අවුරුද්දේ දොළොස් මාසය ප්‍රධාන වශයෙන් සෘතු තුනකට බෙදේ. එනම් හේමන්ත සෘතුව, ගිම්හාන සෘතුව, වස්සාන සෘතුව යනුවෙනි. මෙහි වස්සාන සෘතුව ලෙස දැක්වෙන්නේ ඇසළ මස අවපෑළවිය පටන් ඉල් මස පුන් පොහොය දක්වා සාර මස් කාලයයි. බුදුන් වහන්සේ පහළ වූ භාරත දේශය තුළ අදටත් ඉහත කී සෘතුවල අදාළ වෙනස්කම් ස්වභාවික වශයෙන්ම සිදුවෙනවා දැකගත හැකි ය. වස්සාන කාලය ලෙස නිකිණි පොහොයට පසුව උදා වන සමය හැඳින්විය හැකිය. බුද්ධ දේශනාව අනුව වස් සමාදානය ඉතා වටිනා මෙන්ම අගනා උතුම් වූ විනය කර්මයකි. “අනුජානාමි භික්ඛවේ, වස්සානෙ වස්සං උපගන්තුං” යනුවෙන් වස්සාන සෘතුවෙහි වස් එළඹීමට මෙන්ම පෙර වස්, පසු වස් යනුවෙන් වස් විසීම් දෙකක් පෙන්වමින් අසවල් දිනයෙහි මෙසේ වස් සමාදන් විය හැකි යැයි බුදුන් වහන්සේ පෙන්වා වදාළහ. අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොය මුල්කර ගෙන සිදුවන වැදගත් ශාසනික කටයුත්තක් නම් පසු වස් සමාදන් වීමයි. ශාසන ප්‍රතිපත්තිවලට අනුව භික්ෂූන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියම ව ඇත. පෙරවස පසුවස වශයෙන් ඒ දින දෙක හඳුන්වනු ලබේ. ඇසළ පුනු පොහෝ දිනයෙහි පෝය කොට, ඇසළ අවපෑළවිය දිනයෙහි පෙරවස් එළඹිය යුතු ය.
නිකිණි පුනු පොහෝ දා පෝය කොට නිකිණි අවපෑළවිය දා පසු වස් එළඹිය යුතු ය. ශාසන ඉතිහාසයේ දැක්වෙන අන්දමට ඇසළ පොහෝදා සිදු කරනු ලබන වස් සමාදන් වීමට බිම්බිසාර රජතුමා කැමති වූයේ නැත. ඊට හේතුව නම් මගධ රාජ්‍යයේ ඇසළ මාසය පුරා පැවැත්වෙන විනෝද උත්සවයක්ය. මේ අනුව මගධ රට වැසි භික්ෂූන් වහන්සේලා එතැන් පටන් ඇසළ පොහොයෙන් පසු වස් සමාදන් නොවී නිකිණි පොහෝදාට පසු දින පසු වස් සමාදන් වූ බව සඳහන් වී තිබේ. බුදුරජාණන් වහන්සේ විසින් නිකිණි පොහෝදා කළ ධර්ම දේශනා අතර මජ්ක්‍ධිම නිකායේ සඳහන් රාහුලෝවාද සූත්‍රය භාවනානුයෝගීන්ට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙයි. මෙය උන්වහන්සේ දේශනා කරන ලද්දේ රාහුල පොඩි හාමුදුරුවන්ටය. බුදුරදුන් දහහතර වන වස්කාලය සැවැත්නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටින කාලයේ එක් දිනක් උන්වහන්සේලා රාහුල පොඩි හාමුදුරුවන් සමග පිඬුසිඟා වැඩි සේක. එසේ වැඩම කර අතරමග දී මේ දේශනාව සිදු කර ඇත.
වසරේ එළඹෙන සෑම පුර පසළොස්වක පොහොය දිනයක්ම බුදු සිරිත ප්‍රධාන ශාසනික හා ආගමික වටිනාකමින් යුත් ඓතිහාසික දිනයන් වීම සුවිශේෂී කරුණකි. ශාසනික වශයෙන් වැදගත් පොහොය දිනයක් වන නිකිණි පුර පසළොස්වක පොහොයදා ආගමික වශයෙන් ගිහි පැවිදි සබඳතාවය වර්ධනය කරනු පිණිස ආගමික කටයුතුවල නිරතවීම ගිහි පැවිදි සමාජයේම යුතුකම වේ. ශාසනය ආරක්ෂා වීමට, ගුණ ධර්ම වර්ධනයට භික්ෂූන් වහන්සේ ගිහියාත් අතර අන්‍යොන්‍ය සම්බන්ධතාවක් තිබිය යුතු ය. ගිහි පැවිදි දෙපක්ෂය තුළින් සිදුවිය යුතු යුතුකම් නියම අවස්ථාවන් හි නිසි ලෙස ඉටු විය යුතු ය.
ඇත්තෙන්ම දඹදිව රජගහනුවර වේහාර පර්වතයෙහි සප්ත පර්ණි ගුහාද්වාරයේදි මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පන්සියයක් මහ රහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පළමු ධර්ම සංගායනාව නිකිණි අව පෑළවියදා අරඹා සත්මසක් මුළුල්ලෙහි පවත්වන ලද බව ශාසන වංශකථාවෙහි සඳහන්ව තිබේ. ආනන්ද හිමියන් රහත් වූයේද නිකිණි පුන් පොහෝදාක ය. නිකිණි පුන් පොහොය දින වෙනත් පොහොය දින මෙන් සිද්ධි සමුදායක් සිදු නොවුණ ද පුද්ගලයාගේ සසර ගමන කෙටි කර ගැනීමට සිත එකඟ කරගෙන නිවන් මගට පිවිසීමට හේතු වන කරුණු සමුදායයකට මේ පොහොය දිනදී දොරටු විවර විය. මෙරට සුවිශේෂම සංස්කෘතික මංගල්‍යය වන මහනුවර ඇසළ මහා පෙරහැරේ අවසන් රන්දෝලි මහා පෙරහැර වීථි සංචාරය කිරීම අද දින සිදු කෙරේ. බුදුරදුන්ගේ ලලාට ධාතූන්වහන්සේ නිධන් කර සේරුවාවිල දාගැබ තැනීම ආරම්භ කිරීම ද නිකිණි පොහෝ දිනකදී සිදුවිය. එමෙන්ම ඓතිහාසික සේරුවාවිල පෙරහැර ආරම්භ කරන්නේ නිකිණි පොහොයත් සමගම ය.