නිකිණි පෝය සිරිමහ බෝ රැකගත් දරමිටි පෝය අදයි

227

වියැළුණු ඉපනැලි හා ඉරිතැළුණු වැව් තාවුලු සිපගෙන එන සුළඟ නියඟයේ අසිරිය කියයි. සියවසකට එපිට දුර්ග මංමාවත් දිගේ ගොන් කුර හඬත් සමඟ හැඬවුණු මිණිගෙඩි නාදය තවමත් ඒ සුළඟේ මුසුව ඇත. රජරට කොත්කැරළි අතරින් නිකිණි සඳ මෝරන විට අද ජීවිතයේ සැඳෑ සුවය විඳින අයගේ මතකය දරමිටි පෝය තෙක් ගෙනියනු නිසැක ය.

 12වන සියවසින් පසු රජරට ශිෂ්ටාචාරය බිඳවැටී රාජධානිය නිරිතදිගට සංක්‍රමණය විය. එතැන් සිට සියවස් ගණනාවක් තිස්සේ අනුරාධපුරයේ සිද්ධස්ථාන අභාවයට ගියේ ය. මුලදී දකුණු ඉන්දීය ආක්‍රමණ හා වෙනත් පරසතුරු උවදුරු නිසාත් පසු කාලයේ යුරෝපා ජාතීන්ගේ ආක්‍රමණ නිසාත් අනුරාධපුරයේ සිද්ධස්ථාන අභාවයට ගියේ ප්‍රදේශයේ ජනගහනය ද හීන වෙමිනි. 1869 වසර වනවිට නුවරකලාවියේම ඉතිරිව තිබුණේ බෞද්ධ විහාරස්ථාන 113කි. අනුරාධපුර පූජා නගරයේ විහාරස්ථාන දෙකකි. ඒ ශ්‍රී මහා බෝධී ස්ථානයත් රුවන්මැලි සෑයත් ය. මේ පරිහාණි කාල වකවානුවේදීත් ජනීජනයා මහ බෝ මළුව රැකගැනීමට භික්ෂූන් හා එක්වූහ.

 විශේෂයෙන් බෝමළුවේ ආරක්ෂක රාජකාරීයේ නියැළි විහාර ගම්වාසීහු ද අවට පදිංචිකරුවෝ මෙන්ම අවට ගම්වැසියෝ ද බෝ මළුවට රැකවරණය දෙන්නට දිවා රෑ කැපවූහ. අගෝස්තු මාසය රජරට නියං සමය වේ. ඒ වනවිට වැව් අමුණු සිඳී වියළී යයි. කෙත්වතු පාළුවන සමයකි. ජල හිඟය ද උත්සන්න වෙයි. සිසිලසක් ඇත්තේ බෝ මළුවේ පමණි. ආහාර හා ජල හිඟයට මූණපාන්නන් අතර වන සතුන් ද වේ. මේ සතා සිව්පාවා අතර කෑම් බීම් සොයා ගම්වදින අලි ඇතුන් බෝ මළුවට ද කඩාපනිති. ඔවුන්ගේ ප්‍රියතම ආහාරයක් වන්නේ බෝ දළු ය.

 බෝ මළුව ස්ථර තුනකි. ඒ වැලිමළුව, මැද මළුව හා උඩමළුව වශයෙනි. අද මෙන් එදා වැලි මළුව වටා ප්‍රාකාරයක් නොවිණි. අද දක්නට ඇති ගල් ප්‍රාකාරය වැලි මළුව වටා ඉදිකරනු ලැබුවේ මහ නුවර යුගයේ දී රාජ්‍ය අනුග්‍රහය ලැබූ ඉලුපැන්දෙනියේ අත්ථදස්සී හිමියන්ගේ මූලිකත්වයෙනි. ඊට හේතුව ද අලි ඇතුන්ගෙන් බෝමළුව රැකගැනීම ය. එදා කෙනෙකුට පහසුවෙන්ම වැලිමළුව ඇතුළටම පිවිසීමේ හැකියාව තිබිණි. සංඝාවාසය පැවැතියේ අද පවතින බටහිර දොරටුවෙන් පිටුපස කොටසේ නොව වැලිමළුව ආසන්නයේම නැගෙනහිර දිසාවේ ය.

