නිතර සිහි කළ යුතු මරණය

61

තුන්ලෝකාග‍්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දහම් සිසිලසින් මුළු මහත් සත්වයාටම මහත් වූ සැනසීමක් ලැබුණේය. උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ ඇස් ඉස් මස් ලේ පමණක් නොව අඹුදරුවන් පවා දන්දී දස පාරමිතා දස උප පාරමිතා දස පරමත්ත පාරමිතා සම්පූර්ණ කරමින් අවබෝධ කර ගත්තේ උතුම් නිර්මල ශී‍්‍ර සද්ධර්මයයි. එම ශී‍්‍ර සද්ධර්මය තුළ මරණය පිළිබඳ සිහිකළ යුතු ආකාරයත් එසේ සිහිපත් කිරීමෙන් ලැබෙන ආනිසංසයන් පිළිබඳ මනාසේ දේශනා කර ඇත. බුදුරජාණන් වහන්සේ මරණය පිළිබඳ දේශනා කොට වදාල බොහෝ දේශනා තිබෙනවා. සම්මා සම්බුද්ධත්වයට පත්වී මුළු මහත් ලෝකයාම සසර දුකින් මිදීම අරමුණ ඇතිව මරණයත් ඒ මරණයට හේතුව අවබෝධ කොටගෙන හේතුව නැති කිරීමෙන් ඵලය එනම් මරණය නැති කිරීමට හැකිවන බව දේශනා කළේය. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට උවමනා කළේ ඉපදීම හා මරණය නැති කර ගැනීමයි. ඉපදීම නැති වෙන විට මරණය නැති වෙනවා. ‘ජාති සති ජරා මරණං හෝති’ යම්තාක් කල් ඉපදීම තිබෙනවානම් ඒ තාක් කල් මරණය නවත්තන්න පිළිවන් කමක් නෑ. ‘ජාතියා අසති හත්ථි ජරා මරණං’ ඉපදීම නැති කල්හි ජරා මරණ දෙකක් ලැබෙන්නේ නැහැ. මේ කාරණා හේතුඵල න්‍යාය අනුව මෙනෙහි කළ විට වඩාත් පැහැදිලිවේ. නමුත් එසේ මෙනෙහි කිරීම් එතරම් පහසු දෙයක් නොවේ. බෞද්ධ අපි බලාපොරොත්තු වන්නේ වීර්ය වඩන්නේ ප‍්‍රාර්ථනා කරන්නේ අනේකවිධ ජාති ජරා මරණ නැති තත්ත්වයයි. එනම් නිවනයි. ඒ නිසා අපටත් යම් දවසක ‘තං ඉදං දුක්ඛං අරිය සව්වං අනුබද්දං පටිවිද්ධං’ ඒ මේ දුක්ඛාර්ය සත්‍යය අවබෝධ කරන ලද්දේය. ප‍්‍රතිවේධ කරන ලදදේය යන ක‍්‍රමයට කියන්නට පුළුවන් වුණොත් එදාට ‘නත්ථි දානී පුනබ්බවෝ’ මට දැන් ඉපදීමක් නැත. යන පී‍්‍රති වාක්‍ය ප‍්‍රකාශ කරන්නට හැකි වෙනවා.

