(ශ්‍රී ලංකාවට නිදහස ප්‍රදානය කළ 1948 පෙබරවාරි 04 දින ප්‍රථම ආගමික මෙහෙවර අනුස්මරණය නිමිත්තෙනි)
කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ත්‍යාරාමය නොහොත් පොල්වත්ත පන්සල ඓතිහාසික නිදහස් දිනය සමරන 1948 පෙබරවාරි 4 වැනි දින ඓතිහාසික නිදහස් දිනයට පා තබන මොහොතේ ආගමික කටයුතුවල නියැළුණු ඒ ඓතිහාසික සිහිවටනය කිසිදා කිසිවකුට සමකළ නොහැකිමය. එවන් ඓතිහාසික සිහිවටනයක හිමිකම් ප්‍රකාශ කරන පොල්වත්ත පන්සල තුළ ඇති අජීවී නිහඬ ප්‍රතාපවත් ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන් සමඟ ජීවමය වස්තුවක් ලෙසින් එදා සිට අද දක්වා පවත්නා නිදහස් අඹ ගස දෙන සෙවණ නිදහස් මානසික හැඟීම් පුබුදුවයි.
එවන් ඓතිහාසික නිදහස් සමරුව තබන්නට 1948 පෙබරවාරි 4 වැනි දින අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන් තම ප්‍රථම නිදහස් ආගමික කටයුතු සඳහා තෝරාගත්තේ තමන්ගේ නිල මැඳුර නොඑසේ නම් අරලියගහ මන්දිරය පසෙකින් පිහිටි ශ්‍රී ධර්මකීර්ත්‍යාරාමයයි. කාගේත් මුවගට නැඟෙන පොල්වත්ත පන්සලයි.
මෙම ඓතිහාසික නිදහස් සමරුව තබන මොහොතේ ශ්‍රී ධර්මකීර්ත්‍යාරාමාධිපතින් වහන්සේ නම් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය හංචාපොළ විමලවංශ නාහිමිපාණන් වහන්සේය. එදා දවස රටේ නායකයා වූයේ අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන්ය. ගරුතර පූජ්‍යපාද හංචාපොළ අනුනායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනයෙන් නිදහසේ ප්‍රථම ආගමික මෙහෙවර ඇරඹීමත් සමඟ නිදහසේ සිහිවටනයක් ලෙසින් පොල්වත්ත පන්සලේ රෝපණය කළ අඹ පැළය අද මහා රුක්ෂයක් ලෙසින් පොල්වත්ත පන්සලට ඇතුළුවන ඔබ සැමට දර්ශනය වේ.
එදා අඹ පැළේ සිට මහා රුක්ෂයක් දක්වා වූ නිදහසේ ගමන්මග අඛණ්ඩව සමරන්නට ශ්‍රී ධර්මකීර්ත්‍යාරාමාධිපතීන් වහන්සේලා මහත් මෙහෙයක් දැරූහ. ඒ අතර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දසවන මහනායක අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත විද්‍යා විශාරද ඉඳුරුවේ උත්තරානන්ද මහනායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පිළිරූ ප්‍රමාණයත් නිදහස් දින ආගමික කටයුතු සංවිධානයත් කළ අතර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති දෙපානම සුගතබන්ධු මාහිමිපාණන් වහන්සේ එය පවත්වාගෙන යෑමට කටයුතු කළ සේක. එසේම පූජනීය වතුරවෙල රතනවංශ හිමිපාණන් වහන්සේ ද, අපරැක්කේ සුගතවංශ ස්වාමීන් වහන්සේ ද තම පාලන කාලය තුළ නොපිරිහෙලා ඉටුකිරීමට පුරෝගාමී වූහ. මෙහිදී ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ පැවැති පිළිරුව අවපැහැගැන්ව තිබූ බැවින් මහත් කැපවීමෙන් යුතුව නව ඩී. එස්. සේනානායක පිළිරුවක් නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට ධර්මකීර්ත්‍යාරාමාධිපතිව වැඩවිසූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශාධිපතිව වැඩ සිටි ආචාර්ය වෑතර මහින්ද හිමිපාණෝ කටයුතු කළහ. මෙසේ මහත් මෙහෙවරක් දරමින් නිදහසේ අභිමානය ගෞරවාන්විතව සමරන්නට පැවිදි උතුමන් වහන්සේලා දැක්වූ කාරුණික කෘතඥශීලී ජාතිකාභිමානී ගුණය ගෞරවයෙන් සිහිපත් කළ යුතුව ඇත.
