාව විශ්වාස කරති.
වේදිකාවෙන් වේදිකාවට එකිනෙකාට බැණ අඬගහ ගනිති. චෝදනා එල්ල කිරීම්, මඩ ගසා ගැනීම් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන අපහාස, මඩ ගසා ගැනීම්, ගැරහුම් ඉවරයක් නොමැත.
මේ දක්වා මෙරට පැවැති විධායක ජනාධිපතිවරණවලදී ප්‍රතිවාදී අපේක්‍ෂකයන් දෙදෙනා ලබා ගත් ප්‍රතිඵල සැලකීමේදී, 1982 ඔක්තෝබර් 20 ජනාධිපතිවරණය ප්‍රතිඵල අනුව ජේ. ආර්. ජයවර්ධන මහතා (එ.ජා.ප.) 34,50,811 (ප්‍රතිශතය 52.91%), හෙක්ටර් කොබ්බෑකඩුව මහතා (ශ්‍රී ල.නි.ප.) 25,48,438 (ප්‍රතිශතය 39.07%)
1988 දෙසැම්බර් ජනාධිපතිවරණය :-
රණසිංහ ප්‍රේමදාස (එ.ජා.ප.) 25,69,199 (ප්‍රතිශතය 50.43%)
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය (ශ්‍රී ල.නි.ප.) 22,89,860 (ප්‍රතිශතය 44.94%)
1994 ජනාධිපතිවරණය :-
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග (පො.ජ.එ.පෙ.) 47,09,205 (ප්‍රතිශතය 62.28%)
වජිරා ශ්‍රීමතී දිසානායක (එ.ජා.ප.) 27,15,283 (ප්‍රතිශතය 35.91%)
1999 ජනාධිපතිවරණය :-
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය (පො.ජ.එ.පෙ.), ඡන්ද 43,12,157 (51.12%)
රනිල් වික්‍රමසිංහ මහතා (එ.ජා.ප.) 36,02,748 (ප්‍රතිශතය 42.71%)
2005 ජනාධිපතිවරණය :-
මහින්ද රාජපක්ෂ මහතා (එ.ජ.නි.ස.) ඡන්ද 48,87,152 (ප්‍රතිශතය 50.29%)
රනිල් වික්‍රමසිංහ මහතා (එ.ජා.ප.) ඡන්ද 47,06,366 (ප්‍රතිශතය 48.43%)
2010 ජනාධිපතිවරණය :-
මහින්ද රාජපක්ෂ මහතා (එ.ජ.නි.ස.) ඡන්ද 60,15,934 (ප්‍රතිශතය 57.88%)
සරත් ෆොන්සේකා මහතා (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (හංසයා ලකුණ) ඡන්ද 41,73,185 (ප්‍රතිශතය 40.14%)
2015 ජනාධිපතිවරණය :-
මෛත්‍රීපාල සිරිසේන මහතා (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ) (හංසයා) ඡන්ද 62,17,162 (ප්‍රතිශතය 51.28%)
මහින්ද රාජපක්ෂ මහතා (එ.ජ.නි.ස.) ඡන්ද 57,68,090 (ප්‍රතිශතය 47.58%)
2019 ජනාධිපතිවරණය :-
ගෝඨාභය රාජපක්ෂ මහතා (ශ්‍රී ල.පො.පෙ.) ඡන්ද 69,24,255 (ප්‍රතිශතය 52.25%)
සජිත් ප්‍රේමදාස මහතා (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ) (හංසයා) ඡන්ද 55,64,239 (ප්‍රතිශතය 41.99%)
1982 ජනාධිපතිවරණය එළැඹෙද්දී ශ්‍රී ලංකාවේ බලයට 1977 ජූලි 22 පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ එ.ජා.ප. පාලනය යටතේ මහත් අර්බුද, ගැටුම් සිසු මර්දනය, මාධ්‍ය මර්දනය, 1980 ජූලි වර්ජකයන් ලක්‍ෂ ගණණාවකට රැකියා අහිමි වීමේ තර්ජනය මැද ප්‍රධාන විපක්‍ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ මූලික ප්‍රජා අයිතීන් අහිමි කර පාර්ලිමේන්තුවෙන් පන්නා දැමීමෙන් පසුව පැවැත්වූ ජනාධිපතිවරණයක් විය. ශ්‍රී ල.නි.ප.ය ද අර්බුද රැසක් මැද පක්‍ෂයේ මූලස්ථානය ගැන මතභේද ගැටුම් සහිත වකවානුවක මෙම ජනාධිපතිවරණය පැවැත්වීම සුවිශේෂී විය. පක්‍ෂය තුළින්ම ශ්‍රී ල.නි.ප. අපේක්‍ෂකයාට සහායක් නොලැබුණි.
