එළැඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ වැඩපිළිවෙළට සහාය දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර තිබේ.
නිදහස ජනතා සභාවේ ඊයේ (10දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ඒ පිළිබඳව වැඩිදුරටත් මෙසේද කීය.
“අපි ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑනේ. ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ සමගි ජන බලවේගයෙන්. දැනට පාර්ශ්වකරුවෝ ගණනාවක් ඉන්නවා සමගි ජන සන්ධානය කියලා. ඉදිරියට එන්න නියමිතවත් සිටිනවා. සමගි ජන බලවේගය ඒ සියල්ල එකතු කරගත් ශක්තිමත් පුළුල් බලවේගයක්. ඒකේ අපිත් ඉන්නවා. සියලුදෙනා එකතු වෙලා එක් පුද්ගලයෙක් ජනාධිපති විදියටත් ශක්තිමත් කණ්ඩායමක් සහ වැඩපිළිවෙළකුත් රට හමුවේ තියා ජයග්‍රහණය කරනවා.”
ආණ්ඩුව පරාජය කිරීම සඳහා සටනේ දී නිදහස ජනතා සභාව සමගි ජන බලවේගය සමග සිදුකළ සාකච්ඡා ඉතාම සාර්ථක බව ද, පුළුල් දේශපාලන වෙනසක් ඇති කිරීම සඳහා විපක්ෂය සමග ඉදිරි සති කිහිපයේදී ඍජුව කටයුතු කරන බවත් චරිත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.
අකිත පෙරේරා