නිදහස් අධ්‍යාපනය සහ කන්නන්ගර චින්තනය

353

මීට වසර 124 කට පෙර බලපිටිය රන්දොඹේ ගම්මානයේ සිට පාසල් සිසුවෙක් ශිෂ්‍යත්වයක් ලබා ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට පැමිණියේ මනා අධ්‍යාපනයක් ලබා ගැනීම පිණිසය. ඒ අනුව රිච්මන්ඩ් විද්‍යාලයේ නේවාසිකාගාර පහසුකම්ද, නොමිලයේ ආහාර පහසුකම්ද, නොමිලයේ අධ්‍යාපන වරම් ලැබීමේ හැකියාවද ලැබිණි. එදා එම වරප්‍රසාදය හිමිකර ගත්තේ පසුකලෙක අප රටේ නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘවරයාය.

දුප්පත් දරුවකු වූ කන්නන්ගර මහතාට තම පවුල් පසුබිම මත මෙම පහසුකම් ලැබුණේ තුන්වන පන්තියේ නේවාසිකයකු ලෙසටය. පොහොසත් පවුල්වල දරුවන් පළමු හා දෙවැනි තත්ත්වයේ පහසුකම් ලබද්දී, ඇඳුම් පැළඳුම්වලින් සැරසෙද්දී බලපිටියේ රන්දොඹෙන් පැමිණි දරුවෝ ඒ අය අතර කන්නන්ගර හැඳින්වූයේ “රන්දොඹේ ගොඩයා” ලෙසිනි. ඔහු පන්තියේ සිටින විටත් එළිමහනේ සෙල්ලම් කරන විටත් අන් අය ඔහු කොන්කළේ උපහාසයට අපහාසයට ලක් කළේ “රන්දොඹේ ගොඩයා” ලෙස හඳුන්වමිනි.

මේ දුක් කම්කටොළු මැද ඔහුට තිබුණු මහත් වූ ඇස්වැසිල්ල වූයේ පාසලේ ප්‍රධානියා වූ ඩැරල් පියතුමාගේ කාරුණික මඟපෙන්වීමත්, ආරක්ෂාවත්, ආදරයත්ය, පාසලේ වරප්‍රසාද ලත් දරුවන් අතර පන්තියේ අවසන් පේළියේ බංකු කොනක සිට අධ්‍යාපන කටයුතු වෙත ළංවන කන්නන්ගර සිසුවා හිතන තරම් නෝන්ජලයකු ගොඩයෙකු නොවන බව පන්තියේ අනෙක් සිසුන්ට අවබෝධ වීමට ගියේ සති දෙක තුනකි. ගණිතය විෂයට සිතා ගැනීමටත් නොහැකි තරම් දක්ෂතාවයක් දැක්වූ මෙම සිසුවා ලවා පන්තියේ ළමුන්ට ගණිතය විෂය උගැන්වීමට ද ගණිත ගුරුවරයා වරින් වර යොදා ගත්තේ පන්තියේ සියලු දෙනාම මවිතයට පත් කරමිණි.

ක්‍රීඩා පිටියේදී කන්නන්ගර සිසුවා පරාජය කිරීමට තවත් සමතෙක් එහි නොවීය. ක්‍රිකට් ක්‍රීඩාවේදී ඔහු ගුරුවරුන්ද පැරදුවේ දක්ෂ පිති හරඹයක යෙදෙමිනි. 1901 වසරේදී එංගලන්තයේ කේමබ්‍රිජ් කනිෂ්ඨ විභාගයෙන් ගණිතය අංශයේ ලංකාවේ ප්‍රථමයා ලෙස සමත්වූ කන්නන්ගර සිසුවා එම විභාග ප්‍රතිඵල අනුව මහා බ්‍රිතාන්‍යයට අයත් අධිරාජ්‍ය තුළම ගණිත විෂයේ ප්‍රථමයා ලෙස තැබූ ජගත් වාර්තාව ලංකාවටම මහත් ආඩම්බරයක් විය.

පාසල් අධ්‍යාපනය නිමා කරන විට කන්නන්ගර සිසුවාගේ වයස අවුරුදු 20 කි. ඔහු තම පාසලේ ආචාර්ය මණ්ඩලයට බඳවා ගන්නට විදුහල්පති ඩැරල් පියතුමා ගත් තීරණයට කැමති වූ කන්නන්ගර සිසුවා ශිෂ්‍ය භාවයෙන් නික්මුනේ තමා උගත් පාසලේම ගුරුවරයකු ලෙස ගුරු පුටුවකටය.