 වන අලින් බෝ මළුවට කරන හානිය වැළැක්වීමට රජරට ගැමියෝ රෑ නොනිදා බෝ මළුවේ මුර කළ හ. එහි දී ඔවුන්ට අවැසි වූ ප්‍රධාන ද්‍රව්‍යයක් වූයේ ගිනිමැල දැල්වීමට දර ලී ය. දුර ඈත සිටින ගැමියෝ ද මේ අවශ්‍යතාවය හොඳින් දැන සිටියෝ ය. එහෙත් අද මෙන් බරවාහනවලින් දර කඳු පිටින් පටවාගෙන යෑමේ හැකියාවක් එදා නොවිණි. එමෙන්ම සිතූ සැණින් අනුරාධපුර පූජා නගරයට පිවිසීමේ ගමන් පහසුව ද නොවිණි. මං මාවත් වන දුර්ග, ගිරි දුර්ග, ජල දුර්ගවලින් පමණක් නොව අලි කොටි වලසුන්ගෙන් ද ගහන ය. ඒ නිසා බෝ මළුව වන්දනාවේ එන්නන්ට වන්දනා නඩ වශයෙන් ගොනුවී දින ගණනක් තිස්සේ පියනැගීමට සිදුවේ.

 අගෝස්තුව වන විට ගොවිතැන් බත් කිරීම සිදු නොවේ. ජනයා එකලට යොමුව සිටින්නේ කෙත්වතු, හේන් හා වගාබිම් අස්වැද්දවීම හා පොදු වැඩකටයුතු වෙනුවෙනි. ඔවුන් පින් දහම් කිරීමට හා වන්දනාවේ යෑමට ද රුචි මේ සමයට ය. ශුද්ධ නගරයේ වන්දනාවේ යෑම ද ඔහුන්ගේ විනෝදාස්වාදය හා කාන්සිය මාන්සිය නැති කිරීමේ මහත් බලාපොරොත්තු ඉටුකරගැනීමකි. අඹරාව බැඳි ගොන් කරත්ත මේ ගමනට සූදානම් කර ගැනේ. අඹරාව යනු වියන ලද පොල් අතුවලින් කරත්තයට සකසා ගන්නා අර්ධකවාකාර වහලයයි. මේ සමය පූජාව සඳහා මල් සොයාගැනීම පවා දුෂ්කර සෘතුවක් බැවින් කොළපත් සහිතව පුවක් මල් ගැලේ ඉදිරියේ එල්ලාගන්නා අතර සුළු වශයෙන් කනබොන දෑ වතුර හා ගවයින්ට පිදුරු කට්ටයක් වැනි දෑ ද ගැල පිටුපස එල්ලාගැනීම මේ සංචාරකයින්ගේ පුරුද්ද ය. මේ ගැලේ පුරවාගන්නා බඩු බාහිරාදිය තුළ වැදගත්ම දෙය දරමිටි වෙයි. ඒ සඳහා හොඳින් ඇවිළෙන, එළිය හා රශ්මිය විහිදෙන වීර, සේරු හා දෙමට ආදී දෘඪ දැව ගස් වර්ගවලින් දර කඩාගෙන මිටි බැඳගනී. රාත්‍රී එළියට හා ආරක්ෂාවට හුළු අත්තක් සාදාගන්නේ දෙමට දර කීරි එකතු කරගැනීමෙනි.

 පසුදා පූජා නගරයෙන් එළිවන්නට කල්වේලා බලා ගමන පිටත් වන්නේ පේවී, සුදු වස්ත්‍ර ද පොදි බැඳගෙන ය. කාන්තාවන් හා කුඩා දරුවන් කරත්තයේ ඇතුළට නගින අතර පිරිමි පුද්ගලයෝ පසුපසින් ගමන් කරති. රෑ බෝවන විට වන ගොමු මැදින් කෑකෝගසමින්, ගී සින්දු කියමින් ගමන් කරන පිරිස බෝ සමිඳුගේ ගුණ ද ගායනා කරති. මේ එවන් එක් සීපදයකි.