1988 දෙසැම්බරයේ දෙවැනි ජනාධිපතිවරණය පැවැත්වෙන සමයේ ඇතිව තිබූ භිෂණකාරී තත්ත්වයත් සමගින් මෙරට ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් ජනතාව භාවිතා කර තිබුණේ 55% ක පමණ ඡන්ද ප්‍රතිශතයකි. ශ්‍රී ල.නි.ප.යට බහුලව ඡන්ද ප්‍රකාශවන ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, පොළොන්නරුව, රත්නපුර, කෑගල්ල, මොණරාගල වැනි දිස්ත්‍රික්කවල සමහර ඡන්ද කොට්ඨාශවලදී ඡන්දය ප්‍රකාශ කර තිබුණේ 10%-35% වැනි ඡන්ද ප්‍රතිශතයකි. එකී ඡන්ද බල ප්‍රදේශවල 30%-55%ක් වැනි ඡන්ද ප්‍රමාණයක් භාවිතා වුණේ නම් ප්‍රතිඵලය සම්පූර්ණයෙන් වෙනස් වන්නට ඉඩ තිබුණි.
1994 නොවැම්බර් 09 වැනිදා පැවැත්වීමට යෝජිත ජනාධිපතිවරණය සඳහා එජාප අපේක්ෂකයා ලෙස නම්දුන් එවක එජාප රජයේ ප්‍රබල ඇමති ධුර ගණනාවක් හෙබැවූ ගාමිණී දිසානායක මහතා 1994 ඔක්තෝබර් 23 වැනිදා තොටළඟදී පැවැති ජනාධිපතිවරණ රැලියක් අමතමින් සිටියදී එල්.ටී.ටී.ඊ. මිනීමරු බෝම්බ ප්‍රහාරයකින් මරණයට පත්විය. ඒ වෙනුවෙන් සිය බිරිඳ වජිරා ශ්‍රිමති දිසානායක මහත්මිය එජාප අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කරනු ලැබීය.
මෙහිදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සමගින් තරගවැදුණු වජිරා ශ්‍රීමති දිසානායක මහත්මිය පරාජයට පත්වූ අතර, මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමත්වූවාය. මුළු ඡන්ද 47,09,205ක් ලබා 62.28%ක ඡන්ද ප්‍රතිශතයක් ඇය වාර්තා කළාය.
1999 දෙසැම්බරයේ ශ්‍රී ලංකාවේ සිව්වැනි ජනාධිපතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂිකාව ලෙස තරග කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය කොළඹ මහා නගර සභා භූමියේදී සිය ජනාධිපතිවරණයේ අවසන් රැලිය අමතා සිය වාහනය වෙත එද්දී මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාරයකින් සිය ඇසක් අහිමි වී ජීවිතය ගැලවුණේ අනූනවයෙනි. එහෙත් පනහකට ආසන්න පිරිසකට සිය ජීවිත අහිමිවිය.
2005 පැවැති ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණයට දින දෙකක් තිබියදී එල්.ටී.ටී.ඊ. සංවිධානය උතුරේ ජනතාවට ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට නියෝග කළ අතර, එහිදී එජනිස අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 48,87,152ක් ලබාගත් අතර, එජාප අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 47,06,366ක් ලබා ගනිමින් වැඩි ඡන්ද 1,80,786කින් පරාජයට පත්විය. ජනාධිපතිවරණ, ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතයකින් ජනාධිපති ධුරයට පත්වූ ජනාධිපතිවරයා ලෙස (ප්‍රතිශතය 50.29%කි) මහින්ද රාජපක්ෂ මහතා සඳහන් වේ.
දශක තුනක් පැවති කුරිරු යුද්ධය 2009 මැයි 18 වැනිදා නිමාවට පත් කරමින් දිවයිනේ අවසන් බිම් අඟලත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයට එක්කර ගනිමින් ලද යුද්ධ ජයග්‍රහණයේ උණුසුමත් සමගින් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණය සඳහා මුහුණ දුන්නේය. ලද ජයග්‍රහණයෙන් උද්දාමයට පත්ව සිටි මෙරට ජනතාව මහින්ද රාජපක්ෂ මහතාට කෘතගුණ දක්වමින් යළි ජයග්‍රහණය කරවූහ.
2015 ජනවාරි 08 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රතිවාදි තම කැබිනට් මණ්ඩලයේ ප්‍රබල ඇමතිවරයකු මෙන්ම ශ්‍රීලනිප මහ ලේකම්වරයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතාට පරාජය විය.