ඔහු මේ අනුව 1904 සිට පාසලේ ගුරුවරයකු ලෙස සේවයේ යෙදුනි. පසුව මොරටුව වේල්ස් කුමාර විදුහලේ ගණිත ගුරුවරයා ලෙසද සේවය කළ මෙතුමා ඒ අතරතුර නීතිය හදාරන්නට විය. 1910 දී ගුරු සේවයෙන් සමුගෙන නීතිඥයකු ලෙස දිව්රුම් දී ගාල්ල අධිකරණයට පිවිසියේ දක්ෂ තරුණ නීතිඥවරයකු ලෙසිනි.

ගාලු අධිකරණයේ සේවය කරන සමයේ තමා උගත් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් පදවියට පත් වූ කන්නන්ගර මහතා පාසලේ දියුණුවට නිබඳව උරදී කටයුතු කළේ ඉමහත් ප්‍රීතියෙනි. එකළ ගාල්ලේ පවත්වාගෙන ගිය ගාලු ක්‍රිකට් සමාජය කන්නන්ගර මහතාගේ සාමාජිකත්වයත් සමග දිනෙන් දින බැබළෙන්නට විය. පාසල් සමයේ ලබාගත් ක්‍රීඩා දැනුම එයට බොහෝ ලෙස ඉවහල් විය.

1915 වසරේ ඇතිවූ සිංහල මුස්ලිම් කෝලහාලය ගාල්ල ද තරමක් උණුසුම් කළේය. කැරැල්ලට හසු වූ බොහෝ සිංහල පිරිස නිවැරදිකරුවන් ලෙස මුස්ලිම් ජනතාවද පිළිගත්තත් ඉංග්‍රීසි ආණ්ඩුවට තිබුණේ වෙනත් වෛරයකි. මේ නිසා සිංහල තරුණයන්, නායකයන් ගාල්ලේ දී ද අත්අඩංගුවට ගෙන නඩු පැවරීම සිරිත විය. එවන් නඩුවලට කන්නන්ගර මහතා නොමිලයේම පෙනී සිටිමින් ඔවුන් බේරා ගැනීමට යුහුසුළු විය.

1917 දී ගාල්ලේ ජනතාව ජාතික සටනට එකතු කර ගැනීමට ගොඩනැඟූ නව ජාතික සංවිධානය වූයේ ගාලු ජාතික සංගමයයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාගේ පියා වූයේ ලංකාවේ කීර්තිමත් පරිපාලන නිලධාරියකු වූ සී. එල්. වික්‍රමසිංහ මහතාය. සී. එල්. වික්‍රමසිංහ මහතා විසුවේ බද්දේගම ප්‍රදේශයේය. කන්නන්ගර මහතාගේ මව් පාර්ශ්වය සී. එල්. වික්‍රමසිංහ පවුලේ ඥාතීන් විය.

ජාතික සංගමයේ නිලධාරියකු ලෙස සී. එල්. වික්‍රමසිංහ මහතා ද ක්‍රියා කළ අතර ගාලු දිසාවේ විසූ බොහෝ ජන ප්‍රධානීන් ගාලු ජාතික සංගමය සමග එකතු වී දේශපාලන කටයුතුවල යෙදුනහ. 1919 ලංකා ජාතික සංගමය පිහිටුවන අවස්ථාවේ දී කන්නන්ගර මහතා ගාලු ජාතික සංගමය නියෝජනය කරමින් එයට එක් විය. වරෙක කන්නන්ගර මහතා ද ලංකා ජාතික සංගමයේ සභාපතිවරයකු ලෙස පිදුම් ලැබීය.