 අහසේ පුන් සඳ සේ බැබළෙන     බෝ
 අහසේ ගුණ නුවණින් පැතිරුණු    බෝ
 හිරුගේ සවනක් රැස් විහිදෙන      බෝ
 සොඳැ සේ වඳිමූ ජයසිරිමා          බෝ

 අලුයම් කාලයට බසවක්කුලම වැව අසලට පැමිණෙන ගැල නවතා ගොන් බානට කන්න බොන්න මෙන්ම විවේකය දෙන වන්දනාකරුවෝ එතැන් සිට සූදානම් වී බෝ මළුවට යති. ඔවුන් හිසේ තබාගෙන වන්දනා ගාථා කියා සාදු හඬින් මුමුණමින් රැගෙන යන දරමිටි බෝ මළුව වටා තැන්පත් කෙරේ. ඒ දවස බොහෝ විට නිකිණි පුර පසලොස්වක් පෝය දා ය. ඒ නිසාම නිකිණි පෝය රජරටටි‘දරමිටි පෝය’ වෙයි. බෝ මළුවේ ආගමික වතාවත් සිදුකර තමන්ට නිදුක් නීරෝගී භාවය හා ගමට රටට ආශිර්වාද කර ගොවිතැන් සශ්‍රීකවීමට බෝ සමිඳුන්ගේ පිහිට අයැද සිටීමට සැදැහැවත්හු වගබලා ගනිති. රාත්‍රී කාලයේ මළුවට නිතිපතා එකතු වන ගැමියෝ දර මිටි ගෙනා පිරිසට පින් දෙමින් ඒවා දල්වා ආලෝකය හා තාපය සපයාගනිති. බිනර පොහොය පසුවන තුරු මේ ව්‍යායාමය උත්තම පූජාවක් ලෙස එදා සිදු කෙරිණි. ඒ නිසා අදත් නිකිණි සරා සඳ මෝරන විට බෞද්ධයින්ට දරමිටි පෝය සිහියට නැගේ. එය බෝධි සංස්කෘතියටත් ඉතිහාසයටත් එක්වූ අපූර්ව සංසිද්ධියකි. අව්, වැසි කුණාටු ආදි නොයෙකත් උපද්‍රව, පරසතුරු උවදුරු, රෝග වසංගත හා සාගතයන් ආදී දහසකුත් අභියෝග හමුවේ මෙලෙස අප හා ආරක්ෂා වූ සිරිමා බෝ සමිඳුන් ඒ සියලු අභියෝග පැරදවීමට අපට ශක්තිය දෙමින් අදත් මහමෙවුනා උයනේ විරාජමානව වැඩ සිටී. ඒ බෝධි සංස්කෘතියේ මහිමය අවබෝධ කරගන්නට නිකිණි පුර පොහොය අපට වටිනාම මංසන්ධියකි.

 බෞද්ධ ඉතිහාසයේ නිකිණි පෝය වෙනුවෙන් සටහන්වූ සුවිශේෂී අංග ලෙස ප්‍රථම සංගායනාවත්, ආනන්ද මහ තෙරුන්ගේ රහත් අවබෝධයත් වැදගත් ය. අජාසත්ත රජුගේ දායකත්වයෙන් රජගහ නුවර දී ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා ඇත්තේ ද නිකිණි පොහොය දින බව සඳහන් වෙයි. බුදුන් වහන්සේගේ ලලාට ධාතුව නිධන් කර සේරුවිල චෛත්‍ය තැනීම ආරම්භ කිරිම ද මෙදින සිදුවූවකි. පෙරවස් මඟ හැර ගිය භික්ෂුන් වහන්සේලා පසුවස් සමාදන්වීම නිකිණි පුර පසළොස්වක පොහොය දින සිදුවේ.

නිකිණි පෝය සිරිමහ බෝ රැකගත් දරමිටි පෝය අදයි

අනුරාධපුර ඓතිහාසික ලංකාරාමාධිකාරී උතුරු මධ්‍යම දිශාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක,
රැළපනාවේ ධම්මජෝති නාහිමි

advertistmentadvertistment
advertistmentadvertistment