2019 නොවැම්රබ් 16 දින පැවැති ශ්‍රී ලංකාවේ අටවැනි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තුව, පළාත් සභාව හෝ පළාත් පාලන ආයතනයක්වත් නියෝජනය නොකළ පුද්ගලයකු හෝ දේශපාලකයකු නොවූවද ජනාධිපතිවරණය ජයගත්තේ මුළු ඡන්ද 69,68,090 (ප්‍රතිශතය 52.25%) ක් ලබා ගනිමින් සමගි ජන සන්ධානයේ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පරාජය කරමිනි.
වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලැබූ ජනාධිපතිනිය වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය (1994-11-09 ජනාධිපතිවරණය – ප්‍රතිශතය 62.28%කි). අඩුම ප්‍රතිශතයකින් ජයගත්තේ මහින්ද රාජපක්ෂ මහතා (2005 නොවැම්බර් 17 – ප්‍රතිශතය 50.29%කි). පරාජිත දෙවැනි ප්‍රතිවාදීන් අතරින් වැඩිම ප්‍රතිශතයක් වාර්තා කළේ 2005 ජනාධිපතිවරණයේදී එජාපයේ රනිල් වික්‍රමසිංහ මහතායි. ප්‍රතිශතය 48.43%කි. අඩුම ප්‍රතිශතයක් වාර්තා කළේ 1994-11-09 ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග තරග කළ වජිරා ශ්‍රීමති දිසානායක මහත්මියයි. ප්‍රතිශතය වූයේ 35.91%කි.
1982 මුල්ම ජනාධිපතිවරණයේ සිට 2024 ජනාධිපතිවරණය දක්වා වූ ජනාධිපතිවරණවලදී පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන අපේක්ෂක අපේක්ෂිකාවන් ලෙස 156 දෙනෙකු තරග කර ඇත. (2024 ජනාධිපතිවරණයද ඇතුළුව)
මේ අතර ජනාධිපතිවරු, අගමැතිවරු ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමතිවරුන්, නියෝජ්‍ය රාජ්‍ය ඇමතිවරුන්, විපක්ෂ නායක නායිකාවන්, නීතිවේදීන් මාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයන්, ව්‍යවසායිකයන්, කලාකරුවන්, වෛi වෘත්තියකින්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, හමුදාපතිවරුන්, විද්වතුන් ඇතුළු මහා සංඝරත්නය ද ගෙවුණු ජනාධිපතිවරණවලදී තරග කර ඇති අතර ඉදිරි ජනාධිපතිවරණයට ද තරග කරති.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති හා ජනාධිපති යන ධුර දරමින් ජනාධිපතිවරණ 02ක් ජයගෙන එකක් පරාජයට පත්විය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එක් ජනාධිපතිවරණයකට තරග කරමින් පරාජයට පත්වූවාය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ජනාධිපතිවරණ දෙකක් ජයගත්තාය. (1994 හා 1999), වත්මන් ජනපති, මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ දෙකක් පරාජයට පත් වූ අතර, (1999 හා 2005) මෙවරද තරග කරයි. ප්‍රධාන ප්‍රතිවාදීන් දෙදෙනා අතරින් ශ්‍රීලනිප අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව මහතා 1982දී ජේ.ආර්. ජයවර්ධන මහතාට හා 2019දී වත්මන් සමගි ජන සන්ධානයේ අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට පරාජයට පත්වූ කලක් ප්‍රබල ඇමතිවරුන් ලෙස කටයුතු කළ පුද්ගලයන් ලෙසිනි.
2024 සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණයේදී පවතින තුන් කොන් සටනින් කව්රු ජයගනීද?…… ප්‍රධාන අපේක්ෂකයෝ තිදෙනාම සිය ජයග්‍රහණ පිළිබඳව දැඩි විශ්වාසයෙන් පසුවෙති. මොවුන් අතරින් ජනාධිපති පුටුවට යන්නේ එක් අපේක්ෂකයකු පමණි. 39 දෙනාටම (දැනට 38 දෙනෙකි) ජනපති පුටුවේ අසුන් ගත නොහැකිය. එය තීන්දු කරන්නේ සැප්. 21 උදේ 7.00 සිට ප.ව. 4.00 දක්වා ගෝනි පඩංගුව ඇතුළට ගොස් පැන්සලෙන් කතිර විප්ලවය කරන මිනිසුන් විසිනි.
ජූඩ් ඩෙන්සිල් පතිරාජ