ඉංග්‍රීසි ආණ්ඩුව විසින් අප රටට හඳුන්වා දුන් ව්‍යවස්ථාදායක සභා ක්‍රමය යටතේ පළමුවෙන්ම පළාත් මට්ටමින් නියෝජිතයන් මහජන ඡන්දයෙන් පත්කර ගැනීමේ ක්‍රමය ආරම්භ කළේ පසුගිය සියවසේ 1920 දශකයේදීය. ඒ අනුව දකුණු පළාත නියෝජනය කළ ප්‍රථම මන්ත්‍රීවරයා වූයේ ඕ. සික්කුආරච්චි නම් මාතර දිස්ත්‍රික්කයේ මහත්මයෙකි. ඔහු ඉතා ටික කලකින් දුම්රිය අනතුරකට ලක් වී නොසිතූ ලෙස අභාවප්‍රාප්ත වූ නිසා දකුණු පළාතේ මන්ත්‍රී ධුරය හිස්විය. මේ සඳහා 1923 දී අතුරු මැතිවරණයක් පැවැත්විණි. ඒ සඳහා කන්නන්ගර මහතා ඉදිරිපත් විය.

එම ඡන්දයෙන් මෙතුමා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන මන්ත්‍රීවරයා බවට පත්විය. 1924 දී දෙවන ව්‍යවස්ථාදායක සභා ඡන්දය පැවතුණේ එතෙක් පළාත් පදනමෙන් මන්ත්‍රීවරු තෝරා ගන්නා ක්‍රමය වෙනස්කර දිස්ත්‍රික්ක මට්ටමිනි. කන්නන්ගර මහතා ඉදිරිපත් වූයේ ගාල්ල දිස්ත්‍රික්කය සඳහාය. එයින්ද මෙතුමාට විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි විය. 1931 වසරේදී ඉංග්‍රීසින් අප රටට හඳුන්වා දුන් මැති සභා පාලනය වූයේ රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමයයි. මේ යටතේ ගාල්ල දිස්ත්‍රික්කයට මන්ත්‍රීවරු තිදෙනෙක් බලපිටිය, ගාල්ල, උඩුගම යන මැතිවරණ කොට්ඨාස වෙනුවෙන් පත්වීමට නියමිත විය.

කන්නන්ගර මහතා ගාල්ල අසුනට තරග වැදිනි. එයින් අති විශිෂ්ඨ ජයක් කන්නන්ගර මහතාට හිමිවිය. ඒ අනුව බිහිවූ රාජ්‍ය මන්ත්‍රණ සභා පාලනය අනුව කන්නන්ගර මහතා අප රටේ ප්‍රථම අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් පත්වීම විශේෂ සිද්ධියකි.

1936 වසරේදී කන්නන්ගර මහතා සිය නිජබිම වූ ගාල්ල දිසාව අතහැර තම ප්‍රිය උරුමය සොයාගෙන කළුතර දිසාවේ පස්දුන් රටට ගියේ මතුගම ආසනයට තරග කිරීමටය. නමුත් තම ජීවිතයේ ප්‍රථම පරාජය සනිටුහන් කරමින් 1947 මහ මැතිවරණයෙන් කන්නන්ගර මහතා පරාජයට පත්විය.

එදා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු ලෙස මතුගමින් පරාජය වූ මෙතුමා 1952 මහ මැතිවරණයේදී තරග කළේ අගලවත්ත අසුනටය. එයින් ජය ලබා මැති සබයට පිවිසි කන්නන්ගර මහතා එක්සත් ජාතික පක්ෂ රජයේ පළාත් පාලන ඇමැතිවරයා ලෙස වැඩ භාරගත්හ.

ඩී. ඇස්. සේනානායක මහතා ඇතුළු පිරිස එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරන විට එහි ආරම්භක සාමාජිකයකු වූ මෙතුමා 1952 දී පක්ෂයේ උප සභාපති පදවියෙන්ද පිදුම් ලැබීය.

1951 වසරේදී බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා අස් වී ගිය පසු කන්නන්ගර මහතා ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්කර ගැනීමට එතුමා ප්‍රයත්න දැරීය. නමුත් කන්නන්ගර මහතා ප්‍රතිපත්ති පාවා නොදී එක්සත් ජාතික පක්ෂයේම එක දිගට නොසැළී සිටියේ සෘජු ගුණ ඇති නායකයකු ලෙසය.

රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ සමයේ මෙතුමාගේ උතුම්ම පරමාර්ථය වූයේ පාසල් සිසුන්ටත්, සරසවි සිසුන්ටත් නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන නිදහස් අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වාදීමේ මෙහෙවර ඉටු කරන අයුරුය.