 අපි හැම කෙනෙක්ම කවදා කොතන කොයි මොහොතක කවර උපායකින් හෝ මරණයට පත්වන්න ඉන්න බව මෙනෙහි කළ යුතුයි. මේ තුන් ලෝකයේ උපන් කිසිම සත්ත්වයකුට හැමදාම ජීවත් වන්න වන්නේ නෑ. කොතැනක උපනත් මරණයට පත් වෙනවාමයි. හටගන්න සෑම වස්තුවක්ම නැති වීමෙන් කෙළවර වෙනවා කියන නිත්‍ය සංඥාව ඇති කරගත යුතුය. අංගුත්තර නිකායේ ‘ඨාන සූත‍්‍රය’ තුළ සඳහන් පරිදි ගිහි පැවිදි ස්තී‍්‍ර පුරුෂ සැමදෙනා විසින් මෙසේ සිහි කළ යුතුයි. මම මරණය ස්වභාවකොට ඇත්තෙමි. මරණය නැති කළ කෙනෙක් නොවෙමි ආදී වශයෙන් නිතර කරුණු සහිතව සිහිපත් කළ යුතුයි. අපි කවුරුත් දැනට ජීවත්ව ඉන්නවා. නමුත් අපට හැමදාම ජීවත්ව ඉන්නට ලැබෙන්නේ නෑ. මරණයට ගොදුරු වෙනවා. යම් දවසක අපේ සිත මේ පංචස්ඛන්ධයෙන් ඉවත් වෙනවද එසේ ශරීරයෙන් ඉවත් වන සිතට චුති චිත්තය කියනවා. සිත ඉවත් වන විට සිත නිසා පවතින වේදනා සංඥා සංඛර යන ස්ඛන්ධ තුනත් නැති වෙනවා. වේදනා සංඥා සංඛාර යන වචනවලින් කියන්නේ චෛතසික ධර්ම දෙපනසයි. සිත නැති වෙන විට සිත නිසා පවතින චෛතසික ධර්ම ධර්ම පවතින්නේ නැහැ. ඒ නිසා සිත එනම් චුති චිත්තය සමග වේදනා චෛතසිකයන්ගේ ඉවත්වීම ස්වාභාවිකයි. කර්මජ කර්මයෙන් හටගත් තේජෝ ධාතුවත් නැති වෙනවා. ඉතිරි වන රූප කලාපවලට මෘත දේහය කියනවා. ඒක බදාගෙන තමයි පුහුදුන් ලෝකයා හඬා වැළපෙන්නේ. මගේ අම්මා තාත්තා පුතා දුව මගේ ස්වාමිපුරුෂයා මගේ ස්වාමි දියණිය මගේ ඥාතියා මගේ සහෝදරයා මගේ සහෝදරිය, මගේ මිතුරා, මගේ පෙම්වතිය, මගේ පෙම්වතා ආදී වශයෙනි. නොයෙක් වචන කියමින් හඬා වැළපෙයි. එතකොට ඉතිරිවන මෘත දේහය තුළ වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන සතරම නැති නිසා පුහුදුන් සත්ත්වයාගේ හැඬීම වැළපීම ආදිය කිසිවක් ඒ මෘත දේහයට දැනෙන්නේ නැහැ. ශරීරයෙන් ඉවත් වූ සිතට කියනවා චුති චිත්තය යනුවෙන්්. එසේ ඉවත් වූ සිත වෙනත් භවයක කර්මානුරූප පරිදි උත්පත්තිය ලබනවා. ඒ සිත ප‍්‍රතිසන්ධි චිත්තය යනුවෙන් හඳුන්වනු ලබයි. චුති චිත්තයට අනතුරුව ප‍්‍රතිසන්ධි යම් තැනක පහළ වියද ඒ තැන තමයි උප්පත්තිය ඒ අනුව බුදුපියාණන් වහන්සේ සත්වයා උපදින ආකාර හතරක් පිළිබඳ දේශනා කර ඇත.

 1. අණ්ඩජ – බිත්තරයක් ඇතුළේ උපදිනවා.

 2. ජලාබුජ – මව් කුසක උපදිනවා.

 3. සංසේජද – කරවිල ගෙඩියේ පනුවෝ උපදිනවා ඒ වගේ තෙත් බිම් පරිසරයක් තුළ උපදිනවා.

 4. ඕපපාතික – ඕපපාතිකව පහළ වෙනවා දිව්‍ය ලෝක නාග ලෝකවල පේ‍්‍රත ලෝකවල උපදිනවා යනුවෙනි.

 මෙසේ උපදෙස් උපදින සත්ත්වයාගේ උපත පිළිබඳ තව කිය යුතු කරුණු බොහෝමයක් තිබෙනවා. මෙහිදී අප හිතා ගත යුත්තේ උපන් සත්වයා ක්‍ෂණයක් පාසා වෙනස් වෙමින් අනුක‍්‍රමයෙන් ළමා විය තරුණ විය මහළු වියට පත් වෙමින් මරණයට පත්වන බවයි. ජීවිතයක් පිළිබඳ නිශ්චය කළ නොහැකි කරුණු පහක් තිබෙන බව බුදුරජාණන් වහන්සේ මෙසේ දක්වා තිබේ.