මේ සා භාරදූර වගකීමක් සමාජගත කරන්නට මෙරටට දායාද කරන්නට අපමණ වෙහෙසක් දරමින් කටයුතු කරන්නට කැප වූයේ කොළඹ මහ නගර සභාවයි. එදා සිට අද දක්වාම එම සියලු වගකීම් භාරගෙන කටයුතු කරන්නට නගරාධිපතිතුමන්ලා තුමියන්ලා ඇතුළු නියෝජ්‍ය නගරාධිපතිවරුන්ගේ සංවිධායකත්වයෙන් පක්‍ෂ විපක්‍ෂ නාගරික මන්ත්‍රී මණ්ඩල ක්‍රියාකාරීත්වයන් ද අප අතිශයින්ම අගය කළ යුතුය. මේ අයුරින් නිදහසේ 74 වසරක නිදහසේ වගකීම් වරින්වර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැක්වීමත් ඒ හැම අවස්ථාවකම නිදහසේ අභිමානයට වූ මෙහෙය සිහිපත් නොකරම බැරිය.
නිදහස භුක්ති විඳීමට ඇති ජාති ආගම් පක්‍ෂ භේද නුසුදුසුය යන්න ප්‍රකට කරමින් ජාති ආගම් පක්‍ෂ භේද දුරලා සහභාගි වීමෙන් පැහැදිලි වේ. ඒ අමිල වූ නිදහසේ අභිමානයට මෙහෙවර දැක්වූවෝ සිහිපත් කළ යුතුව ඇත. ඒ අතර පූජ්‍යපාද හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, කඩහපොල හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, රත්මලාන ධර්මාරාම හිමි, වාරියපොල සුමංගල හිමි යන සංඝ පීතෘවරයාණන් වහන්සේලා ද පළමු හා දෙවන රාජසිංහ රජතුමන්ලාගේ ද වීර කැප්පෙටිපොල, ගොන්ගාලේගොඩ බණ්ඩා, මද්දුම බණ්ඩාර වැනි ජාතික වීරයෝ ද ශ්‍රී ලංකාවේ නිදහස් අභිමානය වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත කැප කළහ. එපමණක් නොව මෑත ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අතර අනගාරික ධර්මපාල, ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, වලිසිංහ හරිස්චන්ද්‍ර, පොන්නම්බලම් රාමනාදන්, සිද්ධි ලෙබ්බේ වැනි සිහල, දමිළ ජාතිකයෝ ද ජීවිත පරිත්‍යාගයෙන් රට නිදහස් කර ගැනීමට කළ අරගලය ජයග්‍රහණයේ මාවතට එළැඹෙන්නට මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ට හැකි වීමට තවත් එක් මඟක් විය. ඒ නිසා ලේ වැගිරීමකින් තොරව ජනතාවට නිදහස දිනා දෙන්නට ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන්ට හැකි විය. ඒ නිසාම මහා බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පවත්වාගෙන යෑමට නොහැකි වූ බැවින් 1948 පෙබරවාරි 4 ආණ්ඩුකාරවරයා පත් කිරීමේ බලය බ්‍රිතාන්‍යයන් එලෙසින්ම තබාගෙන නිදහස ප්‍රදානය කළේය. ඒ අනුව එතෙක් බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලනය යටතේ පැවති අග්‍රාණ්ඩුකාරවරයා නිදහස් දින සිට ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා බවට පත් විය. පසුව 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස ලබා ගැනීමට හැකි විය.
එදා මෙදාතුර සිටි ජනාධිපතිවරු, අගමැතිවරු, මැති ඇමැතිවරු හා පක්‍ෂ විපක්‍ෂ දේශපාලන නායකයන් මෙම පොල්වත්ත ඓතිහාසික පුදබිමට පැමිණ ආගමික වතාවත් සිදු කොට මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිඳුන්ට උපහාර දක්වා නිදහස් දින අර්ථවත් කළහ.
පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම විහාරස්ථානයේ නිදහස් දින ආගමික උත්සවය සංවිධානයේදී විහාරස්ථ දායක සභාව, කුළඟන සමිතිය මෙන්ම කොළඹ මහ නගර සභාවේ පූර්ණ දායකත්වය කෘතවේදීව සිහිපත් කළ යුතුය. රාජ්‍ය අනුග්‍රහය යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සහයෝගය ද අගය කළ යුතුව ඇත. 2023 වර්ෂයේ පොල්වත්ත විහාරස්ථානයේ පැවැති නිදහස් දින ආගමික උත්සවය සාර්ථක කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්ගේ විශේෂ අධීක්‍ෂණය යටතේ සංවිධානය වූ බව ද සිහිපත් කළ යුතුව ඇත.
2024 පෙබරවාරි 04 වන දින පැවැත්වෙන ආගමික වැඩසටහන පෙ.ව. 6.20ට ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අධිකරණ නායක මහාචාර්ය අත්තංගනේ රතනපාල නායක ස්වාමින් වහන්සේගේ මූලාසනයෙන් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් ප්‍රධාන මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ත්‍යාරාමාධිපති,
ආචාර්ය බණ්ඩාරවෙල විමලධම්ම නාහිමි