ඒ අනුව නිර්මාණය කළ නිදහස් අධ්‍යාපන පනත බොහෝ දුෂ්කරතා ජය ගනිමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සම්මත කරවාගෙන නිදහස් අධ්‍යාපනය රටට ලබා දුන්නේ තමා කුඩා කල විඳි අමිහිරි අත්දැකීම් අනාගත පරපුරට උදාකර නොදීම සඳහාය. ඒ සමගම ආරම්භ කළ මධ්‍යම මහා විද්‍යාල සංකල්පය මෙරට අධ්‍යාපන පද්ධතියේ මහා වෙනස්කම් රාශියකට මධ්‍යගත විය.

එතුමා තම අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ පහත සඳහන් කරුණු ක්‍රියාවට නැංවූයේය.

I. සෑම පාසලකම මව් භාෂාව උගැන්වීමට නීති පැනවීම.

II. පුහුණු වන ගුරුවරුන් උදෙසා මව්බස ගැන දැනුම ලබා දීම.

III. පාසල් දරුවන් සඳහා දිවා ආහාර වේලක් නොමිලයේ ලබාදීම.

IV. පාඨශාලා පරීක්ෂකවරු ද මව්බස උගෙන ගැනීම.

1945 අගොස්තු මස 24 වැනි දින නිදහස් අධ්‍යාපනය නීතියේ කොටසක් විය.

කන්නන්ගර මහතා සිය ජීවිතය තුළද ප්‍රතිපත්ති ගරුක මිනිස් රත්නයක් විය. ඔහු දුම්පානයෙන් වැළකුණේය. ජීවිතය පුරාම අමද්‍යප විය. උපතින් කිතු බැතිමතෙකු වුවත් කුඩා කාලයේ සිට රන්දොඹේ සංඝරාජ මහා විහාරය ඇසුරෙන් ලද දහම් දැනුම වර්ධනය කරගෙන තරුණ අවධියේදීම බුදු දහම වැළඳගත් නිසා ප්‍රතිපත්ති ගරු බොදුණුවෙක් වශයෙන් ජීවිතය ගෙවීය.

තම නිලතල බලතල පාවිච්චි කර පවුලේ අයකුටවත් සුවිශේෂී වරප්‍රසාද ලබා දුන්නේ නැත. තමා කුඩා කාලයේ විඳි දුක් ගැහැට මියයන තුරාම අමතක නොකළ මෙතුමා එවන් අමිහිරි පරිසරයක් රටවැසි කිසිම දරුවෙකුට හිමි නොකිරීමට නිතර උත්සාහ ගත්තේය. කිසිම දිනෙක බටහිර රටවල සංචාරය නොකළ කන්නන්ගර මහතා තනාපතිවරයකු ලෙස ඉන්දුනීසියාවට යන තෙක් ඔහු විදේශගතව සිටියේ ඉන්දියාවට පමණි.

ජීවිතයේ අවසාන භාගය වන විට ඔහු හරි හම්බකර ගත් දෙයක් නොවුන නිසා ගෙවා දැමුවේ දුක්ඛිත ජීවිතයකි. මේ නිසා 1965 වසරේ සිට ඩඩ්ලි සේනානායක රජය මගින් මාසයකට රු. 500 ක විශ්‍රාම වැටුපක් ගෙවීමට කටයුතු කරන්නට විය. ජීවිතයේ අවසානය වන විට ලැබුණු එකම වත්කම එය විය.

අද මෙරට ජීවත් වන සියලු දෙනාටම නොමිලයේ ලැබෙන විශාලතම වත්කම වනුයේ කන්නන්ගර මහතා දැයටම හිමිකර දුන් නිදහස් අධ්‍යාපනය නැමැති වත්කමයි. සෑම දුවා දරුවෙකුම, රට වැසියෙකුම උදේ සවස සිහිකළ යුතු ශ්‍රේෂ්ඨ නාමයක් ඉතිරි කර මීට වසර 53 කට පෙර කන්නන්ගර ශ්‍රීමතාණෝ 83 වසරක දිවි ගමන නිමවා දැයෙන් සමුගෙන පරලෝක ප්‍රාප්ත විය.

ශ්‍රේෂ්ඨ වීරවරයාණෙනි සදාණුස්මරණීයයි!

වජිර අබේවර්ධන (පා.ම.),
ස්වදේශ කටයුතු හා අභ්‍යන්තර සහ පළාත් සභා හා පළාත් පාලන හිටපු අමාත්‍ය,
සභාපති – එක්සත් ජාතික පක්ෂය.

advertistmentadvertistment
advertistmentadvertistment