 ‘ජීවිතං ව්‍යාධි කාලෝව
 දේහ නික්ඛේපනං ගතිං
 පංචෙත ජීව ලෝකස්මිං
 අනිමිත්තා න ඤයාරේ’

 ජීවිතය, ව්‍යාධිය, කාලය, උප්පත්තිය යන මේ කරුණු පහ සත්ත්ව ලෝකයේ නොදත හැකි කරුණු වශයෙන් දක්වා තිබෙනවා. මේ තුළින් පවා පැහැදිලි වන්නේ මරණය අපේ ජීවිතයේ උරුම නියත වශයෙන් මුහුණ පාන්නට සිදුවෙන සර්ව සාධාරණ පොදු ධර්මතාවයකි. මරණය ගැන සිහි කිරීමෙන් ලැබෙන ආනිසංස පිළිබඳව සද්ධර්මය තුළ සඳහන් වෙන්නේ මේ ආකාරයටයි.

 1. මේ මරණානුස්මෘති භාවනාවෙහි යෙදුනු

 යෝගාවචරයා අප‍්‍රමාදව (සතියෙන්) වසන්නේය.

 භවයන්හි නොඇලීමෙහි සංඥාව ලබන්නේය.

 2. ජීවිත තෘෂ්ණාව හැර පියන්නේය.

 3. පාපයට ගරහන්නේය.

 4. බහුලව සම්පත් රැස් නොකරයි.

 5. ලැබෙන දෙයෙහි මසුරු මල තැන්නෙක් වන්නේය.

 6. ඔහු අනිත්‍ය සංඥාව පුරුද්දට ගෙනෙයි.

 7. එනිසාම දුක්ඛ සංඥාව ද අනාත්ම සංඥාව ද වැටහෙයි.

 8. මේ ආත්ම භවයෙහිම යම් මාර්ග ඵල පිළිවෙළින්

 නිවන නොලද්දේ නම් මරණයෙන් මතු සුගතිගාමී වන්නේය.

 අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ මේ ජීවිතේන්ද්‍රිය කෙරෙහි මරණානුස්මෘතිය වඩන්නේ, නම් එවැනි ආනිසංස සමුදායක් තමන්ට ලැබෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක.

 භාග්‍යවතුන් වහන්සේ විසින් සියලූම දෙනාට මරණය ගැන සිහිකළ යුත්තේ ඇයිදැයි දේශනා කළ සේක. සත්ත්වයන්ට ජීවත් වන විට ඇතිවෙනවා ජීවිත මදයක් ඒ මුල්කොට ඒ මදයෙනි මත්වීම නිසාත් සමහරු කායා දී තුන්දොරින් අකුසල් රැුස් කරනවා. ඒ ජීවිත මදය නිසා රූප මදය, කුල මදය, ධනවාදය ශාස්ත‍්‍ර මදය ගුණ වදය, ගුණ මදය ආදී නොයෙක් මත්වීම් ඔහු සොයා එන්නට ඉඩ තිබෙනවා. ජීවත් වන බොහෝ දෙනා මේ අවසානයක් එනම් මරණයක් කවදාහරි එනවා කියන සිතුවිල්ලෙන් තොරව මරණය පිළිබඳ අල්ප මාත‍්‍ර තැකීමක් නොකර පස් පව් දස අකුසල්වල යෙදී කල් ගත කරනවා. හරි හැටි කල්පනා කරනවා නම් මනුෂ්‍යයාට කිසි දෙයකින් මත්වීමක් ඇති වෙන්නට විදිහක් නෑ. උපන් සත්ත්වයාට මරණය උරුමයි ‘ජාතස්ස මරණං හෝති’ යනුවෙන් වදාළේ එයයි. මිනිස් ලොව පමණක් නොව කොතැනක උප්පත්තිය ලැබුවත් එය සිදුවෙනවා. මරණය ගැන නිතර සිහිකරන කොට ජීවිත මදය නැති වෙනවා. තුනී වෙනවා. තිදොරින් සිදුවන අකුසල් අඩුවෙනවා. එය නිවන් අවබෝධකර ගැනීමට මහත් රුකුලක් බවට පත්වෙනවා. එම නිසා සියලූ බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවට අනුව සියලූ පවින් ඈත්වෙලා කුසල් දහම් කරමින් සිත සංවර කර ගැනීමට සීල සමාධි වඩමින් ධර්මය ශ‍්‍රවණය කරමින් කල්‍යාණ මිත‍්‍ර ඇසුර ධම්මානුධම්ම ප‍්‍රතිපදාව යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව සෝවාන් ආදී මගඵල ලබන්නට උත්සාහ කරමු. ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා.

 * මුතුකණ්ඩියේ සුනෙත්ත හිමි

advertistmentadvertistment
advertistmentadvertistment